| හර්ෂා සුගතදාස
උපුටා ගැනීම : ලක්බිම
පසුගිය 21 වැනි ඉරු දින “වියරුවට එරෙහි වීදියේ විරෝධය” සංවිධානය විසින් හම්බන්තොට නගරයේදී පැවැත්වු වීදි නාට්‍ය සංදර්ශනයට මැර ප්‍රහාරයක් එල්ල විය. එහිදී ප්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර මෙහිදී තුවාල ලබා මාතර රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබේ. මෙම අවස්ථාවට සහභාගි වූ සිවිල් සංවිධාන ක්රියාකාරිකයන් සහ හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක ඇතුළු පිරිස ප්‍රකාශ කර තිබෙන්නේ හම්බන්තොට නගර සභාවේ නගරාධිපති විරාජ් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් ඩිෆෙන්ඩර් රථවලින් පැමිණ පහර දුන් බවයි. පැමිණි පිරිස් අත දැලි පිහි සහ යකඩ පොලු තිබූ බවත් නගරාධිපතිවරයා පිස්තෝලයක් රැගෙන තර්ජනය කරමින් ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරව ඔවුන්ගේ වාහනයකට දමා ගැනීමට උත්සාහ කළ බවත් තවදුරටත් පවසා තිබේ. මීට පෙරද එප්පාවල නගරයේ පැවති වීදි නාට්‍යයකදී ඔහුට ප්‍රහාරයක් එල්ල විය.
හම්බන්තොට නගරාධිපති සඳහන් කරන්නේ වීදි නාට්‍ය කණ්ඩායම හා ගම්වැසියන් අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පහරදීමක් සිදු වූ බවය. ඔහු සිද්ධිය වූ තැනට පැමිණියේ ගම්වැසියන්ගෙන් වීදි නාට්‍යකරුවන් මුදවා ගැනීමට බව පවසන නගරාධිපති, මෙම වීදි නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට නගර සභාවේ හෝ පොලීසියේ අවසරයක් ලබා නොතිබූ බවද පැවැසීය. පසුව හම්බන්තොට නගරාධිපතිවරයාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉකුත් 24 වැනිදා හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදාහැර තිබේ.
වීදි නාට්‍යයක් ප්‍රදර්ශනය කිරීමට ගිය කලාකරුවන්ට මැර ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් කලාකරුවන් කීප දෙනෙකුගෙන් අදහස් විමසනු ලැබුවේ අද වන විට දේශපාලනික වශයෙන් පිල්වලට බෙදී සිටියද ඔවුන් සියලු දෙනාම කලාකරුවන් වන නිසාය.
මෙය ජනපතිතුමන්ගේ ලකුණු අඩු කිරීමක්
ජනක් ප්‍රේමලාල්
මේ රටේ කලාකරුවකුට විතරක් නොවෙයි, ඕනෑම පුරවැසියෙකුට තමුන් දරන මතය ප්‍රකාශ කරන්න, අනිත් අයට කියන්න පූර්ණ නිදහසක් තිබිය යුතුයි. භාෂණ නිදහස කියන දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන දෙයක්. වීදි නාට්‍යකරුවෙක් හෝ වෙනත් කලාකරුවෙක් ජනතාවට ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ,අත්දැකීමක්, එහෙම නැතිනම් ඔවුන්ට දැනෙන දේ. ඒ දේ ප්‍රකාශ කරන්න ඔවුන්ට නිදහස තිබිය යුතුයි.
ඒ දේ ප්‍රකාශ කරන්න ඔවුන්ට නිදහස තිබිය යුතුයි.
ඔවුන් ඉදිරිපත් කරන මතවාදවලට පහර දිය යුත්තේ අතින් පයින් නොවෙයි. මතවාදවලින්මයි. මා දන්න පරිදි ජයතිලක බණ්ඩාර කලාකරුවා හම්බන්තොට වීදි නාට්‍යයක් රඟ දක්වලා තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට
පක්ෂවයි. ඔහුට පහර දුන් පාර්ශ්වයට සිදු කළ යුතුව තිබුණේ අතින් පයින් පහරදීම නොවෙයි. මෛත්‍රී පිලේ ඇති අශුද්ධ බව, දෙමළ ඩයස්පෝරාව ගැන, ජාත්‍යන්තර බලවේගවල කුමන්ත්‍රණ ගැන වීදි නාට්‍යයකින් ප්‍රදර්ශනය කිරීම තමයි ඔවුන් සිදු කළ යුතුව තිබුණේ. ඔවුන්ට වීදි නාට්‍යයකින් ප්‍රදර්ශනය කරන්න කාලවේලාව මදි නම් සාමකාමීව රැස්වීමක් පවත්වලා පුවත්පතකට ලිපියක් ලියලා ඔවුන්ගේ මතවාදය ජනතාවට ඉදිරිපත් කරන්න තිබුණා.
ප්‍රාදේශීය සභා නියෝජිතයන් සිදු කරන මෙවැනි අනුවණ ක්‍රියාවලින් ජනාධිපතිතුමාට ලකුණු අඩුවෙනවා. ඒ නිසා මෙවැනි ශාරීරක තාඩන පීඩන, දේපළ හානි වැනි මෝඩ ක්‍රියාවලින් ඈත්වෙලා සාමකාමීව හැසිරෙන්න කියලා මම ප්‍රාදේශීය නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා. හම්බන්තොටදී ජයතිලක බණ්ඩාර කලාකරුවාට සිදුකළ පහරදීම මම හෙළා දකිනවා.
මෙයින් පෙනෙන්නේ කලාකරුවන්ට නිදහසක් නැති බවයි
කේ.බි. හේරත්
අපේ සහෝදර කලාකරු ජයතිලක බණ්ඩාරට සිදුකළ ම්ලේච්ඡ පහරදීම, තිරිසන් ක්‍රියාව මම පිළිකුළෙන් හෙළා දකිනවා. මීට පෙර එප්පාවලදීත් ජයතිලක බණ්ඩාර කලාකරුවාට පහර දුන්නා. මේ පහර දීමෙන් අපට පැහැදිලි වෙන්නේ මේ රටේ කලාකරුවන් ඇතුළු ජනතාවට නිදහසක් නැති බව. එයින් පෙනෙන්නේ මැරයන්ට නිදහස ඇති රජයක් අද පවතින බවයි.
මෙම තත්ත්වය පවත්වාගෙන යෑමට අනුකම්පාව, කරුණාව,දයාව අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ මෝඩයන්ගෙන් පිරුණු, වහල් සමාජයක්. එම රාජ්‍යය රැක ගැනීම සඳහා ප්‍රාදේශීය මට්ටමෙන් කසිප්පුකාරයන් පාතාල ලෝකයේ ගණන්කාරයන් පත්කර සිටිනවා. ඒ තත්ත්වයට එරෙහි වන විට ප්‍රාදේශීය වශයෙන් පත්කර සිටින කසිප්පුකාරයන් ඔවුන්ට පහර දෙනවා. ඒ අය ආරක්ෂා කරන්නේ දැවැන්ත ජාවාරම්කරුවන් මිස රටේ ජනතාව නොවෙයි.
අපි වීදි නාට්‍ය කරද්දී ජනාධිපතිතුමත් අපි එක්ක හිටියා
දීපානි සිල්වා
මනුෂ්‍යයන් හැටියට කවුරු කාටවත් ගහන්න අයිතියක් නැහැ. මනුෂ්‍යයින් හැටියට අපි හැමෝටම නිදහසේ යමක් ප්‍රකාශ කරන්න අයිතියක් තිබෙනවා. ඒ අයිතියවත් අද අපේ රටේ නැති බව ජයතිලක බණ්ඩාර සහෝදරයාට පහරදීමෙන් පෙනෙනවා. ජයතිලක බණ්ඩාර වීදි නාට්‍යයක් ප්‍රදර්ශනය කරන්න නගර සභාවෙන්වත් පොලීසියෙන්වත් අවසර අරන් නැති බව ඇතැම් අය ප්‍රකාශ කරලා තිබුණා. ඒත් අවු: 40ක් තිස්සේ වීදි නාට්‍ය කරපු කලා ශිල්පිනියක් විදියට මම සඳහන් කරන්න කැමතියි වීදි නාට්‍යවලට කිසිම අවසරයක් අවශ්‍ය නොවන බව. එහෙමනම් හිඟන්නන්ට බස්වල සින්දු කියන්න, බස් නැවතුම්පොළවල තෙල් බේත් විකුණන්න එහෙම අවසර ගන්න වේවි.
මම අවු: 40ක් වීදි නාට්‍යවලට සහභාගි වුණා. අපි කවදාවත් වීදි නාට්‍යවලට අවසර ගත්තේ නැහැ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ කාලෙ නම් වීදි නාට්‍ය මහ ඉහළින් පිළිගත්ත කෙනෙක්. මව්වරුන්ගේ සංගමයට එදා අපි වීදි නාට්‍ය රඟ දක්වද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපි එක්ක හිටියා. එතුමා එදා වීදි නාට්‍යයක වැදගත්කම දැක්කා. වීදි නාට්‍යයකින් කරන්නේ සංයමයෙන් ගීත ගායනා කරලා යම් අදහසක් ජනතාවට ඉදිරිපත් කිරීම. එයින් ප්‍රකාශ කරන දේවල්, ගීත ගායනා අහන් ඉන්න බැරි නම් ඒ අය කළ යුතු වෙන්නේ ඒවා නොපෙනෙන නෑසෙන තැනකට යෑම. ඒ හැර වීදි නාට්‍යකරුවන්ට පහර දීමට කිසිම අයිතියක් නැහැ. ජයතිලක බණ්ඩාරට හම්බන්තොටදී පහරදීම වගේම එප්පාවලදී පහරදීමත් මම දැඩි ලෙස හෙළා දකිනවා.
නිර්මාණශීලීව රජය විවේචනය කිරීමේ අයිතිය කලාකරුවන්ට තිබිය යුතුයි
නීතිඥ අසෝක සේරසිංහ
ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමටත් විවේචනය කිරීමටත් මේ රටේ නිදහසක් තිබෙනවා. එය සිවිල් සමාජයේ අයිතිවාසිකමක්. වීදි නාට්‍යකරුවන්ටත් අපහාසාත්මක නොවන ආකාරයට කලාත්මකව, නිර්මාණශීලීව රජය විවේචනය කිරීමට අයිතියක් තිබෙනවා. එවැනි භාව ප්රකාශනයකට විරුද්ධ විය යුත්තේ අදහස් උදහස් සහ මතවාදවලින් මිස බාහු බලයෙන් නමෛයි. අතින් පයින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ශීලාචාර සමාජයක සිද්ධ නොවිය යුතු දෙයක්.
අද දේශපාලන නායකත්වයට වඩා වැඩි බලයක් බිම් මට්ටමේ දේශපාලනඥයින් අතට ගෙන සිටීම කනගාටුදායකයි. ඒ අය නීතිය අතට ගන්නවා. සමහර ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයින් ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ අදහස් උදහස්වලින් නෙවෙයි. බාහු බලයෙන්. මෙය සිවිල් සමාජයකට කිසිසේත් ගැළපෙන්නක් නොවෙයි. ඔවුන්ගේ මෙවැනි අදූරදර්ශී ක්‍රියාවලින් දේශපාලන නායකත්වයට ලොකු කැළලක් ඇති වෙනවා.
ජනතාව කුපිත කළානම් ගුටි කෑම සාධාරණයි
මධු මාධව අරවින්ද
මැතිවරණයක් ආසන්නයේදී ඇහිපිල්ලමක් ගැහුවත් එය කුණාටුවක් බවට පත්වෙනවා. කුණාටුවක් ඇහිපිල්ලම් ගැසීමක් බවට පත්වෙනවා. ජයතිලක බණ්ඩාර කලා ශිල්පියාට පහරදීමේ සිද්ධියත් එවැනි සිදුවීමක් හැටියටයි මම නම් දකින්නේ. මෙම සිද්ධියේදී මට මුලින්ම පැහැදිලි කරගත යුතු කාරණාවක් තිබෙනවා. ඒ තමයි ජයතිලක බණ්ඩාර රඟ දැක්වුවේ වීදි නාට්‍යයක්ද දේශපාලන නාට්‍යයක්ද යන කාරණාව. ඔහු කළේ ජනතාව කුපිත කරවන එක. එවැනි දේවල් සිදු කරනවා නම් ගුටි කන්න සිද්ධ වෙන එක අහන්නත් දෙයක්ද? ඔය විදිහට ජනතාව කුපිත කළොත් තව තැන් හතරකින් විතර ජනතාවගෙන් ගුටි කන්න වේවී. ඔහුට විරුද්ධව නැගී සිටින්නේ ඒ ඒ ප්රදේශවාසීන්මයි.අනික මේ දවස්වල පැවැත්වෙන ජනාධිපතිවරණ උණුසුමත් එක්ක පක්ෂව විපක්ෂව අදහස් උදහස් මතවාද ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් සිටිනවා.
ප්‍රබල ජනමතයක් ගොඩ නගන හඬක් තිබෙන කලාකරුවෝ අපේ රටේ ඕනෑ තරම් සිටිනවා. පහර දෙනවා නම් ඒ අයටත් පහර දෙන්න ඕනෑනේ. ඒ වගේ අයට අතක් උස්සන්නේ නැති රජය ජයතිලක බණ්ඩාර වගේ කෙනෙකුට අතක් උස්සයිද? ජයතිලක බණ්ඩාර කියන්නේ ප්‍රබල ජනමතයක් ගොඩනගන්න පුළුවන් විදිහේ කලාකරුවෙක් නොවෙයි. ජනවාරි 08 දායින් පසුව ඔහුගේ ඇගේ මැස්සෙක්වත් වහන්නේ නැහැ. මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔහු මොනදේ කළත් ඔහුට කිසිම කරදරයක් කරන්න එපා කියලා. ඔහුව බදා වැළඳ ගන්න, ඔහුගේ දෑත් අල්ලා ගන්න කියලා තමයි මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මොකද ඔහු කැමතියි ඔහුට වැඩි වැඩියෙන් පහරදෙන තරමට. වැඩි වැඩියෙන් ගුටි කෑවොත් තමයි ඔහුට වරදාන,ප්රතිලාභ ලබා ගන්න පුළුවන් වෙන්නේ.
සහෝදර කලා ශිල්පීන් මේවා අනුමත කරන තැනක සිටීම ගුටි කනවාට වඩා වේදනාවක්
ඩබ්ලිව්. ජයසිරි
පසුගිය දශක දෙක තුළ නිහඬ මිනිසුන් වෙනුවෙන් හඬක් නැගූ මිනිසෙකු හැටියට ජයතිලක බණ්ඩාර කලාකරුවාව හඳුන්වන්න පුළුවන්. මැතිවරණ ව්‍යාපාරයේදී ජයතිලක බණ්ඩාර සහෝදරයාට පහර දුන් ප්‍රථම වතාව මෙය නොවෙයි. මීට පෙර එප්පාවලදීත් ඔහු පහර කෑමට ලක් වුණා. එම සිද්ධියෙන් පසුව ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී එක් මාධ්‍යවේදියෙකු ජයතිලක බණ්ඩාරගෙන් ප්‍රශ්න කළා එදා පහර දීමේදී ඔහුට රිදුණාද,තුවාල වුණාද කියලා. ඒ වෙලාවේ ජයතිලක බණ්ඩාර පිළිතුරු දුන්නා. ඔහුට තුවාල වුණේ නැහැ, ඔහුට රිදුණෙත් නැහැ. ඒත් ඔහු සමග ගීත ගායනා කරපු සහෝදර ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ ඔහුගේ ගීතවලට තනු නිර්මාණය කරපු සංගීතඥ රෝහණ වීරසිංහ, ඔහුට ගීත රචනා කරපු මහින්ද චන්ද්‍රසේකර මේ වගේ කටයුතුවලට අනුබල දෙන ආණ්ඩුවක් ශක්තිමත් කරන්න කටයුතු කරන එක ගැන හිතේ ලොකු දුකක් හිත් රිදීමක් තිබෙනවා කියලා ජයතිලක බණ්ඩාර කලාකරුවා ගැන වගේම කලාකරුවාට පහරදීම සම්බන්ධයෙන් අර්ථ විග්රහ කිරීමට ඔහුගේ ඒ ප්‍රකාශය ප්‍රමාණවත් බව මම විශ්වාස කරනවා.
නිර්මාණශීලීත්වයෙන් සන්නද්ධ පුද්ගලයන්ට අවි ආයුධවලින් සන්නද්ධව
පහරදීම කොයි තරම් අවාසනාවන්ත දෙයක්ද?
ජයලත් මනෝරත්න
වීදි නාට්‍යකරුවන් කියන්නේ තවත් කලාකරුවන් පිරිසක්ම තමයි. ලෝකයේ අධිරාජ්‍ය විරෝධී, ධනපති, පන්ති විරෝධී අරගලවලදී කලාකරුවන් වීදි නාට්‍ය හරහා විශාල භූමිකාවක් කළා. ලතින් ඇමෙරිකාව, ස්පාඤ්ඤය වැනි බොහෝ රටවල්වල වීදි නාට්‍ය කලාවෙන් සිදු වූ මෙහෙවර සුළුපටු නැහැ. ආචාර්ය ගාමිණී හත්තොටුව කලාකරුවා “වීදියේ පහන් ටැඹ” නමින් හැඳින්වූයේ වීදි නාට්‍ය හරහා විශාල සේවාවක් ඔහු සිදුකළ නිසයි. විදග්ධ නාට්‍යකලාවෙන් කරන්න බැරි දේවල් වීදි නාට්‍ය හරහා කරන්න පුළුවන්. සමාජයේ නිර්ධන පන්තිය තුළ, පහළ ස්ථරය තුළ සමාජ ප්‍රශ්නයක් ගැන කතිකාවක්, දැනුවත් කිරීමක් සෞන්දර්යාත්මකව ඇති කළේ වීදි නාට්‍යකරුවන්. එවැනි සමාජ මෙහෙවරක නිරත වී සිටින කලාකරුවකු වූ ජයතිලක බණ්ඩාර සහෝදර ශිල්පියාට පහරදීම ම්ලේච්ඡ ක්‍රියාවක් හැටියටයි මම නම් හඳුන්වන්නේ. එය මම පිළිකුළෙන් හෙළා දකිනවා.
මේවා ශිෂ්ට සම්පන්න සමාජයක නම් කිසිසේත් පිළිගන්න තත්ත්වයන්් නොවෙයි
සෞම්‍ය ලියනගේ
ජයතිලක බණ්ඩාර නිර්මාණකරුවා කලාවට හදිසියේ එක්වුණු කෙනෙක් නමෛයි. ඔහුට හොඳ ඉතිහාසයක් තිබෙනවා. ඔහු විවිධ දේශපාලන පක්ෂ රාජ්‍ය පාලකයන් ලෙස කටයුතු කරන විවිධ කාල පරිච්ජේදවල කලාකරුවකු හැටියට විශාල සේවාවක් ඉටු කරපු කෙනෙක්. ඔහු හදිසියේ ප්‍රාදූර්භූත වූ කලාකරුවෙක් නොවෙයි. පොදුවේ රට අගතිගාමී වන අවස්ථාවක පරිධියේ සිට කේන්ද්‍රයට ඇහෙන්න වැඩ කරපු කලාකරුවෙක් තමයි ජයතිලක බණ්ඩාර. ඔහු ජීවිත කාලය පුරාම ප්‍රාදේශීය නිර්මාණකරුවන් සමග ජීවත් වෙන්නේ. ඔහුට කොළඹ ඇවිත් කේන්ද්‍රීය කලාකරුවකු හැටියට ඉන්න අවශ්‍ය වුණේ නැහැ. අධිකාරිය තුළ වැජඹෙන්න ඔහු උත්සාහ කළේ නැහැ. ඒත් පරිධියේ සිට කේන්ද්‍රයට මහා හඬක් නැගුවා.
එවැනි කලාකරුවකුට මැර ප්‍රහාරයක් එල්ල වීම ගැන මම කනගාටුවට පත්වෙනවා.
මේ පිළිබඳව විමසූ තවත් කලාකරුවන් සහ කලාකාරියන් පිළිබඳ පසු සටහනක්
දින දෙකක් මුළුල්ලේ මේ පිළිබඳව අදහස් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී සේනානායක වේරලියද්ද සහ නීලා වික්‍රමසිංහ යන ගායන ශිල්පියෝ කාර්යබහුල බැවින් අදහස් පළ කිරීම පසුවට කල් දැමූහ. සිරිල් වික්‍රමගේ සහ ඕෂධී හේවාමද්දුමගේ යන රංගන ශිල්පීන් දෙදෙනා පැවසුවේ ජයතිලක බණ්ඩාරට පහරදීම පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත් වී නොමැති බැවින් කතා කිරීම අපහසු බවය. රංගන ශිල්පිනී නයනා කුමාරි සහ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි අප අප විමසන තෙක් එකී සිදුවීම පිළිබඳව දැනසිටියේ නැති බව පැවැසූහ. කරුණාරත්න දිවුල්ගනේ කලාකරුවා පැය 1/2 කින් පසුව අප අමතන බව පැවසුවද ඉන් පසු දුරකථනයට පිළිතුරු දුන්නේ නැත.