ඒකා අධිපති


නිලන්ත ඉලංගමුව

ඒ තීරණාත්මක දිනය අදයි. පෙරදාට වඩා පාර්ලිමේන්තුව තුළ සිදු කරණ චන්ද විමසීමකදී පැවති පොදු රටාව නොමැති අතර ජනාධිපති රාජපක්ෂගේ යෝජනාවට කැමති පිරිස් තම නම පාවිච්චි කොට එය කළ යුතු වේ. මෙය පසුගිය මහා මැතිවරණයේදී සහ ජනාධිපතිවරණයේදී පැවති කුතුහලයාත්මක තත්වයේ දිගුවකි. තමා බොරුවක් කරන්නේ නම් එය සඟවා ගැනීම සඳහා උපක්‍රම අවශ්‍ය වේ. බොරුව පිළිකුල් කරන්නන්ගේ ඇස් වැසිය යුතු වේ. එසේම තමා බලයට පත් කළ ජනතාවට තොරතුරු ගලා යාම වැළක්විය යුතු අතර සෑම විටම තමා වෙනුවෙන් ගුණ ගී ගයන නිවට තක්කඩින් තෝරා ගෙන ගුණ ගී ගැයිය යුතු වේ. එමගින් අවශ්‍යතා දෙකක් සිදු වේ. එනම් රැවටීමේ ප්‍රමාණය දික් වීම සහ ඊට විරුද්ධ අයගේ ශක්තියට හානි කළ හැකිය, ඔවුන් මර්ධනය කළ හැකිය. රාජපක්ෂ කොටි පරාජය කළ දිනයේ සිට කරමින් සිටින්නේ එයයි. කෙසේ වෙතත් කාලය එළබි තිබෙන්නේ එළබෙන ඛේදවාචක ගැන කතාකිරීම සහ ඒවා තුළින් සතුට සොයා ගැනීමය.

ජර්මන් ජාතික දාර්ශනිකයකු වන ෆෙඩ්රික් නිට්ස්චේ වරක් ප්‍රකාශ කළ පරිදි, මිනිසුන් විසදුමක් පහසුවෙන් සොයා ගැනීමට නොමැති ප්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථා වලදී, ඔවුහු පිළිතුරු සෙවීම පසෙකලා ප්‍රශ්නය ගැන සිතීමෙන් සතුටු වන්නේය. රාජපක්ෂ යටතේ සාමාන්‍ය ජනතාවට සිදු වී තිබෙන්නද එයය. "ඒ උත්තමයා ප්‍රභාකරන් මරුවා මගේ ඕකත් කොරයි," යනු ග්‍රාමීය මට්ටමෙන් ඇසෙන අනිවාර්ය දේය. අනාගත සිංගපුරුවක්, මැලේසියාවක්, හෝ හොං කොං දේශයක් බවට ලංකාව පත් වන්නේ යැයි සිතා වර්තමානයේ රාජපක්ෂගේ ආණ්ඩුවට විරුද්ධ වීමට නොහැකි පිරිස් සුබ සිහින දැක සතුටු වීමට පුරුදු වී සිටිති. නමුත් ඉතිහාස පුරාම දක්නට ලැබුණේ සිහින වලින් පසු ඛේදවාචක මිස කිසිම සුබ ප්‍රතිපලයක් නොවේ.

මෙහිදී ඔවුහු නොදන්නේ දියුණු වූ රටවල් තමා දුප්පත් අවධියේදී ඉන් ගොඩ ඒම සඳහා කළ කැපවීමයි. කැපවීම වූ කලි රාජපක්ෂගේ මඩිය සහ බලය තරවන තෙක්, "අනේ මේ උත්තමයා කොරයි කියා බලා සිටීම නොවේ." කැපවීම වූ කලි සියලු දෙනාටම නිදහස සහ යුක්තිය නමැති මිනිස් ජීවිතේ මුලික අවශ්‍යතාවයන් සේම වටිනා දෑ බිම් මට්ටමේ සිට ඉහල මට්ටම දක්වා වූ සියලු දෙනාටම බුක්ති විඳීමට හැකි පදනමක් සකස් කිරීමය. එය ප්‍රභාකරන් මරා බස් රියකින් යාපනයේ යාමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීම දේශපාලනිකව හැකි උපරිමයෙන් විකිණීමෙන් කළ නොහැකිය. එය සිදු කළ හැක්කේ ඊට අදාල ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සඳහා ගැඹුරු ලෙස සිදු කරණ සමාජ පරිවර්තනයකිනි. රාජපක්ෂ සිදු කරමින් සිටින්නේ එවැනි පරිවර්තනයක් නොවේ. ඔහු කරමින් සිටින්නේ දේශපාලනය මෝඩයාගේ අවියක් වූ විට තමන්ගේ පරම්පරාව ඉන් පල නෙලා ගන්නේ කෙසේද යන ධර්මතාවය ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රමෝපායන් සකස්කිරිමය. තවත් ටික කලකින් ශ්‍රී ලංකාවේ නම " මැදමුලන" ලෙස වෙනස් කිරීමට හැකි පරිසරය සකස් කරනු ඇත. ජේ.වී.පි. සහ ජනරාල්ගේ පක්ෂයේ සාමාජිකයින් හැර අනෙක් සියලුම දෙනා වීදි ගණිකාවන් සේ මිලදී ගෙන තමන්ගේ කුණු කූඩයට දමා ගත හැකි බව රාජපක්ෂ දන්නේය. ඔහු කරමින් සිටින්නේද එයයි. ඔහු වෙනුවෙන් මෑත කාලයේදී සහයෝගය දීමට ගිය සියලුම දෙනා ඒ ආකාරයෙන් මිලදී ගත් අයවලුන්ය. ඔවුහු අනාගත ශාපයේ හවුල් කරුවන්ය.

මාරාන්තික උපවාස කාර විමල් වීරවංස, ජේ. වී. පි. ය අතුගා දැමීම සඳහා අවශ්‍ය පදනම සකස් කරමින් සිටින්නේ මේ නිසාය. තවත් වසර කිහිපයකදී 88-89 ඛේදවාචකයෙන් පණ බේරා ගත් අය සහ නැගී එන තරුණ පරම්පරාව රාජපක්ෂ ඇතුළු ඔහුගේ කෙවට්ටයින්ගේ අශිෂ්ට දේශපාලනය ගැන මානව තේරුම් ගනු ඇත. බිම් මට්ටමේ ජනතාව දැනුවත් කරනු ඇත. එකී තේරුම් ගත් පිරිස් ඔවුන්ට විරුද්ධව නැගී සිටිනු ඇත. එය ඕනෑම සමාජයක සිදුවන අතිශය ස්වභාවික සමාජීය නැගිටිමකි. එය වැලක්වීමටනම් රාජපක්ෂ වන්දනය සදහා ඔවුන්ගේ මොළ ශෝදනය කළ යුතුය. නැතිනම් සමුහ මර්දනයකට යටත් කළ යුතුය. වීරවංස වැනි අයවලුන් යොදා රාජපක්ෂ කරමින් සිටින්නේ එයයි. රාජපක්ෂ තමන්ගේ මුදලින් සියලුම දේ මිලදී ගනු ඇත. මේ තුළ පක්ෂ ක්‍රමය දිය වී ගොස් රාජපක්ෂගේ උපකරණ බවට තමන් මිලදී ගත් අය වලුන් පත් වනු ඇත. මෙම ලියුම් කරු මීට පෙර සදහන් කළ ආකාරයට ප්‍රභාකරන් අවිය ගැන විශ්වාසය තැබූ අයුරින් රාජපක්ෂ මුදල සහ මුදල් බවට පත් කළ හැකි රත්තරං වැනි දෑ ගැන විශ්වාසය තබන්නෙකි. එවිට තමා යටතේ විෂයන් බවට පත්වූ පුරවැසියන් අදාල උපකරණ මගින් හැසිර වීම සඳහා පහසුය.

රාජපක්ෂ පාලනය කරමින් සිටින්නේ සියලුම දෙනා, තමා හොඳක් කළත් නරකක් කළත් එය යුක්තිය සහ සත්‍ය ලෙස පිළිගැනීම කළ යුතුය යන්න මුලික කොට ගනිමිනි. කේ. පි.ට දෙමළ ජනතාව පවා දීමත්, කොටින්ගෙන් හොරාගත් රත්තරන් කිලෝ 200 ගැන කිසිවෙකුටත් ප්‍රශ්න කිරීමට නොහැකි වීමත් අතර ඇත්තේ එකී ප්‍රතිපත්තියේ අස්වැන්නය. දෙමළ ජනතාවට විමුක්තිය ලබා දෙනවා යැයි කරමින් ප්‍රභාකරන් ඇතුළු කොටි රැල ගෙන ගිය මිනි මරු සෙල්ලම වසර තිහක් තිස්සේ පැවතියේද එලෙසය. එය අහවර වී රාජ්‍ය බලයද සහිතව එවැනිම වූ සෙල්ලමක් ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලංකාව පාවිච්චි කරමින් සිදු කරනු පෙනේ. මෙය ඛේදවාචකයක් ලෙස නොපෙනෙන්නේ කොටි සංවිධානය නොමැති සමාජ වටපිටාවක තත්වය සහ එහි පාලනය ආයතන වලින් වියුක්ත කොට රාජපක්ෂගේ අල්ල උඩට ගැනීම නිසාය. මෙය වඩාත් විචක්ෂනව ප්‍රශ්න කරනු ලැබුවේ ජනරාල් සරත් ෆොන්සේකාය. ඔහුට එය ප්‍රශ්න කිරීමට අයිතියක් තිබුණා සේම ලංකාවට අවශ්‍ය වූ කොටි සංවිධනය නමැති ගැඹුරු දේශපාන චින්තනයක් නොමැති උඩු දුවමින් තිබු පිළිකාව නැති කළ යුතුය යන්න ඔහුගේ අරමුණ විය. එසේම ඒ සඳහා ඔහු සක්‍රිය දායකයකු විය. රාජපක්ෂ ඔහුව දේශපාලනික වශයෙන් ඝාතනය කරමින් සිටින්නේ මේ නිසාය. සැබවින්ම එක්තරා දේශපාලන විචාරකයෙකු සදහන් කළ පරිදි රාජපක්ෂ අර අදිමින් සිටින්නේ, ටාජ් මහල් හැදූ ගෘහනිර්මාණ ශිල්පියාට මෝගල් අධිරාජ්‍ය කළා සේ අනුනේගේ වැඩ වලින් තමන් ලකුණු ගෙන ගමන යෑමය.

මෙහිදී ජනතාව කැමතිනම්, හැකි තරම් පාලනය කලාම ඇති රුදාව කුමක්දැයි, හෙළ උරුමය ඇතුළු ජාතිද්‍රෝහීන් සේම දිවයින පුවත් පතේ කතුවැකිය ලියන ජනමාධ්‍යවේදියාද ලියා තිබුණි. අදාල මාධ්‍යවේදියාගේ ඔලමොට්ටල අදහස් ගැන කතා කළ යුතු නොවේ. තමන්ට ජනාධිපතිට "මහින්ද අයියා" කියා කතා කිරීමට අවස්ථාව ලැබුණු පලියට සේම ආචාර්ය මර්වින් සිල්වාගෙන් මාසිකව අත්‍යවශ්‍ය කළමනා ලැබූ පලියට මෙවැනි කතා මගින් සමස්ත රටක් රැවට්ටීම ශාපයකි. ඔහුට අනුව අදාල ව්‍යවස්තා සංශෝධනයට විරුද්ධ නම් විවේචනය කළ යුත්තේ එය මිස රාජපක්ෂ නොවේ. මෙය ඔහුගේ බුද්ධියේ ඇති ප්‍රමාණයයි. ඔහුගේ දැන ගැනීම සඳහා කිව යුත්තේ , යමෙක් හොරකම් කළහොත් දඩුවම් දෙන්නේ හොරාට මිස ඔහු හොරකම් කළ බාන්ඩ වලට නොවේ. දිවයින කතුවරයා කියන හැටියට දඩුවම් දිය යුත්තේ සොරකම් කළ භාණ්ඩ වලටය, හොරාට නොවේ. රාජපක්ෂ ශුක්ෂමව සමස්ත රටම ගොනාට අන්දවමින් සිටින්නේද මෙවැනි උපක්‍රම වලිනි.

ජනතාවගේ කැමැත්ත සහිතනම් කැමති කාලයක් සිටිය යුතුය යන්න මෙහි ඇති ගැටළුවක් නොවේ, ගැටලුව වන්නේ සියලුම බලයන් තමා වටා එක රාශි කර ගත් විට ජනතාවගේ කැමැත්ත යනු නිරමාණයක් මිස තීන්දුවක් නොවේ. චන්ද කොමසාරිස් ප්‍රාණ ඇපයට ගෙන සම්පුර්ණ චන්ද ව්‍යාපාරයම තමන්ට අවශ්‍ය ලෙස කළමනාකරණය කරණ රාජපක්ෂ ලබාගන්නා ප්‍රතිපලය ජනතාවගේ කැමැත්ත ලෙස හුවා දැක්වීම ඛේදජනක විහිළුවකි. 18 ව්‍යවස්ථා සශෝදන්යෙන් පසු හෙට දවස ලියවී තිබෙන්නේ මෙවැනි දුෂ්ට දේශපාලනික වටපිටාවකය. ජනරල් ෆොන්සේකා අද (සැප්තැම්බර් 08) ප්‍රකාශ කළා සේ මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු දවසකි.