දැනුම යනු තොරතුරු නොව ප්‍රඥාවයි

| පරිවර්තනය : ජෝ.සෙනෙවිරත්න
උපුටා ගැනීම : දිවයින

"කැලඹුණ මනසක්‌ කොහොමද මාර්ගය අවබෝධ කරගන්නේ?" කැලඹුණ මනසක්‌ කිසිම දෙයක්‌ අවබෝධ කරගන්නේ නැහැ. ඒක අවබෝධයට හැකියාවක්‌ තිබෙන තත්ත්වයක්‌ නෙවෙයි. අවබෝධය යනු කිසිසේත් දැනුම නෙවෙයි. ඔබට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. මහාචාර්යවරු දකින්න පුළුවන්. ඉතාමත් දැනුම ඇති අය නමුත් ඔවුන් ඔබට වඩා කරදරයට පත්වයි සිටින්නේ, ඔබටත් වඩා ඇතුළාන්ත ගැටුමක්‌ තුළයි ඔවුන් ඉන්නේ. ඔවුන්ගේ දැනුම කොහොමටවත් ඒ ගැන උපකාරයක්‌ වෙලා නැහැ. දැනුම කාටවත්ම උපකාරයක්‌ වෙලා නැහැ. එය බරක්‌ වුණා පමණයි. එය ඔබට ගෞරවයක්‌ හිමිකර දෙනවා. සත්තකින්ම ඒක විශාල මමත්ව ගමනක්‌, මමත්වයට දැනෙන්නේ බොහොම පිම්බුණ හැඟීමක්‌, නමුත් මමත්වය පිම්බෙන තරමට ඔබ ඇතුළාන්තයෙන් වඩාත් කරදරයකට පත්වෙනවා. මමත්වය ව්‍යාජ ප්‍රපංචයක්‌ වන නිසා. ඔබ පමණටත් වඩා ව්‍යාජයට ඇලී ගැලුණොත්, ඔබට යථාර්ථය සමග සම්බන්ධය ගිලිහෙනවා. ඔබ ව්‍යාජය තුළ මුල් බැසගන්න පටන් ගනිද්දී, ඔබට යථාර්ථය තුළ මුල් බැස ගන්න අමතක වෙනවා.

දැනුමෙන් සපිරි මිනිසා ඔබ වගේම අවිඤාණක කෙනෙක්‌. දැනුම ඇත්තා සහ නොදන්නා ඇත්තා වෙන වෙනම බෝට්‌ටුවල සිටින අය නෙවෙයි. ඔවුන් ගමන් සගයෝ. ඔවුන් අතර වෙනස තොරතුරු වලින් පමණයි. එය කොහොමටවත් වෙනස්‌කම් නෙවෙයි. ඒ වෙනස්‌කම කිසිම වෙනස්‌කමක්‌ ඇති කරන්නේ නැහැ. මම දන්නේ බොහොම කීපයක්‌ පමණක්‌ විය හැකි, ඔබ තවත් කිහිපයක්‌ වඩා දන්නවා ඇති, වෙනත් යම් කෙනෙක්‌ දහසකුත් එකක්‌ දේවල් දන්නවා ඇති, තවත් යම් තැනැත්තෙක්‌ ඇවිදින "විශ්වකෝෂයක්‌" වෙන්න ඇති. ඒවා කොහොමටවත් වෙනසක්‌ ඇති කරන්නේ නැහැ.

බුද්ධ කෙනෙක්‌ දැනුමේ මිනිසෙක්‌ නෙවෙයි, ඔහු අවබෝධයේ මිනිසෙක්‌. ඔහු තොරතුරුවලින් පිරී සිටින කෙනෙක්‌ නෙවෙයි, නමුත් පිරුණ අන්තර් ඥානයක්‌ ඇත්තෙක්‌, දැක්‌මකින් පිරී ගිය කෙනෙක්‌, සිතිවිලිවලින් පිරී ගිය කෙනෙක්‌ නෙවෙයි. සුපැහැදිලිභාවයක්‌, කැඩපතක බඳු පැහැදිලි බවක්‌ සහ මහා දැනුවත්භාවයක්‌.

ඔබ ගමන් කරන සොමනම්බුලිස්‌ට්‌ කෙනෙක්‌. නින්දෙන් ඇවිදිනෙක්‌ වගෙයි. ඔබ කරන්නේ මොනවාදැයි ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ. ඔබ ඇයි කරන්නේ කියලා. ඔබ යන්නේ කොතැනකදැයි ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ ඔබ ඇයි එහි යන්නේ කියලා. ඔබේ ජිවිතය අහම්බයක්‌. අහම්බ ජීවිතය අවිඥානකයි. ඒක හරියට රොබෝවක්‌ වගේ.

තම බිරිඳ සමග නාට්‍ය ශාලාවේ සිටි මිනිසෙක්‌ විරාමයේ දී වැසිකිළියට ගියා. නමුත් ගියේ වැරදි දොරටුවකින්, ඔහු තමන් උයනක සිටින බව දකිනවා. ඉතා හොඳින් නඩත්තු කර තිබෙන බව පෙනෙන්නට ඇති මල් පාත්ති අතර එක පෝච්චියක්‌ ඉවත් කර ඔහු තම කාරිය නිමවා, එතැනට නැවතත් මල් පෝච්චිය තැබුවා.

ඔහු ආපසු ශාලාවට ගියවිට ඊළඟ දර්ශනය ආරම්භ වී ඇති බව දුටුවා. මේ දර්ශනයෙ මොනව ද මෙතෙක්‌ සිදු වුණේ?" ඔහු තම බිරිඳගෙන් කෙඳිරිලි හඬින් විමසුවා.

ඔබ දැනගන්නම ඕනේ ද? ඇය සෙමින් කීවා "ඔබත් ඒකේ හිටියා."

මිනිසා ඉන්නේ අවිඥානකව ඔහු දැනුවත් නැහැ. කොහොමටවත් ඒ ගැන දැනුවත් නැහැ. ඔබට ඕනෑ ම තැනැත්තෙක්‌ දෙස විපරමින් බලන්න පුළුවන්. ඔබට තමන් දිහා වුණත් විපරමින් බලන්න පුළුවන්, සෙමින් සෙමින්, එවිට ඔබට ම පෙනේවි කොයිතරම් අවිඥානක ක්‍රියා ඔබ අතින් සිදුවෙනවාද ඔබට ම පුදුම හිතේවි මේ තරම් කල් කොහොම ජීවත් වුණා ද කියලා මේ විදිහට ඔබ බොරු කියනවා. හේතුවක්‌ රහිතව, ඔබ බොරු කියන බව ඇස්‌පනාපිට ම පෙනෙද්දී ඔබට ම පුදුම හිතේවි. මොකට ඔබ බොරු කියන්නද? ඒකට හේතුවක්‌ නැහැ. ඔබ එයින් කිසිම දෙයක්‌ අත්කර ගන්නෙත් නැහැ. හුදු පුරුද්දට, හුදෙක්‌ යාන්ත්‍රික නිත්‍ය ක්‍රියාවක්‌. ඔබ කනගාටු වෙනවා කිසිම හේතුවක්‌ නැතිව.

දැන් පර්යේෂකයෝ කිහිප දෙනෙක්‌ කියනවා. ඔබේ මනෝභාවයන් ගැන කැලැන්ඩරයක්‌ හදන්න පුළුවන් කියලා. මම හිතන්නේ මේ පර්යේෂණය වැදගත්. ඔබට තමන්ගේ මනෝභාවයන් ගැන ඇත්තෙන්ම කැලැන්ඩරයක්‌ හදාගන්න පුළුවන්, හුදෙක්‌ මාසයක කාලයක්‌ පුරා සටහන් තැබීම කරගෙන යන්න. සඳුදා උදේ කොහොමද රාත්‍රී කාලයේ කොහොමද කියලා. හුදු අට පාරක්‌ දවසකට සෑම දවසකම හරියටම නිශ්චිත වෙලාවකට ඔබට හැඟෙන්නේ කොහොමද කියලා සටහන් තැබීමේ යෙදෙන්න. සති තුනකින් හතරකින් ඔබට පුදුම හිතේවි. සෑම සඳුදාවකම එකම වෙලාවකම ඇති වුණ මනෝභාවයන් සමාන වීම ගැන.

දැන් මේක මෙහෙම වෙන්නේ නැහැ. මොනවා හරි බාහිර තත්ත්වයක්‌ නිසා, සෑම සඳුදාවක්‌ ම වෙන ම දවසක්‌ ඒක ඇතුළාන්තයේ යමක්‌ වෙන්නට ඕනේ ඔබට පිටතදී නොයෙක්‌ නිදහසට කාරණා සොයාගන්න පුළුවන් වේවි, කිසිම කෙනෙකුට වගකීම ගන්න ඕනේ නැහැ. තමන්ගේ දුකට අවාසනාවට. එයට වෙනත් යමෙක්‌ වගකීම භාරගන්නකු සිටින බව හිතීම සැනසීමක්‌. ඔබට ඒ සඳහා නිදහසට කාරණා සොයා ගන්න හැකි වෙනවා. එහෙම දෙයක්‌ එතැන නැතිනම් එවැන්නක්‌ සොයාගන්න ඔබට පුළුවන්.

එතැනයි මිනිස්‌සු ඉතාමත් නිර්මාණාත්මක වෙලා තියෙන්නේ. ඇත්තෙන්ම, ඔවුන් සියලු නිර්මාණාත්මක හැකියාවන් සමන්විත වෙන්නේ නිදහසට කාරණා නිර්මාණයේදී මම ඇයි දුකෙන්?" ඔබට ඒ ගැන දහසකුත් එකක්‌ නිදහසට හේතු සොයාගන්න පුළුවන්. බිරිඳ මෙහෙම කීවා, ළමයි හරිහැටි හැසිරෙන්නේ නැහැ. අසල්වාසීන් සහ කාර්යාලයේ ලොක්‌කා සහ පාරේ වාහන තදබදය, බඩු මිල අහස උසට නැගීම, ඔබට දහසකුත් එකක්‌ හේතු සොයාගන්න පුළුවන්. ඒවා ඕනෑතරම් තිබෙනවා. ඔබට පුළුවන් මුළු ලෝකයම ඉතාමත් සෝකබරිතව, අඳුරුව වර්ණ ගන්වන්න, ඊළඟට පුළුවන් සැහැල්ලුව හිතන්න ඔබ දුකෙන් සිටීම තමන්ගේ වගකීමක්‌ නොවෙයි කියලා.

නමුත් එම ලෝකයෙම, අඟහරුවාදා උදයේ ඔබට හැඟෙනවා බොහොම උද්යෝගයක්‌, ප්‍රීතියක්‌. නැවතත් ඔබට නිදහසට හේතු සොයාගන්න පුළුවන්. මේක ලස්‌සන උදෑසනක්‌, හිරු ද කුරුල්ලෝ ද, ගස්‌ ද, අහස ද, සියල්ල ආලෝකයෙන් පිරිලා මොනතරම් ලස්‌සන උදයක්‌ද? සියලුම වර්ගවල මනෝභාවයන්ට හේතු ඔබට සොයා ගන්න පුළුවන්. නමුත් ඔබ දෛනික සටහනක්‌ තැබුවොත් සති හතරකට, අටකට, ඔබට පුදුමයෙන් පුදුමයට පත්වේවි, ඔබට සිදුවන සෑම දෙයක්‌ම මුළුමනින් ම පාහේ රදා පවතින්නේ ඔබ මතමයි. ඔබට තියෙනවා අභ්‍යන්තර රෝදයක්‌ නොකඩවා කැරකෙන, එකම ගරාදිය යළි යළිත් මුදුනට එමින් තිබෙනවා.

ඔව් පිටත අවස්‌ථාවන් ඇති වෙනවා. නමුත් ඒවා හේතු නෙවෙයි, උපරිම වශයෙන් ඒවා නිමිති. නිශ්චිත මනෝභාවයක්‌ හටගන්නවා නිශ්චිත වාතාවරණයක්‌ නිසා හටගත් නිමිත්තක්‌ හේතු කොට ගෙන. මේ වාතාවරණය නොතිබෙනවා නම්, එවිට වෙනත් යමක්‌ නිමිත්ත සාදන හේතුව විය හැකි නමුත් එය නිමිත්ත හා බැඳී තිබෙන්නක්‌.

හුදකලාව ජීවත් වූ අය මෙම කාරණය ගැන දැනුවත් බවට පත්ව තිබෙනවා. බුද්ධ තම අනුගාමිකයන් මේ හුදෙකලාවට පිටත් කර යවනවා. අලුත් සංඝයේ අපට පොළව යට ගල්ලෙන් තියේවි. එවිට මට පුළුවන් ඔබව මාසයක හුදකලාවට යවන්න.

පූර්ණ හුදකලාවට ඔබ ලෝකයෙන් අතුරුදන් වෙනවා. එවිට ඔබට කිසිම වාතාවරණයකට දොස්‌ තබන්න බැහැ පිටත තිබෙන. මොකද පිටත කිsසිම දෙයක්‌ නැති නිසා. ඔබයි බිංගෙයි බිත්ති විතරයි. ඔබට පුදුම හිතේවි එක දවසක ඔබ ප්‍රීතියෙන්, එක දවසක ඔබ අසතුටෙන්, එක දවසක ඔබට හරි කෑදරකමක්‌ දැනේවි, එක දවසක ඔබට හැඟෙන්නේ කේන්තියක්‌. කිසිම කෙනෙක්‌ නැහැ එතැන ඔබට අපහාස කරපු, ඔබව ප්‍රකෝප කරපු, එක දවසක ඔබ තමන්ටම බොරු කියාගන්නා හැටි ඔබට සොයාගත හැකිවේවි. මොකද ඔබට බොරු කියන්න වෙනත් කෙනෙක්‌ සොයාගත නොහැකි නිසා.

ඔබ ම බලන්න දවසකට ඔබ කී වරක්‌ බොරු කියනවාද කිසිම හේතුවක්‌ ඇත්තෙ ම නැතිව, කී වරක්‌ ඔබ කෝපයට පත්වෙනව ද, කිසිම හේතුවක්‌ නැතිව, එවිට ඔබට පෙනේවි ඔබ ඇතුළත ලෝකයක ජීවත් වන බව, ඔබේම වූ විෂයමූලික ළාමක ලොවක. අවබෝධය කියන්නේ ජීවිතයේ මේ ක්‍රියා කලාපය පිළිබඳ මූලික අවබෝධයයි. ඔබ මේ මූලික දේවල් අවබෝධ කරගන්නව නම්, පරිවර්තනය වීම දුෂ්කර නැහැ. ඇත්තෙන්ම අවබෝධ කර ගැනීම කියන්නෙමත් පරිවර්තනයටයි.

කැලඹුණ මනසක්‌ කොහොමද මග අවබෝධ කරගන්නේ ?" මිනිසා කැලඹීමට පත්වෙලා නම් ඔහු කවමදාක වත් දැනුමෙන් පිරී යන්නේ නැහැ."

දැනුම කියන වචනය, ඔබ එයින් අර්ථවත් කරන දෙය නෙවෙයි එහි අර්ථය. බුද්ධ දැනුම කියන වචනය උපයෝගී කරගද්දී, ඔහු එයින් අදහස්‌ කරන්නේ ප්‍රඥාව, තොරතුරු දත්ත නෙවෙයි. ඔහු එයින් අදහස්‌ කරන්නේ දැන ගැනීම විස¹ ගැනීම නොවෙයි.

මිනිසෙක්‌ කැලඹීමක නම්... ඔහු සිටින්නේ ගැටුමක. ඔහු ඉන්නේ ව්‍යාකූලතාවක, ඔහු ඇතුළතින් බෙදිලා, මිනිහෙක්‌ ඇතුළතින් සෙනගක්‌ නම් ඔහු කවමදාකවත් ප්‍රඥාවෙන් පිරී යන්නේ නැහැ.

ප්‍රඥාවට අවශ්‍යයි ඒකීය බවක්‌, ප්‍රඥාවට ඒකාග්‍රතාව අවශ්‍යයයි. ප්‍රඥාවට දැනුවත් භාවයේ සුපැහැදිලි බවක්‌ ඕනේ. විමසිලිමත් බව ඕනේ. ඔබේ ක්‍රියා, ඔබේ මනෝ භාවයන්, ඔබේ සිතිවිලි, ඔබේ චිත්තාවේග නිරීක්‍ෂණයේ පසුවෙන්න ඕනේ. ඔබේ ඇතුළාන්ත ලෝකයේ සිදුවන සියල්ලම දෙසා බලා සිටින්න ඕනේ. එය හුදෙක්‌ බලා සිටීම මගින්, ප්‍රාතිහාර්යයක්‌ සිදුවීම ඇරඹෙනවා. ඔබ බොරු කියන බව ඔබට පෙනෙනවා නම් කිසිම හේතුවක්‌ රහිතව, හුදු එම දැනුවත්භාවයම හුදු අවහිරයක්‌ බවට පත්වෙනවා. ඊළඟ වෙලාවකදී ඔබ බොරුවක්‌ කියන්න ආසන්නයටම පැමිණ සිටියදී, ඇතුළතින් එන හඬක්‌ ඔබට කියාවි බලාගෙන, ප්‍රවේසමින් ඔබ ආයෙත් ළං වෙමින් ඉන්නේ උගුලකට, ඊළඟ වතාවේ ඔබ දුකට වැටුණම ඔබේ ඇතුළාන්තයෙ යම් දෙයක්‌ ඔබට අනතුරු අඟවනවා, ඔබව සීරුවෙන් තබනවා.

නොකැළඹුණ මනසක්‌, තවදුරටත් හරි කුමක්‌ ද වැරදි කුමක්‌ දැයි සලකා බලන්න සොයන්නේ නැහැ. එය අතිශයින් ම වැදගත් සහ විප්ලවීය ප්‍රකාශයක්‌. බුද්ධ කියන්නේ, හරි කුමක්‌ද වැරදි කුමක්‌දැයි සලකන්න එපා. මොකද ඔබ හරි කුමක්‌ද වැරදි කුමක්‌ද යන්න සලකනවා නම් ඔබ බෙදුණු කෙනෙක්‌ වේවි. ඔබ කුහක වංචාකාරයෙක්‌ වේවි. ඔබ හරි බව අඟවා වැරදි දෙය කරාවි. හරි වැරදි කුමක්‌දැයි ඔබ සලකා බලනවා නම් ඔබ එවිට අනුයුක්‌ත කෙනෙක්‌ බවට පත් ව, එය සමග ඔබ අනන්‍ය වෙනවා. ඔබ සත්තකින් ම හරි යෑයි සලකන දෙය සමග අනන්‍ය වේවි.