සුනන්ද දේශප්‍රිය
ශ්‍රී ලංකාවේ යුද අධිකරණය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 89 වගන්තියට අනනුකූල අධිකරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය 2011 ජනවාරි 25 දා ප්‍රසිද්ධ කළ තීන්දුව මගින් කියා සිටියේ ය. මෙම වනාහී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සම්බන්ධයෙන් ලියැවුනු තීරණාත්මක තීන්දුවකි. එම තීන්දුව මගින් හිටපු හමුදාපති සහ ජෙනරල් සරත් පොන්සේකාට යුද අධිකරණය මගින් දෙන ලද තෙවසරක සිර දඩුවම් තීන්දුව අනුව ඔහුගේ පාර්ලිමේන්තු මංත්‍රි ධුරය අහෝසිවන බවට රජය ගෙන ආ තර්කය සනාථ කරන ලදී.
මෙම තීන්දුව අදාළ වන්නේ සරත් පොන්සේකාගේ පාර්ලිමේන්තු මංත්‍රීධුරය පිළිබඳ ප්‍රශ්ණයට පමනක්ම නොවේ. ඊට අමතරව, මානව හිමිකම් සහ යහ පාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සියල්ලන් විසින්ම සැළකිල්ලට ගත යුතු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට අදාළ වැදගත් ප්‍රශ්ණ ගණනාවක් ද මෙම තීන්දුව විසින් මතු කරයි.
තදජමි දබ ඍසටයඑි මැයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතට සතිපතා අනර්ඝ ලිපියක් සම්පාදනය කරන නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන මෙම නඩු තීන්දුව පිළිබඳව හරවත් සාකච්ජාවක අවශ්‍යතාවය ද පෙන්වා දෙමින් පසුගිය ජනවාරි 30 දින එම පුවත්පතෙහි කෙටි විවරණයක් පළ කර තිබුණි.
එහිදී ඇය පෙන්වා දුන්නේ යුද අධිකරණය ශ්‍රී ලංකා ව්‍යාවස්ථාවේ 89 වන වගන්තියට අනනුකූළ අධිකරණයක් බව පිළිගැනීම මගින් තවත් ප්‍රශ්ණ ගණනාවක්ම මතුවන බවයි. එහිලා පින්ටෝ ජයවර්ධන කියා සිටින්නේ හමුදා පනත යටතේ පරීක්ෂණ සඳහා නීත්‍යනුකූල ආයතනයක් ලෙස යුද අධිකරණය පිළිගැනෙන නමුත් එය දේශපාලන පාලනයෙන් ස්වාධීන ද යන්නට ලෙහෙසි පිළිතුරක් නැති බවයි. යුද අධිකරණ ක්‍රියාකාරිත්වය ව්‍යවස්ථානුකූල නීතිය මගින් පිහිටුවා ඇති සිවිල් අධිකරණයක ක්‍රියා පරිපාටියෙන් බොහෝ දුරටම වෙනස් බවද ඇය පෙනවා දෙයි.
එම ලිපිය මගින් තවදුරටත් පෙන්වා දුන්නේ යුද අධිකරණයන්ට ස්වාධීනත්වයක් නැති නිසාම බරපතල මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ විභාග සඳහා යෝග්‍ය අධිකරණයක් ලෙස අන්තර් ජාතික නීතිය යුද අධිකරණ නොපිළිගන්නා බව යි. නීත්‍යානුකූලත්වයේ මුලධර්මය සහ නීතිය ඉදිරියේ සමානත්වය අන්තර් ජාතික ප්‍රමිතියේ හරය වන බව ද සදහන් කරන එම ලිපිය යුද අධිකරණ එම ප්‍රමිතියට නොගැලපෙන්නේය යන කරුණ මතු කරයි.
—නීත්‍යනුකූල නොවු මිනිස් ඝාතනයන් වැනි බරපතල මානව හිමිකම් කෙළෙසීම් විභාග කරන ඕනෑම තත්ත්වයක් යටතේ දී යුද අධිකරණයන්හි නීතිමය අධිකාරය ඉවත් කොට සිවිල් අධිකරණයන්හි නීතිමය අධිකාරය පිළිගත යුතුය˜ යනුවෙන් එක්සත් ජාතීන්ගේ Decaux මූලධර්මයන්හි එන යුද අධිකරණ පිළිබඳ සඳහන් වගන්තිය ද එම ලිපියෙහි ගෙන හැර දක්වා තිබුණි. මෙම නොපිළිගැනීම ඇතිවී තිඛෙන්නේ යුද අධිකරණ මානව හිමිකම් කෙළසන ලද යුද නිලධාරීන්ට පක්ෂග්‍රාහී වනු ඇතැයි යන අනතුරු හැඟවීම මත ය. එම අනතුරු හැඟවීම පැන නගින්නේ සිවිල් අධිකරණයක පවත්නා ස්වාධීනත්වය යුද අධිකරණයක නැත යන ඇත්ත කරුණ මගිනි.
එසේ නමුත් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තීරණය කර ඇත්තේ යුද අධිකරණය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් අර්ථ නිරූපනය කැරෙන අධිකරනයක් ලෙස සැළකිය යුතු බව යි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට මෙම අර්ථ නිරූපනය ගැලපෙන්නේ ද යන ප්‍රශ්ණය සාකච්ජාවට ගත යුත්තේ එනිසා ය.
කොලඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (විප්‍රකේ) ද පසුගිය දා මෙකී නඩු තීන්දුව අරභයා වැදගත් කරුණූ ගණනාවක් පෙන්වා දෙමින් ප්‍රකාශයක් නිකුත් කළේ ය. ස්වකීය තීරණයට එළඹීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සළකා බලන ලද ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ වගන්ති පිළිබඳව සදහන් කිරීමෙන් අනතුරුව විප්‍රකේ කියා සිටින්නේ මෙම තීන්දුව විසින් මෙරට ව්‍යවස්ථාවෙහි ඇති මූලික දුර්වලතාවයක් යළි ඉස්මත්තට ගෙන එන බව යි. එනම් ලිඛිත නීතිය ව්‍යවස්ථාමය විමර්ශනයකට භාජනය කිරීමට ඇති නොහැකියාවයි. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවන්හි ලක්ෂණයක් වන එම ලිඛිත නීති විමර්ශන යාන්ත්‍රණය මෙරට ව්‍යවස්ථාවෙහි තිබුණේ නම් යුද අධිකරණයට ව්‍යවස්ථාමය සීමා පැණවීමට ඉඩ ඇති බවද එය කියා සිටී. එම ප්‍රකාශය මෙසේ සදහන් කරයි. —සාක්ෂි ආඥා පනත අනුගමනය නොකරන සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ එන නිසි පරිපාටිය විසින් ලබා දෙන රැකවරණයන් සහතික නොකරන, එනමුත් ව්‍යවස්ථාමය විමර්ශනයකට අවකාශයක් නැති නිසාම පමණක් ව්‍යවස්ථාමය සීමා කිරීම්වලට හසු නොවී පැවැතීමට සමත් වී ඇති යුද අධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා දීම, සියළුම දෙනාගේ පුද්ගලික නිදහස ආරක්ෂා කිරීම සඳහා ඇති වගන්තියක් යටතේ එම පිළිගැනීම ලබා දීම තැති ගැන්මට කරුණකි˜ විප්‍රකේ තව දුරටත් කියා සිටින්නේ දේශීය සහ අන්තර් ජාතික ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි සාධාරණ නඩු විභාගයක් සහතික කිරීමට කිසිසේත්ම නොහැකි නීති රාමුවකට ව්‍යවස්ථාමය පිළිගැනීම ලබා දීමෙන් වැළැකී සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අවස්ථාව තිබූ බව යි.
විප්‍රකේ ප්‍රකාශණය තවත් වැදගත් කරුණක් පෙන්වා දෙයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතු බල විභේදනය පිළිබඳ මූලධර්මය මෙම තීන්දුව මගින් දුර්වල කරන ලබන බව ය. බල විභේදනය යනු රාජ්‍යයේ බලය ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන ක්ෂේත්‍ර අතර ඛෙදා හැරීම මගින් ඒකාධිකාරී පාලනයකට ඇති මං ඇසිරීමයි. විප්‍රකේ ප්‍රකාශණය මෙසේ කියයි. —යුද අධිකරණය කැදවනු ලබන්නේ ද සකස් කරනු ලබන්නේ ද විධායකය බැවින් ද එහි තීන්දු බලාත්මක වීමට විධායකයේ අනුමැතිව අවශ්‍ය බැවින් ද එය ව්‍යවස්ථානුකූල අධිකරණයක් නොවන්නේ යැයි පෙත්සම්කරු තර්ක කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යුද අධිකරණ ක්‍රියාවළියේලා විධායකයේ ප්‍රධානියා විසින් ඉටු කරන ප්‍රබල කාර්්‍ය බාරය නොසලකා යුද අධිකරණය මහාජනයාගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමකැයි නිගමනය කිරීම අධිකරණය සහ විධායකය අතර ඇති වෙනස දුර්වර්ණ කරයි.˜
—එමෙන්ම මෙම තීන්දුව අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහිද නිෂේධාත්මක බලපෑමක් ඇති කරයි. යුද අධිකරණ විධායක ජනාධිපතිවරයා විසින් පිහිටුවනු ලබන නිසාත් එහි තීන්දු ඔහු විසින් සහතික කළ යුතු නිසාත් ඕනෑම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී අධිකරණ පද්ධතියක පදනම වන අධිකරණ බලය විධායකයේ බලපෑමෙන් නිදහස්ය යන පිළිගැනීම මෙමගින් බිඳ වැටේ˜
මෙම තර්කයෙන් පෙන්වා දෙන්නේ විධායක ජනාධිපතිවරයකුගේ ඍජු බලපෑම යටතේ ඇති අධිකරණ ක්‍රියාවළියක් සාධාරණයැයි ද ව්‍යවස්ථානුකූලයැයි ද නිගමනය කිරීම කවර රටක හෝ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට අනතුරක් බවයි. නමුත් දැන් ශ්‍රී ලංකාවේ සිදුව ඇත්තේ එය යි. අධිකරණයේ ස්වාධීනත්වය විධායක ජනාධිපති බලයෙන් ද ස්වාධීන විය යුතුය යන පිළිගත් සිද්ධාන්තය විධායක බලයේ ම දිගුවක් හා සමාන වන යුද අධිකරණය ව්‍යවස්ථානුකූල අධිකරණයක් බව පිළිගැනීමෙන් බිද වැටෙන බවට ඇති තර්කය ලෙහෙසියෙන් බිඳහෙළිය නොහැක.
යුද අධිකරණ නඩු තීන්දුව පසුබිමෙහි ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පිළිබද කෙටි විවරණයක් ඉදිරිපත් කළ ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී බැසිල් ප්‍රනාන්දු කියා සිටියේ 1978 ව්‍යවස්ථාවෙන් බල විභේදනය පිළිබඳ සංකල්පය සහමුලින්ම ඉවත් කර ඇති බව යි. ඔහු මෙසේ සටහන් කරයි.
—ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණ වලදී නීතියෙන් ද කි්‍රයාවෙන් ද පාලනය ඇත්තේ ජනාධිපතිවරයා අතය. ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හෝ හමුදාව විසින් ගනු ලබන පියවර ජනාධිපතිවරයා විසින් වග කියන විධායක පියවර බවට පත්වේ. අධිකරණයට එවැනි ක්‍රියාවන් පුද්ගලයින්ගේ රැකවරණය උදෙසා වුව ප්‍රශ්ණ කිරීමට සිදු වුව හොත් එවිට ඒ විසින් ප්‍රශ්ණ කෙරෙැණූ ඇත්තේ ජනාධිපතිවරයාගේ අධිකාරය යටතේ සිදු කරන ලද ක්‍රියාවන් ය. ජනාධිපතිවරයාට ඉහළින් අධිකරණ අධිකාරය බල පැවැත්වීමට 1978 ව්‍යවස්ථාව අවසර දෙන්නේ නැත. එමගින් ජනාධිපතිවරයාට නිරපේක්ෂ නීතිමය ආරක්ෂාවක් තිබේ˜
—මෙමගින් එළඹිය හැකි සරලතම නිගමනය නම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ඕනෑම පුරවැසියකුගේ නිදහස කිසිදු සීමාවකින් තොරව අහෝසි කිරීමට බලයක් තිඛෙන බව යි. අධිරාජ්‍ය සමයේ එංගලන්තයේ රජුටවත් එවැනි බලයක් තිබුණේ නැත."
මේ වනාහී දැනුවත් පුරවැසි සමාජයක පුළුල් සහ ගැඹුරු සාකච්ජාවක් අවශ්‍ය කරන විසංවාදයකි.
Post a Comment