රණවිරුවෝ සහ රණවිනිසුරුවෝ


උපුල් ජෝශප් ප්‍රනාන්දු 
මව්බිම



ව්‍යවස්ථාව යනු කඩදාසි කොළ කැබලි නොවේ. ඒ කොළ කැබලිවල ලියලා තියෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නා වූ පුද්ගලයන් ව්‍යවස්ථාවට එන චරිත කතාවයි. මේ පුද්ගලයන් දෙන්නා වූ චරිත කතාව පුද්ගලයන්ගේ හැසිරීම් මාලාව නිසා තමයි ව්‍යවස්ථාව ව්‍යවස්ථාවක් වන්නේ.....

මෙලෙස කීවේ මහාචාර්ය හර්මන් ෆයිනර්ය.

මහාචාර්ය ෆයිනර් කී කතාව නිවැරැදිය. විධායක ජනාධිපතිවරයා එක් පක්‍ෂයකින්ද, ආණ්ඩුව තවත් පක්‍ෂයකින්ද තේරී පත් වූ විට ඇති වන මහා වියවුල් තත්ත්වයට විසඳුම් ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවේ නැත. ඒත් 1994දී එ.ජා.ප. යේ ජනාධිපතිවරයකු වූ ඩී.බී. විජේතුංග ජනාධිපති ධුරයේ සිටියදී පොදු පෙරමුණු ආණ්ඩුවක් තේරී පත් වූ විට විජේතුංග මෙවැනි අවස්ථාවකට මුහුණ දීමේදී ව්‍යවස්ථාවේ තියෙන වියවුල් භාවය ප්‍රයෝජනයට ගෙන රට අවුල් කරන්න ගියේ නැත. ඔහු පොදු පෙරමුණට ආණ්ඩු කරන්න දී නිහඬ විය. 2001දී යළි මෙවැනි තත්ත්වයක් ඇති විය. ඒ චන්ද්‍රිකා ජනාධිපති ධුරයේ සිටියදී එ.ජා.ප. ආණ්ඩුවක් බලයට පත්වීමය. ඒ වේලාවේ ඇයත් එ.ජා.ප. යට රට ආණ්ඩු කරන්න දී නිහඬ විය. පසුව 2003දී ව්‍යවස්ථා වියවුල ප්‍රයෝජනයට ගෙන එ.ජා.ප. ආණ්ඩුව අවුල් කළේ අධිකරණයෙන් සහතිකයක් අරගෙනය.

විධායක ජනාධිපතිවරයකුගේ දෙවැනි නිල කාලයේ දිවුරුම් දීම සහ දිවුරුම් දුන් දින සිට දෙවන නිල කාලය ගණන් බලන ආකාරය පිළිබඳ ව්‍යවස්ථාවේ වියවුලක් තිබේ. 2005දී මේ ව්‍යවස්ථා වියවුල අධිකරණයට ගිය අතර අධිකරණ තීන්දුවට හිස නමා චන්ද්‍රිකා 2005දී ජනාධිපතිවරණය පැවැත්වූවාය.

මේ විජේතුංග සහ චන්ද්‍රිකා ව්‍යවස්ථාවට දුන්න චරිත කතාවය.

දැන් මහින්දත් අග්‍රවිනිශ්චයකාරවරිය ඉවත් කරන්න ගොස් ව්‍යවස්ථා වියවුලකට පැටලී සිටී. අග්‍රවිනිශ්චයකාරවරයෙක් ඉවත් කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව අධිකරණය තීන්දුවක් දුනහොත් ඇති වන අවුල ව්‍යවස්ථාව ලිහලා නැත.

දැන් කතානායකවරයායි, තේරීම් කාරක සභාවේ ආණ්ඩුවේ නියෝජිතයොයි කියන්නේ පාර්ලිමේන්තුව උත්තරීතර නිසා අධිකරණ තීන්දු පිළිගැනීමට තමන් බැඳී නැති බවය.

මේක හරියට 1994 පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත් වූ විට විජේතුංග ජනාධිපතිවරයා ඇමැතිකම් සියල්ල තමා යටතට පවරාගෙන ව්‍යවස්ථාදායකයට වඩා විධායකය උත්තරීතර යැයි කිව්වා වගේය. ඇත්තටම එදා එහෙම වුණා නම් රටම අවුල් වී රට ප්‍රපාතයකට වැටෙන්න ඉඩ තිබිණි. විජේතුංග ජනාධිපතිවරයා ඒ වෙලාවේ තීරණය ගත්තේ ව්‍යවස්ථාවට අනුව නොව හෘදය සාක්‍ෂියට අනුවය.

මහින්දගේ ආණ්ඩුවටත් හෘද සාක්‍ෂියට අනුව තීරණයක් ගන්න වෙලාව ඇවිත්ය.

තේරීම්කාරක සභාවට එරෙහිව දෙන අධිකරණ තීන්දුවක් ව්‍යවස්ථාදායකය පිළිනොගත යුතු යැයි හෝ එහිදී ව්‍යවස්ථාදායකය උත්තරීතර යැයි කියා සඳහනක් ව්‍යවස්ථාවේ නැත. යම්කිසි වියවුලකදී ක්‍රියා කරන ආකාරය ව්‍යවස්ථාවේ නැත්නම් යන්න ඕනා අධිකරණයටය. 2003දී චන්ද්‍රිකා එ.ජා.ප. ආණ්ඩුවේ ඇමැතිකම් පවරා ගන්න පෙර අධිකරණයට ගියාය. 2005දී චන්ද්‍රිකාගේ නිල කාලය පිළිබඳ ප්‍රශ්නය විසඳුවේ අධිකරණයය.

එහෙනම් තේරීම් කාරක සභාවේ ඉන්ස්ටන්ට් නූඩ්ල්ස්  වගේ ක්‍ෂණික නඩු ඇසීම ගැන අවසන් තීන්දුව ඇත්තේ අධිකරණයේය.

රටේ විධායක ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කර ගන්න අධිකරණයට යා යුතු බව ව්‍යවස්ථාවේම සඳහන්ය. රටේ විධායක ජනාධිපතිවරයා ඉවත් කළ යුතු යැයි පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රි පිරිසක් යෝජනා කරන දෝෂාභියෝගයකදී අවසන් තීරණය ඇත්තේ අධිකරණයේය. ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයකට තුනෙන් දෙකේ අස්සන් තිබුණත් කතානායකවරයා එම චෝදනා අධිකරණයට යැවිය යුතුය. චෝදනා ඔප්පු වී නැති බව අධිකරණය තීන්දු කළහොත් දෝෂාභියෝගය අහෝසි වේ. ඒ කියන්නේ විධායක ජනාධිපති ඉවත් කරන ක්‍රියාදාමයකදී රටේ අධිකරණය ඉන්නේ කතානායකවරයාටත්, පාර්ලිමේන්තුවටත් වඩා ඉහළින්ය. ඒ වගේම කතානායකවරයාගේ හෝ මන්ත්‍රිවරයකුගේ මන්ත්‍රි ධුරය පිළිබඳ ප්‍රශ්නයකදී අවසන් තීන්දුව දෙන්නේ අධිකරණයය.

එහෙව් අධිකරණය රටේ අග්‍රවිනිශ්චයකාරයාට එරෙහි දෝෂාභියෝගය ගැන තීන්දුවක් දෙනවා නම් එය පිළිගන්න පාර්ලිමේන්තුව බැඳී සිටී.

එය නොපිළිගන්නවා නම් රට යන්නේ යකාටය. රටේ රජ කරවන්න යන්නේ කැලෑ නීතියය.

ව්‍යවස්ථාවෙන් නීතියෙත් මුක්තිය ලබාදී ඇත්තේ රටේ ජනාධිපතිට පමණය. දෝෂාභියෝගය හරහා කතානායකවරයාත් තේරීම්කාරක සභාවේ මන්ත්‍රිවරුත් ඒ මුක්තිය තමන්ටත් හිමි යැයි කියති. අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගයක් විභාග වන අවස්ථාවක කතානායකවරයාට සහ තේරීම්කාරක සභා මන්ත්‍රිවරුන්ට නීතියේ මුක්තිය ලැබෙනවා යැයි කියා සඳහනක් ව්‍යවස්ථාවේ කොහේවත් නැත. එහෙනම් මොවුන් අධිකරණ නියෝගයට හිස නමා අධිකරණය ඉදිරියට යා යුතුය. සාමාන්‍යයෙන් රටේ පුරවැසියකුට අධිකරණයක් ඉදිරියේ පෙනී සිටින්න දුන් නියෝගයක් කඩනවා නම් එය අධිකරණයට කරන අපහාසයකි. එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්න නියෝග කළ හැකිය.

එහෙම බලන කොට අධිකරණය නිකුත් කළ නොතීසි පිළිනොගැනීමෙන් කතානායකවරයා සහ තේරීම්කාරක සභාව අධිකරණයට අපහාස කරනු ලබයි. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියේ පිහිට පතන්න සිදු වේ. පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් අධිකරණ නියෝග නොපිළිපදින කතානායකවරයාගේ මන්ත්‍රිවරුන්ගේ පාර්ලිමේන්තු අසුන් පමණක් නොව පොලිස්පතිගේ ධුරයද අහිමි කරන්නට අධිකරණයට පුළුවන්ය.

පාකිස්තානයේ වීරෝදාර අභීත අධිකරණය එරට අගමැතිගේ අගමැති ධුරය අහිමි කළේ එලෙසය.

අද පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කියන කතාවෙන් කරන්නේ අධිකරණය ගැන රටේ මහජනතාව අතර තියෙන බය නැති වීමය. හෙට අනිද්දා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මිනීමැරුමක් කොට පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කියා ඒ නිසා තමාට නීතියේ මුක්තිය ඇතැයි කියා නීතියේ රැහැනට හසුනොවී නිදැල්ලේ සිටිනු ඇත.

මේ එන්න යන්නේ ඒකටය. ජේ.ආර්. විධායක ජනාධිපතිට දුන්න මුක්තිය තමන්ටත් හිමි කර ගන්නටය.

ජේ.ආර්. මේ ව්‍යවස්ථාව හදල විධායක ජනාධිපතිට නීතියේ මුක්තිය ලබා දුන්නාට 1983ට පසු ප්‍රභාකරන් ඔහුටත්, ඔහුගේ සංවිධානයටත්, ඔහුගේ සංවිධානය යටතේ පාලනය වන ජනතාවටත් නීතියේ මුක්තිය ආයුධ බලයෙන් ලබා ගත්තේය.

අද උතුරු - නැඟෙනහිරට රටේ නීතිය බලපවත්වන්නේ නැහැ. එහෙ රජ කරන්නේ කැලෑ නීතිය. මේ කැලෑ නීතිය රජ කරන යුගය අවසන් කරන්න ඕනෑ......

එදා මහින්ද 2005 ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් ගාණේ කිය කියා ගියේ මේ කතාවය.

උතුරේ කැලෑ නීතිය අහෝසි කළේ අභීත වීරෝදාර රණවිරුවන්ය.

අද පාර්ලිමේන්තුව උත්තරීතරයි, අධිකරණ නියෝග පිළිපදින්න සූදානම් නැහැ කියා දකුණේ කැලෑ නීතිය රජ කරවන්න නීති හදන පාර්ලිමේන්තුවම උත්සාහ ගනී.

දේශපාලනඥයන්ට කැලෑ නීතිය අවශ්‍ය වන්නේ දේශපාලනඥයෝ සත්තු ලෙස හැසිරෙන්න යනකොටය.

මේ සත්තුන්ව හීලෑ කොට දකුණේ කැලෑ නීතිය රජ කරවීමේ උත්සාහය පරාජය කළ හැක්කේ අභීත වීරෝදාර රණවිරුවන් මෙන් පෙරට යන අභීත වීරෝදාර රණ විනිසුරුවන්ට පමණි.