ශ‍්‍රී ලංකාවට එරෙහි එක්සත් ජාතීන්ගේ යෝජනාවේ සැර, ඉන්දියාව යළිත් බාල කළාද?


ජී ප‍්‍රමෝද් කුමාර් විසිනි

එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සමුළුව වෙත ගෙන ඒමට යෝජිත ශ‍්‍රී ලංකාවට එරෙහි දෙවැනි යෝජනාවේ සැර සාර්ථක ලෙස බාල කිරීමට ඉන්දීය ආණ්ඩුව සමත්වී ඇති බව පෙනෙන්නට තිබේ.

සඳුදා සභාගත කැරුණු සංශෝධිත එක්සත් ජනපද වාර්තා කෙටුම්පත වඩා මෘදු එකක් වන අතර, ‘‘ලියවිල්ල සම්බන්ධයෙන් ඉන්දියානු බලපෑම පැහැදිලිව විදහා දක්වන සාක්ෂි බහුලව ඇතැ’’යි ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ ඉන්දියාවේ ප‍්‍රධාන විධායක ජී ආනන්දපද්මනාභන් පැවසී ය.

‘‘ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප‍්‍රජාවේ අවධානයේ සැළකිය යුතු පිරිහෙළීමක් සිදුව තිබෙන්නේයැ’’යි ඔහු කීය. මුල් කෙටුම්පත හා සසඳන කල, ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වූ ඉල්ලීම අත්හැරදමා ඇති අතර, දැන් වගකීම වන්නේ ශ‍්‍රී ලංකාව ගැන පරීක්ෂණයක් කිරීම සඳහා යාන්ත‍්‍රණයක් සැකසීම ය.

මෙය මාර්තු 22වැනි දා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී පැවැත්වෙන යෝජනාව පිළිබඳ සාකච්ඡාවට පෙරාතුව සිදුවූ, ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවේ වූ තදබල ස්ථාවරයේ සැලකිය යුතු අපගමනයකි.
ජාත්‍යන්තර ප‍්‍රජාවේ සැලකිල්ලෙහි බැරෑරුම් අපගමනයක් බැවින් මෙය, ශ‍්‍රී ලංකාවේ යුක්තිය සඳහා වන සටනේ ‘‘දැවැන්ත පරාජයක්’’ සේ ම, ‘‘ඉන්දීය රාජ්‍යෝපායයේ හා ශ‍්‍රී ලංකාවේ දැවැන්ත ජයග‍්‍රහණයක්’’ ලෙස ක්ෂමා සංවිධානය හැඳින්වී ය. 

යෝජනාවේ සැර බාලකැරෙන අනෙකුත් වෙනස්කම් මෙසේ ය :

1. ශ‍්‍රී ලංකා ආණ්ඩුව යන්න වෙනුවට ‘එක් එක් රාජ්‍යයන්’ ආදේශකරනු ලැබ ඇති අතර එ මඟින් ශ‍්‍රී ලංකාවට සුවිශේෂී වනවා වෙනුවට එය පොදු නිරීක්ෂණයක් බවට පත්කර ඇත.

2. ශ‍්‍රී ලංකාවට රුකුල් දෙන නව වගන්ති තුනක් සංශෝධිත යෝජනාවට ඇතුළු කර තිබේ.

3. උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය 2013 සැප්තැම්බරයේ පැවැත්වීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් නිවේදනය කර තිබීම නව ලියැවිල්ල සාදරයෙන් පිළිගනී.

4. උතුරු ශ‍්‍රී ලංකාවේ යටිතල පහසුකම් යළි ගොඩනැංවීම හා එල්එල්ආර්සී වාර්තාව ජාතික ප‍්‍රතිසංධානයකට පදනම විය හැක්කේ කෙසේ ද යන්න ද නව ලියැවිල්ල සඳහන් කරයි. 

ක්‍ෂමා සංවිධානය චෝදනා කරන පරිදි සංශෝධනයන් ‘‘ඉන්දීය බලපෑමේ සලකුණ’’ පැහැදිළිව පෙන්වන අතර, එමඟින් කෙටුම්පතේ අවශේෂයෙහි ‘‘ස්වරය සකසා’’ ඇත. සිදුකළැයි කියන අපරාධ හා අයිතීන් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුවට අනුබල දීම මගින් යෝජනාවේ ‘දළ’ ඉවත් කොට ඇත.

ජාත්‍යන්තර ප‍්‍රජාවට හා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වී තිබිණි. එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවනීදම් පිල්ලෙයි පවා එම ඉල්ලීම මතුකර තිබුණාය. එය මූලික යෝජනාවට ද ඇතුළත් වී තිබිණි. 

අනෙක් පසින්, ඉන්දියාව එවැනි පරීක්ෂණයක් ශ‍්‍රී ලංකාව තුළින්ම පැමිණිය යුතුය යන මතය දරා සිටියාය. සංශෝධිත කෙටුම්පත විදහා දක්වන්නේ ඉන්දීය ස්ථාවරයයි.

මූලධාර්මික ව එය නිවැරැදි විය හැකි වුවත්, ශ‍්‍රී ලංකාව විෂයයෙහි ගත් කළ එය, යුද අපරාධවලට පමණක් නොව තමන්ගේ පුරවැසියාට සහ ජාත්‍යන්තර ප‍්‍රජාවට ද සිය වගකීම කඩකළ රාජ්‍යයක් සමඟ එකතු වී රැවටීමකට සැලසුම් කිරීමට සමාන ය. එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ හා හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ මෑත වාර්තාවන් පෙන්වා දුන් පරිදි පැහැරගැනීම්, අතුරුදන් කිරීම්, අයිතීන් උල්ගංඝනය කිරීම් හා වධහිංසාවන්ට නිදසුන් සපයන සිදුවීම් 2012 වසරේ පවා අඩුවක් නැතිව සිදුවෙමින් පවතී.

පසුගිය වසර හතරක කාලය තුළ අයිතීන් උල්ලංඝනයන් හා යුද අපරාධ පිළිබඳ සාක්ෂ්‍ය කන්දරාව එසේ ම තිබිය දී, වගවීම තහවුරු කිරීමට ශ‍්‍රී ලංකාව වැදගත් කිසිවක් ම කර නැත. ඔවුන් නැවත නැවතත් අවභාවිතයේ යෙදූ තව තවත් කාලය ලබාදීම හා එකම වගකීම් යළි පැවරීම මානව හිමිකම් කි‍්‍රයාකාරිකයන්ට හා ජාත්‍යන්තර ප‍්‍රජාවට කටුක පරාජයකි.

ඉන්දීය පාලක සන්ධානයෙන් කරුණානිධිගේ ඉවත්වීමට, මේ වර්ධනයන්ගෙන් ඒකාන්තයෙන් ම බලපෑමක් වූබව පෙනේ. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලංසු තබන කොන්ග‍්‍රසය සමඟ පෙළගැසීම තමිල්නාඩුවේ  ඕනෑ ම දේශපාලන පක්ෂයකට සිය දිවිනසාගැනීමක් විය හැකි ය. අද උදෑසන (මාර්තු 19* ඔහු ඉන්දියානු මැදිහත්වීම පිළිබඳ දැනගත්තා විය හැකි ය. ඔහු හදිසියෙන් ම පුවත්පත් සාකච්ඡාවක් කැඳවා සිය ඉවත්වීම ප‍්‍රකාශයට පත්කළේ එහෙයින් වීමට ඉඩ ඇත.

වාර්තාවන අන්දමට සම්පූර්ණ ව්‍යායාමය අසමර්ථ කරමින් මානව හිමිකම් කවුන්සිලයට එන අවසන් යෝජනාවේ වගන්තිවල සැර බාලකර ඇත්තේ ඉන්දියාව යි. නෛතික බැඳීමකින් තොර යෝජනාවකට පවා ගරුකිරීමට ශ‍්‍රී ලංකාව කිසිවක්ම කර නැති බැවින්, වඩා දැඩි වගන්ති සහිත දෙවැනි යෝජනාවකට යාමට එක්සත් ජනපදය තීරණය කළා ය. මෙම යෝජනාවේ මූලික කෙටුම්පත සැබවින් ම ශක්තිමත් වූ අතර ශ‍්‍රී ලංකාවට හොඳටම අයහපත් එකක් වන්නට ඉඩතිබිණි.

වඩාත් වැදගත් - සහ පැහැදිළිවම ශ‍්‍රී ලංකාවේ මහත් වදයට හේතු වූ - දෙවැනි යෝජනාවේ, ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ඉල්ලීමක් ද ‘‘සත්‍යය සෙවීමේ යාන්ත‍්‍රණයක්’’ වශයෙන් හැඳින්වූ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ යෝජනාවක් ද විය. එය එක්සත් ජාතීන් ගේ විශේෂ නියෝජිතයන්ට නිර්බාධිත ප‍්‍රවේශ අවස්ථා ද ඉල්ලී ය. තවදුරටත් එය ශ‍්‍රී ලංකාව තුළ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණවලට ද රුකුල් දුන්නේය. පරීක්ෂණයක් සඳහා ඉල්ලීම හා විශේෂ නියෝජිතයන්ට රටට ඇතුළුවීමේ අවස්ථා පිළිබඳ සම්පූර්ණ වගන්ති සංශෝධිත කෙටුම්පතෙන් කපා හැර තිබේ.

ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳ කිසියම් හෝ තැනක සඳහනක් තිබිණි නම් එය සුපරීක්ෂාකාරී ව මකා දමා තිබේ.

මේ සියල්ලට අමතරව, සිදුවෙමින් පවත්නා මානව හිමිකම් උල්ලංඝනයන් ද, එල්එල්ආර්සී නිර්දේශ කි‍්‍රයාත්මක නොවීම ගැන ද එය සිය සැළකිල්ල ප‍්‍රකාශ කර ඇත. එල්එල්ආර්සී වාර්තාව ප‍්‍රමාණවත් පරිදි අයිතිවාසිකම් සම්බන්ධ කාරණය ආමන්ත‍්‍රණය කර නැති බව කියමින් එය පියවරක් ඉදිරියට ද ගොස් තිබේ.

සංශෝධිත කෙටුම්පත නැවත වතාවක් මුළුමහත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල කි‍්‍රයාවලියම මුළුමණින් නොසැළකිලිමත්ව ක‍්‍රියාකරන තත්ත්වයකට පත්කරනු ඇත. මෙතරම් දරුණු සංශෝධනයයන්ට එක්සත් ජනපදය එකඟවූයේ ඇයිද, කෙසේද යන්න සැබවින් ම ප‍්‍රහේලිකාවකි. ඇතැම් විට අප සියල්ලන් සිතනවාට වඩා ඉන්දීය රාජ්‍ය උපායඥානය බෙහෙවින් බලගතුවනවා වියහැකි ය.

..............................................................................................................................................................


ඉන්දියාවේ Firstpost  වෙබ් අඩවියට ්‍Has India Watered Down UN Resolution Against SL Yet Again?  මැයෙන් ජී ප‍්‍රමෝද් කුමාර් විසින් 2013 මාර්තු 19 වැනිදා ලියන ලද ලිපියේ සිංහල අනුවාදයකි.