පැය 48කදී යුද මුක්ත කලාපයට ෂෙල් වෙඩි දහසක්



එක්සත් ජාතීන් පැරදුණු යුද්ධය - තෙවන කොටස  

ජනවාරි 16 වෙනිදා අළුයම් කාලයේ දී, වියළි ආහාර සහ කූඩාරම් පටවාගත් ට්‍රක් රථ සහ සැහැල්ලු වාහන පනස් තුනක්, බල සේනාරක්ෂිත වවුනියා නගරයේ සිට කොටි පාලන ප්‍රදේශයන්ගේ හදවතෙහි වූ පුදුකුඩියිරුප්පු දක්වා වූ පැය හතර හමාරක අවදානම් සහගත ගමනට පිටත් විය. ගමනේ අරමුණ වූයේ අත්‍යවශ්‍ය සැපයුම් සම්පාදනය කොට, කොටින් විසින් බලෙන් රඳවාගත් එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට අයත් දෙමළ සාමාජිකයන් සහ ඔවුන්ගේ දරු පවුල් මුදාගෙන ඒමට උත්සාහ කිරීමයි.

 ජාත්‍යන්තර සංවිධාන හතක කාර්ය මණ්ඩල නියෝජිතයෝ, දකුණින් ද, බටහිරෙන් ද, උතුරින් ද එල්ලවන ප්‍රහාරයන් හමුවේ ක්‍රමයෙන් ක්‍ෂය වන කැරළිකරුවන්ගේ පරිවාරිත ප්‍රදේශය දක්වා වූ කිලෝ මීටර 50ක ගමන් මගෙහි රථ පෙළ හා ගමන් කළෝය. කොටි පාලන ප්‍රදේශය තුළ ප්‍රධාන මාර්ගය ඔස්සේ යන අතරවාරයේ සැම අතකම පැතිරගත් සංත්‍රාසය සහන සේවකයෝ දුටහ. සිවිල් වැසියන් සමීපයෙන් අනතුරුදායක ලෙස ෂෙල් ඇද වැටෙමින් තිබුණි. තමන් කොටු වී යැයි හැඟීමෙන් වඩ වඩා අපේක්‍ෂා භංග වූ දහස් සංඛ්‍යාත ජනයා සුරක්‍ෂිතතාවක් ඇත්තේ කොහිදැයි අනියතව උතුරු දෙසට ගමනේ යෙදුනාහ. ඔවුන්, විඩාබරව තැතිගෙන පයින්ද, ගොන් කරත්ත හා ට්‍රැක්ටර් තට්ටු මතද නැගී යන අතරවාරයේ, ද්‍රෘඩතර යෞවන කොටි සටන්කරුවෝ ඊට ප්‍රතිවිරුද්ධ දිශාව බලා ඔවුන් පසුකොට ගියෝය. 

වෙඩි මුර එල්ල කොට වහා මාරුවන මාරාන්තික මී - බළල් ක්‍රීඩාවක නිරත කොටින්ගේ ජංගම බර අවිවලට පහර දෙන්නට තැත් දරන ශ්‍රී ලංකා හමුදාවන්ගේ කාලතුවක්කු වෙඩිහඬ, 'පීටීකේ' යන සෙනෙහෙබර කෙටි නමින් හැඳින් වූ පුදුකුඩියිරුප්පුවට ළඟින් ඇසිණ. නගරය තුළ තව දුරටත් රැඳී සිටින සිවිල් ජනයාගේ ඉරණම පිළිබඳ කිසිදු පාර්ශ්වයක් එතරම් කණස්සලු නොවීය. ඒ වනවිටත් පිරී ඉතිරී ගිය රෝහලට සටන්කරුවන් පමණක් නොව, සිහිසුන්ව ලේ ගලන දරු සිඟිත්තන් ඇතුළු තුවාල ලද්දවුන් රැසක් වැල නොකැඩී ගලා ආවෝය. එක්සත් ජාතීන්ගේ රථ පෙළ, තුන් දවසක් තිස්සේ දැඩි බෝම්බ ප්‍රහාරයන්ට කොටු වී කැරැළිකරුවන්ගේ පාලන ප්‍රදේශයෙන් පිටව යන්නට නොහැකිව රැඳී සිටියේය. රථ පෙළෙහි ආපසු ගමන අරඹණු පිණිස ජනවාරි 20 වෙනිදා කොළඹින් අවසර නිකුත්වත්ම, ලොරි රථ නවතා ලූ කොටි, 132ක් වූ දෙමළ කාර්ය මණ්ඩල සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වලට පිටව යාමට අවසර දීම ප්‍රතික්‍ෂේප කළහ. 

ආරක්‍ෂක තත්ත්වය වේගයෙන් පිරිහෙමින් තිබූ වාතාවරණය තුළ යුද කලාපය තුළට එන අවසාන ආහාර තොග රැගත් රථ පෙළ මෙය බව පැහැදිලිව තිබිණ. සිය ප්‍රාදේශීය කාර්ය මණ්ඩලය කැටුව යාමට එක්සත් ජාතීන්ට ලැබෙන අවසාන අවස්ථාවද එය විය. ප්‍රතිඵල වශයෙන් උණුසුම් සාකච්ඡාවක් ඇවිළ ගියේය: පැමිණ සිටි සහන සේවකයින් පස් දෙනෙකුට, එහි රැඳී සිට ස්වකීය ජීවිත අනතුරේ හෙළීමට වඩා පිටව යාමට අවැසි විය. කෙසේ නමුදු, සිය ප්‍රාදේශීය කාර්ය මඩුල්ලට පිටව යන්නට අවසර නිකුත් කරනු වස් කොටින් පොළඹවා ගැනීමට තමන්ට හැකි වෙතැයි කල්පනා කළ රථ පෙළ භාර ආරක්‍ෂක නිළධරයා වූ බංග්ලාදේශ ජාතික හිටපු කර්නල්වර‍යෙක් හා තරුණ ඕස්ට්‍රේලියානු සහන සේවකයෙක් තවදුරටත් එහි රැඳී සිටින්නට තීරණය කළහ. 

රථ පෙළෙන් බහුතරයක් පිටව ගියේය. ඉතිරි වූ ට්‍රක් රථ හත, 'ආරක්‍ෂිත' නැතහොත් 'යුද මුක්ත කළාපය'ක් වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මායිම් ළකුණු කළ ප්‍රදේශය බලා උතුරට ගමන් කළේය. ප්‍රධාන මාර්ගය ප්‍රත්‍යන්තයේ වූ වර්ග කිලෝ මීටර් තිස් පහක ආරක්‍ෂිත කළාපය තුළට ගාල් වී රැකවරණ සපයාගන්නා ලෙස සිවිල් වැසියන්ට දැනුම්දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එදින උදෑසන අහසින් පත්‍රිකා හෙලන ලදී. එත්සත් ජාතීන්ගේ සහන සේවකයෝ, ඒ වනවිටත් දහස් සංඛ්‍යාත ජනයාගෙන් තදබද වූ ආරක්‍ෂිත කළාපය ඇතුළට වන්නට වූ විශාල විවෘත බිම්කඩක ආහාර බෙදාදීමේ මධ්‍යස්ථානයක් ඇටවූහ. තමන් ස්ථානගතව ඇති අඩවිය නිශ්චිත ලෙස යුද හමුදාවට දැනුම්දෙනු පිණිස ජාත්‍යන්තර සහන සේවකයින් දෙපළ සිය චන්ද්‍රිකා දුරකථන යොදාගත් අතර විදේශිකයින් සමග සිටීම සිය ආරක්‍ෂාව සළසනු ඇතැයි උපකල්පනය කළ සිවිල් ජනයා එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානය වටා ගොණු වූහ. 

දිවා කල ඉඳ හිට ෂෙල් වෙඩි ඇද වැටෙන්නට පටන් ගැණුනි. නමුත් අතිශය බලවත් කාලතුවක්කු, මෝටාර් වෙඩි සහ වැරෙන් එල්ල කෙරෙන මල්ටි බැරල් රොකට් ප්‍රහාරයන්ට තමන් ඉලක්කව ඇති බව රාත්‍රී කාලය වන විට එක්සත් ජාතීන්ගේ සේවක පිරිස පසක් කොටගත්හ. විසුණු වූ මිනිස් අතුණු බහනින් එක්සත් ජාතීන්ට අයත් සුධවල වාහන වැසී ගොස් තිබූ අතර මළ බිළිඳෙකුගේ සිරුරක් ගසකින් පහතට එල්ලා වැටිණ. එක්සත් ජාතීන්ගේ සේවකයින්ට වෙඩි නොවදින සැට්ට සහ ආරක්‍ෂණ හිස් වැසුම් තිබූ අතර, සවිමත් රුක් කඳන් මගින් ආවරණය කළ බන්කර කැණ ගන්නට අවශ්‍ය කුළී ශ්‍රමිකයින්ද විය.

 නමුත් දෙමළ සිවිල් වැසියෝ මුළුමණින්ම ප්‍රහාරයන්ට නිරාවරණයව එළිමහනේ සිටියහ. ඔවුන්ගේ සෙවණ සඳහා ‍වූ ටාපෝලීන් රෙදි ෂෙල් වෙඩි මගින් කීතු කොට දමද්දී ගැළවීමේ කිසිදු අවකාශයක් ඔවුනට ඉතිරිව නොතිබිණ. පුරා පැය හතළිස් අටක බෝම්බ ප්‍රහාර අතරවාරයේ තමන් විසින් ඇට වූ ආහාර බෙදා දීමේ මධ්‍යස්ථානය පිහිටි යාන්තම් වර්ග මීටර් 500 පමණ වූ බිම් කඩට, ෂෙල් වෙඩි 1,000ක් පමණ පතිත වනු සහන සේවකයින් විසින් ගණින ලදී. 'කාල තුවක්කු ප්‍රහාරයන්ගෙන් විසුණුව, සිය කඳවුරු බිමට නුදුරේ මියයන මිනිසුන්ගේ විලාප හඬට සවන් දෙනු හැරෙන්නට කරන්නට දෙයක් එක්සත් ජාතීන්ගේ කාර්ය මඩුල්ල හමුවේ නොවී' යැයි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ගෝඩ්න් වයිස් පසුකලක ලීවේය.

 තුවාල ලත් ස්ත්‍රීන් සහ දරුවන් නොනවත්වා ලේ වහනය වී මියයත්ම, උදව් ඉල්ලා නැගුණු කර්කශ විලාපයන් ක්‍රමයෙන් කෙඳිරුම් හඬක් බවට පෙරළි අනතුරුව නැවතිණ. 'එය චේතනාන්විතව සිදු කළ සිවිල් වැසියන් සංහාරයකට වඩා අඩු යමක් නොවී යැයි' බංග්ලාදේශ් ජාතික කර්නල්වරයා පසුව එක්සත් ජාතීන්ගේ විමර්ශන මඩුල්ලක් හමුවේ කියා සිටියේය. ප්‍රහාරයන් එල්ල වූයේ යුද හමුදාවන් ස්ථානගතව සිටි ප්‍රදේශයන්ගෙන් බව, පළපුරුදු හමුදා නිළධාරයෙකු වූ ඔහුගේ සමාප්ති නිගමනය විය. එක් පිපිරීමකින් එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු තුවාල ලැබීය. සහන සේවකයෝ සිය චන්ද්‍රිකා දුරකථනය ඔස්සේ සෑම අඩ හෝරාවකදීම, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය හෝ ශ්‍රී ලංකා යුද හමුදාව අමතමින් ප්‍රහාරයන්ගේ දිශාවන් වෙනස් කිරීමට තැත් දැරූහ.

 තමන් රැඳී සිටින විවෘත බිම්කඩෙහි කැරැළිකරුවන් නොමැති බව ඔවුන් අවධාරණය කළ නමුත්, ඉන් කිලෝ මීටර් භාගයක් පමණ දුරින් රෝහල් භුමියට ආසන්න තැනක හිඳ කැරළිකරුවෝ මෝටාර් ප්‍රහාර එල්ල කළෝය. එක්සත් ජාතීන්ගේ සේවක පිරිස් රාත්‍රී දෙකක් පුරා, අනවරත ප්‍රහාරයන්ට ගොදුරු වූහ. ආරක්‍ෂිත බන්කරයට ඉතාමත් ආසන්නයෙන් පතිත වූ එක් ෂෙල් වෙඩිල්ලකින් එහි රැකවරණ ලද්දන්ගේ දෙසවන් තත්පර කිහිපයකට බිහිරි වූයේය. අලුයම් පාන්දර බන්කරයෙන් පිටතට ඇදී ආ සහන සේවකයින්ට , එහි පිවිසුම් දොරටුව අවුරා ඇද වැටී සිටි දාහත් වියැති යුවතියකගේ කවන්ධය ඉවත් කරන්නට සිදුවිය. සිය ආරක්‍ෂක බන්කරය කණිනු වස් කුලියට යොදවාගත් ශ්‍රමිකයින්ගෙන් තුනෙන් පංගුවක් මරණයට පත්ව ඇති බව ඔවුහු පසක් කොටගත්හ‍. දිවි ගළවාගැනීමට වාසනා ලද ඔවුන් විසින්, ගැළවී ඒමට පෙරාතුව ඒ රුදුරු ඝාතනයේ සාක්‍ෂි සටහන් කොට සේයා රූ ගත කරන ලදී. 

ඔවුන්ට පිටව එන්නට අවකාශ සළසනු වස් සටන් අත්හිටුවීමක් සාකච්ඡා මගින් ඇති කරගන්නට එක්සත් ජාතීන්ගේ මූලස්ථානය සමත් විය. 'ඒක යුද සිනමා පටයක පසුතලයක් වගේ'යැයි පසුව බංග්ලාදේශ කර්නල්වරයා කීවේය. 'ගස් දෙකඩ වෙලා තවත් සමහර ගස් ඒ වෙනකොටත් ගිනි ඇවිලෙනවා. පාර දිගට වාහන පිළිස්සෙමින් තිබුණා. පැලී විවෘත වෙච්ච මිනිස් මළ සිරුරු, ගොවිපොළ සත්තුන්ගේ මළකුණු එක්ක හැම තැනම විසිරිලායි තිබුණේ.' නමුත් අඩු සිවිල් වැසියන් ප්‍රමාණයක් සහ වැඩි ‍කොටි සටන්කරුවන් ප්‍රමාණයක් රැඳී සිටි, 'යුද මුක්ත කලාපයක්' වශයෙන් නම් නොකරන ලද කැරැළිකරුවන්ගේ පාලන ප්‍රදේශයන්ට කිසිදු හානියක් සිදුව නැති බව එම ප්‍රදේශය හරහා ගමන් කළ සහන සේවකයින්ට දක්නට ලැබීම උත්ප්‍රාසය දනවන සුළු විය.

 ආණ්ඩුව විසින් යුද මුක්ත කළාපයක් නම් කරන ලද්දේ සිවිල් වැසියන් එක් ස්ථානයකට රාශිභූත කොට හැකිතාක් ප්‍රමාණයක් ඝාතනය කිරීමේ අභිලාෂයෙන් යැයි එක්සත් ජාතීන් හා සම්බන්ධ එක් නිළධාරියෙකු පෞද්ගලිකව කියා සිටියේය. ඒ වනාහී එක්සත් ජාතීන්ගේ ඉහළ ධූරධාරීන් විසින් පිළි නොගත් මතයකි. ඒ වනවිට යුද අපරාධ සම්බන්ධයෙන් ප්‍රත්‍යක්‍ෂ කොටගත් සත්‍ය තොරතුරු හා ඡායාරූපමය සාක්‍ෂි එක්සත් ජාතීන් අතපත්ව තිබියදීත්, ප්‍රසිද්ධ තලයේදී ඔවුන් නිකුත් කරන ලද්දේ සිවිල් වැසියන්ට හොඳින් සළකන මෙන් යුදවන් දෙපාර්ශ්වයටම ආයාචනා කළ මෘදු නිවේදන පමණි. යුද්ධය වඩ වඩාත් ලේ වැකි එකක් වන අතරවාරයේ, ශ්‍රී ලංකා ආණ්ඩුවේ අයුතු බලපෑමට නතු වූ එක්සත් ජාතීන් ප්‍රවේශමින් තෝරා බේරාගත් වචන ඇතුළත් සමබර ප්‍රකාශ තවදුරටත් නිකුත් කිරීමේ යෙදුණේය.

 යුද කළාපය තුළ අත්හැර දමනු ලැබූ දෙමළ ජනයා, එක්සත් ජාතීන් කෙරෙහි තවදුරටත් විශ්වාසය තබමින්, ඔවුන් මැදිහත්ව මෙම උමතුව නිමා කරනු ඇතැයි අපේක්‍ෂා කළහ. නමුත් ඔවුහු සාතිශය කළකිරීමට පත් වන්නට ඉරණම්ව සිටියෝය. කොටින් පසුබසින අතරවාරයේ, ශ්‍රී ලංකා ආණ්ඩුව තවත් ආරක්‍ෂිත කලාප දෙකක් නම් කරන ලද අතර ඒවාද කලින් තරමටම 'අනාරක්‍ෂිත' බව ඔප්පු කෙරෙන්නට නියමිතව තිබුණි. බෝම්බ හෙළීම් මගින් දස දහස් සංඛ්‍යාත ජනයා කුඩා වෙරළබඩ තුඩුවකට කොටු කොට ප්‍රහාර එල්ල කෙරුණේය. පිටට හෝ දෙපයට එල්ල කෙරෙන කැරැළිකරුවන්ගේ වෙඩි ප්‍රහාරයන්ට ගොදුරු වීමේ අවදානමට මුහුණ දෙන්නට ගැළවී පලා යන්නට වෑයම් කළවුන්ට සිදු විය. 

යුද හමුදාවත්, කොටි කැරැළිකරුවනුත් දෙමළ ජනයා ගළවාගන්නට ක්‍රියා කරන බව කීවද, ඔවුන් සාහසික ලෙස අනතුරේ හෙළීම ගැන කිසිත් කල්පනා නොකළහ. හාත්පස මරණය පැතිර පැවති ඒ ලෝකයෙන් පණ පිටින් ගැළවී එන්නට හැකි වෙතැයි අපේක්‍ෂා කළේ අතළොස්සකි. භීතියෙන් වකුටුව අගල් තුළට වන් මව්වරු, සිය දෑතින් දරුවන්ගේ දෑස් තදකොට වසන ලද්දේ කැබිලිතිව විසුණුවන ඔවුන්ගේ මිතුරන් ඇස ගැටීමෙන් වළකනු පිණිසය. ගොඩගැසුණු මෘත ක්ලේබර හා විසුණුව ගිය ශරීර කොටස් පෙරළමින් සෝදිසි කළ විකල් හදැ'ති පවුල් සිය පෙම්බරයින් සෙවූහ. පලා යා නොහෙන තරමට බරපතල ලෙස තුවාලව අත පය සුණු විසුණු වූවන් මහමග අතැ'ර දා ගැළ වී යන්නට ඇතැමුන්ට බල කෙරුණි.

 ජනයා ජීවත් වූයේ රුදුරු පිපිරුම් ඝෝෂාවටත්, උස් ස්වරයෙන් නැගෙන කර්කශ විලාප හඬටත් මැදිව ය. මේ සමස්ත කාල පරිච්ඡේදය පුරාම තමන් 'ශුන්‍ය ජීවිත හානි' පිළිවෙතක පිහිටා ක්‍රියා කරම්හයි ශ්‍රී ලංකා ආණ්ඩුව පාරම් බෑවේය. ඒ වනාහී දස දහස් සංඛ්‍යාත ජනයා සමූල ඝාතනය කෙරුණු 2009 පෙබරවාරිය සහ මැයි මාසය අතර කාලය තුළ නිරන්තරයෙන් පුන පුනා දෙසන ලද හාසකාරී අභූත ප්‍රකාශයකි. එක්සත් ජාතීන් සහ බොහෝ බටහිර රාජ්‍ය තාන්ත්‍රික නිළධාරිහු එය මුසාවක් බැව් දැන හුන්නද, නිහඬව සිටියහ. යුද කළාපයට පිවිසුම් මං ඇහිරුණු එක්සත් ජාතීන් විසින්, අගනුවර හිඳ දුරකථනය ඔස්සේ මරණ සංඛ්‍යාවන් සමග්‍රහ කරනු වස් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරන ලදී.

 අති මහත් මිනිසුන් සංඛ්‍යාවක් මියගිය අවසාන සතියේ මරණ සංඛ්‍යාව සැළකිල්ලට නොගත් කාර්ය සාධක බලකාය 7,721ක් මිය ගොස් 18,479ක් තැවාල ලැබූ බවට ඇස්තමේන්තු කළේය. මෙම සංඛ්‍යාව අනිවාර්ය වශයෙන්ම අතිශය ගතානුගතික ගණනයක් වූයේ, සෑම සිද්ධියක්ම එක්සත් ජාතීන්ගේ සේවකයෙකු ඇතුළු මූලාශ්‍ර තුනකින් තහවුරු කළ යුතුව තිබූ තත්ත්වයක් තුළ යම් සිද්ධියක් දෙවරක් ගණනය කොට තිබුණේ නම් එය වාර්තා නොකිරීමට තීරණය කළ හෙයිනි. අවසාන සතියේ කී දහසක් මිය ගියේදැයි කිසිවෙක් නොදනී. එය මහා මනුෂ්‍ය ඝාතනයකැයි නිවේදනය කර සිටි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙකුට මුහුණ දෙන්නට සිදු වූයේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ උග්‍ර විරෝධයට පමණි. 

එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් විසින් වෙනස්වන ජනගහන සංඛ්‍යාවන් ඇස්තමේන්තු කරනු වස් සවිස්තරාත්මක චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කරන ලදී. අතුරුදහන් වී යැයි සැළකුණු 7,000ත් 17,000ත් අතර ජන පිරිසක් මිය යන්නට ඇතැයි එක්සත් ජාතීන් දළ වශයෙන් ඇස්තමේන්තු කළ බැව් තානාපති කාර්යාලවලින් හෙළිදරව් වූ කේබල් පණිවුඩ ඇසුරෙන් දැන් අපි දනිමු. 

 - මතු සම්බන්ධයි - 

 2000 සිට 2004 දක්වා කාලය තුළ BBC ආයතනයේ ශ්‍රී ලංකා වාර්තාකාරිය වශයෙන් කටයුතු කළ ෆ්‍රාන්සස් හැරිසන් විසින් ලියන ලද Still Counting the Dead: Survivors of Sri Lanka’s Civil War පළමු මුද්‍රණය 2012 ඔක්තෝබරයේදී එළි දුටුවේය. මෙහි පළවන්නේ එහි පළමු අවසරලත් සිංහල පරිවර්ථනයයි.