ඇමෙරිකානු - චීන ඇණකොටා ගැනීමේ කෙළිබිම ශ්‍රී ලංකාව නොවේ



කතුවැකිය


ඇමෙරිකා එක්සත් ජනපදයේ උපාය සාර්ථක වී ඇත. දෙබරයට  ගලක් ගැසූ පසු  දෙබරුන් ඇවිස්සෙන්නා සේ, ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ඉදිරිපත් කළ අදහස් වලට චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ ඇස් රතු කරගෙන ඇත.  චීන තානාපති කාර්යාලය ඒ සඳහා ඉදිරිපත් කොට ඇති ප්‍රතිචාරය එතරම් සුදුසු එකක් නොවන බව අපේ හැඟීමයි. අපට ඇති ගැටලුව නම්, චීනයේ තානාපති නිලධාරීන් තමන්ට අපක්ෂපාතීව ඉදිරිපත් වන අදහස් වලට පිළිතුරු ලබා දීමේදී කේන්තියෙන් ප්‍රතිචාර දක්වන්නේ මන්ද යන්නයි. ආර්ථිකමය වශයෙන් කෙතරම් දියුණු වුවත්, එම දියුණුව ඉතාම කෙටි කාලයකදී කඩා වැටීමට මෙය හේතුවක් විය හැකිය. මෙලෙස හැසිරුණහොත් ආසියානු සහශ්‍රකය යනු මිත්‍යාවක් පමණක් විය හැකිය.


මීට සති කිහිපයකට පෙර වැඩබලන චීන තානාපතිවරයා මෙරට දිනපතා පුවත්පතකට "සම්මුඛ සාකච්ඡාවක්" ලබා දෙමින් ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව තම  සුපුරුදු මතය ඉදිරිපත් කරනු ලැබීය. ඊට ප්‍රතිචාර වශයෙන්  ඇමරිකානු තානාපතිනිය එම පුවත්පතටම "සම්මුඛ සාකච්ඡාවක්" ලබා දෙමින් ඇමරිකානු මතවාදය ඉදිරිපත් කොට ඇත.


මෙම සම්මුඛ සාකච්ඡා දෙකම එකම තලයකට, එනම්, ඉතාම ප්‍රවේශමෙන් තෝරා ගනු ලැබූ ගැටලු සහ ඉතාම පරෙස්සමින් සකස් කරනු ලැබූ පිළිතුරු මත සකස් වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. කෙසේ හෝ වේවා මෙම රටවල් දෙකම ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම මනා ලෙස අවබෝධ කරගෙන ඇත. මේ වන විට හැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටින්නේ තම බලය ශ්‍රී ලංකාව පුරා හැකි උපරිමයෙන් ව්‍යාප්ත කිරීම සඳහාය. කොළඹ නගර සීමාවේ ඉදිවෙන වරාය නගරය මෙන්ම ඇමරිකානු තානාපති කාර්යාලයට අයත් භූමිය මත ඉදිවන ඇති දැවැන්ත තානාපති කාර්යාලය අපට පැහැදිලි කර දෙමින් සිටින්නේ මෙම යථාර්ථයයි.


ශ්‍රී ලංකාව වඩාත් දක්ෂ සහ ක්‍රමෝපායික වුවහොත් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට හැකියාව තිබේ. නමුත්, දුර දැක්මක් නැති වර්ගවාදීන් විසින් මෙම අවස්ථාව අපහරණය කළහොත් බලවතුන්ගේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්වීම වැළක්විය නොහැකිය. තිත්ත ඇත්ත නම්, ඉන්දියානු දේශපාලනයේ ගොදුරක් වීම නිසා ශ්‍රී ලංකාවට දශක ගණනාවක් තිස්සේ දහදුක් විඳීමට සිදුවිය. ඉන් නිදහස් වී ඉතාම කෙටි කාලයක් තුළදී යළිත් වෙනත් බලවත් රාජ්‍යයන් කිහිපයක සූදු පොලක් බවට ශ්‍රී ලංකාව පත්වුවහොත් මේ රට තවත් අසරණ වනු ඇත.


කෙසේ වෙතත්, ඇමරිකානු තානාපතිනිය විසින් ඉදිරිපත් කරනු ලැබූ  මූලික කාරණා වලට චීන තානාපති කාර්යාලයේ ප්‍රතිචාරය එතරම් සාර්ථක එකක් නොවේ. එය හුදු හැඟීම් මත පදනම් වෙමින් ඉදිරිපත් කරනු ලැබූ ලිඛිත ප්‍රහාරයකි. එය කිසිදු වෘත්තීමය කුසලාතාවයක් නොපෙන්වන අතර පැහැදිලි කළයුතු මූලික කාරණා සියල්ලම පාහේ මඟහැර තිබේ. විශේෂයෙන්ම, චීනය විසින් ඉදිරිපත් කරන සංවර්ධන ව්‍යාපෘති, චීන සමාගම් වලට පමණක් ලබා දීම සහ එම ව්‍යපෘති වල මූල්‍යමය ගනුදෙනු විනිවිදභාවයකින් තොර වීම එතරම් හිතකර චෝදනාවක් නොවේ. එවැනි චෝදනාවකට චීනය ප්‍රතිචාර දැක්විය යුත්තේ දත්තයන් පදනම් කරගෙනය. නමුත් චීන තානාපති කාර්යාලය තම ප්‍රතිචාර දැක්වීමේදී එම මූලික මූල්‍යමය මූලධර්මය අමතක කොට දමා ඇත. එහිදී ඇමරිකානු තානාපතිනිය  තානාපති මූලලේඛයන් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කිරීම  හාස්‍යයජනකය.


වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වඩාත් පැහැදිලිව ඉදිරිපත් කර ඇති පරිදි ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන්නේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියයි. එසේම ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව යලි යළිත් පැහැදිලි කරදී තිබේ. මෙම මූලික මූලධර්ම වලට යටත්ව ශ්‍රී ලංකාවට අවශ්‍යය වන්නේ  වැදගත් සහ විනයගරුක මිත්‍රයන්ය. විවිධ හේතුමත විවිධ රටවලට ගැටීම් තිබිය හැකිය. නමුත් එම ගැටුම් මෙම සුන්දර දිවයිනෙන් සහ ඊට අයිති මුහුදු කලාපයෙන් බැහැරව තබා ගන්නේ නම් අපි ගරු කරමු.


රටට අකුල් හෙළමින් ඉතාම අවලස්සන දේශපාලන ගුණ්ඩු අටවන අවස්ථාවාදීන් ශ්‍රී ලංකාවට අවශ්‍යය නැත. එසේම, රටේ ඉන්න ඉතාම දරුණු ගණයේ චෞරයින්ට අල්ලස් දී කෙසේ හෝ රට ආර්ථිකමය වශයෙන් දුර්වලකොට තමන් මත  පමණක් යැපෙන රටක් බවට පත් කිරීමේ සැඟවුණු අරමුණු ඇති අයවලුන්ද ශ්‍රී ලංකාවට අවශ්‍යය නැත. දශක ගණනාවක් තිස්සේ ලේ සහ කඳුළු වගුරමින් ජීවත් වූ රටක් වන ශ්‍රී ලංකාවට අවශ්‍යය වන්නේ අවංක සහ අව්‍යාජ මිත්‍රයින්ය. ඔවුහු ඔවුන්ගේ මිත්‍රත්වය ඔප්පු කළ යුත්තේ තම කටයුතු වලින් මිස, අලංකාර නමුත් හිස් වචන වලින් නොවේ.