සමාවෙන්න රිසානා !

සියලු දෙය දවස් දෙක තුනක් තුළ  අමතක කරන අනෙක් අයට  වඩා වෙනස් ශ්‍රී ලංකාවේ අපි රිසානාගේ මරණයට අර්ථයක් සපයයිද? අද රිසානා ජීවිතයෙන් වන්දි ගෙවුවද ඇය  වැනි දුප්පත් කමින් පීඩිතව විදේශ ගත වන තරුණ වැඩිහිටි  ජීවිත වලටද වන අතවර, කෲර වැඩ හිංසා, මරා දැමීම් නවතීද?
| නිපුනිකා මෙලන්ති ප්‍රනාන්දු 
 
ටික කලක සිටන් ලියන්නට නිමිති මුණ ගැසුණත් , යමක් ලියන්න සිත බලකරත් කිසිවක් නොලියා සිටියේ කම්මැලි කමට සහ යම් කිසි දරුණු කලකිරීමකින් පෙළුණු නිසා යැයි  මට සිතෙයි. නමුත් " මවුස් " චිත්‍රපටය නැරභීමට ගොස් එම කෘතීය පිළිබඳව  පුදගලිකව මට ඇති වූ අදහසින් පීඩාවට පත් වී නිවසට පැමිණි විට කන වැකුණේ මාගේ හදවත එක වරම තියුණු ආයුධයකින් කපා කොටා දමනවා වැනි වේදානාවක් ගෙනදෙන පුවතකි. මා හට ඇති වූ දැඩි වේදනාවාත්, කල කිරීමත් තුළ  කිසිවක් කර කියා ගත නොහැකි පරාජිත, හිස කළු ගසක ගසා ගත යුතු යැයි  හැඟෙන සියලු ආකාර වලින් හැඟීම්  දැනුනි.  එත් එක්කම මෙය හුදු කඳුළු සැලිය යුතු අවස්ථාක්  නොව දේශපාලනික විසඳුමක් අවැසි කාරනාවක් බව පසක් විය. මා පෙලූ ප්‍රධාන කරුණ වන්නේ රිසානාගේ මරණය මෙතරම් සරලව ආශ්චර්යෙන් පිරි භුමියේ සංවේදී වැසියන්  සලකන්නේ කෙසේද යන්නයි.

 මේ ගැන  අවට සිටි බොහෝ දෙනෙක් සමඟ කතා කළ  මා  ඒ සංවාද අවසන්  කරනු ලැබුවේ ඔවුන් සමඟ සිත් අමනාපයෙනි. මාගේ මාධ්‍යවේදී මිතුරෙකුට රිසානා ගැන යමක් ලියන්න යැයි පැවසු විට ඔහු කීවේ, ඔහුට ඒ ප්‍රශ්න දැනෙන්නේ නැති බවය;  නිවසට ආ අමුත්තෙකු සමඟ කතා කළ  විට ඔහුගේ අදහස වූයේ ලංකාවේද සවුදි අරාභියේ මෙන් නිතී තිබුනානම් අද ලංකාව සැබෑ ආශ්චර්යක් කියාය; තවත් මිතුරියකගේ අදහස වූයේ මරණ නම්  කීයක් වෙනවාද කියාය. පාසල් මිතුරියන් දෙදෙනෙකුට මේ ගැන පැවසු විට ඔවුන් රිසානා යනු කවරෙක්දැයි ඇසූහ.

මේ ආකාරයෙන් අහල පහල ගැවසෙන වුන්ගේ මානසික මට්ටමත් , මනුෂ්‍ය මට්ටමත්, දේශපාලනික සහ සමාජීය අවබෝධයත් මා වටහා ගත්තෙමි. දෙවනුව මේ ගැන මාගේ මුහුණු පොතේ යහළුවන් සමඟ කතා කළ  යුතු යයි සිතු මම මුහුණු පොතේ සරි සරන්නට සිතා එහි ගියෙමි. සැබෑ ආශිචර්යකි. ලෝක කුසලානයත්, ලෝක විනාශයත් තම ජීවිතය කරගෙන අදහස්, පෝස්ටර්, කාටුන්  ආදී විවධ දෑ  බෙදාගත් මුහුණු පොතේ මිතුරන් විශාල ප්‍රමාණයක් අතරින් රිසානා  ගැන වචනයක් හෝ පල කර තිබුනේ දෙදෙනෙකු පමණි. දැඩි ලෙස සිතින් කම්පා වුණු  මා රිසානා ගැන පොඩි අදහසක් මුහුණු පොතේ පල කරමි. ඔවුන් යුහුසුළුව රිසානාව මතක් කළාට  මට තුති පුදා ඔවුන්ගේ සුපුරුදු ෆැන්ටසිමය ලෝක වල පා වුණි. අහෝ දුකකි, ඉරකි, තිතකි.  බොහෝ පිරිස් තර්ක කළ කරුණක් වූයේ ශරීය නිතීය ඕනෑම රටකට ඉතා සුදුසු බවත්, ලංකාවේ රැකියා බහුලව ඇති විට විදේශගත වූ රිසානා වැනි අහිංසක තරුණ තරුණියන්, වැරදි බවත්ය. මෙරට රැකියා වියුක්තිය පිලිබඳ මා පවසද්දී රැකියා බහුල යැයි මට ඔප්පු කර පෙන්නනටද සැරසෙයි. මෙවන් චින්තනයන් සහිත වැසියන් අතර ජීවත් වන්නට බියක් මට නොදැනුනාද නොවේ.  මන්ද හෙට දින ආඩම්භරකාර තාත්තා අහිංසක මාගේ හිස ගසා දැමීමට තීරණය කළහොත් මේ සංවේදී වැසියෝ ඒ සඳහා කඩුවක් මුහත් කර එය රන් තැටියක තබා 'තාත්තාට'  පුදන බැවිනි.

සියලු දෙය දවස් දෙක තුනක් තුළ  අමතක කරන අනෙක් අයට  වඩා වෙනස් ශ්‍රී ලංකාවේ අපි රිසානාගේ මරණයට අර්ථයක් සපයයිද? අද රිසානා ජීවිතයෙන් වන්දි ගෙවුවද ඇය  වැනි දුප්පත් කමින් පීඩිතව විදේශ ගත වන තරුණ වැඩිහිටි  ජීවිත වලටද වන අතවර, කෲර වැඩ හිංසා, මරා දැමීම් නවතීද? තමන්ගේ දරුවා මැරෙන බව දැන  දැන  තව කෙතරම් දෙමාපියන් පිරිසකට බලාගත් අත  බලාගෙන සුසුම් ලන්නට වේද? රිසානාට සංවේදී නොවුනේ ඇය සිංහල බෞද්ධ හෝ සිංහල කතෝලික නොවූ නිසාද? චිත්‍රපටයක් අල්ලාගෙන කොළඹ පාරක් පාරක් පාසා කෑ  ගැසූ  මුසල් මානුවෙනි, ඔබගේ ඇදහිල්ල අඳ නොවේද? මිනිසෙක්ට තවත් මිනිසෙක් වැරදි යයි තීරණය කොට මරා දැමීමට අයිතියක් ඇත්තද? සැබෑ විනිශ්චය කා සතුද? තාරුණ්‍යයේ රස සොයන සහෝදර සහෝදරියනි, රිසානාගේ තාරුණ්‍ය ගැන ඔබේ අදහස කුමක්ද? කාර්ය බහුල ජීවිත ඇතුලේ මංමුලා වී දුවන සැමටමයි මී ආයාචනය, එන්න 1988 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවේ මුතුර් හී උපත ලදුව 2013 ජනවාරි 09 වන දින සවුදු අරභියේ, අල්ධවාහ්  හී හිස ගසා මරා දැමු රිසානා නෆීක් ළඟ නවතින්න. ජීවිතයේ මඟ හැරුණු බොහෝ දේවල් සොයා ගන්නට පුළුවන් වේවි.