අයියෝ... ජි. එල්.



නිලන්ත ඉලංගමුව 


මහාචාර්ය ජි. එල් පිරිස් පසුගියදා කාලයකට පසු යළිත් තමන්ගේ නිවට දේශපලන වර්ණනාව සුපුරුදු පරිදි යෙදුණේය. කතාව පටන් ගත්තේම බොරුවකිනි. ලංකාවේ බොරු කීම සහ රඟ පෑම හැරෙන්නට දේශපාලනය තුළ පැවැත්මක් නැත. මහාචාර්යාට අනුව, අපි එදා ජීවත් වුණේ හිතේ ලොකු බයක් සහ චකිතයකින් යුතුවය. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම නිසා එය පහව ගිය බවත් එකී පහ කිරීමේ කටයුත්තට නායකත්වය ලබාදීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා නිර්භයව ඉදිරියට පැමිණ නිසි ලෙස කටයුතු කළ බවත් ඔහුගේ අදහස විය. නිදහස ලබන අවස්ථාවේදී මෙරට ඒක පුද්ගල අදායම ඉතා වැඩි වූ බවත්, ත්‍රස්තවාදය නිසා එය නැති වූ බවත් ඔහු කිව්වේය. සැබවින්ම ජි.එල්. මහාචාර්ය වරයෙක්ද නැත්තම් සම්මාන මහාචාර්ය වරයෙක්ද යන්න යලි යළිත් මතු කළ යුතු කාරණයක් නොවේ. තමන්ගේ බුද්ධිය මෙතරම් හෑල්ලුවට ලක් කළ පුද්ගලයෙක් ලංකා ඉතිහාසයේ කෙසේ වෙතත් ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඕනෑ තරම් සොයා ගත හැකිය. කෙසේ වෙතත් මෙය ඛේදවාචකයකි. පසුගිය දශක කිහිපය තුළදී අපි පුරුදු වී ඇත්තේද ඛේදවාචක වලින් සතුටු වීමටය. ඒ නිසා ජි. එල් . වැනි අයෙක් එම තත්වයට පත් වීම ගැන කිසිඳු ආකාරයක පුදුමයක් නැත.

ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය දේශපාලන අතකොළුවක් වී ඇත්තේ දේශපාලනික වශයෙන් බුද්ධිමය සාකච්චාවක් සිදු විය යුතු පද්ධතිය ජි. එල්. පිරිස් වැනි අය විසින් කුණු කළ හෙයිනි. එහි මේ වන විට අරක් ගෙන ඇත්තේ පන්දම් කාරයින් පිරිසක් මිස බුද්ධිමත් දේශපාලන කතිකාවක් නිර්මාණය කිරීමට හැකි පිරිසක් නොවේ. ඒ නිසා මොවුහු ශිෂ්‍යන්ට බැණ වැදීමට හෝ ඔවූන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කිරීමට පෙර ස්වං විවේචනයක යෙදීම වැදගත් වේ. නමුත් එය කිසි දිනෙක සිදු වේ යැයි සිතීම උගහටය. භූමි මට්ටමේ ක්‍රියාත්මක වන දේශපාලනයට වඩා දේශපාලන විද්‍යාවේ වැදගත්කම නොතේරීමේ අවුල වන්නේ එයයි. ටියුනිශියාව මෙන්ම ඊජිප්තුව වෙනස් වන්නේ මෙම දර්ශකයෙනි. නමුත් ලංකාවේ සිදු වී ඇත්තේ භූමි මට්ටමේ දේශපාලනයට ගැලපෙන ලෙස දේශපාලන විද්‍යාව හැඩ ගැසීම නොහොත් සපත්තුවට හරියන ලෙස කකුල කැපීමය. තමන්ගේ කුඩා දරුවා මාර්ගයෙන් දේශපාලන වාද නිර්මාණය කිරීමට ගොස් මහින්ද මාමා කරගන්නෙත්, ෆොන්සේකා - පොන්සේකා කරගන්නෙත් එහි ප්‍රතිපලයක් ලෙසය. මෙය ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළම ඇති අවුලයි. එය වසා ගැනීම සඳහා විප්ලවයේ උණ වැළඳී ඇති අහිංසක සිසුන් බිල්ලට දීම සිදු වේ.

ලංකාවේ මහාචාර්ය ධූර දරණ අය වලුන්ගෙන් සීයට හැත්තෑ පහක්ම නියමිත සුදුසුකම් නොමැතිව පත් වී සිටින අය බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පේනවා දෙනු ලබයි. මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත තොරතුරු රැසක් විශ්ව විද්‍යාල කිහිපයකින් ලැබුණු අතර ඒවායේ අඩංගු තොරතුරු සැලකීමේදී සිදු වී ඇති මහා පරිමාණ කඩා වැටීම ගැන පුදුම විය යුතු නොවේ. ඒ අනුව ජි. එල් පිරිස් විසින් සිදු කරන රාජපක්ෂ වන්දනය ගැනද අනුකම්පාවක් මිස ඊට එහා ගිය කිසිවක් නොදැනේ. කතාව සරලය තමන්ගේ යැපීම සඳහා මේ ආකාරයෙන් තමන්ගේ බුද්ධිමය හැකියාව යොදා ලබා ගත් සියල්ලම කපටි බලසම්පන්න දුෂ්ට නායකයෙකුට පාවිච්චි කිරීමට ඉඩ දීමට සිදු වේ.

ජි. එල්. පිරිස් වූ කලි ලංකාවේ අසාර්ථකම විදේශ ඇමතිවරුන්ගෙන් එක් අයෙකි. ඔහු අසාර්ථක වූවා පමණක් නොව තමන්ගේම නායකත්වය විසින් වැඩියෙන්ම අවිස්වාශ කළ විදේශ ඇමතිවරයා වන්නේද ඔහුය. එහි ප්‍රතිපලය ලෙස ජි.එල්.ගේ අමාත්‍යාංශය තක්සේරු කිරීමට ජනාධිපතිගේ දෙවන මෙහෙයුමේදී ප්‍රබල කාරයක් කළ සජින් වාස් දැමීමත්, ඔහුගේ සගයෙකු වන නියෝමාල් පෙරේරා නොනිල විදේශ ඇමති ලෙස පත් කිරීමත් දැක ගත හැකිය. පසුගිය මාස දෙකේදී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සහ විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් සිදු වූ හාස්‍ය ජනක පෙළ ගැසීම තුළින් පිළිඹිබු වන්නේ ජි. එල්.ගේ නිවට කම මිස වෙන කිසිවක් නොවේ. තමන්ගේ අමාත්‍යාංශය දේශපාලන පන්දම් කාරයින්ගේ පාරාදීසයක් වන විට ජි. එල්. කළ යුතුව තුබුණේ දේශපාලනයෙන් සමුගැනීමය. නමුත් ඔහු සිදු කර ගනිමින් සිටින්නේ දේශපාලනික වශයෙන් සිය දිවි නසා ගැනීමය.

මහාචාර්ය ජි. එල්. ට අනුව මෙරට එක පුද්ගල ආදායම අඩු වීම සඳහා බලපා ඇත්තේ ත්‍රස්තවාදයය. නමුත් ත්‍රස්තවාදය වූ කලි රෝගය නොව රෝග ලක්ෂණය බව නොදන්නා ඔහු මෙරට පවතින අසමමිතක බල තුලනය, දුෂණය හෝ නීතියේ අධිපතය බිඳ වැටීම ගැන පිට්ටු ගිලපු බබෙකු සේ මුණිවත රකියි. සැබවින්ම ගැටලුව ඇත්තේ ත්‍රස්තවාදය නිසා නම් එය අතුගා දමා වසර දෙකකට ආසන්න වන විට ලංකාව ලබා ගෙන ඇති ප්‍රගතිය කුමක්ද. නීතියේ ගණිතය ගැන පැහැදිලි නොකරන නමුත් මෙරට ඉපදීමට පවා සිටින ළදරුවෙකු ණයකාරයෙකු කළ දේශපාලන කල්ලි වාදයේ කතුවරයෙකු වන ජි එල්ට රට මුහුණ දී ඇති ආර්ථික අහේනිය තේරුම් ගැනීම සඳහා ප්‍රමාණවත් මොළයක් ඇතැයි සිතමි. සැබෑ ගැටලුව ත්‍රස්තවාදය නොවන බවත් ත්‍රස්තවාදය වූ කලී ගැටලුවේ ප්‍රකාශනය බව පිළිගැනීමට තරම් නිහතමානී නොවන ජි. එල්. පෙන්වමින් සිටින්නේ සම්මාන මහාචාර්ය මර්වින් සිල්වාගේ භූමිකාව මිස වෙන කිසිවක් නොවේ. ඇමෙරිකානු විප්ලවයේ පෙර සහ පසු පැවති අවධිය ගැන විස්තර කෙරෙන වොෂින්ටන් ඉර්වින් තම කෙටි කතාවක හඳුන්වා දෙන, රිප් වැන් වින්කල්ගේ තත්වයට සමස්ත සාමාජය පත් කරමින් නීතියේ අධිපතය වෙනුවට තමන්ගේ ගැටලූ දෙවියන්ට පොල් ගසා යැදීමෙන් සාක්ෂාත් කර ගත හැකිය යන මිත්‍යා දුෂ්ටික තත්වයට සමස්ත රටම තල්ලු වී ඇත්තේ මෙම බුද්ධිමතුන්, බලය ඉදිරියේ සපත්තු ලෙව කෑමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම නිසාය.

Tell a Friend