| නිලන්ත ඉලංගමුව
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව ඒ මහතා විසින්ම හදුන්වන පරිදි ඔහුට එරෙහි කැලා පත්තර වසා දමා ඇත. ශ්‍රී ලංකාව මුලික වශයෙන් ගෙන වාර්තා සහ පුවත් සපයන වෙබ් අඩවි බොහොමයක් මේ වන විට ඔහුගේ නියෝගය අනුව යමින් වසා දමා තිබේ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේඛම් වරයා මේ සම්බන්ධයෙන් කියා ඇත්තේ වෙබ් අඩවි සඳහා අචාර ධර්ම පද්ධතියක් තිබිය යුතු බවය. ලංකාවේ වෙබ් අඩවි සඳහා පමණක් නොව සෑම ක්ෂේත්‍රයක් සඳහාම අචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුවා පමණක් නොව එය නිසි ලෙස ක්‍රියාත්මකද විය යුත්තේය. ජනමාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් වෙබ් අඩවි වලට පෙර හඳුන්වා දිය යුත්තේ මෙන්ම එය නිවැරදි ලෙස පරික්ෂාවට භාජනය කළ යුත්තේ ආණ්ඩුව විසින්ම ප්‍රසිද්ධ කරන දිනමිණ සහ ඩේලි නිව්ස් පුවත් පත් වලටය. පසුගිය කාලය පුරාම අදාළ පුවත් පත් හැසිරුණ අකාරය සහ ඒවා විසින් සාමාන්‍ය ජනතාවගේ චරිත ඝාතනය කළ අකාරය සියලු දෙනාම දනිති. කෙසේ වෙතත් ජනමාධ්‍ය සහ ඊට හිමි ආචාරධර්ම ගැන විමසා බැලීම් වැදගත් වේ.
මේ වන විට රාජපක්ෂ ජනාධිපති වරයාට බරපතල අභියෝගයක් ඇති වී තිබෙන බව විවාදයක් නොමැති කාරණයකි. ඔහු මුහුණ දී සිටින මුලික කාරණය ඔහුගේ පැවැත්මට වඩා ඔහුගෙන් පසු තමාගේ බලය ගෙන යාම සඳහා වන අභියගයටය. ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයේ අයවලුන් මිලදී ගෙන තම පක්ෂයේ ජේයිෂ්ඨ සාමාජිකයින් යටපත් කළද ඔහු හදුන්වා දෙන නව යොවුන් චරිත මේ වන විටත් බහුතරයකට පිළිකුල් වී තිබේ. මේ නිසා මුල්‍ය හෝ වෙනයම් බලයක් යොදාගෙන තම අපේක්ෂා ඉටු කර ගත යුතුය. ඔහු විසින් සිදු කරන බොහොමයක් දේශපාලන වෙනස් කම් වලට පාදක වන මුලික හේතුව වන්නේ එයයි. කෙසේ වෙතත් වෙබ් අඩවි තහනම් කරමින් ඒවා තම චරිතය ඝනතන කරන්නේ දැයි චෝදනා කිරීමට පෙර සොයා බැලිය යුත්තේ තම තමන් චරිතවත් පුද්ගලයින්ද යන්නයි. රටේ නායකයා ඇතුළු රටේ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන සියලුම දෙනාගේ කාර්යන් විවේචනය කිරීම සඳහා සාමාන්‍ය ජනතාවට සැබෑ අයිතියක් තිබේ. ලංකාවේ නිතී අවකාශය නායකයාගේ වාසියට නිර්මාණය කරන ලද්දක් මිස ඉන් කිසිම ආකාරයකින් නිදහස හෝ යුක්තිය පිළිබිඹු වන්නේ නැත.
මීට කාලෙකට පෙර ඒසියන් ට්‍රිබුයින් වෙබ් අඩවියේ කතෘ කේ. ටී. රාජසිංහම් විසින් මම ඉන්දියන් ඔත්තු සේවය වන රෝ ඔත්තු සේවයේ ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස නම් කරමින් ඉතා දීර්ඝ හෑල්ලක් ලිව්වේය. එසේ ඔහු ලියනු ලැබුවේ අදාළ වෙබ් අඩවියේ වාර්තාකරුවෙකු ලෙස සේවය කිරීමට මා හට ඔහු පෞද්ගලිකව අවස්ථා කිහිපයකදී ආරාධනා කිරීමෙන් අනතුරුව මාස ගණනක් ගිය පසුය. ඔහුගේ වෙබ් අඩවියට ලිවීමට වාර්තාකරුවෙකු බඳවා ගන්නා විට ඔහු ලබා දෙන පොරොන්දු පිළිබඳව කිව යුතු නොවේ. එය ඔහු ගැන දන්නා සියලු දෙනාම දනී. ජනමාධ්‍යවේදීන් පමණක් නොව මෙරට ආරක්ෂක අංශ සහ දේශපාලන පක්ෂ වල අයද ඉතා හොඳාකාරවම ඔහු කුමන ගති ඇති අයෙක්ද යන්න දනී. කෙසේ වෙතත් අදාල පුවත කේ. ටී. විසින් පල කළ පසු එදිනම සවස් යාමයේ මා විසින් ආරක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂ මහතාට කතා කොට මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්දැයි විමසා සිටියෙමි. එවිට ඔහුට අදාළ වෙබ් අඩවිය පිළිබඳව කිසිම පැහැදිලි අදහසක් නොතිබුණු හෙයින් හෝ වෙනයම් හේතුවක් නිසා සඳහන් කළේ " කිසිවක් කිරීමෙන් ඕවගේ පිස්සු වැඩ නවත්තන්න බෑ.. පොලිසි ගිහින් වැඩකුත් නෑ.. එකම දේ ඔයත් ගහන එක තමයි," යනුවෙනි. ආරක්ෂක ලේඛම් වරයාගේ ප්‍රකාශය යම් ආකාරයක කුතුහලයක් මා හට ඇති කළද, කේ. ටී. විසින් මා වෙත එල්ල කළ චෝදනාවට පිළිතුරු සැපයීම සඳහා මා හට කිසිම උනන්දුවක් ඇති වූයේ නැත. ඉන් පසු අදාළ අසත්‍ය රටේ සෑම ජනමාධ්‍ය ආයතනයක් පුරාම පැතිරී ගිය අතර 2007 සිට ආරම්භ කළ ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය ගැනද බොහෝ දෙනෙකු කතා කරණු ලැබුවේ එය රෝ සංවිධානයේ සෙවනැලි වෙබ් අඩවිය හෙවත් නිල නොවන ප්‍රචාරක ව්‍යාපෘතිය ලෙසය. අදාළ චෝදනාව සම්පූරණයෙන්ම අසත්‍යක් වූ නමුත් කේ. ටී. විසින් වපුරණු ලැබූ ව්ෂබීජය සෑම දෙනෙකුටම නව ආකාරයක ආස්වාදයක් විය.
ශ්‍රී ලංකා ගාර්ඩියන් ආරම්භ කිරීමට මුලික හේතුව වූයේ ඊට පෙර අපි විසින් සේවය කරනු ලැබූ මව්බිම පුවත්පත වසා දැමීමය. වෙන කිසිඳු හේතුවක් හෝ න්‍යායක් ඊට නොතිබුණු අතර තිබුණේ සෑම දෙනාටම තමන්ගේ අදහස් පල කිරීම සඳහා ඇති අවස්තාව විවුර්ත කර දීම පමණි. එසේම එම අදහස දේශීය සහ විදේශීය මට්ටමින් ප්‍රචලිත කිරීමය. කිසිවෙකු හෝ කියන්නේ නම් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත වෙනත් න්‍යායක් තිබුණේය කියා එය එක්කෝ පෞද්ගලික අමනාපකම් හෝ මානසික රෝගී තත්වයන් නිසා සිදු කරනු ලැබූ ඒවාය.
ලංකාවේ පොදු මිනිස් ගතිය වූ කලී වෙන කිසිවක් නොව කුහකකමයි. එකිනෙකා පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවට තමන්ගේ පාරාසය තුළ බලය ව්‍යාප්ත කිරීම පොදු දකුණු ආසියානු මානසික ස්වභාවය වී තිබේ. මෙකී මානසික ස්වභාවය තුළ සැකයට ප්‍රමුඛතාවයක් ලැබේ. ඒ නිසා ඕපා දූප ප්‍රධාන පුවත් බවට පත් වේ. කිසිවෙකු ගැන තවත් පිරිසක් විසින් නිර්මාණය කරනු ලබන චිත්‍රය එම පුද්ගලයාගේ ඇත්ත වසා දමා ඇත්ත ලෙස පෙන් වීමට සමත් වේ. මේ නිසා රාජ්‍ය බලයට තමන්ට හතුරුවෙන ඕනෑම අයෙක් මෙල්ල කිරීමට හැකියාව ලැබේ. තත්වය, නම්බුව ආදී දෑ පිළිබඳව අසාමාන්‍ය ලෙස සිතීමට අපි පුරුදු වී සිටින්නේ මේ නිසාය. අපි අපේ මනස තුළම බෙදීම අපේක්ෂා කරති. බෙදීම් සහ එකිනෙකාට විරෝධය පෑම වැඩි වශයෙන්ම පවතින එක ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ ලංකාවේ ජනමාධ්‍යයි. ලංකාවේ පුවත්පත් කිසිවක එකිනෙකාගේ හැකියාවනට ප්‍රමුඛතාවය දී කටයුතු කරන ස්වභාවයක් හීනෙකින්වත් බලාපොරොත්තු විය නොහැකිය. වෙබ් අඩවි තහනම් කිරීම ගැන පසුගිය සතිය පුරා මුද්‍රිත පුවත් පත් වල පල වූ සහ අනෙකුත් මාධ්‍ය ඔස්සේ සාකච්චා කළ සියල්ලම තම තමා වෙතම හැරී බැලීමෙන් මේ බව අවබෝධ කර ගත හැකිය. මේ විහිළුවක් පමණක් නොව ඛේදවාචකයකි. අදාළ පුවත්පත් වල සේවයට පැමිණෙන නිදහස් මාධ්‍යවෙදීනේගේ සිට අනෙකුත් ලේඛකයින්ගේ සේවය සහ හැකියාව තුට්ටු දෙකට ලබා ගෙන තමන්ගේ බලය ව්‍යාප්ත කිරීම පමණක් එකම උපාය ලෙස භාවිතා කරති, මේ නිසා සෑම මාධ්‍ය ආයතනයකම බ්‍රෝකර් වරුන්ට මුලික තැනක් හිමි වේ. බොහොමයක් රටේ මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින්නේ සහ අදාළ ආයතන වලින් වැඩි සැලකිල්ලක් ලැබී ඇත්තේ මෙම බ්‍රෝකර් වරුනට මිස වෙන කිසි වෙකුට නොවේ. ඔබ එකිනෙකා අතර ඩීල් නිර්මාණය කිරීම දක්ෂයෙක්නම් ඔබට ලංකාවේ ප්‍රධාන හෝ විකල්ප පුවතපතක කතුවරයාට වඩා බලයක් හිමි වනු ඇත. කතුවරයාද ඔවුන්ට යටත් වෙති.
වෙබ් අඩවි තහනම් කිරීම සහ ඒවා ගැන විමසීම් ඉදිරිපත් කරණු ලබන බොහෝ දෙනෙක් හිතා මතාම අමතක කොට ඇත්තේ මෙකී මූලයන් ගැන කතා කිරීමය. සම්ප්‍රදාය විසින්ම මඟ හැර ඇති කාරණයක් තාක්ෂණික වශයෙන් ඇති වන පෘතුල මෙවලමක් මර්ධනය කිරීම සඳහා යොදා ගැනීමට අපේක්ෂා කිරීම පවා දවල් සිහිනයකි . අර්බුදය ඇති වී ඇත්තේ සහ සුද්ද කළ යුත්තේ තවත් තැනකය, ආණ්ඩුව විසින් සුද්ද කිරීමට උතසහ කරන්නේ වෙනත් තැනක්ය. වෙබ් සංස්කෘතිය සඳහා ලංකාවේ සැලකිය යුතු අවකාශයක් නිර්මාණය වූයේ කාලයක් තිස්සේ ලංකාවේ මුද්‍රිත ජනමාධ්‍ය සහ අනෙකුත් ජනමාධ්‍යන් හැසිරුණු අකාරය නිසා ජනමාධ්‍ය; කලාවක් ලෙස ප්‍රගුණ කිරීමට තිබු ඉඩ අහිමි වීම සහ බොහෝ දෙනෙකුට තමන්ගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට හැකි වීමය. එමගින් ලංකාවේ විකල්ප ජනමාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍යන් වලට පැවති සමාජ ආයතන වලට බලපෑම් කිරීමේ හැකියාව ක්‍රමිකව ක්ෂය වී ගියේය. පසුගිය කාලය පුරාම දේශපලනකික වශයෙන් බලපෑම් සිදු කරණු ලැබූ පුවතක් ප්‍රචාරය වූයේ එනම් එහි මුල්ම පණිවිඩ කරුවා වෙබ් අඩවියකි. මේ නිසා බොහොමයක් පුවත් පත් පවා පෙරට වඩා වෙබ් අඩවි පිලිබඳව විස්වාශය තැබීමට පටන් ගත්හ. එය කැලා පත්තරයක් ලෙස විසි කිරීමට හැකියාව අත්තේනම් ලංකා ආණ්ඩුව හෝ වෙනත් කිසිම ආයතනයක් ඊට බිය විය යුත්තේ නැත. නමුත් සිදු වී ඇත්තේ බිය නිසා සහ ඇත්තට මුහුණ දීමට ඇති අකමැත්ත හේතුවෙන් තමා විසින් දමා සිටින වෙස් මුහුණ ගැලවීමට ඉඩ නොදීමය. මර්ධනයේ තවත් එක් පියවරක් ලෙස මෙවැනි දෑ සිදු වුවද ඉදිරියේදී අතිශය බයානක වැඩ පිළිවෙලවල් වෙතට ආණ්ඩුව තල්ලු විය හැකිය .
Post a Comment