හැංගිමුත්තො හැංගියෝ - උපුල් ජෝශප් ප්‍රනාන්දු

දැන් තොණ්ඩුව මහින්දගේ බෙල්ලටම තදවී තිබේ. රජ ගෙදරට යන තෙක් මේ ප්‍රශ්නයත් එක්ක හැංගි මුත්තන් කෙළින්න කන් කන් බූරූ චින් චින් නෝරු කී සිංහල බෞද්ධ බලවේග අද මහින්දට කියන්නේ හැංගි හැංගි බැන්ද වෙස් මුහුණ ගලවල දැන් එළිපිට ඒ අය ගහන පදයට නටන්න කියාය.

"මහින්ද රාජපක්ෂ මහත්තයා බලනවා මේ අර්බුදය අස්සේ තමා කොහොමද කිසි ගාණක් නැතුව ලාබෙට ජනාධිපති කමට එන්නේ කියලා..."

විමල් වීරවංශ
09. 07. 2005
ලංකාදීප
 
"රටට ඉතා වැදගත් වන සුනාමි ඒකාබද්ධ යාන්ත්‍රණයට ජනාධිපතිනිය අස්සන් කළත් රටේ අගමැතිවරයා ඒ ගැන දරන මතය රටට නොකියා අඳ, ගොළු, බිහිරි පිළිවෙතක් රකිමින් ඉන්නවා. මේක හොඳද නරකද කියා කියන්නට අගමැතිවරයාට හයියක් නැහැ. ගිවිසුමට එරෙහිව ජ.වි.පෙ. ආණ්ඩුවෙන් ඉවත් වුණා. ශ්‍රී ල.නි.ප. සියලු දෙනාම එයට කැමැතිද? අගමැතිතුමා ඒ ගැන කතා නොකර ඉන්නේ ඇයි දැයි ඔහුට වඩා හොඳින් ජනතාව දන්නවා. නුදුරේ එන ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය ලබා ගෙන ජාතිවාදී ජ. වි. පෙ. සහ හෙළ උරුමයෙත්, ශ්‍රී ල. නි. ප. යේ ජාතිවාදී කොටස්වලත් සහාය ලබාගෙන ජනාධිපති වීමේ සිහිනය සැබෑ කරගන්නටයි ඔහු නිහඬම ඉන්නේ. රටට වැදගත් වන සිදුවීමකදී රටේ අගමැති මුනිවත රැකීමෙන් ඔහු ජනාධිපති අපේක්ෂකත්වයට නුසුදුස්සෙක් බව ඔප්පු කර තිබෙනවා. මේ රටට අවශ්‍ය ප්‍රශ්නයකදී අඳ, ගොළු, බිහිරි පිළිවෙතක් රකින නායකයන් නොව අදහස් ප්‍රකාශ කර කෙළින් තීරණ ගත හැකි නායකයන් බව ජනතාව පිළිගෙන තිබෙනවා..."
 
වික්‍රමබාහු කරුණාරත්න
07. 07. 2005
ලංකාදීප
 
මේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ සුනාමි සහන මණ්ඩල ගිවිසුම කාලයේ එවකට අගමැති මහින්ද රාජපක්ෂගේ ස්ථාවරය ගැන විමල් වීරවංශලා වික්‍රමබාහුලා කී කතන්දරය.
 
     ඇත්තටම සුනාමි සහන මණ්ඩලය ගැන පමණක් නොව ලංකාවේ වාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂගේ දේශපාලන තුළ තියෙන්නේ හැංගි මුත්තන් කෙළියකි. මහින්දගේ දේශපාලනයේ සාර්ථකත්වයත් ඒ හැංගි මුත්තන් කෙළියය. 1992 දී චන්ද්‍රිකා ශ්‍රී ල. නි. ප. යට පැමිණ වාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අවශ්‍ය යැයි කියන මතය ශ්‍රී ල. නි. ප. ය තුළ හදන විට මහින්ද සහාය දුන්නේ යුද්ධයෙන් මේ ප්‍රශ්නය විසඳිය යුතු යැයි කියපු පක්ෂය තුළින්ම නිර්මාණය වුණ හෙළ උරුම කල්ලියටය. ඒ, හෙළ උරුම කල්ලිය වාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් දරපු මතයට නොවේ. මහින්ද ඒ වේලාවේ හිතුවේ ඔවුන්ගේ මතය ශක්තිමත් වුවහොත් චන්ද්‍රිකා දුර්වල වී අනුරව ශක්තිමත් කොට මහින්දට පක්ෂයේ දෙවැනි තැන ගන්නටය. ඒ වෙලාවේ හෙළ උරුම කල්ලිය තුළ සිටි තිලක් කරුණාරත්න, ජිනදාස නියතපාල, හේමකුමාර නානායක්කාර යන මන්ත්‍රිවරු චන්ද්‍රිකා විරෝධී අනුරගේ සගයෝ වූහ.

 1994 දී චන්ද්‍රිකා බලයට ඇවිත් වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස පැකේජයක් හඳුන්වා දෙන විට මහින්දට අවශ්‍ය වුණේ ශ්‍රී ල. නි. ප.ය තුළත් ඉන් පිටතත් සිංහල බෞද්ධ බලවේගයන්ට නායකත්වය දෙන්නටය. මහනායක හිමිවරු මහින්දට ශ්‍රී රෝහණ ජන රංජන ගෞරව නාමය දෙන්නේත් මහින්ද ආණ්ඩුව ඇතුළේ සිට පැකේජ විරෝධී බලවේගවලට නායකත්වය දෙන නිසාය. හැබැයි 2000දී චන්ද්‍රිකාගේ ආණ්ඩුව පැකේජය පාර්ලිමේන්තුවට ගේන විට මහින්ද ලොකු අමාරුවක වැටුණි. මහනායක හිමිවරු සහ පැකේජ විරෝධී සිංහල බෞද්ධ බලවේග මහින්දට පැකේජයට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න යැයි බලපෑම් කරද්දී ඔහු තංගල්ල බලා යන්නේ පැකේජයට එරෙහිව ඡන්දය පාවිච්චි කළොත් තමාගේ ශ්‍රී ල. නි. ප. දේශපාලනය එතැනින්ම අවසාන බව දැනගෙනය. මහින්දගේ වාසනාවකට චන්ද්‍රිකා පැකේජය හකුළා ගනී. නැතිනම් සිංහල බෞද්ධ බලාවේගය හෝ ශ්‍රී ල.නි.ප. යන දෙකින් එකක් මහින්දට නැති වෙන්න ඉඩ තිබිණි.
 
යළිත් මේ වාර්ගික ප්‍රශ්නය කරළියට එන්නේ 2002 රනිල්ගේ ආණ්ඩුව අස්සන් කරන සටන් විරාම ගිවිසුමෙනි. මහින්දට විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට රනිල්ගේ ආණ්ඩුව උදවු කරන නිසා මහින්ද සටන් විරාමය සිය දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව කරගත්තේ නැත. ඔහු ඒ වෙනුවට ජීවන වියදම, පෞද්ගලීකරණය සිය ප්‍රධාන මාතෘකාව කර ගනී. ඒත් ඒ වේලාවේ ශ්‍රී ල. නි. ප. ය, ජ. වි. පෙ. සමඟ එක්ව සටන් විරාමයට එරෙහිව මහජන බලයක් නිර්මාණය කරනු ලබයි. ඒ වෙලාවේ මහින්ද එයට එක් නොවී ල. ස. ස. ප. සහ කො. ප. වැනි පැරැණි වම සමඟ එක්වී ජීවන වියදම, පෞද්ගලීකරණයට එරෙහි ජන බලයක් හදනු ලබයි. 2003 දී චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යංශ පවරාගත් පසු මහින්ද ශ්‍රී ල. නි. ප. ය සහ ජ. වි. පෙ. හදපු සටන් විරාම විරෝධී ජන බලය සියතට ගත්තේ චන්ද්‍රිකා පිහිටුවන්න යන ආණ්ඩුවේ අගමැති ධුරය ගැන සිහින දකිමින්ය.
 
2005 දී චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලයට අස්සන් කොට ජ. වි. පෙ. ආණ්ඩුවෙන් කැඩී යද්දී මහින්දට යළි 2000දී පැකේජය ගෙනාපු වේලාවේ මුහුණ පාපු දුෂ්කරතාවටම මුහුණ පාන්න සිදුවෙයි. එක් අතකින් ජ. වි. පෙත් අනෙක් පැත්තෙන් හෙළ උරුමයත් සිංහල බෞද්ධ බලය පෙන්වා සුනාමි සහන මණ්ඩලයට එරෙහිව එළියට එන්න යැයි මහින්දට අභියෝග කරද්දී අගමැතිකමත් පක්ෂ සාමාජිකත්වයත් රැකගෙන ජනාධිපති අපේක්ෂක වීමේ අභියෝගය ඉදිරියේ මහින්ද අසරණ වෙයි. චන්ද්‍රිකාගේ බලපෑම මත අගමැති ලෙස මහින්දට සුනාමි සහන මණ්ඩල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සිදුවේ. එයින් සුනාමි සහන මණ්ඩලයට එරෙහි සිංහල බෞද්ධ බලය තුළ මහින්දගේ ප්‍රතිරූපය කඩා වැටීමකට ලක්වෙයි. ඒ වෙලාවෙ මහින්දව බේරා ගන්න එන්නේ වෙන කවුරුවත් නොව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාය. ඔහු සුනාමි සහන මණ්ඩලය නීති විරෝධී යැයි තීන්දුව දී එය ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් මහින්දව නිදහස් කර ගනී. එම තීන්දුවත් සමඟ චන්ද්‍රිකා හතර ගාතෙන් වැටෙද්දී ජන බල මෙහෙයුමෙන් නැඟිටින රනිල් පරද්දන්න ජ. වි. පෙ., හෙළ උරුමය සහ සරත්, සිල්වා යන සිංහල බෞද්ධ ජන බල සාධක මහින්ද වටා එක් රොක් වෙයි. මහින්ද අත පය දිගහැර සුනාමි සහන මණ්ඩලය අහෝසි කරන ගිවිසුම්වලට ජ. වි. පෙ. සහ හෙළ උරුමය සමඟ වෙන් වෙන්ව අස්සන් කරයි.
 
වාර්ගික ප්‍රශ්නය සම්බන්ධව හැංගි මුත්තන් කෙළියට පින් සිද්ධ වෙන්න මහින්ද රජ ගෙදරට යන්නේ එහෙමය. ඒත් මහින්ද ජනාධිපති වූවාට පසු ප්‍රශ්නයට විසඳුම නමැති තොණ්ඩුව මහින්දගේ බෙල්ලටම වැටෙයි.

"යුද්ධය දිනන්න දෙන්න. ප්‍රභාකරන් ඉන්න කන් විසඳුම් දීලා වැඩක් නැහැ...."

මහින්ද එහෙම කියලා තොණ්ඩුව ටික කාලයකට ලිහිල් කරගනී.
 
ඒත් දැන් තොණ්ඩුව මහින්දගේ බෙල්ලටම තදවී තිබේ. රජ ගෙදරට යන තෙක් මේ ප්‍රශ්නයත් එක්ක හැංගි මුත්තන් කෙළින්න කන් කන් බූරූ චින් චින් නෝරු කී සිංහල බෞද්ධ බලවේග අද මහින්දට කියන්නේ හැංගි හැංගි බැන්ද වෙස් මුහුණ ගලවල දැන් එළිපිට ඒ අය ගහන පදයට නටන්න කියාය. හෙළ උරුමය උතුරේ ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කරන ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ ඒකටය.

මහින්ද මොන තරම් හැංගි මුත්තන් කෙළියත් මේ පාර කෙළියෙන් මහින්ද ඉන්නා තැන එළි වෙනවා සත්තය.