දෙමළ ජාතික සන්ධානය සහ එල්.ටී.ටී.ඊ. ය සමාන කරන්න එපා

 උතුරේ මහ ඇමැති අපේක්‍ෂක විග්නේෂ්වරන්

මේ පළාතේ එක්‌ ලක්‍ෂ පනස්‌ දාහක්‌ විතර හමුදාව ඉන්නවා. ඔවුන් සිටින්නෙ ආයුධ සන්නද්ධව. කොයි හමුදාවක්‌ හරි ඉන්න තැන දේශපාලනය කරන්නවත් මිනිස්‌සුන්ට ජීවත් වෙන්නවත් බෑ. හමුදාව අපි ගැන ගොඩක්‌ සැකෙන් ඉන්නෙ. මිනිස්‌සු ගැනත් එහෙමයි. අපි රැස්‌වීමක්‌ තියන්න හදනකොටම හමුදාව එනවා ආයුධත් එක්‌ක. මේ අය එනකොට හැමෝම බයයි. ඔවුන් අපේක්‍ෂකයන්ට, මිනිස්‌සුන්ට තර්ජනය කරනවා. ඒක නිසයි අපි කියන්නෙ හමුදාව මේ පළාත්වලින් ඉවත් කරන්න කියලා.

මෙවර පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාත් සභාවේ බලය හිමිවන බව ප්‍රකාශ කරන උතුරේ මහ ඇමැති අපේක්‍ෂක සී. වී. විග්නේෂ්වරන් මහතා බලය ලැබුණු වහාම දෙමළ වැසියන්ගේ ප්‍රශ්න විස¹ගැනීම පිණිස රජයත් ජනාධිපතිවරයාත් සමග සාකච්ඡා කරන බවද පැවසීය.

යාපනයේදී විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ විග්නේෂ්වරන් මහතා දැක්‌වූ අදහස්‌ මෙසේය.

ප්‍රශ්නය - උතුරු පළාත් සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයට ලැබෙන බව ස්‌ථිර වශයෙන්ම ප්‍රකාශ කරන්නේ කොහොමද?
පිළිතුර - දෙමළ ජනතාවගේ ප්‍රශ්න විස¹ ගැනීමටත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමටත් එදා සිටම චෙල්වනායගම් වැනි අය උත්සාහ කළා. ඒත් ඒ සියල්ල අසාර්ථක වුණා. දෙමළ තරුණයන් අවි ආයුධ ගත්තෙත් මේ නිසාමයි. දැන් තවත් අවස්‌ථාවක්‌ ලැබිලා තියෙනවා. ඒ තමයි පළාත් සභා මැතිවරණය. ඉතින් දෙමළ ජනතාව දැඩි උනන්දුවෙන් සිටිනවා තමන්ගේ පළාත තුළ තමන්ගේ ඡන්ද බලයෙන් පළාත් සභාවක්‌ පිහිටුවා ගන්න.

ප්‍රශ්නය - පළාත් සභාවට බලය ලැබුණත් රටේ ආණ්‌ඩුවෙන් උතුරු පළාත් සභාවට බොහෝ දේ නොලැබෙන තත්ත්වයක්‌ දැනටමත් උදාවෙලා. මේකට මොකද කරන්නෙ?

පිළිතුර - අපි බලයට පත්වූ විගස ජනාධිපතිවරයාත් රජයත් එක්‌ක දිගින් දිගටම සාකච්ඡා කරනවා. උතුරු පළාතට ලැබිය යුතු දේවල් පිළිබඳව. මොකද දෙමළ ජනතාව කියන්නෙ මේ රටේම කොටසක්‌. ඔවුන්ට අමතු විදිහකට සැලකීමක්‌ අවශ්‍ය වන්නේ නෑ. මට විශ්වාසයක්‌ තියනවා මේ සියල්ල සාකච්ඡා කරලා විස¹ ගන්න පුළුවන් කියලා. මොකද ආණ්‌ඩුව බැඳිලා ඉන්නවා නීතියෙන්ම මේ පළාත්වල ප්‍රශ්න විසඳන්න.

ප්‍රශ්නය - දෙමළ ජාතික සන්ධානය බොහෝ අවස්‌ථාවල ජනාධිපතිවරයා සහ රජය පිළිබඳව සුබවාදීව කතා කරන්නේ නැහැ. ඒ වගේ පරිසරයක්‌ තුළ කොහොමද රජයත් ජනාධිපතිවරයත් සමග කටයුතු කරන්නෙ?


පිළිතුර - දකුණේ සිංහල ජනතාව සමග කටයුතු කරන්න පුළුවන් සිංහල ජනතාව සමග ඉපදුණු, හැදුණු වැඩුණු, සිංහල භාෂාවෙන් හොඳින් කතා කරලා ප්‍රශ්න විස¹ගන්න පුළුවන් නායකයෙක්‌ මීට කලින් ගතවූ කාලයේ උතුරු පළාතෙන් බිහිවෙලා නෑ. මම සිංහල වැසියන් සමගම ඉන්න කෙනෙක්‌, හිටපු කෙනෙක්‌. ඒක නිසා මට ලොකු විශ්වාසයක්‌ තියෙනවා මේ රටේ නායකයො එක්‌ක සිංහල භාෂාවෙන්ම දෙමළ වැසියන්ගෙ ප්‍රශ්න ගැන කතා කරලා විසඳුමක්‌ ලබාගන්න පුළුවන් වෙයි කියලා.

ප්‍රශ්නය - දැන් හැමදාම දෙමළ ජාතික සන්ධානය කියනවා මේ රටේ දෙමළ මිනිස්‌සුන්ගෙ ප්‍රශ්න විසඳිලා නෑ කියලා. දැන් යුද්ධය ඉවරයි. තවත් මොනවද දෙමළ ජනතාවට තියන ප්‍රශ්න.

පිළිතුර - දැන් බලන්න උතුරු පළාතෙ විශේෂයෙන්ම යාපනයේ ඉන්න ජනතාවගෙන් 90% ක්‌ම දෙමළ භාෂාව කතා කරන දෙමළ ජාතිකයො. පොලිසියට ගිහිං පැමිණිල්ලක්‌ දාන්න වුණාම ඒක දාන්න ඕනෙ සිංහල භාෂාවෙන්. මොකද එතන ඉන්න පොලිස්‌ නිලධාරීන්ට දෙමළ බැහැ. පැමිණිල්ලේ පිටපත ගත්තම ඒක දෙමළ මිනිහට කියවගන්න බෑ. මේක විතරක්‌ නොවෙයි තව ප්‍රශ්න ගොඩක්‌ තියෙනවා. යුද්ධය ඉවර වෙලා අවුරුදු 4 ක්‌ ගතවුණාට මේ මිනිස්‌සුන්ගේ මූලික ප්‍රශ්න තවම විසඳිලා නෑ. මේ ජනතාවත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යqහයකට අනුගත වෙන්න ඕනෙ.

ප්‍රශ්නය - උතුරේ දේශපාලන කටයුතු සඳහා දෙමළ ජාතික සන්ධානයට බොහෝ බාධා තිබෙන බවට ඔබලා නිතර නිතර පැමිණිලි කරනවා. මොනවද මේ බාධා?

පිළිතුර- මේ පළාතේ එක්‌ ලක්‍ෂ පනස්‌ දාහක්‌ විතර හමුදාව ඉන්නවා. ඔවුන් සිටින්නෙ ආයුධ සන්නද්ධව. කොයි හමුදාවක්‌ හරි ඉන්න තැන දේශපාලනය කරන්නවත් මිනිස්‌සුන්ට ජීවත් වෙන්නවත් බෑ. හමුදාව අපි ගැන ගොඩක්‌ සැකෙන් ඉන්නෙ. මිනිස්‌සු ගැනත් එහෙමයි. අපි රැස්‌වීමක්‌ තියන්න හදනකොටම හමුදාව එනවා ආයුධත් එක්‌ක. මේ අය එනකොට හැමෝම බයයි. ඔවුන් අපේක්‍ෂකයන්ට, මිනිස්‌සුන්ට තර්ජනය කරනවා. ඒක නිසයි අපි කියන්නෙ හමුදාව මේ පළාත්වලින් ඉවත් කරන්න කියලා.

ප්‍රශ්නය - හමුදාව මේ විදිහට කටයුතු කරන්නේ ඔබලා එල්.ටී.ටී.ඊ. හිතෛෂි පිරිසක්‌ විදිහට දේශපාලනයේ නිරතවන බවට ඇති චෝදනාවක්‌ හා ආකල්පයක්‌ නිසා. මේ ගැන මොකද කියන්නෙ?

පිළිතුර - මේක හරිම වැරදි අදහසක්‌. මොකද අවි ආයුධ බලය තියෙන කොතනකවත් මිනිස්‌සු කතා කරන්න බයයි. එල්.ටී.ටී.ඊ. කාලෙදී වුණත් එහෙමයි. මිනිස්‌සු අවි ආයුධවලට බයවුණා. දැන් අපිට වෙලා තියෙන්නේ ඒකයි. ආයුධ සන්නද්ධව හමුදා පිරිසක්‌ සිටින තැන සේරම අය බයෙන් ඉන්නෙ. එදා එල්.ටී.ටී.ඊ. එක හිටියට දෙමළ මිනිස්‌සු හැමෝම එල්.ටී.ටී.ඊ. යට බයයිනෙ. දැන් බලන්න හමුදාවෙ ඉන්න බහුතරය සිංහල අය. හමුදාව කරන වැරැදිවලට අපිට කියන්න පුළුවන්ද වැරැදි කරන්නෙ සිංහල ජනතාව කියලා. එහෙම කියන්න බෑ. දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන්නෙ දෙමළ ජනතාවගෙ අයිතිවාසිකම් දිනා ගැනීමටයි. ඒකයි එල්.ටී.ටී.ඊ. එකයි සමාන කරන්න බෑ. එහෙම කියන එකත් වැරදියි.

ප්‍රශ්නය - දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් බලතල ගැන මොනවද කියන්නෙ?

පිළිතුර- දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හැදුවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක්‌ ලබාදෙන්න. විසඳුමකට වඩා ඇත්තෙන්ම සහනයක්‌ වෙනුවෙන්. ඉතිං ඒකේ ඉඩම් බලතල ගැන, පොලිස්‌ බලතල ගැන කියවෙනවා. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මේක හැදුවේ ලෝකෙ මිනිස්‌සුන්ට පෙන්වන්න. අපි දෙමළ ජනතාවට බොහෝ දේ දෙනවා කියන්න. ඉතින් මේක නිත්‍යානුකූල දෙයක්‌. ඒ නීත්‍යානුකූලව තියන දේ ලැබෙන්න ඕනෙ. ඒක දෙන්න බෑ කියලා කාටවත් කියන්න බැහැ.

ප්‍රශ්නය - දැන් ජනාධිපතවරයා ප්‍රකාශ කොට තිබෙනවා උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස්‌ බලතල ලබා නොදෙන බවට. මේකට මොකද කරන්නෙ?

පිළිතුර - එහෙම බලතල දෙන්න බෑ කියලා ජනාධිපතිවරයාට කියන්න බෑ. ඒක නීති විරෝධීයි. ආණ්‌ඩුවත් එක්‌ක ඉන්න සිංහල ජාතිවාදී පිරිස්‌ සතුටු කරන්න ජනාධිපතිතුමා එහෙම කියනවා වෙන්න පුළුවන්. නමුත් එහෙම කරන්න බෑ. මේ ගිවිසුමත් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවත් සකස්‌ කළේ ඉන්දියාවත් එක්‌ක හවුල් වෙලා. ඉතිං ඉන්දියාවත් මේ ගැන ප්‍රශ්න කරයි. ලෝක ප්‍රජාවත් කරුණු විමසයි. ඒක නිසා මේකෙ සඳහන් දේවල් කරන්න වෙනවා.

ප්‍රශ්නය - ඒ කියන්නෙ ඉඩම් හා පොලිස්‌ බලතල ඔබලා ඉල්ලා සිටිනවද?

පිළිතුර - අමුතුවෙන් ඉල්ලන්න දෙයක්‌ නෙවෙයි. ඒවා ව්‍යවස්‌ථාවේ තියෙන දේවල්. දැන් දකුණේ අයට මේවා ඕන නෑ. හේතුව ආණ්‌ඩුව පිහිටුවනකොට සියලුම දෙනා සිංහල අය. එකම පක්‍ෂයේ උදවිය. ඒක නිසා ඒ අයට අමුතුවෙන් මේවා අවශ්‍ය වෙන්නෙ නෑ. නමුත් දකුණේ පිරිස අපේ ආරක්‍ෂාව ගැන බලන්නේ නෑ. අපේ ඉඩකඩම්වල ආරක්‍ෂාව අයිතිය ගැන බලන්නෙ නෑ. ඒක නිසාම උතුරේ ඉන්න අපිට ඉඩම් හා පොලිස්‌ බලතල අවශ්‍ය වෙනවා.

ප්‍රශ්නය - දෙමළ ජාතික සන්ධානය තුළ පක්‍ෂ වශයෙන් බෙදීමක්‌ තියෙනවා නේද?

පිළිතුර - ඉස්‌සර එහෙම තියෙන්න ඇති. ඒත් දැන් එහෙම තත්ත්වයක්‌ නෑ. හැබැයි දෙමළ මිනිස්‌සු අතරේ බෙදීමක්‌ තියෙනවා දෙමළ ජාතික සන්ධානෙත් එක්‌ක. ඒකට හේතුව තමයි අපි සමහර ප්‍රශ්න ආණ්‌ඩුවත් එක්‌ක කතා කරනකොට මිනිස්‌සුන්ගෙන් කොටසක්‌ ඒකට විරුද්ධයි. මොකද ආණ්‌ඩු ගැන මිනිස්‌සුන්ට විශ්වාසයක්‌ නැති හින්දා. මිනිස්‌සු මේක ඉදිරියේදී තේරුම් ගනියි. මේ වගේ ප්‍රශ්න ගැටුම් එක්‌ක තමයි මේ ගමන ඉස්‌සරහට යන්න වෙලා තියෙන්නෙ.

ප්‍රශ්නය - හොඳයි ඔබලා උතුරේ ජනතාව වෙනුවෙන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?

පිළිතුර - පළවැනි කාරණය තමයි යුද්දෙන් විපතට පත්වෙලා ඉන්න මිනිස්‌සු. මේ අයගේ ජීවිත යහපත් කරන්න ඉස්‌සෙල්ලම වැඩපිළිවෙළක්‌ දියත් කරන්න වෙනවා. ඒකට අපි ආණ්‌ඩුවේ සහාය ඉල්ලනවා. මානුෂීයභාවය මත ආණ්‌ඩුවත් මේකට උදව් කරයි කියලා අපි විශ්වාස කරනවා. ඊට පස්‌සෙ එකින් එක දෙමළ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කටයුතු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.


සකස්‌ කළේ දිනසේන රතුගමගේ