අන්තිම මිත්‍රයාත් ගෙදර

උපුල් ජෝශප් ප්‍රනාන්දු

මහින්දට ඔහුගේ ජාත්‍යන්තර මිතුරන් ගැන අහන්න ලැබෙන්නේ නම් එතරම් සුබ ආරංචි නොවේ. අලුත්ම අසුබ ආරංචිය ඉරාන ජනාධිපති අහමඩින්ජාඩ්ට වාර දෙකකට වඩා ජනාධිපතිවරණයකට තරග කළ නොහැකි සේ පනවා ඇති ව්‍යවස්ථා වගන්තිය නිසා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සිදු වීමත් ඉරාන ජනාධිපතිවරණයේදී අහමඩින්ජාඩ්ට එරෙහි ඇමෙරිකානු සහ බටහිර රටවල් හිතවාදී ප්‍රතිසංස්කරණවාදී අපේක්‍ෂකයා අති විශිෂ්ට ජයක් ලැබීමත්ය.
 
මහින්දට අහමඩින්ජාඩ් හමු වන්නේ මහින්ද පළමුවරට ගිය එ.ජා. සංවිධානයේ මහ සම්මේලනයේදීය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින් අහමඩින්ජාඩ් කළ කතාව මහින්දගේ හිත ගත්තේය. එකල ඇමෙරිකානු විරෝධී ජාත්‍යන්තර මිතුරු කල්ලියේ සිටි අහමඩින්ජාඩ් වෙනිසියුලා ජනාධිපති චාවේස්, ලිබියාවේ ගඩාෆි, මියැන්මාරයේ තාන්ස් වේ මහින්දව පිළිගත්තේ එම ජාත්‍යන්තර මිතුරු කල්ලියට එක්වූ අලුත් මිතුරෙක් ලෙසය.
 
මහින්ද අහමඩින්ජාඩ්ට ලංකාවට ආරාධනා කරන අතර ලංකාවට එන අහමඩින්ජාඩ් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට පහර ගහන්නේ මහින්දවත් ළඟ තියා ගෙනය. පසුව මහින්ද ඉරානයට යද්දී ඉරාන පුවත්පත් මහින්දව හඳුන්වා දෙන්නේ ඇමෙරිකානු බලය සුනුවිසුනු කරන අහමඩින්ජාඩ්ගේ ජාත්‍යන්තර සන්ධානයට එක් වූ අලුත්ම නායකයා ලෙසටය.
 
මහින්ද ජනාධිපති ධුරයට පත් වූයේ 2005 නොවැම්බරයේදීය. අහමඩින්ජාඩ් ජනාධිපති වුණේ ඊට මාස කිහිපයකට පෙර 2005 අගෝස්තුවේදීය. ඒ වගේම අහමඩින්ජාඩ් දෙවැනි නිල කාලය සඳහා ජනාධිපති වරණයට ඉල්ලන්නේ 2009 ජුනි මාසයේදීය. ඔහු එම ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලබන අතර මහින්ද රාජපක්‍ෂ 2009 ජනාධිපතිවරණයට යන්නේ ඒ හයියත් හිතට අරගෙන විය යුතුය.
 
අහමඩින්ජාඩ්ගේ 2005 ජනාධිපතිවරණ සටනේත් 2009 ජනාධිපතිවරණ සටනේත් ප්‍රධාන සටන් පාඨය දේශප්‍රේමය සහ ආගම්වාදයය. ඔහු ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් හඳුන්වන්නේ දුෂ්ට සාතන්ලා ලෙසය. ඒ කාලයේ එරට විපක්‍ෂයේ සටන් පාඨය වූයේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ හැප්පෙන්න ගිහින් ඉරානයේ ආර්ථිකය විනාශ කර නොගෙන අහමඩින්ජාඩ්ගේ මූලධර්මවාදී දේශප්‍රේමයෙන් රට මුදා ගෙන ප්‍රතිසංස්කරණවාදී පිළිවෙතක් අනුගමනය කොට ඉරානය ලෝකයේ ආර්ථික බලවතෙක් බවට පත් කළ යුතුය යන්නය. අහමඩින්ජාඩ් විපක්‍ෂය හඳුන්වන්නේ දේශද්‍රෝහී ඇමෙරිකානු ගැති ආගම් විරෝධී සාතන්ගේ එජන්තයන් ලෙසය.2009 ජනාධිපතිවරණය දූෂිත යැයි කියා පාරට බහින විපක්‍ෂ ජනතාවට පහරදී විපක්‍ෂයේ නායකයන් හිර ගත කොට අහමඩින්ජාඩ් කියන්නේ දේශප්‍රේමීන්ට ජයග්‍රහණය දේශද්‍රෝහී සාතන්ගේ පුතුන්ට විනාශය කියාය.
 
එලෙස කියමින් ඔහු ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් බය කරන්න ඉරානය න්‍යෂ්ටික බලවතකු කිරීමට උත්සාහ දරයි. ඇමෙරිකාව ඊට එරෙහිව එ.ජා. සංවිධානය පාවිච්චි කරන්න යද්දී අහමඩින්ජාඩ් උදව් ඉල්ලන්නේ චීනය සහ රුසියාවෙන්ය. අහමඩින්ජාඩ්ගේ කපටි ආරක්‍ෂකයන් ලෙස පෙනී සිටිමින් චීනය සහ රුසියාව ඉරානයෙන් ගත හැකි ආර්ථික වාසි සියල්ල ගෙන තීරණාත්මක මොහොතේදී ඉරානයට එරෙහි සම්බාධක පනවන්න ඇමෙරිකාවට ඉඩදී එ.ජා. සංවිධානයේ ආරක්‍ෂක මණ්ඩලයෙන් නැඟිට යයි.
 
අහමඩින්ජාඩ් රට තුළ වැටෙන්නේ එම ආර්ථික සම්බාධක නිසා ජනතාවට දැනුණු පීඩනයෙන්ය. දේශප්‍රේමයෙන් ආගම්වාදයෙන් ඇමෙරිකානු විරෝධයෙන් තමන්ගේ බඩ කට පිරෙන්නේ නැති බව ඉරාන ජනතාව තේරුම් ගනී.
 
එහෙත් 2012දී නොබැඳි ජාතීන්ගේ සම්මේලනය ඉරානයට ලබා ගන්නා අහමඩින්ජාඩ් නොබැඳි සම්මේලනය තුළින් ඇමෙරිකාවට එරෙහිව නොවන ලොව රටවල් එකට එකතු කරන්න තමා ජාත්‍යන්තර පිම්මක් පනින බව ඉරානයට පෙන්වූයේය. රියෝ - 20 ජාත්‍යන්තර සමුළුවේදී මහින්ද රාජපක්‍ෂව හමු වන අහමඩින්ජාඩ් දැනට පවතින ලෝක බල ව්‍යාපෘතියට එරෙහිව නව ලෝක බල ව්‍යාපෘතියක් හැදීමේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබීය. ඒ සඳහා ඉදිරියේදී ඉරානයේ පවත්වන නොබැඳි සමුළුව ප්‍රයෝජනයට ගැනීමට නායකයන් දෙදෙනා එකඟ වූ බවටද නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
 
නොබැඳි සමුළුව හරහා තෙවැනි වරට ජනාධිපතිවරණයට තරග කළ හැකිසේ ව්‍යවස්ථාව වෙනස් කරන විප්ලවයක් කරන්න දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්න අහමඩින්ජාඩ් උත්සාහ ගත්තත් රටේ ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී සිටින ජනතාව ඉල්ලන්නේ වෙනසකි. ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තරය එක්ක හැප්පෙමින් අහමඩින්ජාඩ් යන ගමන රටට විනාශය උදා කරන බව තේරුම් ගෙන ඔහුගේ ආණ්ඩුවේම කොටස් අහමඩින්ජාඩ්ට එරෙහිව නැඟී සිටී. වෙනකක් තබා අහමඩින්ජාඩ්ගෙන් තෙල් ගත්ත මහින්ද රාජපක්‍ෂට ඇමෙරිකාව පනවපු ආර්ථික සම්බාධක හේතුකොට තෙල් ගැනීම නතර කිරීමට සිදු වේ.
 
අහමඩින්ජාඩ් නැට්ටට වැටෙන්නේ ආර්ථික සම්බාධක නිසාය. ඇමෙරිකාව තරහ කර නොගෙන සියලු රටවල් සමඟ සුහදව සිට මූල ධර්මවාදය, දේශප්‍රේමය වෙනුවට ප්‍රතිසංස්කරණවාදය රජ කරවා ඉරානය ලොව ආර්ථික බලවතෙක් කළ යුතුය යන විපක්‍ෂයේ සටන් පාඨයට ජනතාව අතර ඉල්ලුමක් ඇති වන්නේ මේ කාලයේය. ඒ සඳහා නායකත්වය දෙන හසාන් රවුහාන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ජනාධිපති වෙද්දී අහමඩින්ජාඩ්ට ගෙදර යන්න සිදු වන්නේ නොබැඳි සම්මේලනයේ සභාපති ධුරයත් නව ජනාධිපතිට භාර දීලාය.
 
මහින්ද බලාගෙන ඉන්නේ මේ වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති වන්නටය. නොබැඳි සභාපති වී අහමඩින්ජාඩ් ලෝකෙට චණ්ඩි පාට් දමන්න ගිහින් කර ගත්ත දේ මහින්දට හොඳ උගත් පාඩමකි. ඒ පාඩම උගෙන ගත්ත අහමඩින්ජාඩ්ගේ ඇමෙරිකානු විරෝධී ගජ මිතුරු කල්ලියේ සිටි ගඩාෆි, චාවේස් අද ජීවතුන් අතර නැත. තාන්ස් වේ ඉන්නේ ගෙදරය. ඉතිරි වෙලා ඉන්නේ මහින්ද විතරය.