ස්ටීවන් - දිරිය දරුවකුගේ කතාව

| සුනන්ද දේශප්‍රිය

එංගලන්තයේ බ(ර්)න්ට්වුඩ් නම් නගරයක 1994 දෙසැම්බරයේ  උපද ලද ස්ටීවන් (Stephen Sutton) 2014 මැයි මාසයේ නෙත් පියා ගත්තේ ය. ස්ටීවන් පාසැල් සමයේ වෙහෙසකර ක්‍රීඩාවන්ට මහත් කමක් දැක් වූ අතර වෛද්‍යවරයකු වීමට සරසවියට ඇතුල්වීමට සූදානමින් සිටියේ ය. එනමුත් ඔහු ජීවත් වීමට වාසානාව තිබුණේ  වසර 19ක් පමණි. ඉන් අවසාන වසර හතර ඔහු ජීවත්  වුයේ  මාරක පිළිකාවක් සමග සටන් කරමිනි.

 

වෙද්‍යවරුන් විසින් මුලදී  කරන ලද අපරීක්ෂාකාරී වැරදි රෝග විනිශ්චයන් නිසා ඔහුගේ පිළිකාව සොයා ගැනීම කල් ගියේ ය. සමහර විට නිසි කළ සොයා ගන්නා ලද්දේ නම් ඔහුගේ ජීවිත ඉරණම වෙනස් වන්නට තිබුණි‍.  ඒ බව හොදා කාරව ම දැන සිටි නමුත් ස්ටීවන් ඒ සම්බන්ධයෙන් කිසිදු තරහක් පෙන්වුයේ නැත. '' අතීතයේ ජීවත්වෙලා මොනව කරන්න ද? මං කැමැති ඉස්සරහ ගැන බලන්න" යැයි ඔහු කීවේ උපේක්ෂා සහගතව ය‍.

 

ඔහු ජීවිතයට ආකල්ප ම ය වෙනසක් ඇති කර ගත‍්තේ ය.

එමගින් ගොඩ නඟාගත්  සිය ජීවිත අධිශ්ඨානය මගින් ස්ටීවන් පිළිකාව පරාජය කරන්නට සමත් විය. ඒ ජීවිත කාලය දිගු කර ගැනීමට වාසනාව ලැබීමෙන් නොවේ. ජීවත් වන කාලයෙහි අරමුණක් ඇතිව ජීවත්වීම විසිනි. අපි සෑම දෙනෙකු ම වාගේ ජීවිතයේ යම් යම් අවස්ථාවන්හි දී  දුෂ්කර සමයන්ට මුහුණ දෙමු. සිරුර අඩපන කැරෙන කායික පිළිකා නැතත් මනස ද එමගින් ජීවිතය ද අඩපන කැරෙන සමාජ පිළිකා අප අවට සුලභ ය. ස්ටීවන් වනාහි එවැනි දුෂ්කර සමයකට ආලෝකයක් ගෙනෙන උදා තරුවක් වැන්න.

 

මුහුණ දීමට සිදු වූ සිත් කළඹන රෝගී තත්ත්වය හමූයේ ඔහු ජීවිතට අලුත් අරුතක් සොයා ගත්තේ ය. දිනෙන් දින ඉතා ඉක්මනින්  සිය අවසාන හුස්ම පොද ළඟා වන බව දැනගත් වහාම ඔහු මුහුණු පොතේ සිය පිටුවෙහි කරන්නට හිතු මානාප 47ක ලැයිස්තුවක් පළ කළේ  ය. ඒ 2013 දී ය. සිය මරණයට පෙර එම ලැයිස්තුවෙන් හැකි තාක් දේ මුදුන් පමුණුවා ගැනීම සිය අරමුණ ලෙස ද එහි සටහන් කළේ ය. මෙම ලැයිස්තුව  විනෝදයේ  සහ පරෝපකාරයේ සංකලනයක් විය. ඔහුට දෙකම එක්ක වූවා වැන්න.  පොතක් ලිවීම, ජනප්‍රිය පාපන්දු තරඟයක් බැලීමට යෑම, මහ සෙනඟක් අභිමුව බෙර වැයුමක යෙදීම,  අලියකු සිප ගැනීම, කොල්ලන්ගේ විනෝද ගමනකට යැම, මහ පිරිසක කරපිටින් සර්ප් කිරීම, ජනප්‍රිය ප්‍රහසන නළුවකු මුණ ගැසීම යනාදී විනෝද ජනක දෑ ද එහි විය.

 

මෙම ලැයිස්තුවෙන් ස්ටීවන්ට මුදුන් පමුනුවා ගැනීමට නොහැකි වූයේ කරුණු 17ත් පමණි.  ඒ අතර ඕස්ට්‍රේලියාවේ සංචාරයකට යෑම, බ්‍රසීලයේ සැණ කෙළියකට යෑම, පේරු රටේ පුරාණ නටඹුන් බැලීමට යාම යනාදිය ද වේ.

 

සිය පිළිකාව පිළිබඳව දැන ගැනීමෙන් පසු ස්ටීවන් එංගලන්තයේ යෞවන පිළිකා භාරය (ටීනේජ් කැන්සර් ට්‍රස්ට්) සමඟ කටයුතු කිරීමට පටන් ගෙන තිබුණි. ඔහුගේ හිතුමානාප ලැයිස්තුවේ එවැනි සමාජ සේවා ව්‍යායාමයන්ට ආධාර පිණිස කැරෙන ක්‍රියා ගණනාවක් ද විය.  අහසේ සිට (අඩි 15,000) සමාජ සේවා ආධාරක පිම්මක් පැනීම, සමාජ සේවා රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කිරීම, සමාජ සේවාට සහාය පිණිස හිස බූ ගෑම, යෞවන පිළිකා භාරයට පවුම් මිලියනයක් එකතු කර දීම යනාදිය ඒ අතර විය.

 

ස්ටීවන් පවුම් මිලයනයේ ඉලක්කය පසු කරා පමණක් නොව එය පවුම් මිලියන තුනක් කරා ඉහළ නැංවූයේ ය. සිය ජීවිතය පිළිබඳ එතරම් අවිනිශ්චිත තත්ත්වයක සිටිමින් යෞවන ජීවිත බේරා ගැනීම පිණිස මේසා අරමුදලක් ගොඩ නැගූ අන් අයකු ගැන අසන්නට නැත.  ඔහුගේ මරණයෙන් පසු මේ වන විට එම අරමුදල පවුම් මිලියන හතරහමාරක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

රෝහල් ගත වූ සෑම අවස්ථාවක දී ම ස්ටීවන් සිය මුහුණු පොතෙහි සිය රෝගී තත්ත්වය සහ ජීවතය සතුටින් ගත කිරීම ගැන සටහන් කළේ ය. එවැනි එක් අවස්ථාවක ඔහු මෙවැනි සටහනක් තැබුවේ ය.

 

''මේ මගේ අවසන් මහපටඟිළි ජය ළකුණයි. මේ තාක් මං සාර්තකව මුහුණ දුන්න, ඒත් දැන් පේන විදිහට අවාසනාවකට වගේ මේ කඩුල්ල පනින්න බැරි වෙන පාටයි.

 

මේ තරං ඉක්මණට අවසානය ආපු එක ලැජ්ජාවක්. කොච්චර දෙනෙක් ඉන්නව ද මට හරියට මුණු ගැහිල ස්තුති යි කියන්න බැරි වුන, ආයුබෝවන් කියන්න බැරි වුන.. ඒකට සමාවෙන්න..

 

ඊළගට මොනව වුනත් මං එක දෙයක් කියන්න ඕනෙ.  මං ඉන්නේ හොදින්. මං එලඹෙන තත්ත්වයට සාමකාමීව මහුණ දෙනව. මෙච්චරයි.  ජීවිතය හොඳට ගෙවුණ. හරිම හොඳට."

 

එංගලන්තයේ ජනප්‍රිය ප්‍රහසන නළුවකු වන ජේසන් මෑන්පොඩ් ස්ටිවන්ගේ සමාජ සේවා ව්‍යායාමයේ ප්‍රබලයකු බවට පත්ව සිටියේ ය. ස්ටීවන්ගේ මරණයෙන් පසු ඔහු මේසේ කිවේ ය. '' වසය 19දී මැරෙන්න යනව කියළ දැන ගත්තොත් අප හුඟ දෙනෙක් කම්පා වේවි. ස්ටීවන්ගේ වෙනස ඒකයි. සිය ජීවිතයේ අඳුරුම පැයේදිත් ඔහු  යෞවනයින් වෙනුවෙන් දශ ලක්ෂ ගණනින් මුදල් එකතු කරන්න කැප වෙලා හිටිය. ඔහු කළ දේ අප කාටවත් කරන්න බැහැ. කරන්න තියා හිතන්නවත් බැහැ. මේ දිරිමත් තරුණ මිනිසා ගැන ඔහුගේ පවුලටත්, බ(ර්)න්ට්වුට් නගරයටත් මානව සංහතියටමත් ආඩම්බර වෙන්න පුළුවන්.  ඔහුගේ සමහර වචන සදා කාලයම ජීවත් වේවි. ඔහු කියන්න පුරුදු වෙලා හිටිය ' ජීවිතය මැනෙන්නේ කාලයෙන් නොවෙයි, මුදුන් පමුණුවා ගැනීම් මගින් කියළ"

 

ඔහුගේ හිතුමනාප ලැයිස්තුවේ වූ නගරයේ ගායක කණ්ඩායම සමඟ සමාජ සේවා ආධාරක ගීයක් ගැයීම යන්න ඔහුට ඉටු කර ගැනීම බැරි විය. එසේ නමුත් ඔහුගේ මරණයෙන් පසු සංගීතවේදීන් 40 දෙනෙකු එක්ව ස්ටීවන් වෙනුවෙන්  නිර්මානය ගීය වහාම එංගලන්තයේ ජනප්‍රිය දෙවැනි ගීය බවට පැමුණිනි.

2014 ජනාවරි මාසයේ දී ඔහුගේ හිතුමානාප ලැයිස්තුවේ එක් අංකයක් වූ විශාල පිරිසක් හමුයේ කතාවක් පැවැත්වීමට ඔහුට අවස්ථාව ලැබුනි. හරදිහසක් දෙනෙකු හමුවේ සිය අදහස් කියා පෑමට ඔහුට විනාඩි 15කි ලැබුනි. එහිදී ස්ටීවන් දැක්වු අදහස් ජීවිතයක අරුත පිළිබඳ ඔහුගේ දැක්ම සටහන් කිරීමක් විය. ඒ වන විට සිය ජීවිතය ඉකමන් අවසානයක් කරා ගමන් කරමින් සිටින බව ඔහු දැන සිටියේ ය. ඔහු මෙවැනි අදහස් ගොන්නක්  එහිදී  බෙදා ගත්තේ ය.
'' මා මෙහි ඉන්නේ සිනහ සෙමින්. ඊට හේතුව මා ලබන සහයෝගය යි. පහුගිය කාලයේ මං ඉගෙනගත් දෙයක් තමයි, පුළුවන් තරම් සාධනීය වෙන්න. ඒ වගේම මං ඉගෙන ගත්තා සාධනීය ආකල්ප විසින් සාධනීය ප්‍රතිඵල ලබා දෙන බව. ඒ වගේම මං ඉගෙන ගත්තා මං ගැන දුක් නොවෙන්න. ඔබ කිසිවෙක් මං ගැන දුක් වෙන්නත් එපා. අවාසනාවකට වගේ මගේ රෝගය සුව කළ නොහැකි තත්වයකයි මං ඉන්නේ. මං දන්නෙ නැහැ මට කොච්චර කාලයක් තියෙනව ද කියළ ජීවත් වෙන්න.

'' ඒත් මං ඒ ගැන වෛද්‍යවරුන්ගෙන් අහන්නේ නැහැ. මොක ද දන්නවද ? මං තවදුරටත් ජීවිතය මනින්නේ කාලයෙන් නොවෙයි. මං ඇත්තට ම කැමැතියි ජීවිතය මනින්න දිනා ගැනීම් වලින්, නැත්නම් අප සාර්ථක කර ගන්නා දේ වලින්.  ඊටත් වඩා මං කැමැතියි වෙනසක් ඇති කිරීම කියන අර්ථයෙන් ජිවිතය මනින්න, ඒක වඩා වටිනවා, වඩා ප්‍රායෝගික යි.  මං මෙහි ආවේ එවැනි ජීවිත දැක්මක් ඇති කරගන්න කියලා ඔබ හැම දිරිමත් කරන්නයි. පසුගිය අවුරුද්දේ මං කල එක් දෙයක් තමයි ස්ටීවන්ගේ කතාව කියා මුහුණු පො‍තේ පිටුවක් ඇරීම. මං එහි දැම්මා මං කරන්න හිතු මනාප කරුණු 47ක ලැයිස්තුවක්. 

බලන්න, මට කතා කරන්න තියෙන්නෙ විනාඩි 15යි නෙ. ඒත් බලන්න එක් අවුරුද්දක් ඇතුළෙ මං කරපු හරිය. එක්තරා විදිහකට මං පිළිකා රෝගියෙක් නිසාම නොවෙයි, අප කාට වුනත් යමක් දිනා ගන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් වැඩ කරන්නයි ඕනෙ. ජිවිතය තියෙන්නේ ජීවත් වෙන්න. 

මං තේරුම් ගත් තවත් දෙයක් තමයි  තමන්ට උදව්වක් කර ගන්න හොදම විදිය අනුන්ට උදව් කරන එක කියල. මං ගෙරට වෙලා දුක් වෙවී ඉන්‍නෙ නැතුව ඔබත් එක්ක මගේ කතාව බෙදා ගන්නේ ඇයි? මගේ  පිළිකාව මුලින් සොයා ගත්තහ ම ඒක හොඳ දෙයක් වුනා. මට ලොකු උද්වේගයක් ඇති වුණා දේවල් කරන්න. ජිවිතේ විදින්න.  නමුත් පස්සේ කරපු රෝග විනිශ්චයන් මට එතරම් කාලයක් නැති බව පෙන්නල දුන්න. දැන් ම‍ට දැවැන්ත උද්වේගයක් තියෙනව ඒත් එතරම් කාලයක් නැහැ. 

බලන්න ඔබ දිහා. ඔබට ලෝකයේ ඇති තරම් කාලය තියෙනව, ඔබට ම වගේ ම අනෙක් අයටත් වෙනසක් ඇති කරන්න. ඒත් වෙලාවකට ඔබට උද්වේගය නැති වෙන්න පුළුවන්. ඇත්ත, ඔබට ඔබේ ජීවිත කාලයෙන් කොටසක් මට දෙන්න බැහැ මට තව කාලයක් ජීවත් වෙන්න.  ඒත් දන්නව ද මට කළ හැකි දේ. මට පුළුවන් මගේ උද්වේගයෙන් කොටසක් ඔබට දෙන්න ජිවිතයේ යමක් දිනා ගන්න, එලියට බැහැලා වෙනත් අයට උදව් කරන්න, වගේම එලියට බැහැලා ජීවිතය විදින්න. මං අන්තිමට  ආයෙත් කියන්නේ 'කරන්න යහපත් වෙනසක්'  කියළයි. ඒක තමයි කළ යුතු දේ."

යහපත් වෙනසක් ඇති කරමු. එය තමයි කළ යුතු දේ.