සෙවල බණ්ඩා සහ මහින්ද


56 බලයට ආ බණ්ඩාරනායකට වමේ පක්‍ෂ ලේබල් ගැහුවේ සෙවල බණ්ඩා කියාය.
'බණ්ඩාට කිසිම ප්‍රතිපත්තියක් නෑ. එහාට වැනෙනවා. මෙහාට වැනෙනවා. ඒක හින්දා බණ්ඩාට කියන්න ඕන හොඳම නම සෙවල බණ්ඩා...'
එදා වමේ අය කිව්වේ එහෙමය.

හැබැයි වමේ අය එහෙම කිව්වාට බණ්ඩාරනායකට ඇත්තටම ප්‍රතිපත්තියක් තිබිණි. බණ්ඩාරනායක අගමැති පුටුවට ගෙනාවේද ඒ ප්‍රතිපත්තියය. ඒ ප්‍රතිපත්තිය වෙන මොකවත් නොව ජනතාවගේ ප්‍රතිපත්තියය. මොකද බණ්ඩාරනායක තමන්ගේ ප්‍රතිපත්ති බලෙන් ජනතාවගේ කරේ එල්ලන්න ගියේ නැත. බණ්ඩාරනායක පිළිගත්තේ ජනතාවගේ ප්‍රතිපත්තියය. ජනතාවගේ ප්‍රතිපත්තිය වූයේ මොකක්ද බණ්ඩාරනායක ඒක තමාගේ ප්‍රතිපත්තිය කරගත්තේය. බණ්ඩාරනායකගේ සාර්ථකත්වයේ රහස වූයේ ඒකය.

එදා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය බෞද්ධ කොමිෂන් වාර්තාව ඉදිරිපත් කිරීම හරහා සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කළ යුතු බවට නිර්දේශ කරද්දී රටේ සමස්ත සිංහල බෞද්ධ බලවේග එය පිටිපස්සේ සිටිගත්හ. එය රටේ ජනමතය බවට පත්විය. අනෙකුත් නායකයන් ඒ ජනමතයට හිස නවන්න අදිමදි කරද්දි බණ්ඩාරනායක එය හිස් මුදුනින් පිළිගත්තේය. එහෙම පිළිගෙන ඒ රැල්ලේ පිහිනා අගමැති පුටුවට ගොඩ විය.

හැබැයි බණ්ඩාරනායක සිංහල බෞද්ධ රැල්ලේ පිහිනා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විදියට ප්‍රකාශ කිරීමත් සමඟ දෙමළ, මුස්ලිම් ජනතාව කුලප්පු විය. රට පුරා කලකෝලාහල, නොසන්සුන්තා ඇතිවන්නට විය. දෙමළ නායකයන් විසඳුම් ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කරන්නට විය. බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම එළියට ආවේ ඒ දෙමළ ප්‍රශ්නයට විසඳුමක් විදියටය.

බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම එළියට දැමීමත් සමඟම සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම වෙනුවෙන් දරදිය ඇදි සිංහල බෞද්ධ බලවේග දෙබරයට ගල්ගැසුවාක් මෙන් ඇවිස්සී ගියේය. ඒ සිංහල බෞද්ධ රැල්ලේ පීනා අගමැති පුටුවට ගොඩවෙච්ච බණ්ඩාරනායකට ගිවිසුමෙන් පස්සේ සිංහල බෞද්ධ බලවේගය පාරාවළල්ලක් විය. රටේ සමස්ත සිංහල බෞද්ධ බලවේගය ඉන්නේ චෙල්වනායගම් සමඟ ගැසූ ගිවිසුමට එරෙහි තැනක බව බණ්ඩාරනායක වටහාගත්තේය.

ඒ අනුව යළිත් වරක් බණ්ඩාරනායක ඔහුගේ ජනතා ප්‍රතිපත්තිය තමන්ගේ ප්‍රතිපත්තිය බවට පත්කරගන්නට දෙවරක් හිතුවේ නැත. චෙල්වනායගම් සමඟ ගැසූ ගිවිසුම බණ්ඩාරනායක අන්තිමේදී ඉරා දැම්මේ ඒ සිංහල බෞද්ධ ජනමතයට හිස නමමිනි.

මහින්ද කියන්නේ උව්ර්ථී ආණ්ඩුවෙන් රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවට සෙතක් වෙන්නේ නෑ කියලා බණ්ඩාරනායකත් එක්ක විපක්‍ෂයට ගිය ඩී.ඒ. රාජපක්‍ෂගේ පුතාය. මහින්ද වැඩ කරන දිහා බැලුවාම පේන්නේ අද මහින්දත් එදා බණ්ඩාරනායකගේ ප්‍රතිපත්තියම අනුගමනය කරමින් බහුතර ජනතා ප්‍රතිපත්තිය තමන්ගේ ප්‍රතිපත්තිය බවට පත්කරගෙන කටයුතු කරනවා කියන එකය.

"මහින්දට කිසිම දෙයක් ගැන හරි ප්‍රතිපත්තියක් නෑ. වාර්ගික ප්‍රශ්නය ගත්තොත් මහින්ද ඉන්නේ වැනෙන ප්‍රතිපත්තියක. බණ්ඩාරනායක වගේම මහින්දගේත් ප්‍රතිපත්තිය ප්‍රතිපත්තියක් නැති එක"
අද විපක්ෂය විතරක් නොව ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහරුත් මහින්දට චෝදනා කරන්නේ එහෙමය.
සමහරු එහෙම චෝදනා කළත් බණ්ඩාරනායකගේ වගේම මහින්දගේත් ප්‍රතිපත්ති වුණේ මහජනතාවගේ ප්‍රතිපත්තියය. මහජනතාව හිටියේ කොහේද මහින්ද එතැන හිටියේය. මහජනතාව ඉල්ලුවේ මොකද්ද මහින්ද ඒකට නායකත්වය දුන්නේය.

ඒකට හොඳම උදාහරණය 2005 ජනාධිපතිවරණයය. 2005 වෙද්දි රටේ තිබුණේ නායකත්වයක් නොමැති සිංහල බෞද්ධ ජන රැල්ලකි. සෝම හිමිගේ නායකත්වයෙන් ගොඩනැඟුණු මේ සිංහල බෞද්ධ රැල්ල සෝම හිමිගේ අභාවයත් සමඟ කප්පිත්තෙක් නැති නැවක් වගේ පාවෙද්දී ඒ සුක්කානම අතට ගන්න කොළඹ හතේ කුරුඳුවත්තෙන් බිහි වූ රනිලුත්, චන්ද්‍රිකාත් බය වූහ.

රනිල්-චන්ද්‍රිකා අත තියන්න බය වූ ඒ නැවේ සුක්කානමට වීර මද්දුම බණ්ඩාර වගේ බය නැතිව අත තිබ්බේ මහින්දය. බණ්ඩාරනායක එදා 56 දී සිංහල බෞද්ධ ජනමතයට පීනලා අගමැති පුටුවට ගොඩ වුණා වගේ මහින්ද 2005 දී සිංහල බෞද්ධ ජනමතයට පීනලා ජනාධිපති පුටුවට ගොඩ විය.

බණ්ඩාරනායක බලයට ආ ගමන් දෙමළ අය බලතල ඉල්ලුවා වගේ මහින්දටත් ඒ බලපෑමට මුහුණ දෙන්නට සිදුවිය. හැබැයි මෙතැනදී බලතල ඉල්ලා දඟලන්නේ රට ඇතුළේ දෙමළ ජනතාව නොව රටින් පිට ඉන්න දෙමළ ජනතාවය. විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවත් තදින්ම ඉන්නේ දෙමළ ජනතාවට බලතල දිය යුතු ය කියන ස්ථාවරයේය. දෙමළ ජාතික පක්ෂත් ඉන්නේ බලතල ඕනෑ කියන ස්ථාවරයේය.

"උතුරේ පළාත් සභා ඡන්දය නෙවෙයි පළාත් සභා ඔක්කොම අහෝසි කරලා 13 වැනි සංශෝධනය නැති කරන්න ඕනෑ. අපි ඒකට ලබන සතියේ පාර්ලිමේන්තුවට පෞද්ගලික යෝජනාවක් ගේනවා. 13 ඉවත් කරනකම් අපි දිවිහිමියෙන් සටන් කරනවා"
ආණ්ඩුවේම හවුල්කාර පක්ෂයක් වූ ජාතික හෙළ උරුමය පසුගිය බදාදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියා රටටම කියා සිටියේ එවැනි කතාවකි.
"උතුරේ ඡන්දය තියනවා නම් විෂකුරු නාගයාගේ විෂ දළ අයින් කරලා තමයි ඡන්දය තියන්න ඕනේ. උතුරට ඉඩම් පොලිස් බලතල දුන්නොත් භයානකයි. ඒ අය තුවක්කුවෙන් බිහිකරගන්න බැරි වුණ ඊළම ඡන්දයෙන් බිහි කරාවි. රටවල් එක්ක ඍජු සබඳතා පවත්වාවි."

මේ තවත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වූ ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් කී කතාවය.
"උතුරේ ඡන්දය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි. බලතල බෙදා හැරිය යුතුයි. ඒ වගේම පොලිස් ඉඩම් බලතලත් උතුරට දෙන්න ඕනෑ. ඒක ව්‍යවස්ථාවෙන්ම ලබා දී තිබෙන දෙයක්.."
මේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස ඇමැති වාසු, ඩිව් හා තිස්සලා කියන කතාවය.
"එතකොට දැන් මොකද්ද මහින්දගේ ප්‍රතිපත්තිය.."
"ඇයි මහින්ද ආණ්ඩුවේ ඉන්න අයට මේ විදියට එක එක කතා කියන්න ඉඩ දීලා කට පියාගෙන ඉන්නේ.."
"කෝ.. සාමූහික වගකීම.."

සමහරු එහෙම අහති.
මහින්දගේ හැටි එහෙමය. මහින්ද කරන්නේ තමන්ගේ මතය බලෙන් ඇමැතිවරුන් අතරේ බින්න බස්සවන එක නොව මේ ගැන ඇමැතිවරුන් දරන මතය රටට කියන්න අවස්ථාව ලබා දීමය. එහෙම දීලා රටේ ජනතාව ඒ ගැන ගන්න තීන්දුව ක්‍රියාත්මක කිරීමය.
ඒක එක්කෝ ජනතා මතය නියෝජනය වන පාර්ලිමේන්තුව හරහා ලබා දෙන විසඳුමකින්ය. එහෙමත් නැත්නම් කෙළින්ම ජනතාව ඉදිරියට පැමිණ ජනතාවගෙන් විමසා ජනතාව හරහා ලබා දෙන විසඳුමකින්ය.

ආණ්ඩුව ඇතුළේ මේ විදියට එක එක ප්‍රශ්න ඇවිත් ඒ ප්‍රශ්න පිටින් ගිහින් මහින්දව වට්ටන්න බලන් ඉන්න විපක්ෂයේ හීන කවදාවත් හැබෑ නොවන්නේ ඒ නිසාය. මොකද තීන්දුව ගන්නේ මහින්ද නොව පාර්ලිමේන්තුවය. එහෙමත් නැතිනම් රටේ ජනතාවය.
බණ්ඩාරනායක 56දී සිංහල රාජ්‍ය භාෂා පනත ගෙනාවාමත් විපක්‍ෂය බලාගෙන හිටියේ ඒක දඩමීමා කරගෙන දෙමළ ජනතාව අවුස්සලා බණ්ඩාරනායකව ගෙදර යවන්නය. ඒ වෙලාවෙ සිංහල බෞද්ධ ජනතාව බණ්ඩාරනායක සමඟ සිටියේය. ඊගාවට බණ්ඩාරනායක චෙල්වනායගම් සමඟ ගිවිසුම් ගහද්දී යූඑන්පීය බැලුවේ බණ්ඩාරනායක පුටුවට ගෙනා සිංහල බෞද්ධ ජනතාව උසිගන්වලා බණ්ඩාරනායකව ගෙදර යවන්නටය.

හැබැයි බණ්ඩාරනායක සිංහල බෞද්ධ මතයට හිස නවා චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමීමත් සමඟ යූඑන්පීයේ ඒ හීනයත් බිඳවැටිණි. අවස්ථා දෙකේදීම බණ්ඩාරනායකගේ වාසියට හිටියේ රටේ බහුතර මතයත් එක්ක කෙළින් හිටගැනීමය.
අද යූඑන්පීය ප්‍රමුඛ විපක්‍ෂය මහින්දට කරන්න යන්නේ එදා යූඑන්පීය ප්‍රමුඛ විපක්‍ෂය බණ්ඩාරනායකට කරන්න ගිය දේමය.

අද යූඑන්පීය බලන්නේ මහින්ද උතුරේ ඡන්දය තියන්නේ නෑ කියා දෙමළ දේශපාලන පක්‍ෂ හා ජාත්‍යන්තරය අවුස්සා මහින්දව එතැනට තල්ලු කරන්නටය. එහෙම තල්ලු කොට මහින්ද උතුරේ ඡන්දය තිබ්බොත් මහින්දව ජනාධිපති පුටුවට ගෙනා සිංහල බෞද්ධ ජනමතය මහින්දට එරෙහිව අවුස්සලා උෟරාගේ මාළු උෟරාගේම ඇඟේ තියා කපන්නටය.

බණ්ඩාරනායක වගේම මහින්දත් යූඑන්පීයේ මේ සෙල්ලම නොදන්නවා නොවේ.
හැබැයි එදා යූඑන්පීයේ මේ සෙල්ලම දැන සිටි බණ්ඩාරනායකට අන්තිමේදී සිද්ධ වූයේ වෙඩි කන්නටය. ඒ විශ්වාසවන්ත වළල්ලක් තමා වටේ නොමැති වීම නිසාය. ඒත් අද මහින්ද වටේ විශ්වාසවන්ත එක වළල්ලක් නොව වළලු හත අටක්ම තිබෙන බව යූඑන්පීය ඔළුවේ තියාගත්තොත් හොඳය.


මවුබිම