ශ්‍රී ලංකාව : කාන්තාව මූලික වුණු පවුල් සංඛ්‍යාව ලක්ෂ 12ක්

| සමන්මලී ගුණසිංහ

අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය

අපිට මේ දිනවල අහන්න දකින්න ලැබෙනවා කිරිපිටි මිල පිළිබඳව සමාජයේ සහ දෙමව්පියෝ අතරේ කතාබහක්. මොන හේතුවක් නිසා හෝ රටේ ජනතාව කිරිපිටිවලට ඇබ්බැහි වෙලා තියෙනවා. එදිනෙදා ජීවිතයට කිරිපිටි අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා. 

2014 පෙබරවාරි වනවිට ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල මෙටි‍්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 5200ක් වෙලා තියෙනවා. ඒ මිල වැඩිවීමත් සමග ආණ්ඩුව කළේ කිරිපිටි කිලෝ ග‍්‍රෑම් එකක මිල රු.152කින් වැඩිකළ එකයි. දැන් සම්පූර්ණ මිල රු.962ක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. 2014 මැයි මාසේ 10වෙනිදා වනවිට ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 4900ක් දක්වාත් අද දිනය වනවිට ඩොලර් 4500ක් දක්වාත් ප‍්‍රමාණයකට මිල අඩුවෙලා තිබෙනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළාම අපේ රටේ වෙළඳ ඇමතිවරයා රටේ ජනතාවට විහිළු සපයනවා. තව මාසෙකින් දෙකකින් මිල අඩු කරනවා කියනවා. 

මේ වනවිට රටේ කිරිපිටි පරිභෝජනය මෙ.ටො. 8900ක් පමණ වෙනවා. දිනකට ඒ ප‍්‍රමාණය මෙ.ටො. 247ක් වෙනවා. එයින් වැඩි ප‍්‍රමාණයක් විශාල මුදලක් වැය කරමින් ආනයනය කරන්න සිදුවෙලා තිබෙනවා මේ ආණ්ඩුවට. විශාල විදේශ විණිමයක් කිරි පිටි වෙනුවෙන් අපේ රටෙන් ගලාගෙන යනවා. ඔබ දන්නවා අපේ රටේ ගැබිනි මව්වරුන්ට නැවුම් එළකිරි වීදුරුවක් දෙන්න පුළුවන්නම් ගැබිණි මවකට අවශ්‍යවන ප්‍රෝටීන්, විටමින් වැනි පෝෂ්‍ය කොටස් ලැබෙනවා. නැවුම් කිරි වීදුරුවක් තබා කිරිපිටිවලින් හෝ කිරි වීදුරුවක් බීමට ගැබිණි මාතෘවකට මේ පාලකයින් අවස්ථාව ලබාදීලා නැහැ. ඔබ දන්නවා රටේ ජනතාව මේ වනවිට ජීවත් වන්නේ ඉතාමත් අමාරුවෙන්. ආණ්ඩුව හැම භාණ්ඩයකටම විශාල ලෙස බදු එකතු කරලා සෑම භාණ්ඩයකම මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. 

අපි සංවිධානයක් විදියට ආණ්ඩුවට සහ වගකිවයුතු අයට කියන්නේ ලෝක වෙළඳපොලේ මිල වැඩිවෙන විගසින් අපේ රටේ කිරිපිටි මිල ඉහළ දමන ආකාරයටම ලෝක වෙළෙඳ පොලේ මිල පහළ යන විට රටේ ජනතාවට ඒ සහනය ලබා දෙන්න කියලයි. දැන් ආණ්ඩුව කරන්නේ ලෝක වෙළෙඳ පොලේ මිල අඩුවුණාම ජනතාවට ලැබෙන්න  ඕනෑ වාසිය කූට විදියට තමන්ට ලබාගන්න එකයි. ඒ වගේම අපි ආණ්ඩුවට බල කරනවා දරුවගේ කිරි වීදුරුවට නියම කරලා තියෙන අධික බද්ධ වහාම අඩු කරන්න කියලා. මොකද මේ වනවිට පෝෂණ ඌනතා නිසා ගැබිණි මව්වරුන්, දරුවන් විවිධ රෝගාබාධවලට ලක්වෙලා ඉන්නවා. ඒ අර්බුදවලට කිසිම වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැහැ.

අපේ රටේ කාන්තාව මූලික වුණු පවුල් සංඛ්‍යාව ලක්ෂ 12ක් පමණ වෙනවා. මෙම පවුල් සංඛ්‍යාවෙන් 80%ක් අවු. 40ට වැඩි කාන්තාවන් සිටින පවුල්. ඒ වගේම එම පවුල් සංඛ්‍යාවෙන් 54%ක් ඉතාම දුප්පත් මට්ටමේ ජීවත් වෙන්නේ. එවැනි පවුල් තමයි ආණ්ඩුවේ මෙම ආර්ථික පීඩාවෙන් වැඩියෙන්ම බැට කන්නේ. අද අපේ රටේ ජනතාවගේ වියදමෙන් වැඩි ප‍්‍රමාණයක් වෙන් වන්නේ ආහාර සඳහා. ඒ නිසා ජනතාවට ජීවිතය විඳින්න අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. ඉතාම සුළු මුදලකට පවා සොරකම් කරන්න, මිනී මරන්න සමාජයේ පුදගලයින් පෙළඹිලා ඉන්නේ මේ ආර්ථික අර්බුද නිසයි.

අපි ආණ්ඩුවට, වෙළෙඳ ඇමතිවරයාට, කිරිපිටි සමාගම්වලට බල කරලා කියනවා වහාම කිරිපිටිමිල අඩු කරලා ඒ සහනය රටේ ජනතාවට ලබාදෙන්න කියලා. එහෙම නැතිනම් අපි අයිතීන් උදෙසා කාන්තාවෝ විදියට රටේ ජනතාව එකතුකරගෙන පාරට බැහැලා කිරිපිටි මිල අඩු කිරීමට ආණ්ඩුවට බල කිරීමට සූදානම්.