නව වසර සුබ නව වසරක් කර ගනිමු!!! - ජනතා විමුක්ති පෙරමුණ


ශ්‍රී ලාංකේය ජනතාව 2012 නව වසරට පා තබන්නේ බරපතළ අභියෝග රැසක්ද සමගය. උදා වූ නව වසර සුභ නව වසරක් වේවා යැයි පතමින් කෙරෙන සාම්ප්‍රදායික සුබ පැතුම් මගින් පමණක් නව වසර සුභ වන්නේ නැත. ඒ සඳහා නව වසරේ අප ඉදිරිපිට ඇති අභියෝග නිවැරදිව හඳුනා ගෙන ඒවා ජය ගැනීම සඳහා වූ නව දේශපාලන ගමන් මගකට ප්‍රවේශ විය යුතුය. 2012 නව වසර තුළදී නිවැරදි හා නව දේශපාලන තීරණ ගැනීමට ශ්‍රී ලාංකේය ජනතාව බුද්ධිමත් විය යුතුය. ධෛර්ය සම්පන්න විය යුතුය. ලැබූ නව වසර සැබවින්ම නව හා සැබවින්ම සුබ වසරක් බවට පෙරළිය හැක්කේ එසේ වුවහොත් පමණි.

ඉතිහාසය පුරාම විවිධ සුබ පැතුම් මැද ඇරඹි සෑම නව වසරක්ම මෙරට බහුතර ජනතාවට සුබ වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ ජනතාව රැවටීමට, පීඩාවට, දුකට හා වේදනාවට පත්වීමය. දැන් 2012 වසරද ජනතාව ඉදිරියට පැමිණ ඇත්තේ සුබ අනාගතයක් පිළිබඳ සුබ පෙරනිමිති සහිතව නොව අඳුරු හා දුක්බර අනාගතයක් පිළිබඳ අසුබ පෙර නිමිති සහිතවය. සත්‍යය එයයි. ශ්‍රී ලාංකේය ජනතාව 2012 වසරට පා තබන්නේ අහස උසට ඉහළ යන බඩු මිලද සමගය. විදුලිය ගාස්තු වැඩිවීම තුළ එහි ඵල විපාකද ජනතාව මත පැටවීමට නියමිතව තිබියදීය. සේවක වැටුප් හා ආදායම් වැඩිවීම පිළිබඳවද තිබූ සියලූ බලාපොරොත්තු බිඳ දමා තිබියදීය. රටේ ආර්ථීකය අධිරාජ්‍යවාදයේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තියට මුළුමනින්ම බිලි දී තිබියදීය. ජනතාව ණයකාරයින් බවට පත් කරමින් රටේ ණය බර තව තවත් වැඩිකරමින් තිබියදීය.

එපමණක් නොවේ. මේ සියල්ල අතර අනාගත පරපුර අඳුරට හෙළමින් නිදහස් අධ්‍යාපනයේ මළගම සඳහා මළ ඛෙර හඬවමින් තිබේ. නිදහස් සෞඛ්‍ය සේවය වලපල්ලට යවමින් තිබේ. රටේ ස්වාභාවික සම්පත් හා ආර්ථීක මර්මස්ථාන ලෝක බලවතුන්ට දන් දෙමින් තිබේ. මේ තත්වයන්ට එරෙහිව තම අයිතීන් සඳහා හඬ නගන බලවේග මර්දනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය පවා අහිමි කරමින් තිබේ.

අනෙක් අතට ඛෙදුම්වාදී යුද්ධය නිමාවීමෙන් නිර්මාණය වූ තත්වය සැබෑ ජාතික සමගිය වෙනුවෙන් යොදා ගන්නවා වෙනුවට බලය සඳහා යළි ජාතිවාදය ඇවිලවීමට උත්සාහ දරමින් තිබේ. උතුරේ හා නැගෙනහිර ජනයාගේ මූලික ගැටලූවලට පවා විසඳුම් ලබා දීම හිතුවක්කාර ලෙස නොසලකා හරිමින් තිබේ. මේ නිසාම මූලික මානව අයිතීන් අභියෝගයට ලක්ව තිබේ.

මෙවැනි තත්වයක් තුළ උදා වන නව වසර සුබ නව වසරක් වේ යැයි සිතන්නේ නොහැක. එබැවින් නව වසර සුබ වන තුරු බලා නොසිට නව වසර සුබ නව වසරක් බවට පත් කර ගැනීමට අප අදිටන් කර ගත යුතුය. එය කළ හැක්කේ හුදු සුබ පතා ගැනීම්වලට සීමා නොවී අප ඉදිරිපිට ඇති සියලූ අර්බුද හා ගැටලූවලට වගකිව යුතු මේ අසාධාරණ අයුක්ති සහගත සමාජ ක්‍රමය වෙනස් කොට නව සමාජයක් ගොඩනැගීමේ දේශපාලන ගමනකට අවතීර්ණ වීමෙනි.

ඊනියා නිදහසින් පසු ගෙවුණු වසර 64කට ආසන්න කාලයක් තුළ ලද අත්දැකීම් ගුරු කොට ගෙන මුහුණු මාරු කිරීමේ, පාට මාරු කිරීමේ, තට්ටු මාරු දේශපාලනය නිම කොට නව සමාජයක් ගොඩනැගීමේ නව දේශපාලන අරගලයක් සඳහා නව තීරණයක් ගැනීමට උදා වූ නව වසර අප සැමට බල කර තිබේ. එබැවින් අර්බුදයට පත්ව ඇති, ජනතාවට කිසිදු ජයග්‍රහණයක් ලබා දීමට අපොහොසත් බව යළි යළිත් ඔප්පු කර ඇති මේ දුගඳ හමන, පැරණි සමාජක්‍රමය එහි සියලූ කුණු කන්දල්ද සමග ඉවත ලා නව ප්‍රභාෂ්වර සමාජයක් ගොඩනැගීමට දැනුවත්ව පෙරමුණ ගත යුතුය. සටන් වැදිය යුතුය. නව වසර සැබවින්ම සුබ නව වසරක් කර ගැනීමට අදිටන් කර ගන්නා මෙන් සියලූම ජනතාවගෙන් ඉල්ලා සිටින අපි 2012 නව වසර උදාවන මේ මොහොතේ සුභ පතමු.

දේශපාලන මණ්ඩලය