චන්ද්‍රිකාට කඩේ යෑම

| නිලන්ත ඉලංගමුව

පිළිතුරු ලබා දීමට කාලය පැමිණ තිබේ. නමුත් මෙය හුදෙක් පිළිතුරක් නොවේ. මන්ද මුහුණ දීමට සිදුවන තත්වය විස්තර කළ හැකි වුණත් එය තේරුම් ගැනීම සඳහා මොළ ආනයනය කොට හිස් ඔලුකුහරවල තැන්පත් කළ නොහැකිය. සාමාන්‍යයෙන් යමක් විවේචනාත්මකව ලැබුණු මොහොතේම ඊට ප්‍රතිචාර දැක්වීම මෙම ලේඛකයාගේ පුරුද්ද වුවද, මෙම කාරණයේදී දින කිහිපයක් හිතා මතාම පසු කිරීමට කටයුතු කළේය. මන්ද ලංකාවේ බොහොමයක් දේශපාලනය ගැන කියවන සහ ලියන අයගේ සැබෑ ස්වභාවය හඳුනාගත හැක්කේ කාලයට ඉඩදීම මඟිනි. මොවුහු බොහෝ දෙනෙකුට ඇත්තේ පෞද්ගලික අමනාපකම් සහ අනෙකාගේ වයස වැනි පුද්ගලික කාරණා මිස ලියන දෑ නිවැරදිව තේරුම් ගෙන ඊට ප්‍රතිචාර දැක්වීමේ පුරුද්දක් නොවේ. මෙය බොහෝ තැන වල ඇති මනුෂ්‍ය ගතියකි. බොහෝ දෙනෙකු තම පෞද්ගලික අවුලේ පැටලී සිටිති.එම අවුල සාදාරනීකරණය කිරීම සඳහා හැකි උපරිම වෙහෙස දරති.  ඒ සඳහා කරුණු එකතු කරති.

මේවා සැබවින්ම අවිද්‍යාවේ ප්‍රතිඵලය. අනෙකාව උපහාසයට ලක් කිරීමට හෝ යටපත් කිරීමට හැකි ක්‍රමවේදය ගැන මිස රට තුළ තුළනාත්මක විවාදයක් ඇති කිරීමට බොහෝ දෙනෙකුට වුවනාවක් නැති සැටියෙකි.

ගෙවී ගිය දින කිහිපය තුළ ලැබුණු ප්‍රතිචාර සහ ඒවායේ අඩංගු කුණුහරප රටේ තත්වය සහ පීඩනෝන්මාදය, හීනබව, මුඩුබව මෙන්ම පැටලී සිටින අවුල මනාව විස්තර කරනු ලබයි. ඒ සියල්ලගෙන්ම පෙන්වා ඇත්තේ ඔබ කෙතරම් දුරට නියාලු සහ හිස් බවෙන් පෙලෙන්නේකද යන්න මිස වෙන කිසිවක් නොවේ. සැබවින්ම මෙම හිස් බව සහ නියාලු බව විෂයක යථාර්තය වසා දමන ආවරණය වේ. එම ආවරණය විවිධ පැහැයන් ගනු ලබන්නේ තමන් පුද්ගලිකව ලබන අත්දැකීම් අනුවය. රටේ සෑම අයෙක්ම දේශපාලනය ගැන කතා කිරීමට බොහෝ ඇලුම් කරති. ඒ හා සමගාමීවම, රටේ බොහෝ අයෙක් දේශපාලනය ගැන කතා කිරීම හිස් දෙයක් ලෙස කියමින් ප්‍රතික්‍ෂේප කරණු ලබයි. නමුත් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මුහුණ දිය යුතු යථාර්තයක් තිබේ. එනම් සමාජයක් ඉදිරියට හෝ පිටිපසය හෝ හරහට ඇදෙන විට එම ක්‍රියාවලීය තුළ සිදුවන යාන්ත්‍රණයේ ඍජු වගකිව යුත්තන් සහ අත්විඳින්නන් බවට සියල්ලෝම නිරායාසයෙන්ම පත් වී සිටිති.

රාජපක්ෂ හොරකම් කරන්නේය. ඔහු තම පෞද්ගලික ධනය වැඩි කරගෙන මීළඟ වසර කිහිපය තුළ අනෙකාව මර්ධනය කළ හැකි මාර්ගය සඳහා වූ කූඨ-උපාය දේශපාලනය ලෙස වෙස්ගන්වා සිදුකරණ විට, එම හොරකම මුල්‍යමය තැන්පතු ධනයක් ලෙස ඔහුගේ වරිගයට ලැබේ. ඒ හා සමගාමීවම රටේ සියල්ලෝම ණයකාරයින් බවට පත් වෙති. අනෙකාගේ පෞද්ගලික ධනය ගොඩ ගසා ගැනීම සඳහා තවකෙකු ණයකාරයකු වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම වැදගත් වේ. මෙම සන්දර්භය යටතේ අපි සියල්ලෝම දේශපාලනය ගැන කතා කරති. ඒ ගැන සිතීම සඳහා දැනුවත්ව හෝ නොදැනුවත්ව කාලය වියදම් කරති.

නමුත් මෙය වඩාත් ගැඹුරින් සිතීම සඳහා සෑම සමාජයක් විසින්ම වෙනම ප්‍රජාවක් බිහිකරනු ලබයි. බැලුබැල්මට ඒවා එම ප්‍රජාව එක් එක් පුද්ගලයාගේ හෝ කණ්ඩායම්වල උත්සහයේ සහ කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස පෙනේ. නමුත් එය සැබෑ සත්‍ය නොවේ. මන්ද මෙම කණ්ඩායම් මත ස්වාභාවිකවම බැඳුනු වගකීමක් තිබේ. මෙම වගකීම පුද්ගලයාට හෝ කණඩායමට ලැබෙන්නේ ඔහුට හිමි වරප්‍රසාද ඔස්සේය.  නමුත් ලංකාවේ බොහෝ විට පොදු කාරණය බවට පත් වී ඇත්තේ වරප්‍රසාද හිමි කොටස තම වගකීම් වලින් බැහැරට ගොස් එකී වරප්‍රසාද අවභාවිතයට ගැනීමයි. මෙය පුද්ගලයෙකුට හිමි පෞද්ගලික ගරුත්වය නැති වීම නිසා සමස්ථ රටකට සිදුවන ඛේදවාචකයකි. පුද්ගලික විමුක්තිය වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ මෙහිදීය. ඔබට අනෙකාගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිය නොහැකි නම් ඔබේ විමුක්තිය වෙනුවෙන් කිසිවෙක් පෙනී සිටින්නේ නැත.

ලංකාවේ මෙය සෑම විටම යටපත් වී ඇති කාරණයකි. ඒ වෙනුවට මෙහි කණපිට සිදුවේ. වගකීම වූ කලී වරප්‍රසාද ලැබෙන තෙක් සිදුකරණ  ව්‍යාජ රඟපෑමක් බවට පත් වී ඇත. මෙම විකෘතිය පළමුව විශ්ව  විද්‍යාල පද්ධතිය සහ ඒවායේ ඉහළ තලය නියෝජනය කළ “බුද්ධිමතුන්” නමැති කොටස විසින් ඇතිකළ අතිශය කණගාටුදායක කාරණයකි. ඉන්පසු එය ප්‍රසිද්ධ දේශපාලනයේ වෙන්දේසී වන බඩුවක් බවට පත් විය. මේ වන විට වගකීම් ගැන කතා කිරීම, එනම් වරප්‍රසාද ලත් ප්‍රජාවට හිමි වගකීම් ගැන කතා කිරීමම හාස්‍යක් බවට පත් වී තිබේ.

මෙම සන්දර්භය යටතේ චන්ද්‍රිකා පිළිබඳව මා ගෙන ආ අදහස තේරුම් ගැනීමට තබා ඒ ගැන නිවැරදිව සිතීමටවත් නොහැකි වීම පුදුමයක් නොවේ. එය ඔවුහු වෙලී සිටින මුලාව පිළිබඳව වන කාරණයකි. මෙය තනි පුද්ගලයෙකු පිළිබඳව වන ගැටලුවක් නොව සමස්ථ රට පිළිබඳව වන ගැටලුවකි. එම අදහස් විවේචනය කරන සියල්ලම පාහේ එක් පූර්ව නිගමනයක පිහිටා කටයුතු කරනු ලබයි. එසේම පසුගිය ලිපි දෙකේ කිසිම තැනක මාගේ පෞද්ගලික යෝජනාවක් හෝ ආසාවක් ලෙස චන්ද්‍රිකා පොදු අපේක්ෂිකාව කළ යුතු යැයි සඳහන් නොකිරීමට පරස්සම් වූ නමුත් එය පූර්ව නිගමනයක සිටින පුද්ගලයාගේ විඥානය පසාරූ කර ඇත්තේ චන්ද්‍රිකාට කඩේ යෑමක් ලෙසය. චන්ද්‍රිකා පොදු අපේක්ෂිකාවක් ලෙස නම් කිරීමක් ගැනය.

මෙහිදී වඩාත් පැහැදිලිව කිව යුතු කාරණයනම් මට දේශපාලන ස්වයං වින්දනයේ යෙදීමට කිසිඳු වුවනාවක් නැති බවයි. මන්ද මට කළ හැක්කේ ලිවීම පමණක් වන අතර දේශපාලනය හැසිරෙන්නේ වෙනම ප්‍රජාවකගේ පෞද්ගලික වුවමානා එපාකම් ඉලක්ක කොට ගත් තලයක් තුළ වූ කලී මාගේ මුල් අවබෝධයකි. මෙම යථාර්තය නොදැන චූං චෑන්ගේ භූමිකාව රඟපෑම ඕනෑම අයෙකුට වඩාත් පහසුවෙන් කළ හැකිය. කළයුත්තේ මුහුණු පොතේ ගිණුමක් තනා එහි බිත්තියේ යමක් ලියා අනෙකා සමඟ බෙදා ගැනීම පමණි. එසේ කළ නොහැකිනම් පොදු වැසිකිළියක තම දේශපාලන ආසාව ලියූ කැලෑපත්තරයක් ඇලවීමය. එය පසුගිය කාලය පුරාම අඩු වැඩි වශයෙන් රටේ සිදු වූ යථාර්තයකි. ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දුන් සම්පූර්ණ ඛේදවාචකය සඳහා බලපෑවේ මෙම කාරණයය. එසේම පොදු අපේක්‍ෂකයා  නමැති ව්‍යාජ දේශපාලන එකමුතුව ගමන්කරමින් ඇත්තේද මෙම දිශානතියටය.

රටේ සිදුවිය යුතුව ඇත්තේ කිසිවෙකු වෙනුවෙන් කඩේ යෑම පිළිබඳව වන කාරණයක් නොව සතුරාගේ සතුරා හඳුනා ගෙන එම සතුරා මිතුරා සමඟ එකතුකොට අව්‍යාජ වැඩපිළිවෙලට ගමන් කරන්නේ කෙසේද යන කාරණයය. රටේ “බුද්ධිමය ප්‍රජාව” බුද්ධිහීන දේශපාලන පන්දම්කාරයින් බවට පත් වී ඇත. මිලිටරිය දමා රටේ ඕනෑම පන්නයේ විරෝධයක් නැති කිරීම පිළිබඳ සථීර යාන්ත්‍රණයක් තනා ඇත. ශිෂ්‍ය ප්‍රජාව මත අනිසි බලපෑම එල්ල කරමින් ඔවුන්ගේ ජීවිත කඩාකප්පල් කොට විශ්ව විද්‍යාල භූමියේ තණකොළ පෝෂණයට ඔවුන්ගේ සාරය දිය කරමින් ඇත. මෙය නැති කිරීමටනම් පළමුව රාජපක්ෂ පරාජය කළ යුත්තේය. එසේම ඔහුව නීතිය ඉදිරියට ගෙන ආ හැකි ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් කොට එය ක්‍රියාත්මක කළ යුත්තේය. මෙය කළ හැක්කේ වෙන කිසිවෙකුට නොව රාජපක්ෂ ගැන ඉතාම හොඳින් දන්නා මෙන්ම රාජපක්ෂ ප්‍රසිද්ධියේ වෛර කළ පුද්ගලයාගේ දායකත්වයෙනි. මෙහි ඇත්තේ වලව් මානසිකත්වය පිළිබඳව වන ගැටලුවක් නොවේ. එවැනි මෝහ මායාවන් රටේ තීරණාත්මක දෑවලින් නැති වී බොහෝ කල් ඉකුත් වී ඇත. එය චන්ද්‍රිකා තම විවාහයේදීම ඔප්පු කළාය. සැබැවින්ම මෙවැනි කාරණා කතා කිරීමම තම තමන්ගේ පෞද්ගලික අවුල පිළිබඳව වන ප්‍රශ්නයකි. 

ඇතමෙකුට හොරගොල්ලේ වලව්ව තිත්ත වී ඇත. තවකෙකුට චන්ද්‍රිකා මළ කඳක් බවට පත් වී ඇත. තවත් අයෙකුට ඇය තවත් කෙනෙකු වී ඇත. චන්ද්‍රිකා මට වීරවරියක් හෝ මළ කඳක් හෝ වෙනයම් ස්ථානයක වැජඹෙන හෝ පචවෙන අයෙකු නොවේ. ඇය තවමත් රට තුළ කෙසේ වෙතත් ජාත්‍යන්තර වශයෙන් සක්‍රීයව කටයුතු කරන චරිතයකි. සැබැවින්ම ඇයට දේශීය දේශපාලනය හමුවේ ප්‍රභල එකමුතුවක් ඇති නොවන්නේනම් කිසිවක් කළ නොහැකිය. එය කළ හැකි නියම වැඩපිළිවෙල කුමක්ද යන්න, මංගල සමරවීර වඩාත් නිවැරදිව අවබෝධ කරගෙන ඇත්තේ නම් ඒ ගැන පුදුම විය යුතු නැත. අදාළ කාරණය ඇගේ ආසාවකට වඩා රටේ අවශ්‍යතාවයක් බවට පත් කරගැනීමේ සහ මෙහෙය වීමේ මොළය නොමැත්තේනම් එය රටේ අවාසනාව මිස වෙන කිසිවක් නොවේ.

සියල්ලෝම තේරුම් ගත යුතු යථාර්ථයක් තිබේ. ඒ පවතින වත්මන් පාලන ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙනි. එහිදී රාජපක්ෂට එරෙහි  කඳවුර ඉලක්ක කළ යුත්තේ රාජපක්‍ෂ වඩාත් බියක් දක්වන චරිත කෙරෙහිය. එම චරිත මියැදී අත්තේනම් පණදීම සහ ඒවා නිවැරදිව භාවිතා කිරීම, විපක්ෂයේ සහ ආණ්ඩුවේම සිටින රාජපක්ෂ විරෝධී  අයවලුන්ගේ බුද්ධිය පිළිබඳව වන කාරණයක් සහ වගකීමකි.

සොයන සත්‍ය ඇත්තේ එතැනමය. නමුත්, මෙය තේරුම් ගත හැක්කේ කීයෙන් කීදෙනාටද යන්න ගැටලුවකි.