ජවිපෙ අර්බුදය හෙවත් වම යළි පොළොවට

නිලන්ත ඉලංගමුව මහතාට පිළිතුරක්...

| ජේ.ටි. ගමගේ 
උපුටා ගැනීම ලංකා විව්ස් වෙබ් අඩවියෙනි

'ජවිපෙ අර්බුදය හෙවත් පාවෙන වම' මැයෙන් නිලන්ත ඉලංගමුව මහතා විසින් සකසන ලද ලිපිය විචාරය කිරීමට පෙර මෙවැනි සංවාදයකට ප්‍රවේශය සැපයීම සම්බන්ධයෙන් ඔහුට තුති පිදිය යුතු යැයි සිතමි. එම ලිපියේ මා වඩාත් ආකර්ශනය වූයේ එහි මාතෘකාවට සහ 'සෝමවංශ අමරසිංහ මහතා නුහුරු අතින් මාක්ස් ද, හුරු අතින් බටහිර ධනවාදී ආර්ථික මොඩලයද රැගෙන පැමිණි' බවට ඔහු කරන සඳහනයි. සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් එය ඉදිරියේදී සංවාදයට බඳුන් කිරීම වැදගත්ය.

ධනවාදය ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ මුහුණ දෙන අභියෝග ජය ගැනීමට නම් එවැනි ඒකාධිකාරී බලයක් අවශ්‍ය වේ.එම බලය ගොඩනගා ගැනීම සඳහා රාජපක්ෂ මහතාට උපකාරී වූයේ විශේෂයෙන්ම කොටි සංවිධානය මිලිටරි බලයෙන් විනාශ කිරීම හරහා දිනා ගත් හා වශී කර ගත් දකුණේ සිංහල බෞද්ධ බහුතර ජන මානසිකත්වයයි. වමේ ව්‍යාපාරයේ වරද්දා ගැනීම්ද මේ පිටුපස ඇති බව පැහැදිලිය.
ඉලංගමුව මහතා වරද්දා ගත් තැනක් ලෙස මා දකින්නේ, ඔහු මේ සියලු ප්‍රශ්න මතුපිටින් පමණක් අතපත ගෑමයි. ඒ කිසිවක මූලයන් හෝ විකාශනය සෙවීමට ඔහු තැත් නොකරන්නේ බොහෝ විට ඔහුට සැඟවීමට අවශ්‍යව ඇති, ලිබරල් ධනවාදයේ ජාති ලක්ෂණ එමගින් එළියට එන නිසා විය හැකිය.

අනෙක් අතට ඔහුගේ ලිපිය පුරා දිස් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි වූ කෝපයක් හා අපිළිවෙළ ගතියකි. (වික්ටර් අයිවන් සමග ඇති කේන්තියක් එම ලිපියෙන් පිට කර ඇත්තේ කවර හේතුවක් නිසාදැයි තේරුම් ගැනීම අපහසුය) ලිපිය ලිවීමට පෙර එකේ සිට දහයට ගණන් කළේ නම් මීට වඩා තාර්කික ලෙසත් ප්‍රබල ලෙසත් කරුණු දැක්වීමට ඔහුට හැකියාවක් තිබෙන්නට ඇතැයි මම විශ්වාස කරමි.

මම ඉලංගමුව මහතා අවසන් කරන තැනින් පටන් ගන්නට අදහස් කරමි.

alt"ජවිපෙ තේරුම් ගත යුතු සැබෑ යථාර්ථය හා ‍ඒ වෙනුවෙන් කළ යුතු වඩාත් බුද්ධි ගෝචර වැඩපිළිවෙළ සැබෑ වමක් සෙවීමද, එසේ නොවේ නම් බිඳ වැටී ඇති නීතියේ ආධිපත්‍ය යළි ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටීමද යන්න තීරණය කිරීම සමස්ත රටටම වැදගත් වේ" යැයි ඔහු යෝජනා කරයි.

සැබෑ වමක් අවශ්‍ය වන්නේ මන්ද යන ප්‍රශ්නයට දිය යුතු දීර්ඝ පිළිතුරේ ‍කොටසක් උපුටා ගැනීම තුළම අන්තර්ගතය. එනම්, නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති නිසා සැබෑ වමක් රටට අවශ්‍ය වී තිබේ. එය තවදුරටත් පැහැදිලි කළ යුතුය.

ඉලංගමුව මහතාම පෙන්වා දෙන පරිදි නීතිය කුඩ්ඩන් අතට පත්වී ඇති අතර දූෂණය ඉහ වහා ගොස් තිබේ. මෙය දෙකක් ‍නොව එකකි. එකම ප්‍රකාශනයකි. එමෙන්ම එය සැබෑවකි. එහෙත් එය මහින්ද රාජපක්ෂගේ පුද්ගල ප්‍රශ්නයක් පමණක්ද? නැත! එය ඓතිහාසික ප්‍රශ්නයකි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 78 ව්‍යවස්ථාවත් සමග ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමයක් නිර්මාණය කළේ, රට තුළ එතෙක් පැවති රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය යටතේ ප්‍රාග්ධනයට ප්‍රසාරණය විය නොහැකි තත්වයක් උද්ගතව තිබූ නිසා, ප්‍රාග්ධනයට ප්‍රසාරණය වීමට අවශ්‍ය පසුබිම සැකසීමය යනුවෙන් අතිශය සරල කොට පැවසිය හැකිය. ජයවර්ධන ජනාධිපතිවරයා ආරම්භ කළ, එහෙත් සම්පූර්ණ කළ නොහැකි වූ නව ලිබරල්වාදී ආර්ථිකය සම්පූර්ණ කිරීමේ කාර්යය අද ඓතිහාසික වශයෙන් මහින්ද රාජපක්ෂ පාලනය වෙත පැවරී ඇත.

වටිනා ඉඩම් සංචාරක කර්මාන්තයට විකුණා දමමින්, ප්‍රාග්ධන ගිණුම විවෘත කරමින්, කැසිනෝ කලාප හා නිරුවත් වෙරළ කලාප පිහිටුවමින්, කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයට තහංචි පනවා සී-ප්ලේන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින්, අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතනවල අවශ්‍යතා වෙනුවෙන් ආර්ථික ප්‍රතිපත්ති සකස් කරමින් මහින්ද රාජපක්ෂ පාලනය කරමින් සිටින්නේ එම කාර්යය ඉටු කිරීමයි.

මෙම ආර්ථික පිම්ම සඳහා ඔහුට දේශපාලන බලයද අවශ්‍ය වන අතර 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකක බලය හරහා කේන්ද්‍ර ගත කර ‍ගත්තේ එයයි. නීතිය තමන්ට අවශ්‍ය පරිදි අර්ථ නිරූපණය කර ගැනීමේ බලය නැතිව ඔහුට මේ ගමන යා නොහැකිය. සිංහරාජ වනාන්තරය තුළ සංචාරක හෝටල් ඉදි කරන විට, එය නීතියට පටහැනි බැවින් නීතිය නොසලකා හරින, එය ඉක්මවා යන බලයක් අවශ්‍ය වේ. කොටින්ම ධනවාදය ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ මුහුණ දෙන අභියෝග ජය ගැනීමට නම් එවැනි ඒකාධිකාරී බලයක් අවශ්‍ය වේ.

එම බලය ගොඩනගා ගැනීම සඳහා රාජපක්ෂ මහතාට උපකාරී වූයේ විශේෂයෙන්ම කොටි සංවිධානය මිලිටරි බලයෙන් විනාශ කිරීම හරහා දිනා ගත් හා වශී කර ගත් දකුණේ සිංහල බෞද්ධ බහුතර ජන මානසිකත්වයයි. වමේ ව්‍යාපාරයේ වරද්දා ගැනීම්ද මේ පිටුපස ඇති බව පැහැදිලිය.

අනෙක් අතට වැදගත්ම කරුණ වන්නේ, නීතිය යනු පාලක පන්තියේ කැමැත්තය. මෙම ඓතිහාසික තත්වය තුළ ලංකාවේ පාලනය දූෂිත කල්ලියක් අතට පත්ව තිබියදී නීතිය කුඩ්ඩන් අතට පත්වීමත්, දූෂණය ඉහ වහා යාමත් වැළැක්විය හැකි නොවේ. ඒ නිසා ඉලංගමුව මහතා කියන ආකාරයේ අහිංසක සංවාදයකින් නීතියේ ආධිපත්‍ය තහවුරු කළ නොහැකිය. නීතියේ ආධිපත්‍ය වෙනුවට නීතිය මත පාලකයාගේ ආධිපත්‍ය පැතිරවීම හරහා 'අනීතික නීතියක්' උත්කර්ශයට නැංවීම අද දවසේ ධනවාදයේ අවශ්‍යතාවයි. මහින්ද රාජපක්ෂ පාලනය කරමින් සිටින්නේ එයයි.

එසේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ වගකීම වන්නේම, නීතියේ ආධිපත්‍ය වෙනුවට නීතිය මත පාලකයාගේ ආධිපත්‍ය ඉල්ලා සිටින නව ලිබරල් ධනවාදය මත මල් ඇතිරීම නොව, ඊට එරෙහිව ප්‍රබල මතයක් සමාජගත කිරීමයි. ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමයි. ඒ වෙනුවෙන් අරගල කිරීමයි. කෙටියෙන් කියන්නේ නම්, නව ලිබරල් ධනවාදයටත්, එහි ආවතේවකරුවන් වී සිටින සංශෝධනවාදීන්ටත් එරෙහිව සැබෑ වමක් සොයා යාමයි.

ජනතා විමුක්ති පෙරමුණේ අර්බුදය ගැට‍ගැසෙන්නේ මෙතැනටය. නව ලිබරල් ධනවාදයට එරෙහි සමාජ මතයක් ගොඩනැගීමට, එවැනි මතවාදී ව්‍යාපාරයකට නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ අසමත් වන විට එහි හෘදය සාක්ෂිය ප්‍රශ්න කිරීම අරඹයි. මා දකින්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළ අද සිදුව ඇත්තේ එයයි. මේ අර්බුදයේ ප්‍රතිඵලය

විය යුත්තේ ලංකාවේ සැබෑ වමේ ව්‍යාපාරය අහසෙන් පොළවට බැසීම හෙවත් නව ලිබරල් ධනවාදයට එරෙහිව ජනතාව සමග අත්වැල් බැඳ ගත් අරගලයකට පිවිසීමයි. එසේ නැතිව, ඉලංගමුව මහතා සිරවී සිටින ප්‍රතිසංස්කරණ නමැති ඉතාමත්ම පටු රාමුව තුළ හිඳින් කරන දැඟලීම්වලින් සිදු වන්නේ ගෙල තුවාල කර ගැනීම පමණි.


Tell a Friend