මංජුලට ගැහුවේ ජනාධිපති ආරක්ෂක ඒකකයෙන්

පීඑස්ඩිය සහ පොලිසිය එක්ව අධිකරණ සේවා කොමිසමේ ලේකම් විනිසුරුට එල්ල කළ ප්‍රහාරයේ සුල මුල මෙන්න: අවසන් සැලසුම කෙළේ 'ස්ටාර් ඩස්ට්' ක්ලබ් එකේ

දුරකථනයක් සහ අව්කණ්නාඩියක් මංකොල්ල කෑම පමණක් කියා වහන්න හදන හැටි


උපුටා ගැනීම: ලංකා ඊ නිව්ස්

අධිකරණ සේවා කොමිසමේ ලේකම් විනිසුරු මංජුල තිලකරත්න මහතාට ඊයේ එල්ල කළ ප්‍රහාරය ජනාධිපති ආරක්ෂක අංශය සහ ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක‍ෂක පුෂ්පකුමාර එක්ව දැනුවත්ව කළ ප්‍රහාරයක් බවත් ඉන්පසු මෙය හුදු මංකොල්ලකෑමක් ලෙස ලඝුකර දැක්වීමට සැලැස්මක් ක්‍රියාත්මක වන බවත් ලංකා ඊ නිව්ස් දීර්ඝ ලෙස කරන ලද ගවේෂනයකින් තහවුරු කරගෙන තිබේ.

මෙම ප්‍රහාරයට පෙර දා රාත්‍රී එනම් 06 දා රාත්‍රී ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක‍ෂක පුෂ්පකුමාර හමුවීමට ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායමක් ගල්කිස්ස පොලිසියට පැමිණ ඇත. ඒ රාත්‍රී 10.30 ට පමණය. ඔවුන් පැමිණ ඇත්තේ ඒඒ 512 / 121 අංක දරණ මොන්ටෙරෝ ජීප් රියකිනි. පීඑස්ඩී එකේ වාහනයක් ඒවි තව ටිකකින් මාව හමුවන්න කියා පුෂ්පකුමාර පවසා තිබූ නිසා පැමිණි මෙම රථයේ අංකය පොලිසිය විසින් සටහන් කරගෙන තිබේ. පසුව පුෂ්පකුමාරව එම මොන්ටෙරෝ රථයේ නංවා ගත් පිරිස කෙළින්ම ගොස් ඇත්තේ මරා රෙජීමයේ අංක එකේ හිතවත් කෝටිපති ව්‍යාපාරිකයෙකු වන රවි විෙජ්රත්නට අයත් ස්ටාර් ඩස්ට් නම් සමාජ ශාලාවට ය. එහි සිට පසුදා කරන ප්‍රහාරයත් ඒ පිළිබඳව පොලිසිය ක්‍රියා කළ යුතු ආකාරයත් සැලසුම් කර තිබේ. කතිකාවෙන් පසු පුෂ්පකුමාර ගල්කිස්ස පොලිසියෙන් රථයක් ගෙන්වා ගෙන ස්ටාර් ඩස්ට් සමාජ ශාලාවෙන් පිටත්ව ගොස් ඇත්තේ රාත්‍රී 1.15 ට ය.

පසුදා උදෑසන ලේකම් විනිසුරු මංජුල තිලකරත්න මහතාට ප්‍රහාර එල්ල වූයේ උදේ 8.15 ට ය. එම අවස්ථාවට පෙර පැයක පමණ කාලයක් තිස්සේ ඒ අසල ඉහත කී ඒඒ 512/121 දරණ මොන්ටෙරෝ රථය තිබී ඇත. එහි ඉදිරි අසුනේ කොන්ඩය කොටට කැපූ ආරක්ෂක අංශයක අයෙකුගේ පෙනුමැති පුද්ගලයෙකු සිට ඇති අතර ප්‍රහාරය ගැන සියල්ල ඇසින් දුටු අසල කඩයක් හිමි මුදලාලි කෙනෙකු පවසන්නේ කිසිදු හේතුවත් නොමැතිව ඔහු තමාට ඔරවා ගෙන ගිය නිසා තමා මෙම මොන්ටෙරෝ රථය ගැන සැලකිල්ලෙන් පසු වූ බවත් එම නිසා එහි අංකය සටහන් කර ගත් බවත් ය.

පොලිසිය පෙරදා රාත්‍රී සටහන් කරගත් අංකයත් පසුදා කඩහිමියා සටහන් කරගත් අංකයත් එක සමානය.

මෙම කඩ හිමියා ප්‍රහාරය තමා ඇසින් දුටු බව එම ස්ථානයට පැමිණි රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ටද (එස්අයිඑස්) කොළඹ අපරාධ විමර්ශන ඒකකයේ (සීසීඩී) නිලධාරීන්ට සහ ගල්කිස්ස පොලිස් නිලධාරීන්ට කීවද කිසිවෙක් තමාගෙන් කට උත්තරයක් මෙතෙක් ලබා නොගත් බව පවසයි. සිද්ධියෙන් පසු ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක‍ෂක පුෂ්පකුමාර එම ස්ථානයට පැමිණ හොරාට කලින් වැට පනිමින් කියා ඇත්තේ මේක ඇසින් දුටු කිසිකෙනෙක් නෑ නේද එහෙනම්? ඕ කේ. කියා ය. ඒ කතාවෙන් පසු ඇසින් දුටු අය ඉදිරිපත් නොවුනා පමණක් නොව ඉදිරිපත් වූ තමා වැනි අයගේ ප්‍රකාශ සටහන් කර නොගත් බවද කඩ හිමියා පවසයි.

විනිසුරු මංජුල තිලකරත්න මහතාට ප්‍රහාරය එල්ල වූයේ උදේ 8.15 ට පමණ වන අතර උදේ 9.00 ට ගල්කිස්ස පොලිසියට මෙම පණිවුඩය ලැබී ඇත. සිසු ඝාතනය ගැන ගම්පහ පොලිසියට පළමු දුරකථන ඇමතුම දුන් අය ගැන සටහන් නැතිවා සේ මෙහිදීද ගල්කිස්ස පොලිසියට මේ ගැන පළමුවෙන් දැනුම් දුන්නේ කව්ද යන්න ගැන කිසිදු සටහනක් නැත.

ඉන්පසු පුදුමාකාර අන්දමට ප්‍රහාරයට ලක්වූ විනිසුරු මංජුල තිලකරත්න මහතා රෝහලට ගෙනියන්නේද ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක‍ෂක පුෂ්පකුමාර විසින්මය. ඒ කාලය අතර තුර මොහු කොහි සිට එම ස්ථානයට ලඟාවූවාද ඔහුට ඒ පණිවුඩය යැව්වේ කව්ද මේ කිසිවක් පොලිසියේ වාර්තා නැත. දිව්‍යඥාණයෙන් ප්‍රහාරය සිදුවු තැනට පුෂ්පකුමාර ආවේ නැත. කලින් දා සැලසුම පරිදි ඔහු ප්‍රහාරය හා සමගම එතැනට පැමිණියේය.

මේ අතර තවත් සැක කටයුතු සිදුවීමක් වේ. එනම් විනිසුරු මංජුල තිලකරත්න මහතා වාසය කරන කලාපයට ඇතුළු වීමට ඇති ජාවත්ත පාරේ ආරක්ෂක කපොල්ලේ සිටි ප්‍රභූ ආරක්ෂක අංශයෙන් උදේ 7.40 ට ඒ අසල සැරි සැරූ යතුරු පැදි දෙකක් පිළිබඳ ගල්කිස්ස පොලිසියට දැනුම් දීමය. ඔවුන් ප්‍රභූ ආරක්ෂක අංශ මූලස්ථානයට ඒ පිළිබඳ වාර්තා නොකර ගල්කිස්ස පොලිසියටම දැනුම් දුන්නේ ඇයි? එය ප්‍රහාරක කුමන්ත්‍රණය නූලට ක්‍රියාත්මක වන බව දැනුම් දීමක් බව මෙයින් පැහැදිලි වේ.

ප්‍රහාරයට ලක්වූ ලේකම් විනිසුරු මංජුල තිලකරත්න මහතාගේ ප්‍රකාශය ගල්කිස්ස පොලිස් පොතේ සටහන් කර ඇති ආකාරයද අපූරුය. එහි සටහන්ව ඇත්තේ මෙය විනිසුරුවරයෙකුට කරන ලද මරණ තර්ජනයක් හෝ පහර දීමක් කියා නොව සාමාන්‍ය සිපයියෙකුගේ දුරකථනයක් සහ අව් කණ්නාඩියක් මංකොල්ල කෑමක් විලසය.

ගල්කිස්ස පොලිසියේ පොලිස් බල අපරාධ සටහන් පොතේ අංක 322/136 යටතේ විනිසුරුවරයාගේ කට උත්තරය පොලිස් පරීක‍ෂක ඕවිටිගම විසින් සටහන් කර ඇත්තේ මෙලෙසය.

පිස්තෝලයකින් පහර දී රුපියල් 20,000 ක් වටිනා දුරකථනයක් සහ රු.19000 ක් වටිනා අව් කණ්නාඩියක් මංකොල්ල කෑම.
---------------------------------------------------------------------------
නම: හේරත් මුදියන්සේලාගේ රුවින්ද්‍ර මංජුල තිලකරත්න
පදිංචිය: 48/1 ග්‍රෙගරි පාර, කොළඹ 7

බිරිඳ සහ දරුවන් සෙන්ට් තෝමස් විදුහලේ ටෙනිස් ක්‍රීඩා පුහුණුවට ගෙනැවිත් ඇරලූවා. මට පත්තරයක් ගේන්න හිතුනා. මම හෝටල් පාරේ ඉදිරියට ගිහින් ගාලූ පාරට ගොස් පත්තර කඩෙන් පත්තරයක් ගත්තා. නැවත ගොස් රියැදුරු අසුනේ සිට පත්තරය බලමින් සිටියා. මට කුරුණෑගල දිසා විනිසුරුවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබුනා. එයත් එක්ක කතා කර කර ඉන්නකොට පුද්ගලයන් 4 දෙනෙක් එනවා මම කණ්නාඩියෙන් දැක්කා. මම වීදුරුව වහගෙන හිටියේ. එක්වරම ඇවිදින් මගේ වීදුරුවට ගැහුවා. ගහල ඉනේ තිබුණු පිස්තෝලය ඇදල ගත්තා. ඇදල අරගෙන මගේ ඔළුවට තිබ්බා. ටික ටික පිස්තෝල බටේ මගේ උළුවට තද කරලා පසුව පිස්තෝල මිටෙන් මගේ නලලට ගැහුවා. ඒ ගහනකොට තවත් අයෙක් යකඩ පොල්ලක් වගේ එකකින් ගැහුවා. අනෙක් එක්කෙනා අතෙත් යකඩ පොල්ලක් වගේ යමක් තියෙනවා මම දැක්කා. මේ පුද්ගලයා පිස්තෝලය මගේ පපුවට එල්ල කරගෙන ඉන්න අතරේ අනෙක් අයගෙන් කෙනෙක් මගේ මූණට වැරෙන් ගැහුවා. කළු කෙට්ටු පුද්ගලයා තෝ ද අධිකරනේ ලේකම්? කියා මගේ හිසට පිස්තෝලය තද කර වෙඩි තියන්න උත්සාහ කළා. ඒ සමගම මගේ දුරකථනය උදුරා ගත්තා. මගේ කණ්නාඩි දෙක ගලවා ගත්තා. එය අව් කණ්නාඩියක්. දුරකථනයේ වටිනාකම රුපියල් 20,000 ක් පමණ. අව් කණ්නාඩියේ වටිනාකම රුපියල් 19000 ක් පමණ. පුද්ගලයෝ හතර දෙනෙක් ආවා. ඒ අය මට හඳුනාගන්න පුළුවන්. එක් පුද්ගලයෙක් කෙට්ටු කළු කොට අයෙක්. කළු ටී ෂර්ට් එකක්, අළු පාට කලිසමක් ඇඳගෙන හිටියේ. අනෙක් පුද්ගලයා යකඩ පොල්ලක් තියාගෙන මගේ මුහුණට ගහපු පුද්ගලයා තරමක් උස තරබාරු පුද්ගලයෙක් නැවත දුටුවොත් හඳුනාගන්න පුළුවන්.

ඕවිටිගම විසින් ලියන ලද ඉහත සඳහන් අපූරු කට උත්තරය මූලස්ථාන ප්‍රධානියා වන පුෂ්පකුමාර විසින් දුරකථනය මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට සම්පූර්ණයෙන්ම කියවා ඇත. අනුර සේනානායකගේ පිළිතුරින් පසු, පුෂ්පකුමාර විසින් ගල්කිස්ස පොලිසියේ අනෙකුත් නිලධාරීන්ට පවසා ඇත්තේ මේක හයිලයිට් වෙන්න ඉඩ දෙන්න එපා. එහෙම වුනොත් උන් අපේ පු----ත් අරින්න එනවා. කියා ය. ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අමතා පුෂ්පකුමාර කියා ඇත්තේ කවුරුහරි මේ ගැන ඇහුවොත් මගෙන් අහන්න කියන්න. මං ඒක බලා ගන්නම් කියා ය.

ප්‍රාදේශීය පොලීසි විසින් පොලිස්පතිවරයාගේ අණ දෙන මැදිරියට යවන වාර්තාවේ පවා සටහන් කර ඇත්තේ මෙලෙසය. අංක 547/2012 දරණ එම වාර්තාවේ ඇත්තේ අවි පෙන්වා රුපියල් 20000 ක් වටිනා දුරකථනයක් සහ රුපියල් 19000 ක් වටිනා අව්කණ්නාඩියක් මංකොල්ලකෑමයනුවෙනි.   

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇසු දුටු සාක්කි ඕනෑතරම් තිබියදී ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක‍ෂක වරයා එකදු ඇසින් දුටු සාක්කියක් සටහන් කරගෙන නැත. කලාප බාර සහකාර පොලිස් අධිකාරී කේ.එම්.ඒ.පී.ජී ජයලත් මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදුකර ඒ ගැන වාර්තා තබා නැත. පල්සර් වර්ගයේ යතුරු පැදි වලින් පැමිණි බව ඇසින් දුටු අය පැවසුවද සටහන් තබා නැත. අඩුම ගණනේ අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු විනිසුරුවරයාගේ රථයේ තිබුනාදැයි පරීක‍ෂා කර නැත. පොලිස් සුනඛයන් ගෙනාවේ නැත. දිනපතා උදේට කිලී මහා රාජාට හෙළිකොප්ටරයක් දී තිබුනද පළා යන යතුරු පැදි කරුවන් සෙවීමට හෙලිකොප්ටරයක් අහසට නැංවූයේ නැත. කොටින්ම කියනවා නම් අපරාධකරුවන් ඇල්ලීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ඒ වෙනුවට කෙළේ අපරාධය විකෘති කිරීමට කටයුතු කිරීමය.

මේ සියළු විකෘතීන් කළ ගල්කිස්ස පොලිසිය ඉන්පසුව විනිසුරුවරයෙකුට මරණ තර්ජන එල්ල වීම වැනි අපරාධයක් පිළිබඳ අංක 2355/2012 දරණ බීවාර්තාව යටතේ ගල්කිස්ස අධිකරණයට කරුණු ගොනු කරන්නට යැව්වේ සාමාන්‍ය පොලිස් කොස්තාපල් වරයෙකි. ඔහු මේ සඳහා පිටත් කරද්දී කොස්තාපල් වරයා පොලිස් පරීක‍ෂක පුෂ්පකුමාර නම් කුමන්ත්‍රනකාරයාට කීවේසර් මං මේකට යන එක හරි නෑ නේද? සර් ගියානම් නේද හොඳ කියා ය. හු---ගන්නෙ නැතුව මං කියන දේ කරනවා පුෂ්පකුමාරගේ පිළිතුර විය.

ගල්කිස්ස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා මේ තරම් අපරාධයක් ගැන අධිකරණයට කරුණු වාර්තා කරන්නට උසස් පොලිස් නිලධාරියෙකු නොඑවීම ගැන පොලිසියට දැඩි ලෙස දොස් කීය.

ඒ අතරවාරයේ පුෂ්පකුමාර දුරකථනයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අමතා හිනාවෙමින් කීවේ,පීසී කෙනෙක් තමයි සර් යැව්වේ. ග්‍රාමාරක්ෂකයෙක් හිටිය නම් යවන්නේ ඌවයි. බයවෙන්න එපා සර්. මං මේක බැලන්ස් කරගන්නම් කියා ය. මෙය හිතා මතාම අධිකරණය පහත් කිරීම සඳහා කරන ලද්දකි.

මෙම පුෂ්පකුමාර සම්බන්ධයෙන් ද ලංකා ඊ නිව්ස් තවත් ගවේෂණයක් කරමින් සිටී.

දැනට අපවෙත වාර්තා වන්නේ පුෂ්පකුමාර පොලිසියට බැඳී ඇත්තේ උප සේවා උප පොලිස් පරීක‍ෂකයෙක් ලෙසය. ජීවිත කාලයට නීතිය පිළිබඳ හෝ අපරාධ පරීක‍ෂණය ගැන හෝ කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණුවක් ලබා නැත. කොටින්ම කියන්නේ නම් වැස්සකට හෝ පොලිස් විද්‍යාලයේ පස් පාගා නැත. මොහුගේ අධ්‍යාපන සුදුසුකම අපොස සා.පෙළ විෂයන් 3 ක් පමණක් සමත් වීමය. උප පොලිස් පරීක‍ෂක තනතුරට බඳවාගෙන ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සහ මොහුගේ සොහොයුරා යුද්දයේදී මිය යෑම වෙනුවෙනි. ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සනත් ජයසූරිය හඳුනාගැනීමෙන් පසු සනත් මොහුව නාමල් රජපක්ෂට හඳුන්වා දී ඇත. නාමල් රාජපක්ෂගේ ඉල්ලීම මත මොහු ස්ථානභාර පොලිස් පරීක‍ෂක ලෙස ගල්කිස්සට ගෙන්වා ගෙන තිබේ.

රාජපක්ෂ රෙජීමයට අවශ්‍ය ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් නීත්‍යාණුකූල ආකාරයෙන් කරවා ගැනීමේ හෙංචයියන් ගොඩ නගාගෙන ඇත්තේ මේ ආකාරයට ය.