අලුකළ යාපනය

වාස්තු විද්‍යාඥ වී. එස්. තුරෙයිරාජා 1996 ජූලි 17 වන දා රජයට අයත් Ceylon Daily News පුවත් පතට යැවූ ලිපියකිනි...


යාපනය පුස්තකාලයත් එහි වූ එහි වූ මිලකළ නොහැකි පොත් සහ දුර්ලභ අත් පිටපත් සමූහයක් දැවී හළු වී ගියේ 1981 ජූනි පළමු වැනිදා රාත්‍රියේය. පුද්ගලයන් කීපදෙනකුගේ සහ ආයතන කීපයක අඩ සියවසක කැපවීම සහ වෙහෙස මහන්සිය තුලින් ගොඩනැගුණු දැනුම් ගබඩාව විනාශකාරී කිහිප දෙනකුගේ ඉලක්කයක් බවට පත් විය. මෙම පාඩුව සිදුවූයේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටමත්, අධ්‍යයන කටයුතුවල යෙදෙන මුළු මහත් ජාත්‍යන්තර ප්‍රජාවටමත් බව තේරුම් ගත හැකි වේද?

ලොවෙහිම පැතිරුණු කීර්තියක් හිමිව තිබූ මෙම පුස්තකාලයේ ඉතිහාසය විමසා බැලීම මේ මොහොතේ වැදගත් වේ. 1933 වසරේ කේ. එම්. චෙල්ලප්පා නම් සමාජ හිතකාමියෙකු විසින්, තම දැනුම අන් අය සමග බෙදා හදා ගැනීමේ අභිලාෂයෙන්, සිය නිවසේ නොමිලේ පවත්වාගෙන යන පුස්තකාලයක් ආරම්භ කරන ලදී. චෙල්ලප්පා මහතාගේ අදහස අගය කරමින්, දැනුම් පිපාසයෙන් පෙලුණු කිහිපදෙනෙක් එක්ව 1934 ජූනි මස 9 වැනිදා රැස්වී පුස්තකාලයක් පිහිටුවාගැනීම සඳහා කමිටුවක් පත්කරගත්හ. මෙහි සභාපති ධූරය සඳහා එවකට යාපනය මහාධිකරණ විනිසුරු අයිසැක් තම්බයියා තේරී පත් වූ අතර කේ. එම්. චෙල්ලප්පා ලේකම් ධූරයට පත් වූයේය.

මෙම කමිටුවේ උත්සාහය මත 1934 අගෝස්තු 1 වනදා යාපනය රෝහල පාරේ විදුලි බලස්ථානය ඉදිරි පිට කුලියට ගත් කුඩා කාමරයක පුස්තකාලයක් විවෘත කෙරිණි. ආරම්භයේදී මෙම පුස්තකාලයෙහි තිබුණේ පොත් 844ක් හා පුවත්පත් සඟරා 30ක පමණ ප්‍රමාණයක් වුවත් දැනුම පිපාසයෙන් පෙලුණු සියලුම තරුණ හා මහළු නගරවාසීන්ගේ අනුග්‍රහය මෙයට ලැබුණි.

පුස්තකාලයේ පොත් සංඛ්‍යාව වැඩිවත්ම වැඩි ඉඩකඩක අවශ්‍යතාවය මතු වූයෙන් 1935 ජනවාරියේදී යාපනය ප්‍රධාන වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක් කරා එය ගෙනයන ලදී. 1936 වර්තමාන නගර සභා ගොඩනැගිල්ල හා නගර ශාලාව ඉදිවිය. (පසුව එය පොළවටම සමතලා කෙරුණි ) පුස්තකාලය ඒ අසල පිහිටි ගොඩනැගිල්ලක් වෙත මාරු කෙරිණි.

රු. 3ක් වන සාමාජික ගාස්තුවකට පොත් බැහැර දීම ආරම්භ විය. පුස්තකාලයේ ජනප්‍රියත්වය කෙතරම්වීද යත් සියළු නවීන පහසුකම්වලින් යුත් ස්ථිර ගොඩනැගිල්ලක අවශ්‍යතාවය මතු විය.

නව පුස්තකාලයක් ගොඩනැගීම සඳහා අරමුදල් සපයා ගැනීම පිළිබඳව සෙවීමට යාපනයේ පළමු පුරපතිවරයා වූ සෑම් සබාපති ගේ ප්‍රධානත්වයෙන් සමුළුවක් පැවැත්වුණි. මේ සඳහා සැණකෙළියක් පැවැත්වීම, ඉන්දීය කලා ශිල්පීන් යොදාගෙන නැටුම් හා සංගීත සංදර්ශන පැවැත්වීම, ලොතරැයි විකිණීම වැනි දේ යෝජනා විය. සංවිධායකයන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වැඩි මුදලක් එක් රැස් විය. 1953දී පුස්තකාල කමිටුවක් පත්කරගැනුනි. ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටි ලෝං පියතුමාද මෙම කමිටුවේ සාමාජිකයෙකු විය. (ලෝං පියතුමා මියගියේ පුස්තකාලය ගිනිගත් බව ඇසීමෙන් හටගත් හෘදයාබාධයකින් බව මෙහිලා සඳහන්කළ යුතුය )

ලෝං පියතුමාගේ දායකත්වය මෙහි ලා කොතරම් වැදගත්වීද යත් මහජනතාව පුස්තකාලය ඉදිරිපිට එතුමන්ගේ පිළිරුවක් ඉදිකළහ. පුස්තකාලය ගොඩනැගීම සඳහා පුස්තකාල කමිටුව වෙතින් ආරාධනා ලැබූ විද්වතුන් අතර දිල්ලියේ සිටි පුස්තකාල විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ මහාචාර්ය එස්. ආර්. රංගනාදන් ද, එවකට මදුරාසි රජයේ සේවය කළ ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ විශේෂඥයකු වූ කේ. එස්. නරසිම්මන් ද වූහ.
අංග සම්පූර්ණ සැලැස්මක් නිර්මාණය කෙරුණු අතර ඉදිරි හා පසුපස කොටස් අදියර දෙකකට ඉදිකිරීමට යෝජනා විය. මුළු දිවයිනෙන්ම හා ඉන්දියාවේද සිට පැමිණි අධ්‍යාපනඥයින් හා සමාජ ක්‍රියාකාරින්ගේ සහභාගිත්වය ඇතිව 1953 මාර්තු 29 වනදා මුල්ගල් තැබුණි.

පළමු අදියරේ ඉදිකිරීම් අවසන්වී 1959 ඔක්තෝබර් 11 වනදා යාපනය නගරාධිපති වූ ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. 1967 නොවැම්බර් 3 දා ළමා අංශයක් විවෘත විය. ආසියා පදනම රු. 9500ක් වටිනා පොත් පරිත්‍යාග කලේය. එවකට එය විශාල මුදලකි.

1971 වසරේ දේශන, සම්මන්ත්‍රණ, සාහිත්‍ය හා සංස්කෘතික ක්‍රියාකාරකම් පැවැත්වීම සඳහා බිම් මහලේ ශ්‍රවණාගාරයක් විවෘත විය.

1981 ජූනි 1 වනදා ගිනි ඇවිලෙන විට සියවස් ගණනක් පැරණි වටිනා පොත් 97000ක්, පුස්කොළ පොත්, පුවත්පත් සඟරා ආදිය තිබුණි. මේ සියල්ල උන්මත්තක පිරිසක් අතින් ගිනිබත් විය. මිනිසාගේ විනාශකාරීබවේ ස්මාරකයක් ලෙස ගිනිගත් ගොඩනැගිල්ල අළුත්වැඩියා නොකොට එසේම පවතින්නට ඉඩහැරුණි.

1981 දී යාපනය නගර සභාව මෙය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉංජිනේරුවන්ගෙන් අදහස් විමසා සිටියේය. ගොඩනැගිල්ලේ ශක්තිය ගැන විශ්වාසයක් නොතිබූ නිසා ඉංජිනේරුවරු එම අදහසට එරෙහි වූහ. ඉන්පසු නගර සභාව තීරණය කලේ දෙවන අදියරේ ඉදිකිරීම් ඇරඹීමටය.

පළමු අදියරේ වූ ද්‍රවිඩ ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ එලෙසින්ම පවත්වා ගැනීමට තීරණය විය. ඇස්තමේන්තුගත වියදම රු. මිලියන 11ක් පමණ විය. අරමුදල් රැස්කිරීමේ හා පොත් එකතු කිරීමේ ව්‍යාපාරයක් කොළඹදී පැවැත්වීමට නගර සභාව තීරණය කලේය.

මේ සඳහා පත්කෙරුනු කමිටුව 1982 මැයි 15-21 දක්වා "යාපනය මහජන පුස්තකාල සතිය" හා මැයි 21 කොඩි දිනයක්ද පැවැත්වීමට තීරණය කළහ. ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය විසින් මේ සඳහා දැවැන්ත ප්‍රචාරයක් ලබාදෙන ලදී. පළමු දිනයේ පැයක් ඇතුලත රු. 90,000ක මුදලක් එකතු විය. ව්‍යාපාරිකයන්, සමාජ සේවා සංවිධාන, ආගමික සංවිධාන, මහජන නියෝජිතයන් පැමිණ දහස් ගණන් වටිනා මුදල් හා පොත් පරිත්‍යාග කළහ.

මුළු සතිය පුරාවටම වන්දනා ගමනක් යන බැතිමතුන් පිරිසක් සේ ජාති, කුල, ආගම් භේද වලින් තොරව සරස්වති ශාලාවට රැස්වූ ජනයා මෙම දැනුමේ නිවහන යලි ගොඩනැගීමට තමන් සතු දේ පරිත්‍යාග කළහ. එක් රැස් වූ පොත් දහස් ගණනක් යාපනයට යැවුණි.

එකතු වූ අරමුදල් යොදාගෙන දෙවන අදියරේ ඉදිකිරීම් 1982 ජූනි මාසයේ ආරම්භ විය. 1983 ජූනි මාසයේ ගොඩනැගිල්ල සාදා නිමවීමට ආසන්නවත්ම දෙවැනි අභාග්‍යය සිදුවිය. යුද්ධය ආරම්භ වූ අතර ගොඩනැගිල්ලට දරුණු වෙඩි උණ්ඩ, ෂෙල් හා බෝම්බ ප්‍රහාර එල්ල විය. අද වන විට එහි ඉතිරිව ඇත්තේ ෂෙල් හා වෙඩි උණ්ඩ වලින් සෑදුනු සිදුරු සහිත සැකිල්ලකුත්, පිළිස්සී ගිය පොත් වලින් නැගුණු දුම් වලින් කළු ගැසුණු බිත්තිත් පමණි. දැවී හළු වී ගිය වටිනා පුස්කොළ පොත් හා අනෙකුත් පොත් නැවත ලබාදිය හැකි අයෙක් සිටීද....?