මහින්ද වීරයෙක්ද : ඔහුට ශීලාචාර දේශපාලනයක් තැනිය හැකිද?


නිලන්ත ඉලංගමුව

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට රටේ ශිලාචාර දේශපාලනයක් ඇති කිරීමට ශක්තිය තෙබෙන බවත්, අනෙක් දේශපාලන නායකයින්ට කළ නොහැකි වූ කොටි සංවිධානය පරාජය කිරීම නමැති කටයුත්ත මැනවින් කළ නිසා ඔහු මහා වීරයෙකු ලෙස සැලකිය යුතු බවත් කාලිංගගේ දේශපාලන විග්‍රහයෙන් විස්තර කොට තිබුණි. ඔහුට අනුව අදාල කටයුත්ත කිරීමට එනම් දේශපාලන ශීලාචාරය නමැති බලකොටුවට යන දෙවන දොරටුව කඩා දැමිය හැකි එකම පුද්ගලයා මහින්දය. අදාල විචාරකයා ගොඩනැගීමට යන්ත දරණ මතවාදය කදිමය. මහින්ද යනු වීරයෙක් යැයි හැදින්වීම සාපේක්ෂය.

සැබවින්ම මට අනුව මහින්ද යනු වීරයෙක් වන්නා සේම පාවාදෙන්නෙක්ද වෙයි. මහින්දගේ දේශපාලනයේ දෙවන අදියර වීරත්වයෙන් බහුල අවදියක් වුවද තෙවන අවදිය එනම් ඔහුගේ දේශපාලනයේ අස්වැන්න නෙලන අවධිය වන වර්තමාන අවදියේ දී ඔහු වීරයෙකුට වඩා කූට කපටිකම ඉහවහ ගොස් සිටින පාවාදෙන්නෙකි. වීරයා යනු මිනීමැරීමට දක්ෂ පුද්ගලයෙක් නොව සෑම ජන කාණ්ඩයකම ගැටලූ මැනවින් දැකිය හැකි සහ ඔවුන්ව යහපාලනයක් ඔස්සේ කළමනාකරණය කළ හැකි කෙනෙකුටය.

වත්මන් අවදිය තුළදී ඔහුගෙන් ශීලාචාර බව දැකීමට වඩා දැක ගත හැක්කේ නීතිය අතට ගෙන කෙසේ හෝ බලය රැක ගැනීම සහ එය තර කර ගැනීම සදහා අරගල කරන පුද්ගලයෙකු ලෙස පමණි. වරක් , හිටපු ඇමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ප්‍රකාශ කළ පරිදි, " ඔබට ඕනෑම කෙනෙක් එක් අවස්ථාවකදී මෝඩයෙක් කළ හැකිය, එසේම සමහර අය හැමවිටම මෝඩයෙක් කිරීමටද ඔබට හැකිය. එහෙත් හැමවිටම හැමකෙනෙක්ම මෝඩයෙක් කිරීමට ඔබට නොහැකිය." සමස්ත සමාජය තුළ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබදව දැනීමක් නොමැති, හෝ සිදුවන දෙයින් තමන්ට පෞද්ගලික වාසියක් ලැබෙන අය මිස මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රවණතාවය ශීලාචාර දේශපාලනයක් වෙත තල්ලු කළ හැකියි යැයි සිතීමම මුලාවකි. එය බොහෝ දුරට කිට්ටු වෙමින් පවතින්නේ අශිෂ්ට, විපක්ෂ දේශපාලන අදහස් නොඉවසන, දේශපාලන පක්ෂ ක්‍රමය පුපුරුවා හැරීමට මාන බලන සහ බල තුලනය පිළිබඳව වූ වටිනාකම පයිසයකට මායිම් නොකරන ස්වභාවක් වෙතටය. වඩාත් තේරෙන බාෂාවෙන් කිවහොත් මහින්දගෙන් ශීලාචාර දේශපාලනයක් බලාපොරොත්තු වීම වූකලී , ස්වාභාවිකව සිදුවෙන මිනිස් ශුක්‍රාණුවක සහ ඩිම්බයක සංශේචනයෙන් ඇතිවන කළලයෙන්, මිනිස් පැටවෙක් වෙනුවට අලි පැටියෙක් බලාපොරොත්තු වීම හා සමානය.

මෙහිදී ඉදිරිපත්වන භයානක තර්කය වන්නේ හොඳින් හෝ නරකින් මහින්දට මීළඟ අවුරුදු හය පාලනය කිරීමට බලය ඇති බවත් එනිසා අනෙක් දේශපාලන පක්ෂ මහින්දට සහයෝගය දැක් විය යුත්තේය යන්නයි. අපගේ අරමුණ වන්නේ ශීලාචාර දේශපාලනයක් නම් එය තැනීම සදහා හොඳින් හෝ නරකින් බලය ඇති නමුත් ශීලචාරයක් කොහෙත්ම නැති දේශපාලකයෙකුගෙන් එය බලාපොත්තු වීම හෝ ඊට සහයෝගය දැක්වීම කළ නොහැකි වන්නා වූ මුලික කොන්දේසියකි. එයට සහයෝගය දැක්වීම වූ කලි මෝහයකි. එය හරියට මීට පෙර, ප්‍රභාකරන්ගෙන් රට නොබෙදුණු විසදුමක් බලාපොත්තු වූ අතීත මුලාව හා සබැඳිය. වෙනස ඇත්තේ මහින්දට ජනතාවගෙන් ලැබුණු චන්ද ( හොදින් හෝ නරකින්) තිබීමත් ප්‍රභාකරන්ට ලෝකෙන් ලැබුණු ආයුධ සහ මුදල් තිබීමත්ය. ප්‍රභාකරන් සහ මහින්ද තම අරමුණු සාක්ෂාත් කිරීමට ගොස් පෘතුල අරමුණු පාවාදුන් අයවලුන් මිස වෙනත් සුජාත බවක් මෙම චරිත දෙක තුළම නැත.

අවශ්‍ය වන්නේ වන්නේ ශුද්ධ වූ අරමුණක් වෙනුවෙන් සටන් වැදීමටනම් කළ යුත්තේ සටන් වැදීම මිස නිවටයින් සේ දනින් වැටීම නොවේ. අමෙරිකාවෙන් වහල් වෙළදාම නැතිව ගියේ සිදු කළ දීර්ඝ කාලීන අරගලයකින් මිස බලය තමා තුළ රදවාගෙන සිටි සුදු ජාතිකයින් ගැන තිබු අන්ධ විස්වාශයෙන් නොවේ. බමුණන්ගේ කුල ක්‍රමයෙන් කුණු වී තිබු ඉන්දියාව යාන්තමින් හෝ ඉන් ගැලවුනේ සිදු කළ දීර්ඝ කාලීන වැඩපිළිවෙළෙන් මිස, කුල හීනයන්ගේ අයිතීන් සහතික කරනවා යැයි බොරු පොරොන්දු දෙමින් තම මඩිය තර කරගත් බමුණන්ට මුට්ටිය ඇල්ලීමෙන් නොවේ. එසේම ශිෂ්ටත්වය තිබිය යුත්තේ හදවතේ සහ තම ක්‍රියාකාරිතවයේ මිස පළදින ඇඳුමේ හෝ ඉදිරියට විලිස්සන දත් කුට්ටමේ නොවේ. එය අනෙකා රැවටීම සදහා බාවිතා කළ හැකි නමුදු පෘතුල අරමුණකට හේතු නොවේ.

බලය ඇති නිසා යටත් විය යුත්තේය, ඊට සහයෝගය දක්වා එය වෙනස කිරීමට යන්ත දැරිය යුතේය, යනු නිවටකමකි. සිහිතබා ගත යුත්තේ සුදු රෙදි පෙර වූ පමණින් යක්ෂයා දෙවියකු කළ නොහැකිය. යක්ෂයාට දේවත්වය ලබා ගත හැක්කේ තමා තුළම සිදුවන අභ්‍යන්තර පරිවර්තනයකින් මිස පිටත සිටින කිහිප දෙනෙකු කරණ පින් අනුමෝදන් කිරීමෙන් නොවේ. වහල් වෙළදාම සිදු වූ අවදියේ දැක ගත හැකි වූ ඇමෙරිකාව, වර්ණබේධ වාදයෙන් කුලල් කා ගත් දකුණු අප්‍රිකාවේ සේම කුලයෙන් බෙදී විසිරි සිටිමින් අනෙකාව කෘර ලෙස පාලනය කළ ඉන්දියාවේද දැක ගත හැකි වූයේ මෙම පරාජිත මානසිකත්වයයි. එය වූ කලි මළ ශිෂ්ටාචාරයක් සදහා වූ වාන් දොරටුව වේ.

ශිෂ්ට සම්පන්න දේශපාලනයක මුලිකාංගයන් වන්නේ අනෙකාට ඇහුන්කන් දීමට ඇති හැකියාව සහ රටේ පොදු නීතියට ගරු කිරීමට ඇති හැකියාවයි. මෙය මහින්ද රාජපක්ෂ සිතා මතාම අමතක කරමින් සිටින අතර ඒ වෙනුවට එය වසා දැමීම සදහා ක්‍රමෝපායික ප්‍රචාරක වැඩපිළිවෙලක නිරත වී සිටී. වසරකට ඩොලර් මිලියන 500 හිමි කර දුන් ජි.එස්. පි ප්ලස් අහිමි වීම ගැන මහත් උඩඟු කමෙන් කතා කිරීමත්, චීනය විසින් පළමු අදියර පමණක් ඉදිකළ "මාගම්පුර" වරාය සදහා රුපියල් කෝටි 25 වැය කොට සිදු කළ ප්‍රචාරක වැඩපිළිවෙලත් ඔහුගේ අශිෂ්ට කම නිසා මුහුණ දීමට සිදු වූ මෑතකාලීන අකර දබ්බයන් මිස වෙන කිසිවක් නොවේ. ඒක පුද්ගල අදායම ඇමෙරිකානු ඩොලර් 2000 දක්වා වැඩි කළයි කියන රාජපක්ෂ, පසුගිය වසරේ රජයේ අදායම කෝටි 72,800 ක්‌ වන විට විදේශ රටවලින් ලබාගෙන ඇති ණය සඳහා ණය වාරිකත් පොලියත් ගෙවීමට පමණක්‌ කෝටි 82,500 ක්‌ වැය කිරීමට සිදු වූ බව නොකියන්නේ මේ නිසාය.
කොටි පරාජය කළ නිසා සියල්ල තමාට හිස නැමිය යුත්තේය යන පුහු උද්දාමයෙන් පසුවන ආණ්ඩුව රටේ පවතින සබැ ගැටලූ පිළිබඳව ප්‍රබුද්ධව දැකීම සදහා ඇති වටපිටාව නැති කර දමයි. මේ තුළ සිදු වන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයා අන්තවාදය දෙසට තල්ලු වීම සහ තම බලය රැක ගැනීම සදහා කළ හැකි එකම විකල්පය වන උපරිම මට්ටමෙන් ප්‍රචාරක වැඩපිළිවෙලක් ඔස්සේ සාමාන්‍ය ජනතාව ගොනාට ඇන්දවීමය. මෙහි මූලික උපාය ලෙස සාමාන්‍ය ජනතාව අතරට තොරතුරු ගලා යාම අවහිර කිරීමට හෝ තොරතුරු ගලා යන ප්‍රවාහයන් වසා දැමීමට හෝ මිලදී ගැනීමට ආණ්ඩුව යොමු විය හැකිය. වර්තමානයේදී මීට වඩා වෙනස් දෙයක් සිදුවන්නේද? එසේනම් මෙම ප්‍රවණතාවය ශීලාචාර දේශපාලනයකට යොමු කළ හැක්කේ යැයි සිහිනයකිඳුවත් සිතිය හැකිද?