පවුලක හටගත් පුද්ගලික ප්‍රශ්නයක් දිනමිණට ප්‍රාදේශීය පුවතක් වෙලා


මෙම පුවත පල වුයේ මෑතකදී දිනමිණ පුවත්පතේය. පාඨකයාට තොරතුරු ලබා දීම වෙනුවට පවුලක හටගත් අතිශයින්ම පුද්ගලිකවුත් මානුෂිකවුත් ගැටලුවක් කුණු රසය වෑහෙන ප්‍රාදේශීය පුවතක් බවට දිනමිණ පුවත්පත විසින් පත් කොට තිබේ. මෙම පුවත ලියු දිනමිණ මාධ්‍යවේදියා අපේක්ෂා කල පහත් වින්දනය නොව මෙම ප්‍රශ්නයේ ඇති මානුෂික ගැටලුව දෙස සංවේදීව බලන ලෙස අප පාඨකයාගෙන් ඉල්ලමු. මෙන්න එම පුවත.

මගේ වයිෆ් එයාගෙ යෙහෙළියත් එක්ක මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා සර් -සැමියා
මහත්තයට විකාර : ඒ මගේ හොඳම මිතුරිය සර් - බිරිය
‘සර්... මේ අර එදා මම කිව්ව පැමිණිල්ල විභාග කරන්න අද එන්න කිව්වා දෙපැත්තම ඇවිත්.’

සැරයන්වරයා දුන් පැමිණිලි පොත මේසය මත තබාගත් සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සැරයන් සඳහන් කළ පැමිණිල්ල කියෙව්වේ මහත් වුවමනාවෙනි.
පැමිණිල්ල කියවා අවසන් කළ ස්ථානාධිපතිවරයා පැමිණිලිකරු දෙස බැලුවේය.

‘තමාද පැමිණිල්ල ?’ පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ අහිංසක පෙනුමකින් යුත් හීන්දෑරි තරුණයෙකි.

‘හොඳයි මොකද දැන් වෙලා තියෙන්නේ ?’ ස්ථානාධිපති ඔහුගෙන් විමසිය.

‘සර්... මේ ඉන්නේ මගේ වයිෆ්.’ ඔහු අසල සිටි රූමත් කතක් පෙන්විය. එයා ළඟට ඉන්නේ එයාගේ හොඳම මිතුරිය එයා තමයි මගේ වයිෆ්ට ඉන්න හොඳම යාලුවා.’

පොලිස් පරීක්ෂක තරුණයා පෙන්වූ අනෙක් කාන්තාව දෙස බැලුවේ යටැසිනි. කාන්තාවක් යැයි සිතිය නොහැකි අන්දමට ඇගේ ස්වරූපය වෙනස්ය.
කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසී සිටි ඇය කොණ්ඩය කොටටම කපා ඇති අයුරු පොලිස් පරීක්ෂක නිරීක්ෂණය කළේය. ඇගෙන් දිස් වූයේ කාන්තාවකට වඩා පිරිමියකුගේ ස්වරූපයයි.

‘ඉතින් ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ ?’

පොලිස් පරීක්ෂක විමසීය.

‘සර්... අපි දෙන්නා කසාද බැඳලා මාස හතරයි. මගේ වයිෆ් වැඩ කරන්නේ ගාමන්ට් එකක. මේ එයාගේ හොඳම යෙහෙළිය යැයි කියලා මට හඳුන්වලා දුන්න කෙනා. අද එයා අපේ පෞද්ගලික ජීවිතයට මැදි වෙලා අපට කරදර කරනවා. මට හිතෙන හැටියට මේ දෙන්නා අතරේ මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා සර්..’

තරුණයා කියාගෙන ගියේය.

‘මෙයා නිතරම අපේ ගෙදර යනවා එනවා. සමහර වෙලාවට රෑටත් නවතිනවා. මේ දෙන්නම කාමරේට වෙලා මහ රෑ වෙනකම් කතා කර කර ඉන්නවා සමහර වෙලාවට දෙන්නා රෑ ගත කරන්නෙත් එකම කාමරේ’. ‘මේක මට හරි කරදරයක් සර්. මගේ වයිෆුත් එයාට කැමතියි. මට තේරෙන්නෙ නැහැ මොනවා කරන්නද කියලා’ සැමියාගේ කතාව අසා ගෙන සිටි පොලිස් පරීක්ෂක බිරිය දෙසට හැරිනි. ‘තමුන් මොනවද මේ ගැන කියන්නේ ?’ ‘අපේ මහත්තයාගේ විකාර සර්. මේ මම දන්න හඳුනන අක්කා කෙනෙක්. එයා මට හුඟක් ආදරෙයි. අපේ ගෙදරත් එනවා. මහත්තයට එයා ගැන සැකයි.’

පොලිස් පරීක්ෂක බිරියගේ යෙහෙළිය දෙසට හැරිනි. ‘තමුන් කසාද බැඳලද ?. නෑ සර්’ යෙහෙළිය කීවේ බිම බලාගෙනය.

‘හොඳයි කල වයසත් හරි ඇතිනේ’ දැන් තමුන් ගෙදර අයටත් කියලා විවාහයක් කර ගත්තොත් හොඳයි. මේ අහිංසක පවුල කඩන්න එපා. තමුන් සැරසෙන්නේ මොකටද කියලා මට තේරෙනවා. ඒ වගේදේවලට නීතියෙන් ඉඩක් නැහැ. කරුණාකරලා මේ දෙන්නට දෙන්නගේ පාඩුවේ ඉන්න දෙන්න. ආපහු මේ අයගේ ගෙදර ගිහිල්ලා කරදර කරනවා එහෙම නෙවෙයි. එහෙම වුණොත් මට සිද්ධ වෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න’.

පොලිස් පරීක්ෂකගේ උපදේශයට බිරියත් යෙහෙළියත් එකඟ වූහ.

පොලිසියෙන් අස්සන් තැබූ බිරිය සහ සැමියා පොලිස් ස්ථානයෙන් පිටවී යද්දි යෙහෙළිය කඳුළු පිසමින් ඔවුන් පසු පසින් ගමන් කරනු දක්නට ලැබිණි.

අමිල ගුණරත්න


පසු සටහන

සමලිංගිකත්වය යනු පැරණි ලෝකයේ අවමානය , හිර දඬුවම, මරණිය දණ්ඩනය සිට නවීන ලෝකයේ මානව අයිතිවාසිකමක් දක්වා වර්ධනය වූ දෙයකි. නමුත් ලංකාව වැනි ගෝත්‍රික මුල්ලා සමාජයකට සමලිංගිකත්වය යනු දිරවා ගත හැකි ප්‍රපංචයක් නොවේ. එම නිසා දෙමාපියන් විසින් බලහත්කාරයෙන් කර දෙන කටයුත්තට මැදි වී තම ස්වභාවික ආශාවන් කෙලෙස හෝ සපුරා ගැනීමට සමලිංගිකයන්ට සිදුවී තිබේ. මෙවැනි මානුෂික ගැටළු දිනමිණ වැනි පුවත්පත් වලට කුණු රස ඇති නිවුස් බවට පත් වේ. එපමණක්ද නොවේ . සමලිංගිකත්වයට අවි අමෝරාගෙන පහර දීමට එන පුජකයන් රහසේ ළමුන් දුෂණය කරති. මතුපිටින් තමන් විසින් සුරකිනු නොලබන සදාචාරය හා සංස්කෘතියක් ගැන කතා කරති.


Tell a Friend