ජනපතිවරණයට පසුවදනක්



- චිත්‍රාල් ජයවර්ණ -



2019 ජනපතිවරණය පසුගියදා නිමාවට පත්විය. 2019 ඡන්ද හිමි නාමලේඛනය අනුව ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව ඡන්ද 15,992,096ක් වන අතර මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 13,387,951ක් වේ. මුළු ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් එය සියයට 82.87ක ප්‍රමාණයකි. මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ප්‍රතික්‍ෂේපිත ඡන්ද ප්‍රමාණය ඡන්ද 135,452ක් වූ අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.82කි. සාපේක්‍ෂව වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ප්‍රතික්‍ෂේපිත ඡන්ද ප්‍රමාණය අඩු මට්ටමක පැවතීම ඉතා යහපත් ප්‍රවණතාවයක් ලෙස පෙන්වා දිය හැකිය. පැහැදිලිව එය ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් ලක්‍ෂණයකි. එහිදී ප්‍රධාන වශයෙන් ඡන්ද දායකයින් ජනාධිපතිවරණය කෙරෙහි දක්වා ඇති උනන්දුව පිළිබිඹු කිරීමකි. අනෙක් අතට ඡන්ද දායකයින් සියයට 83.72 ප්‍රමාණයක් ඡන්දය භාවිතා කිරීම තුළින් ද පිළිබිඹු කර ඇත්තේ දේශපාලනික ක්‍රමය වෙනසක් ඇති කිරීමට ඔවුන් දක්වන ලද කැමැත්ත හා උනන්දුවයි.

මෙම මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 6,924,255ක් ලබා ගනිමින් පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සියයට 52.25ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අතර එහිදී ඡන්ද 5,564,239ක් එනම් සියයට 41.99ක් ලබා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්‍ෂකයා වූ සජිත් ප්‍රේමදාස පරාජයට පත්විය. ජාතික ජනතා ව්‍යාපාරය නියෝජනය කළ අනුර කුමාර මහතාට ලබා ගත හැකි වූයේ ඡන්ද 418,553 එනම් සියයට 3.16ක ප්‍රමාණයක් පමණි. ගෝඨාභය රාජපක්‍ෂ සහ සජිත් ප්‍රේමදාස අතර ඡන්ද පරතරය වැඩි ඡන්ද මිලියන 1.3ක් ඉක්ම වී පැවතීම විග්‍රහ කළ හැක්කේ ජයග්‍රහණයක් ලෙස පමණක් නොව විජයග්‍රහණයක් ලෙස ම බවයි. ප්‍රධාන ලෙස ඡන්ද ව්‍යාපාරයක දී ප්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනාගේ හැසිරීම්, ක්‍රියා කලාපයන් සාපේක්‍ෂව සන්සන්දනය කරන්නෙකුට පැහැදිලිව ම පෙනීගියේ සෘජු ප්‍රතිපත්ති හා ක්‍රමෝපායන් අතර හා හුදු ජනතාව රැවටිය හැකි පොරොන්දු ගොන්නක් අතර තරඟයක් වූ බවයි. මෙහිදී ජනතාව ගියවර ලැබූ අමිහිරි අත්දැකීම් පාඩමකට ගෙන නිවැරදි තීරණයක් ගෙන තිබිණි. එම නිසා ගෝඨාභය රාජපක්‍ෂගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්විය. තවත් සුවිශේෂී කාරණයක් වූයේ මෙම වැඩි ඡන්ද 1.3 ප්‍රමාණය තරුණ නව ඡන්ද දායකයින්ගේ ඡන්ද වීමය. තරුණ කොටස් යහපාලන රජයේ ක්‍රියා කලාපය පිළිබඳ දැඩි ලෙස කලකිරීමකින් පසුවිය. එමෙන්ම සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ව්‍යාපාරයේ දී ඔහුගේ කතා ශෛලය පිළිබඳ පැහැදීමක් ඔවුන් තුළ නොතිබිණි. 

දකුණේ දිස්ත්‍රික්ක 17 සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ දී දකුණේ දිස්ත්‍රික්ක 17න් දිස්ත්‍රික්ක 13ක ම ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 85ක ඉක්මවා පැවති බව පෙනේ. වැඩිම ප්‍රතිශතය වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රතිශතය සියයට 88.02කි. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ කිසිදිනක ජනාධිපතිවරණයක දී සියයට 85 ඉක්මවා ඡන්දය භාවිත කර නොමැත. සියයට 80 ඉක්ම වූ දිස්ත්‍රික්කයන් පිළිවෙලින් වන්නේ 1. මොණරාගල (88.02),  2. අනුරාධපුර (85.76 ), 3. බදුල්ල ( 86.25) 4. හම්බන්තොට (87.40), 5. පොලොන්නරුව ( 85.92), 6. කෑගල්ල ( 85.89), 7. රත්නපුර ( 87.11), 8. මාතලේ ( 85.30). 2015 ඡනාධිපතිවරණය සමඟ සැසදීමේදි ඡන්ද භාවිතා කිරිමේ වැඩිම ප්‍රතිශතය වුයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වු අතර එම අගය 83.9%ක් විය.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ දකුණේ දිස්ත්‍රික්ක 17 න් මෛත්‍රිපාල සිරිසේනට වඩා ඡන්ද ලබාගෙන ඇත්තේ 205,429ක ප්‍රමාණයකි.එහෙත් මෙවර ගෝඨාභය රාජපක්‍ෂ දකුණේ දිස්ත්‍රික්ක 17න් සජිත් ප්‍රේමදාසට වඩා වැඩි ඡන්ද 2,235,621ක් ලබා ගෙන තිබීම සුවිශේෂී වේ. ඒ අනුව 2019 ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්‍ෂ දකුණේ දිස්ත්‍රික්ක 17ක් ද 2015 දී මහින්ද රාජපක්‍ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි ඡන්ද 1,202,746ක් ලබාගෙන තිබේ. එමෙන් ම 2019 ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 2015 දී මෛත්‍රීපාල සිරිසේන දකුණේ දිස්ත්‍රික්ක 17 තුළදී ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද 827,436ක් අඩුවෙන් ලබා ගැනීම කැපී පෙනේ. මෙයින් ගම්‍යමාන වන්නේ දකුණේ ප්‍රදේශ වලදී සජිත් ප්‍රේමදාසගේ ජනප්‍රියත්වය ඉතා අඩු වූ බවයි. ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ දකුණේ බහුතර මැතිවරණ කොට්ඨාශවල සියයට 65ක වඩා ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර ඇතැම් ස්ථාන වලදී එය සියයට 70-80 අතර ප්‍රමාණයකින් විතැන් වී තිබේ. මේ නිසා ගෝඨාභය රාජපක්‍ෂට ලැබුණු ඡන්ද ප්‍රමාණය ඉහළ ගිය අතර එය සමස්ත ප්‍රතිඵලය විශාල ලෙස විතැන් වීමට බලපා තිබේ.

උතුරු-නැගෙනහිර පළාත

ජනාධිපතිවරණයක දී හෝ වේවා මහ මැතිවරණයක දී හෝ වේවා උතුරු හා නැගෙනහිර පළාත් වල ඡන්ද පදනම තීරණාත්මක සාධකයක් බවට පත් වී තිබිණි. එය වඩාත් පැහැදිලිව ප්‍රදර්ශනය වූයේ 2015 ජනාධිපතිවරණයත් සමඟයි. 2015 වර්ෂයේ දී මහින්ද රාජපක්‍ෂගේ පාර්ශවයේ විශ්ලේෂකයින් උතුරු-නැගෙනහිර ප්‍රදේශවල ලබාගත හැකි ඡන්ද සම්බන්ධයෙන් වැඩි අවධානයක් නොතිබු අතර දකුනේ ජනතාවට ඒ පිළිබද පැහැදිලි අවබෝධයක් නොපැවතිණි. නමුත් 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් සමග සිංහල ජන සමාජය තුළ මේ පිලිබද කතිකාවතක් ඇතිවිය. එනම් සුළු ජන කොටස් ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිත කරමින් බහු ජන කොටස් පාලනය සිදුකරනවාද යන පැනයයි. යහපාලන රජය බොහෝවිට එම ඡන්ද පදනම ආරක්ෂා කර ගැනිම සදහා හා පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්‍ෂා කර ගැනිම උදෙසා සුළු ජන පක්‍ෂ වල පිහිට පැතිම පිළිබදව එතරම් ප්‍රසාදයක් පෙන්නුම් නොකෙරිණි. සිංහල ජන සමාජය තුළ මේ පිළිබද හවුල් මතවාදයක් ඉතාමත් සූක්‍ෂම ලෙස පැතිර ගියේය. එය තීව්‍ර වූයේ අප්‍රේල් 21වන දින පාස්කු ප්‍රහාරයත් සමඟයි.

උතුරු පළාත

උතුරු පළාත තුල ඡන්ද පදනම පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී 2015 ජනාධිපතිවරණයේ දී උතුරු පළාත තුළ වලංගු ඡන්ද ප්‍රමාණය 534,430ක් වූ අතර එම ඡන්ද වලින් මහින්ද රාජපක්‍ෂට ලැබුණේ ඡන්ද  108,831 ප්‍රමාණයකි. නමුත් මෛත්‍රීපාල සිරිසේනට ඡන්ද 394,911ක් ලැබී තිබේ. එම ප්‍රමාණය ඉතා තීරණාත්මක ප්‍රමාණයකි. එමෙන්ම 2019 ජනාධිපතිවරණයේ දී උතුරු පළාත තුළ ඡන්ද ප්‍රකාශ කිරීම 600,236ක් දක්වා ඡන්ද 65,776 ප්‍රමාණයක් ඉහල ගොස් තිබේ.එම ප්‍රමාණය තරුණ  ඡන්ද වීම සුවිශේෂී වූ කාරණයකි. එහිදී ගෝඨාභය රාජපක්‍ෂට ලැබුණේ ඡන්ද 49,366කි. සජිත් ප්‍රේමදාස ඡන්ද 487,461ක් ලබාගෙන තිබේ. මෙහිදී වැදගත් කාරණයක් වන්නේ 2015 මහින්ද රාජපක්‍ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද 59,465ක් ගෝඨාභය රාජපක්‍ෂට අඩු වී ඇති බවයි. අනෙක් සුවිශේෂී කාරණය වන්නේ 2015 දී මෛත්‍රීපාල සිරිසේන ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද 92,550ක් සජිත් ප්‍රේමදාස ලබාගෙන ඇති බවයි. රාජපක්‍ෂ පාර්ශ්වයට උතුරු ප්‍රදේශය තුළ ජනතාවගේ විශ්වාසය ගොඩනගා ගැනීමට නොහැකි වීම ඉදිරියේ දී ඉතා සියුම්ව සොයා බැලිය යුතු කාරණයකි.

නැගෙනහිර පළාත

2015 ජනාධිපතිවරණයේ දී නැගෙනහිර පළාත තුළ ඡන්ද භාවිතා කිරීමේ ප්‍රවණතාවය සැලකීමේ දී භාවිතා කළ මුළු මුළු ඡන්ද ප්‍රමාණය 816,759කි. එම ඡන්ද ප්‍රමාණයෙන් මහින්ද රාජපක්‍ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණය 244,769ක් හා මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 583,120ක් ලබා ගත්තේ ය. 2019 ජනාධිපතිවරණයේ දී නැගෙනහිර පළාත තුළ ඡන්ද භාවිතය 950,449ක් වූ අතර 2015 වර්ෂයට වඩා 2019 වර්ෂයේ දී අළුත් ඡන්ද 138,690ක වැඩි වීමක් දක්නට ලැබේ. මෙම ඡන්දයේ දී ගෝඨාභය රාජපක්‍ෂ ඡන්ද 227,653ක් ලබාගත් අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 665,163ක් ලබාගෙන තිබිණි. ඒ අනුව 2015ට වඩා ගෝඨාභය රාජපක්‍ෂ ඡන්ද 12,887ක් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ. (එහෙත් 2015 හා සංසන්දනය කිරිමේ දි ලැබෙන ප්‍රතිශතය අඩු වී තිබේ. මෙම නැගෙනහිර ප්‍රදේශය තුළ ගෝඨාභය රාජපක්‍ෂගේ ඡන්ද ප්‍රමාණය ඉහල යාම සදහා බලපාන ලද කරුණු කිහිපයක් දැක්විය හැකිය. එනම් ප්‍රධාන වශයෙන් සමහර මුස්ලිම් ප්‍රදේශ වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඔවුන් තුල ගෝඨාභය රාජපක්‍ෂ කෙරෙහි විශ්වාසය ගොඩනැගී තිබිමයි. උදාහරණයක් ලෙස සමන්තුරේ, කාත්තන්කුඩි සයින්දමර්දු  වැනි ප්‍රදේශ වල මුස්ලිම් අන්තවාදය පිළිබඳ බියක් ඇතිවිම හා සහරාන්ගේ ක්‍රියාකාලාපයන් පිළිබඳ මුස්ලිම් මධ්‍යස්ථ මතදාරීන් බියට පත් වී තිබිමයි. නැගෙනහිර පළාත තුල සජිත් ප්‍රේමදාස 2019 දී මෛත්‍රීපාල සිරිසේන ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද 82,043 ක් වැඩියෙන් ලබාගෙන තිබේ. 

2015 දී මහින්ද රාජපක්‍ෂ උතුරු නැගෙනහිර පළාතෙන් ලබාගත්තේ ඡන්ද 323,600 ක ප්‍රමාණයකි. එහිදී මෛත්‍රීපාල සිරිසේන 978,111 ක් ලබා ගත් අතර , 2015 දී මහින්ද රාජපක්‍ෂට වඩා මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 654,511 ක් ලබා ගත්තතේය. 2019 ගෝඨාභය රාජපක්‍ෂට උතුරු නැගෙනහිර පළාගෙන් ලැබුණු ඡන්ද ප්‍රමාණය 277,019 ක් පමණයි. එහෙත් සජිත් ප්‍රේමදාසට ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාව 1,152,624 කි. ඒ අනුව උතුරු නැගෙනහිර පළාතේ සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්‍ෂට වඩා වැඩි ඡන්ද 875,605 ක් ලබාගෙන තිබේ. 2015 උතුරු නැගෙනහිරෙන් මහින්ද රාජපක්‍ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා 2019 දී ගෝඨාභය රාජපක්‍ෂට අඩුවී ඇති ඡන්ද ප්‍රමාණය ඡන්ද 46,581 ක් පමණයි. එමෙන්ම සජිත් ප්‍රේමදාසට 2015 මෛත්‍රීපාල  සිරිසේන ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා  උතුරු නැගෙනහිර පළාතෙන් වැඩි ඡන්ද 221,094 ක් වැඩියෙන් ලබාගෙන තිබේ. (උතුරු නැගෙනහිර පළාතෙන් 2015 ට වඩා ඡන්ද 231,240 ක් 2019 දී ඡන්දය භාවිතා කර තිබේ)

මෙම මැතිවරණයේදි ගෝඨාභය රාජපක්‍ෂගේ ජයග්‍රහණය සඳහා සිංහල ඡන්ද පදනම විශාල ලෙස බලපෑම් කර ඇති බව පෙනී යන පොදු කරුණකි. එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහයෝගය ලබා දීම තුළ උතුරු පළාත තුළ පවතින දෙමළ ඡන්ද පදනම හා ඩග්ලස් දේවානන්දගේ පක්‍ෂයේ ඡන්ද පදනම සම්බන්ධයෙන් ගැටළුවක්ව පවතී. එමෙන්ම, මෛත්‍රීපාල සිරිසේන සිතා සිටින උතුරේ ඔහුට ඡන්ද පදනමක් ගොඩනැගි ඇතැයි යන තර්කය පුස්සක් වී තිබේ. එම නිසා පොදුජන පෙරමුණ මෙයට වඩා උතුරු නැගෙනහිර පළාත තුල මුස්ලිම් දෙමළ නියෝජිතයන් මගින් සිත් දිනා ගැනීම සඳහා ඉදිරි කාලය තුලදි කැපවී වැඩ කළ යුතු බව පෙනේ. නැගෙනහිර පළාත තුළ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර යුතු බව පෙනේ. උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහා දැඩි ලෙස බලපා ඇති තරුණයින්ගේ විරැකියාව සම්බන්ධයෙන්ද, ගොවි ජනතාව සඳහා බලපා ඇති ජලය සම්බන්ධයෙන් පවතින අර්බුදයන් සම්බන්ධයෙන්ද ඔවුන්ගේ වගාවන් සඳහා නව වෙළදපලවල් නිර්මාණය හා පොදු යටිතල පහසුකම් සංවර්ධනය සදහා රජයේ අවධානය යොමු විය යුතුය.

අනෙක් අතට දකුණේ ඡන්ද පදනම විශේෂයෙන් මිලියනයකට ආසන්න තරුණ කොටස් වල රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන්  ඇති වන විශ්වාසය හා රටේ සංවර්ධනය, රැකි රක්ෂා අර්බුදය සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කොට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ රජය යටතේ දුෂණය තොර රට තුල සැබැ වෙනසක් ඉතා කෙටි කාලයක් තුල සිදුවන බව තහවුරු විම ඉදිරි මැතිවරණය සඳහා බලපෑම් කරන ලබන බව පෙන්වා දිය යුතුය. එමනිසා  ජනතා අපේක්ෂාවන් ඉටුවන බව ජනතාව මනාව දැස් විවර කර බලා සිටිනු ඇත.