අවංකයින් හා බුද්ධිමතුන් වෙනුවට විකල්ප සංවර්ධන ආකෘතියක් ?



- කුසල් පෙරේරා - 


පළමුව තේරුම් ගත යුත්තේ “අවංකත්වය” හා ”දේශපාලන බලය” අතර ඇත්තේ නොපෙනෙන, මැනිය නොහැකි ඉතා සියුම් පරතරයක් බවය. දෙවැන්න, මේ බුද්ධිමතුන් යැයි කියන්නේ උපාධි හා වෘත්තීය සහතික පත් සඳහා ඉගෙන ගත්තවුන් ය. බුද්ධිමතුන් හා උගතුන් අතරද ලොකු පරතරයක් ඇත.

මේ රටේ මූලික හා ප්‍රධාන අර්බූද වෙනුවෙන් විසඳුම් කිසිත් නොමැති පක්ෂ වලින් අවංකයින්, උගතුන් තේරීමේ අරුතක් නැත. රටට අවශ්‍ය ඉදිරි සමාජ ආර්ථික සංවර්ධනය සඳහා කිසිදු වැඩපිළිවෙලක් නොමැති පක්ෂ කවුරුන් විසින් නියෝජනය කෙරුවත් වෙනසක් නැත. විවෘත වෙළඳපල ආර්ථිකය සමග අවුරුදු 40 ට වැඩි කාලයක හැම ජනාධිපතිවරයෙකුම සමග හැම ආණ්ඩුවක්ම පැවතියේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට වර්ධනය වූ යෝධ දූෂණ, මහ පරිමාන පරිසර විනාශ, නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම, රාජ්‍ය සේවය බරපතල ලෙස දේශපාලනීකරණයවීමත් සමග දූෂිතවීම, සමාජ හර පද්ධති විනාශ වෙමින් සදාචාරයක් ඉතිරි නොවුනු සමාජයක අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර හා හිංසන සීඝ්‍රයෙන් ඉහළ ගිය, මනුස්ස ජීවිත බාල්දු කෙරුණු අශීලාචාර රටක් ලෙසින්ය.

ඒ හැම පාර්ලිමේන්තුවකම, හැම ආණ්ඩුවකම උගත්, ඉහළ සහතිකලාභී පුද්ගලයෝ සිටියහ. ජනාධිපති චන්ද්‍රිකා පැරිසියේ සෝබෝන් විශ්ව විද්‍යාලයයේ උපාධිධාරිනියක් යැයි කියනු ලැබේ. ඇයගේ ඇමති මණ්ඩලයේ මහාචාර්යවරයෙකුට සහ ඔක්ස්ෆඞ් උපාධිලාභියෙකුට අමතරව, ලංකා පරිපාලන සේවාවේ කීර්තිමත් විශ්‍රාමිකයෙකු, ලන්ඩනයේ කීර්තිමත් විලාසිතා නිර්මාණ තාක්ෂණ විද්‍යාලයයේ උපාධිධාරිකයෙකු, ජ‘පුර විශ්ව විද්‍යාලයයේ උපාධිධාරීන්, නීතිඥයින් සිටියහ. එහෙත් ආණ්ඩුව දූෂිත ආණ්ඩුවක් විය. බරපතල දූෂිත චෝදනා ලබන රාජපක්ෂ ආණ්ඩු පාලනයත් එවැනිම උගත්, ඉහළ සහතිකලාභී මැති ඇමතිවරුන්ගේ ආණ්ඩු පාලනයක් විය. එහිද මහාචාර්ය, ආචාර්ය, නීතිඥ, වෛද්‍ය වෘත්තීන්හි අඩුවක් නොවුනි.

ඉන්පසු පත් කෙරුණු යහපාලන ආණ්ඩුවද එවැනිම ය. රාජපක්ෂලාට දඬුවමක් කරන්නට දූෂණයෙන් තොර සථාවර ආණ්ඩුවක් හැදීමට පසුගිය පාර්ලිමේන්තුවට නාගරික මැදපංතිකයින් මෙවර ඉල්ලා සිටින ආකාරයේ අවංකයින්, උගතුන් පිරිසක් පත් කරනු ලැබිණ. මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, ජානාධිපති නීතිඥයින්, වෛද්‍යවරුන් වෛද්‍යවරියන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීන් හා මූල්‍ය කලමනාකරුවන් එහි අඩු නොවුනි. ඔවුන් සමහරෙක් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්ද වූහ. එහෙත් ආණ්ඩු පාලනය යෝධ දූෂණ වලින් තොර නොවුනි. උගතුන් සිටියත් අවංකයින් නොවුනි. දූෂණ අඩු නොවුනි. කලින් ආණ්ඩුවේ දූෂණද හෙළි නොකෙරුනි. මෙතෙක් පැවති හැම ආණ්ඩුවක්ම එවැනි ය.

එබැවින් ආචාර්ය, මහාචාර්ය, නීතිඥ, වෛද්‍ය, ඉංජිනේරු වෘත්තිකයින් ගෙන් පමණක් පාර්ලිමේන්තුව පිරවූවත් මේ විවෘත වෙළඳපල ආර්ථිකයහි වෙනසක් නොවන දූෂිත ක්‍රමයකි.

එවැනි සිල්ලර යෝජනා මගින් අද අප මුහුණ දෙන කිසිදු අර්බූදයකට කිසිදු විසඳුමක් නැත. විසඳුම් සොයන්නට වර්ධනය වන අර්බූද වෙනුවෙන් විකල්ප සංවර්ධන ආකෘතියක් ගැන කතා කළ යුතුව ඇත.