ශ‍්‍රී ලංකාව: අල්මාරියේ ඇටසැකිලි?


ජොනතන් මිලර් විසිනි. 



විමුක්ති කොටි අරගලයේ නිජබිම වූ දෙමළ උතුරෙහි ජයෝන්මාදයසම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට පසුගිය පෙබරවාරියේ දී චෝදනා එල්ල කරද්දී, එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය සිය වදන් ලිහිල් නොකළා ය. වන්නිය නමින් හැඳින්වෙන ප‍්‍රදේශයේ සිවිල් ජනතාවට යුද්ධයේ දී මියගියවුන් සැමරීම තහනම් කරනු ලැබ ඇතැයි නවී පිල්ලෙයි පසුගිය පෙබරවාරි 11වැනි දා පලකළ වාර්තාවකින් කියා සිටියා ය.

වාර්තාවන අන්දමට දැනට වන්නි ප‍්‍රදේශය අත්පත්කරගෙන සිටින ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ හමුදාවන් විසින් සොහොන් 20, 000කට වඩා තිබූ දෙමළ කොටි සුසාන භූමි මුළුමනින් සමතලා කරදමා ඇත. ජයග‍්‍රාහකයන් සැමරීම සඳහා වන කෞතුකාගාර, ස්මාරක පළාත පුරා මතුවෙමින් එයි. මේ තත්ත්වය පිල්ලෙයි මහත්මිය ගේ වචනවලින් ම කියතොත්, ‘ජයෝන්මාදවාදී සංඛේත ගොඩනැඟීමේ නැඹුරුව ප‍්‍රදේශයේ ජනයා තුළ බලවත් නොසලකාහැරීමේ හැඟීම් දනවයි.

මිලිටරිහරණය සඳහා වූ ඉල්ලීම් ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කරයි

මෙයින් වසර හතරකට ආසන්න කාලයකට ඉහත දී අවසන් වූ 27 වසරක යුද්ධයේ දී සිදුවීය යි කියන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක්, මහකොමසාරිස්වරිය නැවතත් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ගේ වාර්තාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ප‍්‍රතිචාරය බලාපොරොත්තු වූ පරිදි ම ප‍්‍රතික්ෂේප කිරීමකි. වන්නි ප‍්‍රදේශයෙන් හමුදා ඉවත්කිරීමේ ඇගේ ඉල්ලීම ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කළේ ය.

‘‘මනුෂ්‍ය ඝාතනයන් දැක්වෙන චැනල් 4 වීඩියෝ පටය සත්‍ය එකක් බවට පිළිගැනීමට සක්ෂ්‍ය නැතැ’’යි ආණ්ඩුව නැවත වතාවක් අවධාරණය කරයි. අනීතික ඝාතනයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ද ඇතුළු බොහෝ ස්වාධීන විශේෂඥයන් විසින් චැනල් 4 පුවත් නාලිකාව විසින් පළමු වතාවට විකාශනය කරන ලද මෙම වීඩියෝ පටයේ සත්‍යතාව තහවුරු කර ඇත.

පිල්ලෙයි මහත්මිය ගේ වාර්තාව පළවූ වහා ම, වන්නි ප‍්‍රදේශයේ අගනගරය වන යාපනය වෙත සංචාරයක යෙදීමට එය සුදුසු අවස්ථාව බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තීරණය කළේ ය. සිදුවෙමින් පවතින සංවර්ධන කි‍්‍රයාදාමයන්පරීක්ෂා කරමින් ඔහු දින දෙකක් යාපනය අර්ධද්වීපයේ ගතකළේ ය.

මිලිටරියෙන් දුවවන සංචාරක කර්මාන්තය

ලන්ඩනය පදනම් කරගත් සාමය සහ යුක්තිය සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රයත්නය’ (Sri Lanka Campaign for Peace and Justice) විසින් පළකරන ලද, කලින් යුද්ධය පැවැති ප‍්‍රදේශවල ‘‘හමුදාවන් විසින් පවත්වාගෙන යනු ලබන සංචාරක කර්මාන්තයේ නැඟීම’’ නම් ලිපියෙහි, පිල්ලෙයි මහත්මිය විස්තර කරන ජයෝන්මාදවාදය මනාව නිරූපනය කර තිබිණි.

‘‘තට්ටු තුනේ බිම්ගත බංකරයක්, වෙඩිපිටියක්, සිනමා හලක්, අඩ බිම්ගත ගරාජයක් හා අවමංගල්‍ය ශාලාවක්’’ඇතුළත්, කලින් දමිළ කොටින් ගේ පාලන මධ්‍යස්ථානයේ ‘‘මාර්ගෝපදේශක චාරිකාවක් සංචාරකයන්ට පිරිනැමෙන බව’’ එහි සඳහන් වේ.

‘‘එහි සඳහන් ව නොමැත්තේ, එල්ටීටීඊයට අනවරත බියෙන් ජීවත් වූ සහ ඉන් අනතුරුව ශ‍්‍රී ලංකා හමුදාවන් ගේ වධ බන්ධනයන්ට ලක්ව සිටින දෙමළ ජනයා ගේ දුක්ගැහැට පිළිබඳ විස්තර ය.’’

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචණ්ඩකාරී ඉතිහාසයේ අවතාර ප‍්‍රලය කර පලවා හැරීම පහසු නැතිබව ඔප්පු වෙමින් තිබේ. කොටින්ම රටේ දෙවැනි බලවත් ම පුද්ගලයා: ජනාධිපතිවරයාගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂටවත් එය පහසු නැත.

(දෙමළ සිවිල් වැසියන් දස දහස් ගණනක ගේ ජීවිත කැපකොට) දෙමළ කොටි කැරැල්ල තලාදැමීමේ කීර්තියෙන් පුදනු ලැබූ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාව, මෙයින් වසර 20කට පෙර ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන්නකුව සිටිය දී සිදු වූ සමූහ ඝාතනයකට, ශ‍්‍රී ලංකා මාධ්‍යවලින් විශාල වශයෙන් සම්බන්ධ කොට තිබේ. කෙසේ වෙතත් එවකට මරාදැමුණු බවට චෝදනා එල්ල වන්නේ මාක්ස්වාදී සිංහල කැරලිකරුවන් ය.

ජවිපෙ පරීක්ෂණයක් ඉල්ලයි                   
ප.ම අනුර කුමාර(ජ.වි.පෙ)



මාතලෙන් සොයාගනු ලැබූ ඇටසැකිලි
දෙසිය දෙනකුට වැඩි පිරිසක ගේ විය හැකි මනුෂ්‍ය ඇටසැකිලි කොටස් මධ්‍යම පළාතේ මාතලේ නගරයෙන් මුල්වරට හමුවූයේ පසුගිය දෙසැම්බරයේදී ය. ඝාතනයට ලක්වූවන් වධ බන්ධනයන්ට ලක්ව ඇති බව සහ ඔවුන් ගේ හිස් හා අත් පා කොටස් සිරුරෙන් වෙන්කර ඇති බව ජවිපෙට අයත් දේශපාලකයෝ චෝදනා කරති.

‘80 දශකය අගභාගයේ දී මාතලේ ප‍්‍රදේශයේ වධකාගාර පවත්වාගෙන ගිය බවට සහ නීතියට පිටින් මනුෂ්‍ය ඝාතනයන් සිදුකළ බවට එවකට පැවැති ආණ්ඩුව පුළුල් ලෙස චෝදනා ලැබී ය. වාර්තා වන පරිදි 60, 000කට අධික ජවිපෙ කැරලිකරුවෝ ඝාතනයට ලක්වූහ. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් වන ජවිපෙ, මාතලේ සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් උදෙසා බලකරති.

ශ‍්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනුව, හමුදා සම්බන්ධීකරණ නිලධාරියා සේ ම අදාළ ප‍්‍රදේශයේ එවකට අණදෙන නිලධාරියා ද වී සිටියේ, වෙනත් කිසිවකු නොව ගෝඨාභය රාජපක්ෂ ය.

එසේ ම ලූතිනන් කර්නල් රාජපක්ෂ යටතේ එවකට සේවය කළ කනිශ්ඨ නිලධාරීන්ගෙන් බොහෝ දෙනකු ගේ නම්, වන්නි යුද්ධයෙන් දිවිගලවාගත් දෙමළ ජනයාට හොඳට හුරුපුරුදු ය. ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ඩයස් වැනි සිවිල් යුද්ධයේ තීරණාත්මක අවසන් මාසවල දී ජ්‍යොෂ්ඨ ජනරාල්වරුන් වශයෙන් සිටියවුන් ගේ නම් ඒ අතර වේ. අනෙක් තැනැත්තා පසුගිය අගෝස්තු මාසය වනතුරුත් වන්නියේ සිටි ආරක්ෂක හමුදාවේ ආඥාපති වූ සුමේධ පෙරේරා ය.


..............................................................................................................................................

2013 පෙබරවාරි 14 වැනි දා ජොනතන් මිලර් විසින් Sri Lanka: skeletons in the cupboard? මැයෙන් ලියන ලදුව Channel 4 රූපවාහිනී සේවාවට අයත් 4News - World News Blog අඩවියෙහි පළවූ ලිපියේ සිංහල අනුවාදයයි.