පැහැරගැනීම සහ ඝාතනය කිරීම ආණ්ඩුව කලාවක් බවට පත් කර ගෙන සිටිනවා - තිස්ස අත්තනායක

යාපනය, උදයන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ඥානසුන්දරම් සුගනාදන් මහතාට එල්ල කෙරුණු මැර ප්‍රහාරය තරයේ හෙළා දකින එක්සත් ජාතික පක්‍ෂය මේ ප්‍රහාරයට සම්බන්ධව වගකිව යුත්තන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ආණ්ඩුවට බල කරන බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ අද (02) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ඒ මහතා එහිදී මෙසේද කීය.

සිංහල, දෙමළ සහ මුස්ලිම් භේදයෙන් තොරව සියලූම ජනමාධ්‍යවේදීන්ට මැර ප්‍රහාර එල්ල කිරීම, ඒ අය පැහැරගැනීම සහ ඝාතනය කිරීම ආණ්ඩුව කලාවක් බවට පත් කර ගෙන සිටින බව කිව යුතුයි. මෙබදු මැර ප්‍රහාරයන්ට සම්බන්ධ වගකිව යුත්තන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නීතිය දුර්වල වීමත් සමග අපරාධකරුවන් නීතිය අතට ගෙන ක්‍රියා කිරීමේ තත්ත්වය වර්ධනය වී තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයෙන් ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ එක්සත් ජාතික පක්‍ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රති ඥා ගැනීම විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී අනිද්දා (05) උදේ 10.00 ට සිදු කිරීමට නියමිතයි. එහිදී එක්සත් ජාතික පක්‍ෂ නව පළාත් පාලන මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ දූෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහිව ජනතාව පෙළගස්වමින් ක්‍රියා කරන බවට නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දිවුරුම් දෙනවා. එහිදී සිය වගකීම්, කාර්යභාරයන් සහ යුතුකම් සම්බන්ධයෙන් ද අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතයි.

යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඉදිරියේ දී 10 සිට 6 දක්වා අඩු කිරීමට සිදුවන බවට මැතිවරණ කොමසාරිස්වරයා කළ ප්‍රකාශය ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර තිබෙන අතර ඒ හේතුවෙන් සුළු ජනයා අතර ආන්ඩුව කෙරෙහි නැවත නැවතත් දැඩි අවිශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. මේ තීරණය ගැනීමට හේතුව ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දී සිටින්නේ 2010 ඡන්ද හිමි නාම ලේඛන සකස් කිරීමේ දී යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් ලක්‍ෂ 3 කින් අඩු වී ඇති බවයි.

යුද්ධය අවසන් වූ විගස සම්පූර්ණයෙන් නැවත පදිංචි කිරීම් සිදු නොකර 100% ක් සිවිල් නීතිය ස්ථාපිත නොවී යුද හමුදා පාලනයක් යටතේ ඒ දිස්ත්‍රික්කය පාලනය වූ අවස්ථාවක සකස් කෙරුණු ඒ ඡන්ද හිමි නාම ලේඛනය මත මෙබදු තීරණයක් ගැනීම ගැටලූ සහගතයි. නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන් අවසන් නොකර සිවිල් නීතිය මුළුමනින්ම තහවුරු කිරීම පසෙක තබා විධිමත් ජන සහ සංඛ්‍යා ලේඛන පර්යේෂණයකින් තොරව මෙසේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩු කිරීමට ආණ්ඩුව හදිසියේ ගෙන ඇති තීරණය කෙරෙහි උතුරේ ජනතාව දැඩි සැක පළ කර සිටිනවා.

උතුරු-නැගෙනහිර ප්‍රශ්නයට අදාළ දේශපාලන විසඳුම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර සාකච්ඡා පැවැත්වෙන මෙබදු මොහොතක මෙබදු තීරණයක් ආණ්ඩුව ගැනීම ඒ සාකච්ඡාවට බාධාවක් විය හැකියි. ඒ මන්ද දකුණේ සිංහල ආණ්ඩුව පාර්ලිමේන්තුව නියෝජනය කිරීම උතුරේ සිය ජනතාවට තිබෙන අයිතිය උදුරා ගැනීමට කුමන්ත්‍රණය කරන බවට හැඟීමක් ඒ ජනතාවට ඇති විය හැකි බව කිව යුතුයි.

ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ උතුරු - නැගෙනහිර ප්‍රශ්නයට අදාළ දේශපාලන විසඳුම සම්බන්ධයෙන් අවංකව කටයුතු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය පිළිබඳව උතුරේ ජනතාව අතර විශ්වාසය තහවුරු කිරීමයි. එම නිසා විධිමත් ජන සහ සංඛ්‍යාලේඛන පර්යේෂණයකින් ද, සම්පූර්ණයෙන් නැවත පදිංචි කිරීම් සිදු කිරීමෙන් ද, සිවිල් නීතිය ස්ථාපිත කිරීමෙන් ද තොරව මෙබදු තීරණයක් ගැනීම ආණ්ඩුව වහාම අත්හිටුවිය යුතුයි.

රටට තෙල් ආනයනය කිරීමේ විධිමත් ක්‍රමවේදයෙන් ද, ටෙන්ඩර් පටිපාටියෙන් ද තොරව අපද්‍රව්‍ය සහිත පෙට්‍රල් ආනයනය කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීමට ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු කමිටුව සිය වාර්තාව මගින් ඒ අක්‍රමිකතාවය වසා ගැනීමට ක්‍රියා කරනවා. මේ මහා පරිමාණ දූෂණයට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව ක්‍රියා කිරීම සහ බාල වර්ගයේ පෙට්‍රල් හේතුවෙන් සිදු වූ අලාභහානියට අදාළ පිරවුම්හල් සහ පාරිභෝගියන්ට වන්දි ගෙවීම වෙනුවට මේ කමිටුව යෝජනා කිරීමට යන්නේ එබදු සිද්ධියක් නැවත ඇති නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග පමණයි.

දෙසතියක් ඇතුළත අදාළ කමිටුව මේ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් මේ දක්වා මේ වාර්තාව එළිදැක්වීම මගහැර සිටින්නේ මේ මහා පරිමාණ දූෂණය වසා ගනිමින් අදාළ වාර්තාව සකස් කරන නිසයි. මෙම මහා පරිමාණ දූෂණය සහ ඊට සම්බන්ධ වගකිව යුත්තන් ගැන කිසිවක් කතා නොකරමින් අදාළ කමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දීමට යන්නේ අදාළ පෙට්‍රල් තොගයට අපද්‍රව්‍ය මිශ්‍ර වී ඇත්තේ අදාළ තෙල් තොගය ප්‍රවාහනය කළ නැවේදී සහ ඒ තෙල් බෙදා හැරීමේ දී බවයි.

කෙසේ නමුත් රටට ආනයනය කෙරෙන සියලූම ඉන්දන පිළිබඳ ප්‍රමිතිය සහතික කිරීමේ තාක්‍ෂණික කමිටුව මේ පෙට්‍රල් ප්‍රමිතියෙන් තොර බවට පැහැදිලිව කියා තිබූ අතර බාල වර්ගයේ පෙට්‍රල් තොගය රට පුරා බෙදා හැරියේ සංස්ථාවේ නියෝගය මත බව ඛනිජ තෙල් සංස්ථාවේ තොග ගබඩා බාර සභාපති එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා පවා ජනමාධ්‍යයට ප්‍රකාශ කර සිටියා.

මේ අනුව පැහැදිලි වන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව මේ මහා පරිමාණ දූෂණයට සම්බන්ධ අය ද, අපද්‍රව්‍ය සහිත බාල වර්ගයේ පෙට්‍රල් අපට ලබාදුන් අදාළ සිංගප්පූරු සමාගම ද සිය වාර්තාව මගින් නිර්දෝෂී කිරීමට ක්‍රියා කරමින් සිටින බවයි. ඒ අනුව මෙබදු ජාතික අපරාධයකට අනුබල දී රටටත්, ජනතාවටත් ද්‍රෝහි වන්න එපා යැයි අදාළ කමිටුවෙන් අප පැහැදිලිව ඉල්ලා සිටිනවා.

එහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා මෙසේ පැවසීය.

ජාතික හැදුනුම්පත වෙනුවෙන් ඡායාරූප ගැනීමේ දී සිය හිස් වැසුම සහ කාන්තාවන්ගේ හිජාබ් ආවරණය පැළඳීම තහනම් කරමින් ආණ්ඩුව මුස්ලිම් ජනතාවගේ, මුස්ලිම් ජාතික අනන්‍යතාවය බරපතල ලෙස කෙළසා තිබෙනවා. මුස්ලිම් පිරිමි හිස් වැසුම පැළඳීම සහ මුස්ලිම් කාන්තාවන් හිජාබ් පැළඳීම මුස්ලිම් ජනතාවගේ අයිතියක් සහ ඒ පළඳනාව මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාවය ප්‍රදර්ශනය කරන සංකේතයක් බව කිව යුතුයි.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී මුස්ලිම් පිරිමින්ට හිස් වැසුම පැළඳීමත්, කාන්තාවන්ට හිජාබ් ආවරණය පැළඳීමත් තහනම් කරමින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ කොමසාරිස්වරයා සියලූම ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ දී මුස්ලිම් පිරිමින්ට හිස් වැසුමත්, මුස්ලිම් කාන්තාවන්ට හිජාබ් ආවරණයත් පැළඳීම තහනම් කරමින් ආණ්ඩුව මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාව විනාශ කිරීමට එරෙහිව දැඩි විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරනය කර තිබෙනවා.

මේ අරගලය සමග මුස්ලිම් ජනතා අයිතීන් වෙනුවෙන් ඒකරාශී වන ලෙස සියලූ ජනවර්ගයාගෙන් ඉල්ලා සිටිනවා.

එහිදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඊට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය :- එක්සත් ජාතික පක්‍ෂය හානිදායක කිසිවක් ජනමාධ්‍ය ඔස්සේ එළිපිට කතා නොකරන බවට මීට ඉහත දී පක්‍ෂයේ සියල්ලන් එකට එකතු වී ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තත් සමහරු මන්ත්‍රීවරුන් ජනමාධ්‍ය ඔස්සේ මේ වන විටත් පක්‍ෂයට ඉතාම හානිදායක ලෙස විවිධ ප්‍රකාශ ජනමාධ්‍ය ඔස්සේ කරමින් සිටිනවා නේද?

පිළිතුර :- ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ එකමුතුභාවය ආරක්‍ෂා වන පරිදි අප සියල්ලන් කතා කළ යුතු බවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී අප තීරණයක් ගත්තත් ඒ තීරණයට විරුද්ධව විවිධ අදහස් සහ යෝජනා හුවමාරු වී තිබෙනවා.

කෙසේ නමුත් අප උත්සාහ කරන්නේ මේ සියල්ල සමථයකට පත් කර ගැනීමට වන අතර ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන වගකීම ඉටු කිරීම එක්සත් ජාතික පක්‍ෂයේ අප සියල්ලන්ගේ යුතුකමයි. මේ මතු වී ඇති කරුණු කාරණා සම්බන්ධයෙන් මේ මස 17 වැනි රැස්වන එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කරුණු සාකච්ඡා කෙරුණු ඇති.

ප්‍රශ්නය :- එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් යෝජනා කර තිබෙනවා නේද?

පිළිතුර :- එක්සත් ජාතික පක්‍ෂයේ නිලධාරීන් පත් වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබත්, මමත්, ජනතාවත් දන්නවා. යම් ස්ථානයක සිදු කෙරෙන සාකච්ඡාවකින් හෝ ඉදිරිපත් කෙරෙන යෝජනාවකින් එක්සත් ජාතික පක්‍ෂයේ නිලධාරීන් පත් කිරීම හෝ පහ කිරීම සිදු කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒ ක්‍රියාවලිය සිදුවිය යුත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුකඣලවයි. එබඳු ව්‍යවස්ථානුකඣල ක්‍රියාමාර්ගයන්ගෙන් තොරව ඊට පරිභාහිරව ඉදිරිපත් කෙරෙන අදහස් සහ යෝජනා පිළිබඳව අප අවධානය යොමු කළ යුතු නැහැ.

ප්‍රශ්නය :- චැනල් 4 නාලිකාව මගින් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිද්ධීන් අළලා විකාශනය කෙරුණු වැඩසටහනට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව ද මේ වන විට විශේෂ වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා. මේ වීඩියෝ පටය මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිඋත්තර බැදීමට ප්‍රමාණවත්ද?

පිළිතුර :- ඇත්ත වශයෙන්ම චැනල් 4 නාළිකාව මගින් යුද්ධයේ අවසාන භාගයේ දී සිදු වූයේ යැයි කියන සිද්ධීන් අළලා විකාශනය කෙරුණු වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව නිකුත් කළ වීඩියෝ පටය ප්‍රමාණවත් යැයි අප විශ්වාස කරන්නේ නැහැ.

ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට වඩා විශාල අවදානයක්, උනන්දුවක් සහ ප්‍රතිචාරයක් දැක්විය යුතුව තිබුණා. චැනල් 4 නාලිකාව ප්‍රථම වතාවට පළමු වීඩියෝ පටය මේ සිද්ධීන් සම්බන්ධයෙන් විකාශනය කළ අවස්ථාවේ දී ආණ්ඩුව ඊට නිසි ප්‍රතිචාර දැක්වුවා නම් මෙබදු තත්ත්වයක් නිර්මාණය වන්නේ නැහැ.

මේ තත්ත්වයෙන් හෙළි වන්නේ ආණ්ඩුව මේ සියලූ තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රියා කරන රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙතෙහි විශාල අඩුවක් තිබෙන බවයි. චැනල් 4 නාලිකාව මගින් විකාශනය කෙරුණු වැඩසටහනට පිළිතුරු දීම සඳහා ආණ්ඩුව සංවිධානය කළ උත්සවයේ දී හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වචනයක්වත් කතා නොකිරීම අප තරයේ හෙළා දකිනවා.

මේ උත්සවයේ දී යුද්ධයට සහ යුද හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා සිහිපත් නොකිරීමෙන් හෙළි වන්නේ ආණ්ඩුව තවදුරටත් ඔහුගෙන් පිළිගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවයි.

ප්‍රශ්නය :- එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාගේ නම ඉදිරිපත් කරමින් සජිත් පේ‍ර්මදාස මහතා කළ යෝජනාවේ සාධනීය භාවය පිළිබඳව පක්‍ෂයේ මහලේකම්වරයා ලෙස ඔබේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර :- එතුමා කැඳවූ ඒ ප්‍රවෘත්ති සාකච්ඡාව ගැන එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම්වරයා ලෙස මගේ මතය පළ කිරීමේ හැකියාවක් මට ඇත්තේ නැහැ. ඒ මන්ද සජිත් පේ‍ර්මදාස මහතා කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකවරයායි. එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකවරයා ලෙස එතුමා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව එතුමාට අවබෝධයක් තිබිය යුතුයි. එම නිසා ඒ කතාවේ හොඳ හෝ නරක විග්‍රහ කිරීමට මම ඉදිරිපත් වන්නේ නැහැ.

Tell a Friend