ෆොන්සේකා නිදොස්‌කොට නිදහස්‌ කරන්න - ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි

සුදුකොඩි නඩුව - පැමිණිල්ල මගින් කිසිදු නඩු නිමිත්තක්‌ දක්‌වා නැහැ

| සමන්ත ඉලේපෙරුම

කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන සුදු කොඩි නඩුවේ තීන්දුවට දින නියම කිරීමෙන් අනතුරුව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ (18 වැනිදා) අධිකරණයෙන් නික්‌ම ගිය අයුරු. ඡායාරූපය - කමල් බෝගොඩ

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව සුදු කොඩි නඩුවට අදාළව පැමිණිල්ල මගින් කිසිදු නඩු නිමිත්තක්‌ දක්‌වා නැති නිසා ඔහු චෝදනාවලින් නිදොස්‌කොට නිදහස්‌ කර හරින ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා ඊයේ (18 වැනිදා) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිකාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිඥ දේශනය පවත්වමින් ලද්දුවහෙට්‌ටි මහතා එසේ ඉල්ලා සිටියේය.

වර්ෂ 2009 ක්‌ වූ දෙසැම්බර් මස 08 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කොළඹ 07 රාජකීය මාවතේදී සන්ඩේ ලීඩර් පුවත්පත් කර්තෘ ෙෆඩ්රිකා ජෑන්ස්‌ සමග පැවැති පුවත්පත් සම්මුඛ සාකච්ඡාවේදී ත්‍රස්‌තවාදයට එරෙහිව රජය මගින් ගෙන ගිය මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ ආඥපතිව සිටි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට දුරකථනයෙන් කතා කොට "යටත් වීමට උත්සාහ දරන කිසිදු එල්ටීටීඊ නායකයකුට යටත් වීමට ඉඩ නොදෙන ලෙසටද ඔවුන් සියලු දෙනාම මරා දැමිය යුතු බවට කියා සිටි බවට" පැවසීමෙන් මහජනයා බිය වැද්දිය හැකි හෝ මහජනයා කැලඹිය හැකි ව්‍යාජ ප්‍රකාශයක්‌ කට වචනයෙන් හෝ වෙන කවර හෝ ක්‍රමයකින් පැතිර වීමෙන් හෝ විසුරුවා හැරීමෙන් හා කෙලින්ම හෝ අන්‍යාකරයකින් ජාතිවාදී හැඟීම් ඇවිස්‌සෙන සුළු යම් කරුණක්‌ සම්බන්ධයෙන් තොරතුරු සැපයීමෙන් හදිසි අවස්‌ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝගයන්හි 28 හා 29 නියෝගයන් උල්ලංඝනය කළ බවද එසේ හෙයින් එම නියෝගවල 45(1) නියෝග යටතේ ලංකාණ්‌ඩුවට විරුද්ධත්වයක්‌ දැක්‌වීමේ හැඟීම් ඇවිස්‌සීමෙන් හෝ ඇවිස්‌සීමට තැත් කිරීමෙන් හෝ ජනතාව අතර අසංතෝෂය හෝ විරුද්ධත්වය ඇති කරවීමට හෝ ඔවුන් අතර සතුරු වූද අසමගි වූද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කිරීමෙන් දණ්‌ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේද දඬුවම් ලැබිය යුතු වරදක්‌ කළ බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.

මෙම නඩු විභාගය විශේෂ අධිකරණ කටයුත්තක්‌ ලෙස සලකමින් ජූරි සභාවක්‌ නොමැතිව මහාධිකරණයේ විශේෂ අධිකරණයක්‌ ඉදිරියේ විනිසුරුවරුන් තිදෙනෙක්‌ විසින් විභාගයක්‌ පැවැත්විය යුතු බවට අගවිනිසුරුවරයා විසින් කරනු ලැබූ නියෝගය පරිදි මහාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විඡේසුන්දර (සභාපති විනිසුරුවරිය), ඩබ්ලිව්. එච්. ටී. බී. වරාවැව සහ එම්. ඉසේඩ් රාශින් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්වේ.

නඩු විභාගයට අදාළව සාක්‌කි කැඳවීම මෙන්ම පැමිණිල්ලේ දේශනයද මේ වන විට අවසන් කර ඇති අතර විත්තිය වෙනුවෙන් නීතිඥ දේශනය පවත්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා මෙසේද කියා සිටියේය.

ගරු මැතිනියනි, මැතිතුමනි,

විත්තිකරුට එරෙහිව පවතින මෙම නඩුව සම්පූර්ණයෙන්ම වාගේ විභාගයට ගනු ලැබුවේ ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මියගේ සාක්‌කිය මත බව පෙනී යනවා. එහෙත් එම සාක්‌කිය පිළිගත හැකි එකක්‌ නොවන බව කිව යුතුයි.

පැමිණිල්ලට අදාළව කැඳවන්නට යෙදුණ විත්තියේ සාක්‌කි පිළිබඳව විමසීමේදී සාක්‌කිකරුවන් ගණනාවක්‌ සාක්‌කි දුන්නා. විත්තිකරුද දින පහක්‌ තිස්‌සේ විත්ති කූඩුවේ සිට විත්ති වාචිකයක්‌ ලබා දුන්නා. විත්තිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක මහතා කරු ජයසූරිය මහතා, මහාචාර්ය ඈෂ්ලි හල්පේ මහතා, කර්තෘ සංසදයේ සභාපති සුකුමාර් රොක්‌වුඩ් මහතා සාක්‌කි දෙනු ලැබුවා. එම සාක්‌කිවලදී හෙළි වූ කරුණු හා පෙන්වා දෙනු ලැබූ කරුණු පිළිබඳව ඔබතුමන්ලාගේ අවධානය යොමු කළ යුතු වෙනවා.

විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ ඔහුගේ විත්ති වාචිකයේදී බොහෝ කරුණුවලට සිය හමුදා ජීවිතය ගැන ඇතුළත් කරන බව කීවා. වසර 40 කට අධික කාලයක්‌ වන ඔහුගේ හමුදා ජීවිතය ගැන කළ ප්‍රකාශය මෙහිදී ඉතා වැදගත් කොට සලකන ලෙස ඉල්ලා සිටිනවා. එහිදී ඔහු හමුදාවට රටට කර ඇති සේවය දක්‌වන ආදරය ගැන කියෑවෙනවා.

ඔහුගේ විත්ති වාචිකයේදී කියෑවුණු පරිදි හමුදාව වෙනුවෙන් රට වෙනුවෙන් ඔහු තුන් වරක්‌ දැඩි තුවාල ලබන්න වුණා. තුන්වෙනි පාර මරණය ආසන්නයට ගොස්‌ රටේ වාසනාවට ඔහු ජීවිතය බේරා ගත්තා.

ඔහුට ජීවිතයත් මරණයත් අතර සටන් කරන්න සිදුවූ සෑම අවස්‌ථාවකදීම ඔහු පළමුව සිතුවේ හමුදා ජීවිතය ගැන. දැඩි ලෙස තුවාල ලැබූ ඔහුට හමුදා සේවයෙන් ඉවත්වී විදේශ ගතව ඇති සිය දියණියන් සමග එක්‌වී නිවසට වී ජීවිතයේ සැඳෑ සමය ගත කිරීමට ඕනෑ තරම් ඉඩ තිබුණා. වෛද්‍ය උපදෙස්‌ මත හමුදාවෙන් ඉවත් වීමට තිබියදීත් ඔහු යළි යළිත් හමුදා සේවයටම කැප වී රට වෙනුවෙන් ජීවිතයම කැපකරනු ලැබුවා.

ඔහු හමුදාපතිකම බාර ගනිමින් කියා සිටියා වෙන අයෙකුට හමුදාපතිකම දෙන විට පැවැති යුද්ධය බාර නොදෙන බවට. ඔහු එලෙසින් ප්‍රකාශ කළ වචනය ක්‍රියාවෙන් ඔප්පු කොට යුද්ධය අවසන් කරනු ලැබුවා. ඒ සෑම වචනයකම ඔහුගේ කැපවීම ගැබ් වී තිබුණා.

ගරු මැතිනියනි, මැතිතුමනි, මෙම නඩුවද වචනය මත පවතින නඩුවක්‌ හෙයින් ඔහුගේ ඒ සෑම වචනයක්‌ම ඉතා වැදගත් වෙනවා.

විත්තිකරු පිළිබඳව තීරණයක්‌ ගන්නා විට ඔහු මෙම නඩුවට අදාළ පැවැත්වූ විත්ති වාචිකයේදී කියෑවුණු වචන එක්‌ පැත්තකද අනෙක්‌ පැත්තේ ෙෆඩ්රිකා ජෑන්ස්‌ සාක්‌කිකාරිය ලබාදුන් සාක්‌කිද දමා බැලිය යුතුයි.

මෙම නඩුවට අදාළව සටහන් පොතක්‌ ඉදිරිපත් වුණා. වී.සී.ඩී. තැටි කීපයක්‌ පෙන්වනු ලැබුවා. ඒ කිසිවකින් පැමිණිල්ල විත්තිකරුට එරෙහි චෝදනා ඔප්පු කිරීමට සමත්වී නැති බව කිව යුතුයි.

සාක්‌කිකාරියගේ සටහන් පොතේ ප්‍රශ්න ගත කොටස ඇතුළත් පිටුව පසුව ලියා ඇලවූ එකක්‌ බවට මෙම අධිකරණය හමුවේ පෙනී ගිය කරුණක්‌. එය විනිසුරු මඩුල්ලේ දැඩි අවධානයට ලක්‌විය යුතු කරුණක්‌ ලෙසින් පෙන්වා දිය යුතුයි.

මෙම නඩුවේ වැදගත්ම තහවුරු කර ගැනීමේ සාක්‌කියක්‌ ලබා ගත හැක්‌කේ ලාල් වික්‍රමතුංග මහතාගෙන් පමණයි. නමුත් පැමිණිල්ල ඔහුව සාක්‌කිකරුවකු ලෙසින් කැඳවනු ලැබුවේ නෑ. පැමිණිල්ල එසේ කළේ ඇයිදැයි යන්න ඔබතුමන්ලාගේ සැලකිල්ලට භාජන විය යුත්තක්‌.

යම් කිසි නඩුවකදී කැඳවිය යුතු සාක්‌කියක්‌ කැඳවීමෙන් වැළකී සිටියානම් එයින් මතුවන සැකයේ වාසිය විත්තියට ලබාදිය යුතුයි.

පැමිණිල්ල මගින් පුන පුනා කියා සිටි කතාවක්‌ වන්නේ සන්ඩේ ලීඩර් පුවත්පත විත්තිකරුට උදව් කිරීමට තීරණය කර තිබූ බව සාක්‌කිකාරියද එසේ කියා සිටියද ඔවුන්ගේ ක්‍රියා කලාපයන් තුළින් ඔවුන් විත්තිකරුට උදව් කිරීමේ ෙච්තනාවක්‌ තිබුණාද යන්න අවධානය යොමු කළ යුතුයි.

පැමිණිල්ල විසින් ගොඩනැඟීමට උත්සාහ කළ එම මිත්‍යාව කරුණු කීපයක්‌ නිසා අහෝසි වන බව පෙනෙනවා.

එනම් විත්තිකරුට එරෙහිව ජනාධිපතිවරණයේදී තරග කළ ප්‍රතිවාදී අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයද සන්ඩේ ලීඩර් පුවත්පත් ආයතනය මගින් මුද්‍රණය කළ බව ජෑන්ස්‌ මහත්මියගේ සාක්‌කියේදී හෙළි දරව් වූ කරුණක්‌.

ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් දෙදෙනාගේ විස්‌තර පළ කිරීමේදී උදව් කිරීමට සල්ලි ගත්තේ යෑයි කියන අයට වඩා වැඩි ඉඩක්‌ අනෙක්‌ අපේක්‍ෂකයාට ඔවුන් ලබා දුන්නා.

ජනාධිපතිවරණ සමයේ දී ඔවුන් පුවත්පතට ලියා තිබුණා ජෙනරාල්වරුන් රටවල් පාලනය කිරීමේදී ගත් ක්‍රියාමාර්ග ගැන. එය විත්තිකරු අපහසුතාවට ලක්‌ කිරීමට පළකළ ලිපියක්‌.

සන්ඩේ ලීඩර් පුවත්පත විත්තිකරුට දක්‌වා ඇත්තේ පුදුමාකාර සහාය දැක්‌වීමක්‌. ඇතුල් පිටවලදී එසේ ලිපි පළකළ ඔවුන් මුල් පිටුවට විත්තිකරු ප්‍රකාශ නොකළ කරුණුද ඇතුළත් කර ලිපි පළකරනු ලැබුවා.

සන්ඩේ ලීඩර් පුවත්පත විත්තිකරුගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළකිරීමට ප්‍රතිපත්ති තීරණයක්‌ ගෙන තිබුණද විවිධ අවස්‌ථාවලදී පළකළ ලිපි හා රූප රාමුවලින් ඔවුන්ගේ ප්‍රතිපත්තිය පිළිබඳව සාධාරණ සැකයක්‌ මතු වෙනවා.

සාක්‌කිකාර ජෑන්ස්‌ මහත්මිය විත්තිකරු සමග පැවති සම්මුඛ සාකච්ඡාව දෙකට කඩා පළ කළේ ඇයි? මුල් පිටුවේ එකක්‌, ඇතුල් පිටුවේ තවත් එකක්‌.

මෙම නඩුවට අදාළව කැඳවිය යුතු සාක්‌කි ගණනාවක්‌ තිබියදී ඔවුන්ගේ කැඳවීමක්‌ සිදු නොකර පැමිණිල්ලේ පළමු, දෙවැනි, තෙවැනි, සිව්වැනි, පස්‌වැනි සාක්‌කිකාරිය වන්නේ ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය බව පෙනීයන කරුණක්‌.
ෙෆඩ්රිකා ජෑන්ස්‌ සාක්‌කිකාරියගේ සාක්‌කිය පිළිගැනීමට නොහැකි නම් එහි වාසිය විත්තියට ලබාදී විත්තිකරු නිදොස්‌කොට නිදහස්‌ කර හරින ලෙස ඉල්ලා සිටිනවා.

විත්තිය විසින් කැඳවනු ලැබූ සෑම සාක්‌කියකින්ම පැමිණිල්ලේ සාක්‌කිකාර ජෑන්ස්‌ මහත්මියගේ සාක්‌කිය පිළිබඳව සැකයක්‌ මතුවන හෙයින් එහි වාසිය විත්තියට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

පැමිණිල්ල මගින් විත්තිකරුට එරෙහිව බැලූ බැල්මට කිසිදු නඩු නිමිත්තක්‌ දක්‌වා නැති බව පැහැදිලි ලෙස පෙනී යන කරුණක්‌.

ගරු මැතිනියනි, මැතිතුමනි එංගලන්ත ජාතික විද්වතකු වන බ්ලැක්‌ ස්‌ටෝන් සාමිවරයා වරක්‌ කියා තිබුණා "වැරැදිකරුවන් දහසක්‌ නිදහස්‌ වුණාට කමක්‌ නෑ... ඒත්

නිවැරැදිකරුවෙක්‌ වැරැදිකරුවෙක්‌ වුණොත් එය ඉතා භයානක බව. නිවැරැදිකරුවන් වැරැදිකරුවන් නොකරන ලෙස" කියා තිබුණා.

මෙම නඩුවට අදාළව විත්ති දේශනය පටන් ගනිමින් කළ ප්‍රකාශයකින්ම දේශනය අවසන් කිරීමටත් අදහස්‌ කරනවා.

රටේ සිටින එකම තරු හතරක ජෙනරාල්වරයකු වන යුද වීරයා වෙනුවෙන් ඉදිරිපත් වූ සාක්‌කි හා ඔහු කළ ප්‍රකාශ පිළිගන්නවාද? උසාවියට බොරු කියූ, අපහාස කළ, ජෑන්ස්‌ සාක්‌කිකාරියගේ සාක්‌කි පිළිගන්නවාද? කියා අධිකරණය තීරණය කළ යුතුයි. දෙපාර්ශ්වය වෙතින් ඉදිරිපත් වූ කරුණු හා සාක්‌කි නීතියේ අන්ධ යුවතිය අත රැඳි තරාදියට දමා සාධාරණ තීන්දුවක්‌ ගන්නා ලෙසට ඉල්ලා සිටිනවා.

ඉටුකොට කළ යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්

ස්‌තුතියි.

විත්තියේ දේශනය එතැනින් අවසන් වූ අතර නඩුවේ තීන්දුව ලබන 18 වැනිදා ප්‍රකාශයට පත්කරන බවට ප්‍රකාශ කළ විනිසුරු මඬුල්ල එතෙක්‌ විත්තිකරුට ලබාදුන් සියලු පහසුකම් ලබාදෙන ලෙසට බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.

දැඩි ආරක්‌ෂක රැකවල් මැද රැගෙනවිත් තිබූ සරත් ෆොන්සේකා මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර නඩු විභාගය නැරැඹීම සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය සමග පවුලේ ඥතීන් මෙන්ම සමීපතමයෝ රැසක්‌ද මහජන නියෝජිතයෝ රැසක්‌ද පැමිණ සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥවරුන් තිදෙනකු සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අලුවිහාරේ මහතා පෙනී සිටි අතර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිඥ මහත්ම මහත්මීන් කණ්‌ඩායමක්‌ සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ නලීන් ලද්දුවහෙට්‌ටි මහතා පෙනී සිටියේය.

Tell a Friend