''මේ නඩුවට කිසිම දේශපාලනඥයෙකුගේ සම්බන්ධයක් නැහැ'' - ගාමිණී වියන්ගොඩ



සැප්තැම්බර් 27 වැනිදා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (SLPP) ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් රිට් අයදුම්පතක් ගොනු කිරීම, ඔහුගේ අපේක්ෂකත්වයට එල්ල කළ දැඩි පහරක් විය. දින තුනකට අධික කාලයක් මෙම රිට් අයදුම්පත විභාග කරන විට 2005 වසරේ ද්විත්ව පුරවැසිභාවයට ගෝඨාබය ඉදිරිපත් කළ අයදුම්පතෙහි වූ විෂමතා, ආගමන දෙපාර්තමේන්තුවේ අතුරුදන් වූ ලිපි ගොනු, ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය හා 2014 ජනවාරි මාසයේ සකස් කරන ලද පරිගණක දත්ත වාර්තා විශාල වශයෙන් එකිනෙකට පටහැණි බව ආදී කරුණු ගණනාවක් හෙළිදරව් විය. ගතවූ සතියේ දේශපාලන ලෝකය කුණාටුවකට හසු කළ මෙම රිට් අයදුම්පත පිටුපස සිටි සමාජ ක්‍රියාකාරීන් දෙදෙනාට ඔක්තෝබර් 3 වැනිදා 'සන්ඩේ ඔබ්සවර්' පුවත්පත කතා කළේ, ඔවුන්ගේ පෙත්සම නිෂ්ප්‍රභා කළ අභියාචනාධිකරණ තීරණය ලබාදීමට මද වේලාවකට පෙර ය. 



''මේ පැමිණිල්ල ගොනු කළේ සජිත්ව නම් කරන්න පෙරාතුවයි'' -  ගාමිණී වියන්ගොඩ

Q. අධිකරණය ඇමතීමේදී පොදු ජන පෙරමුණේ නීතීඥවරුන් පැවසුවා ඔබේ රිට් අයදුම්පත දේශපාලනික පෙළඹවීමක් නිසා සිදුකළ දෙයක් බව. මෙය ඇත්තද?

A. මගේ තීරණ දේශපාලනික හේතු නිසා ගන්නවා නම්, මම ගෝඨාබය රාජපක්ෂ පොහොට්ටු අපේක්ෂකයා විදිහට තෝරාගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා. දේශපාලනිකව ඒක තමයි මගෙ මතය. ඒකට හේතුව තමයි, ඒ කඳවුරෙන් ගෝඨාබය රාජපක්ෂ අපේක්ෂකයා වුණාම අපිට ඉදිරි මැතිවරණයේදී ලෙහෙසියෙන්ම ඔහුව පරදවන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔහුගේ වැඩිමල් සහෝදරයා වන චමල් රාජපක්ෂට සාපේක්ෂව ගෝඨාබය පැරදවීම ලෙහෙසියි. චමල් ජනාධිපති අපේක්ෂකයා වුණා නම් අපිට කියන්න තියෙන දේවල් අඩුයි. ගෝඨාබය කියන්නෙ, තමන්ට විරුද්ධව අල්මාරියක් පුරවලා චෝදනා තිබෙන කෙනෙක්. 

ඔහුව දේශපාලනික වශයෙන් පරාජය කරන්න අපිට කරන්න තියෙන්නෙ ඒ අල්මාරියෙ දොර යන්තම් අරින එක විතරයි.

නමුත් අපේ රිට් අයදුම්පතට මේ තත්වයෙ සම්බන්ධයක් නැහැ. අධිකරණය, අප විසින් ඉදිරිපත් කළ කරුණුවටල එකඟ වෙනවා නම් එවිට ඉදිරි මැතිවරණවලදී රාජපක්ෂ කඳවුරෙන් ගෝඨාබයට වඩා අඩු ධ්‍රැවීකරණයක් සහිත අලුත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම දේශපාලනිකව අපිට අවාසියක් වෙනවා. ඒ තත්වය, අපි සහයෝගය ලබාදෙන්න තීරණය කරන කුමන අපේක්ෂකයාට වුණත් මැතිවරණයක ප්‍රජාතන්ත්‍රීය බලවේගයන්ට අවාසි සහගතයි. 

Q. එහෙම නම් මේ නීතිමය ක්‍රියාමාර්ගය මැතිවරණය ඔන්න මෙන්න කියා තිබියදී ගත්තේ ඇයි?

A. මේ පෙත්සම ප්‍රමාද වෙලා ගොනු කරන්න එකම හේතුව වුණේ, අපි ඔහුගේ පුරවැසිභාවය ගැන කරුණු දැනගත්තේ, රහස් පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළායින් පසුව වීමයි. ඒ වාර්තා කළ කරුණු අපව කම්පනයට පත් කළා. ගෝඨාබය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලිපිගොනුව අතුරුදහන් වෙලා. පේන විදිහට කිසිම රජයේ අධිකාරියක් මේක හොයාගන්න සමත් වෙන්නෙ නැහැ. පරිගණක දත්ත වාර්තාවල සන්සන්දන සහ ද්විත්ව පුරවැසි රෙජිස්ටරයේ භෞතිකමය වශයෙන් සඳහන් වන කරුණු අතර වෙනස්කම් පෙන්වනවා. නරකම දේ තමයි, 2005 අවුරුද්දේ ඔහුගෙ ද්විත්ව පුරවැසි සහතිකය අත්සන් කරන කාලයේ ඔහු ලේකම්වත් පුරවැසිභාවය පිළිබඳ ඇමතිවරයෙක්වත් නොවෙයි. සති අන්තයක් ඇතුළත ඔහුගෙ අයදුම්පත අනුමත කරලා. අපේ මනසට මේක විශාල ප්‍රශ්නයක්. ඔහුගේ පුරවැසිභාවයම සැක සහිතයි. ඒක තමයි, මේ රටේ ඡන්දය ඉල්ලනවා නම් තිබෙන්නට අවශ්‍ය සුදුසුකම්වල එක් ප්‍රධාන හරයාත්මක අංගයක්. අපි මේක නිකම්ම ලිස්සල යන්න ඉඩ දෙනවද? රහස් පොලිසියෙ මුල් කාලීන වාර්තාවලින් පෙන්වා දෙනවා, ඔහුගෙ සහෝදරයා රටේ බලයට පත් වුණාම ගෝඨාබය රාජපක්ෂ විසින් නීති උල්ලංඝනය කර තිබෙනවා විය යුතුයි කියලා. ඒ වගේම ඔවුන් බලයේ නොහිටිය පහුගිය අවුරුදු හතරක කාලය ඇතුළත පවා, ඔහු ලේඛනගත කාර්යයන් සම්බන්ධයෙන් යම් තාක් දුරකට වාසියක් භුක්ති විඳලා තියෙන බවක් පෙනෙනවා. නිදහස් සහ ප්‍රජාතාන්ත්‍රික සමාජයක සාමාජිකයන් විදිහට අපිට මේවා ප්‍රශ්න කරන්න බැඳීමක් තිබෙනවා. ඒක දේශපාලන බලපෑමක් විදිහට අර්ථ නොගැන්විය යුතුයි. මේ ප්‍රශ්න හැම පුරවැසියෙකු විසින් ම ඇසිය යුතු ප්‍රශ්න. ඔහු රටේ ඉහළම තනතුර ලබාගන්න උත්සාහ කරනවා. ඔහු අපට උත්තර දෙන්න බැඳී සිටිනවා. අපිට උවමනා වුණේ නීතිය මත පාලනය උත්තම්භනය වන බව සාක්ෂාත් කර ගැනීමයි. 


මේ පෙත්සම පිටුපස තිබුණු අපේ ප්‍රධාන ඉලක්කය වුණේ මේ රටේ නීතිය මත පාලනය ආරක්ෂා වන බවත් උත්තම්භනය වන බවත් සහතික කර ගැනීමයි. 

Q. කතාවක් තියෙනවා, සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් කරන බවට. ඒ සඳහා ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

A. මේ නඩුවට කිසිම දේශපාලනඥයෙකුගේ සම්බන්ධයක් නැහැ. අපි මාස දෙකකට විතර ඉහතදී පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ගොනු කළා, සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වයට නම් කරන්නට පෙර. මේ අනුව අපිට විරුද්ධව තියෙන චෝදනා පදනම් විරහිතයි වගේම ළාමකයි. මගේ පැමිණිල්ල සහ පෙත්සම් ගොනු කෙරුණේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය මත පාලනය හුදෙක් ආරක්ෂා කර ගැනීම සඳහා සහ, අඩුම තරමේ වත්මන් ආණ්ඩුව යටතේවත් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය මත පාලනය පවතින බව ඔප්පු කරන්නටයි. 

Q. ගෝඨාබය රාජපක්ෂ තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හරින බවට අවසානාත්මක වශයෙන් ඔප්පු කළේ නැහැ. ඒ වගේම මේ වන විට පෙනෙන්නට තිබෙන හැටියට ඔහු ශ්‍රී ලාංකීය පුරවැසියෙක් බව ඔප්පු කරන්නටත් ලිපි ලේඛන නැහැ. මේකෙන් ඔහුට ඇති වන තත්වය මොකක්ද?

A. අපි මොහොතකට නැති වුණු ලිපිගොනු පැත්තකින් තියලා, ඒවා නැතිවෙලාම කියල හිතමු. නමුත්, මේ ලිපිගොනු සහ ලිපි ලේඛණ මත පදනම්ව, යම් කෙනෙකුගේ පුරවැසිභාවය සඳහන් කරමින් නිකුත් කළ සහතිකයක් තිබෙනවා. රිට් ආඥා නඩුවේදී මේ සහතිකයේ පිළිගත හැකි භාවය ගැනත් අපි ප්‍රශ්න කරනවා. අපි හොයනවා, මේක නිතුක් කළේ කවදාද, කවුරුන් විසින්ද සහ, ඒ කාලයේ එවැනි සහතිකයක් නිකුත් කරන්න විධිවිධාන තිබුණාද කියන කාරණා. මේ අනුව මේ ලිපිගොනු තිබුණත් නැතත් අපේ ප්‍රශ්න අවලංගු වෙන්නේ නැහැ. නිශ්චිත දිනයක් සහ අත්සන් දෙකක් සහිත සහතිකයක් තිබෙනවා. 

Q. මෑතකදී හෙළි වුණා, ගෝඨාබය ඇමරිකානු පුරවැසියෙකු විදිහට හිටියදීම, 2004 වසරේ පටන් දිගටම ඔහුගේ නම මුල්කිරිගල ඡන්ද ලියාපදිංචි කිරීමේ ලේඛනයේ තිබුණු බව. මේ ගැන හොඳින් සොයාබැලිය යුතුයි, නේද?

A. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ දෝෂාරෝපණය එල්ල වන්නේ ගෘහමූලිකයා වෙතයි. සාමාන්‍යයෙන් ගෘහ මූලික ලැයිස්තුවකට නමක් ඇතුළත් කරන විට එය ඒ ආකාරයෙන් ඉදිරි අවුරුදුවලදීත් ඇතුළත් වෙනවා. නමුත් මේ ලැයිස්තුව ගෘහමූලිකයා විසින් අවුරුදුපතා යාවත්කාලීන කළ යුතු එකක්. ගෝඨාබය රාජපක්ෂගේ නම, ඔහු ඇමරිකානු පුරවැසියෙකු වශයෙන් සිටියදීත් දිගින් දිගටම ගෘහ මූලික ලැයිස්තුවේ ඇතුළත් වීම ගැන ඒ ගෘහමූලිකයා වගවීමට යටත් කළ යුතුයි. අපි පෙත්සමේදි මේ ගැටළුව වෙත කේන්ද්‍රීය වුණේ නැහැ. මොකද ඒකට හේතුව, මේ කාලය තුළ පැවති මැතිවරණවලදී ඔහුගේ නම ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී තිබූ පමණින් ඒ නම යටතේ ඡන්දය ප්‍රකාශ කළ බව සනාථ කරගන්න බැරි නිසා.

Q. සිංගප්පූරු පුරවැසියෙකු වුණු හිටපු මහබැංකු ප්‍රධානියා පත්කරන විට ඔබ පළ කළ නිහඬතාවය ඔබේ විවේචකයන් ප්‍රශ්න කරනවා. මේ අතරේ ඔබ ගෝඨාබය රාජපක්ෂගේ පුරවැසිභාවය ප්‍රශ්න කරනවා. මෙය සත්‍යයක්ද?

A. අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්කිරීම ගැන අපි විවිධ වේදිකාවලදී ප්‍රශ්න කර තිබෙනවා. අපි බැඳුම්කර වංචාව ගැන රට පුරා සම්මන්ත්‍රණ 10කටත් වඩා පැවැත්වුවා. මේ අවස්ථාවලදී අපි මහේන්ද්‍රන්ව විවේචනය කළා විතරක් නෙවෙයි, අගමැති රනිල් වික්‍රමසිංහවත් විවේචනය කළා. කොහොම වුණත් මෙතැන වෙනසක් තිබෙනවා. මහබැංකුවට පත් කරන අවස්ථාවේදී මහේන්ද්‍රන් වංචාකාරී විදිහට ශ්‍රී ලංකා පුරවැසියෙක් වශයෙන් පෙනී සිටියේ නැහැ. ගෝඨාබය රාජපක්ෂ වංචනික අර්ථයන් හරහා මේ රටේ පුරවැසියෙකු මෙන් පෙනී සිටින්නට උත්සාහ දරනවා. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් නොවන මහබැංකු ප්‍රධානීන් මහබැංකු ඉතිහාසයේ සිටි බවත් අප මතක තබා ගත යුතුයි. නීතියට අනුව, සිංගප්පූරු පුරවැසියෙකුට මහබැංකුවේ ප්‍රධානියා වීමට නීතිමය බාධාවක් නැහැ. හරියට, ආරක්ෂක ලේකම් තනතුරට පුරවැසියෙකු නොවන අයෙක් පත්කිරීමට බාධාවක් නැහැ වගේ. කොහොම නමුත්, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමට තරග කරන තැනැත්තා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම අනිවාර්ය දෙයක්. මේ සම්බන්ධයෙන් ඔහුගේ සම්පූර්ණ පක්ෂපාතිත්වය, බැඳීම තිබෙන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම මතයි. ඒක වෛකල්පික කාරණයක් නෙවෙයි.     

Q. ඔබට සහ මහාචාර්ය තේනුවරට විරුද්ධව, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ විශාල වෛරී ව්‍යාපාරයක් දියත් කර ඇති බව පෙනෙනවා. ඔබ මෙයින් කැළඹීමට පත් වෙනවාද?

A. ඔහු වටේ ඉන්නෙ කවුද කියන එක අපි දන්නවා. ඔවුන්ගෙන් බහුතරය හිටපු හමුදා නිලධාරීන්. ගෝඨාබයත් අපි දෙන්නාවම දන්නවා. ඔහු බලයේ හිටි අවුරුදු 10 ක කාලය තුළ උගත යුතු පාඩම් රැසක් තිබුණා. අපි ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන්, ප්‍රගීත් එක්නැලිගොඩ, පෝද්දල ජයන්ත සහ කීත් නොයාර්ට අත් වුණු ඉරණම දැක්කා. ඒ නිසා මේ පුද්ගලයන්ට විරුද්ධව නඩුවක් ගොනු කරන විට සහ ඉන්පසුව මේ තරම් පරිමාණයක වෛරී ව්‍යාපාරයකට අපව හසුවන විට අපි මේ තර්ජනය බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුයි. අද තිබෙන එකම වෙනස තමයි, ඔවුන්ට රාජ්‍ය බලය නැහැ. නමුත් පළිගැනීම සඳහා රාජ්‍ය බලය තිබීම අවශ්‍ය වන්නේ නැහැ. 

Q. ඔහු මැතිවරණය ජයගෙන ජනාධිපති බවට පත් වුණොත් කුමක් වේවිද? ඔබේ ආරක්ෂාවට සහ මහාචාර්ය තේනුවරගේ ආරක්ෂාව එවිට කුමක් සිදු වේවිද?

A. ඇත්ත වශයෙන්ම අපි ඒ ගැන සිත් කරදර කරගන්නවා. ඔහු බලයට ආවොත් වඩාත් විශාල පරිමාණයකින් ඉතිහාසයේ සිදුවූ දේවල් නැවත සිදු වේවි. ඔහුගේ ජනාධිපතිකම කියන්නේ, 2015 අවුරුද්දේ පටන් අප විසින් දිනාගත් ප්‍රජාතන්ත්‍රීය ජයග්‍රහණයන් සහ නිදහස කණපිට හැරවෙනවා කියන එකයි. ඔහු ආරක්ෂක ලේකම් ව සිටි අවධියේදී අපි මාධ්‍ය වැඩසටහන්වලදි කතා කළේ භීතියේ සංස්කෘතිය සහ වර්ධනය වන ඒකාධිපතිකම ගැනයි. අපි ගෙවල්වලට ගියේ ඒ ගැන පරිස්සම් වෙමින්. ඔහුගේ ක්‍රෝධයට අපව හසුවේවි කියා අප බියපත්ව සිටියා. අපිව පිටිපස්සෙන් ලුහුබඳිනවාද කියා බලන්න අපිට පැති කණ්ණාඩිවලින් නිතර බලන්න සිදු වුණා. ඔහු බලයට ආවොත් ඒ යුගයට තමයි අපි නැවතත් යන්නෙ. ඒ වගේම ඒ කාලයේදි ඔහු ආරක්ෂක ලේකම් පමණයි. 



පුරවැසියෙකු නොවන අයෙක් තේරීපත්වීම භයානකයි - මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර
අනුරංගී සිං විසිනි. 



Q. ඔබ සහ අනෙක් පෙත්සම්කරු මේ කාරණය සම්බන්ධයෙන් වැඩ කරන්න තීරණය කළේ ඇයි?

A. අපි මේක එක රැයකින් කරන්න හිතුව දෙයක් නෙවෙයි. ඒ වගේම ඒක වුණේ අගෝස්තු මාසය තරම් ඈතක Daily FT පුවත්පතේ පළ වූ ලිපියක් මම දැකලා ඒ ගැන ගාමිණී වියන්ගොඩ සමග  සාකච්ඡා කිරීමෙන් පසුවයි. වාර්තා වෙලා තිබුණු කරුණු අතර අක්‍රමිකතා ගණනාවක් තිබෙන බව අපි දුටුවා. ඇත්තටම මේ ගැන නඩුවක් දාන්න අපි තීරණය කරල තිබුණෙ නෑ. අපිට උවමනා වුණේ  පොලිස්පතිවරයාට පැමිණිල්ලක් යොමු කරන්න. එතකොට ඒ ගැන විධිමත් විමර්ශනයක් පටන් ගනීවි කියා අපි හිතුවා. විමර්ශන ආරම්භ වුණාම ඊටත් වඩා අක්‍රමිකතා එහි සිදුවන බව අපට නිසැක වශයෙන්ම පෙනුණා. මේ කාලයේදීම ගෝඨාබය රාජපක්ෂ අපේක්ෂකයෙකු විදිහට මැතිවරණ කොමිසමේ ඇප මුදල් තැන්පත් කළා. එතකොට අපිට තේරුණා යම්කිසි දෙයක් කළ යුතුව තිබෙන බව. ඔබ මේ ගැන කොතරම් කතා කළත්, මේ පුරවැසිභාවය ගැන ගැටළුව ආමන්ත්‍රණය කිරීමෙන් තොරව ඔහු දිගින් දිගටම වැඩ කරමින් සිටියා. මේ අනුව, විදේශ ගමන් බලපත්‍ර සහ ජාතික හැඳුනුම්පත පවා විෂමතා සහ වෙනස්කම්වලින් යුක්ත වුණා. අපි හිටිය මතය වුණේ පුරවැසියෙකු නොවන කෙනෙක් රටේ ජනාධිපති බවට පත්වීම මේ රටට විශාල තර්ජනයක් බවයි. ජනතාවගේ අයිතිවාසිකම් මෙයින් අගතියට ලක් වෙනවා. ඒ නිසයි අපි තීරණය කළේ නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න. සීමිත කාලයත් එක්ක අපිට තිබුණු එකම විසඳුම වුණේ අධිකරණයට යන එක. අධිකරණයේ තීන්දුව මොන විදිහට ලැබුණත් අපි දැනගත්තා මේක තමයි අපේ අවසාන සහ හොඳම බලාපොරොත්තුව බව. ඔහු අවස්ථා ගණනාවකදී යුක්තියෙන් පළා යන්න සමත් වෙලා තියෙනවා. මේ වතාව වෙනස් එකක් වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි දැඩි විදිහට අපේ කරුණු කියා පානවා. 

Q. ඔබ දේශපාලනික පෙළඹීමක් මත ක්‍රියා කරනවාද? මේ ප්‍රශ්නය ඔබෙන් විශේෂයෙන් අහන්නේ, ගෝඨාබය රාජපක්ෂ ගැන ඇතැම් ප්‍රකාශ සිදුකරන අවස්ථාවලදී ඔබ අගමැතිවරයා සමග එකම රැස්වීමක සිටින ආකාරය ඡායාරූපවලින් පෙනී ගිය පසුබිමක් තුළයි.  

A. ඒ රැස්වීම ගැන ඔවුන්ගේ අර්ථදැක්වීම ඒක නම්, මම මහින්ද රාජපක්ෂ එක්ක එකම පාසලට ගිය කාරණය ගැන ඔවුන් මොකක්ද කියන්නෙ? මහින්ද රාජපක්ෂ මගෙ ජ්‍යේෂ්ඨයෙක්. 2005 අවුරුද්දෙ අපි ඔහුගෙ ඡන්දයට වැඩ කළා. එහෙම නම් ඔහු සමගත් මට සම්බන්ධයක් තිබෙන බව ඒකෙන් අදහස් වෙන්න ඕනෙ. රටේ නායකන් හමුවීම මම කාලයක් තිස්සෙ කරනවා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායකතුමා, අගමැතිතුමා, ජනාධිපතිතුමා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂව පවා මම හමුවන්නේ සිවිල් සමාජ ක්‍රියාධරයෙකු විදිහටයි. ඒක පුරවැසියන් විදිහට අපේ අයිතිවාසිකමක්. ඔවුන්ගේ දේශපාලනය අපි එතැනදි සැලකිල්ලට ගන්නා කරුණක් නෙවෙයි.  

ඒ වගේම මේක මම මෙවැනි දෙයක් කළ පළමු වතාවත් නෙවෙයි. යුද්ධයට මගේ තිබෙන අකමැත්ත මම මගේ කලාව හරහා ප්‍රකාශනය කරන්න පටන් ගත්තා. රට දරුණු යුද්ධයකට ගොදුරු වෙලා සිටින සමයක යුධ විරෝධී අදහස් මම දිගින් දිගටම පළ කළා. ඒ කාලයේ ‘දේශප්‍රේමයෙන්‘ අන්ධ වෙලා හිටිය මිනිස්සු මාව දැක්කෙ ත්‍රස්තවාදියෙක් වගේ. නමුත් බෞද්ධයෙක් විදිහට, සංස්කෘතිය සහ මනුෂ්‍යත්වය අගය කරන තැනැත්තෙක් විදිහට යුද්ධයට විරුද්ධව මගේ අදහස් ප්‍රකාශ කරන්න මට අයිතියක් තිබෙනවා. ඕනෑම පුරවැසියෙකුට ඔවුන්ගේ දේශපාලන බැඳීම් නොතකා තමන්ගේ සමාජ-ආර්ථික අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්නට පුළුවන්. අපි සටන් කරන්නේ ඒ අයිතිවාසිකම් වෙනුවෙන්. ජීවන වියදම පහළ දැමීම නෙවෙයි, නීතිය මත පාලනය හා සමාජ යුක්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැටළු පවා අපේ සටන් පාඨ බවට පත් වෙලා තියෙනවා. 1978 අවුරුද්දේ විශ්ව විද්‍යාල සිසුවෙක් වශයෙන් සිටි කාලයේ පටන් මම මේ ව්‍යවස්ථාවට එරෙහිව මගේ මතය පළ කර තිබෙනවා. මේ රටේ බදු ගෙවන්නන්ගේ මුදල්වලින් මූලික සහ ද්විතියික අධ්‍යාපනය ලද තැනැත්තෙක් විදිහට මට සමාජ වගකීමක් තිබෙනවා. මේක මටත් ගාමිණීටත් දෙන්නටම අදාළයි. මෙහෙම කරන්නෙ පුද්ගලික හේතු නිසා කියා සිතීම හාස්‍යජනකයි. ඒ වගේම, අපිට රාජ්‍ය නොවන සංවිධාන විසින් උදව් කරනවා කියා මතයක් යවන්නත් උත්සාහයන් තිබෙනවා. මගෙ ආදායම මට ලැබෙන්නෙ බදු ගෙවන්නන්ගේ මුදල්වලින්. මම වාහනයක් සල්ලි දීල අරන් තියෙනවා. ඒකෙ ලීස් එක තවම ගෙවනවා. මගේ ජීවිතයේ කවරදාකවත් මම දේශපාලනය වෙනුවෙන්, දේශපාලකයන් වෙනුවෙන් හෝ  NGO වෙනුවෙන් පාවිච්චි වෙලා නැහැ. අපේ අරගලය හඬක් නැති අය වෙනුවෙන්. 

Q. නිසැක වශයෙන්ම ඔබේ මේ ක්‍රියාවෙන් සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ව්‍යාපාරයට වාසියක් වේවි?

A. මේකට මේ තරම් මාධ්‍ය අවධානයක් ලැබෙන්න එකම හේතුව, අධිකරණයේ පවතින නඩුවයි. නමුත් අපි මේ ක්‍රියාදාමය ආරම්භ කළේ අගෝස්තු මාසයේදි. ඒ කාලයේ තමයි එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ අභන්තර ගැටළු තිබුණෙ. UNP ධූරාවලිය අතර පැහැදිලිවම පෙනෙන ගැටුමක් තිබුණා. අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කරන්නෙ කවුද කියන එක ඔවුන් තීරණය කරල තිබුණෙ නෑ වගේම, අපේක්ෂකයෙක් ඉන්නවද කියලවත් තීරණය වෙලා තිබුණෙ නෑ. කෙනෙකුට මේක අනෙක් පැත්තට විවාද කරන්නත් පුළුවන්. ඒ තමයි, මේකෙන් මහින්ද රාජපක්ෂට වාසියක් වෙනව කියලත්. මහින්ද රාජපක්ෂට හැඟෙනව නම් තමන්ගෙ සහෝදරයා ඔහුගෙ බලය පැහැර ගන්න හදනවා කියලා, එතකොට කෙනෙකුට තර්ක කරන්න පුළුවන්, ඔහුගෙන් බලය අත්පත් කර ගැනීම වැළැක්වීමට උත්සාහ ගන්න ඔහු තමයි, මේක පිටිපස්සෙ ඉන්නෙ කියලත්. 

Q. ඔබ දේශපාලන ඉත්තෙක් බවට පත්වෙලා ඇති බව කියමින් ඔබේම සහෝදරයා ඔබව  දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. මේ සඳහා ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

A. මම ලැජ්ජාවට පත් වුණා. මහින්ද රාජපක්ෂට වගේම මටත් සහෝදරයන් සිටිනවා. මොනව කරන්නද? ඔවුන් අපේ නිසා අපිට ඔවුන්ව ඔවුන් විදිහට පිළිගන්න සිද්ධ වෙනවා. මට දැනෙනවා, හිටි හැටියේම ඔහු මතයක් පළ කරන්න ඉස්සරහට ආව කියලා. ඒ වගේ තමයි පෙනුණෙ. ඔහුට පසුව පියවි සිහිය එළඹේවි කියා හිතනවා. 

Q.ඔබ මීට පෙර සඳහන් කළ පරිදි, ඒ වගේම ඔබ වෙනුවෙන් සිදුකළ කරුණු කියාපෑම්වලදිත්, ඔබ කියා තිබෙනවා පුරවැසියෙකු නොවන අයෙක් ජනාධිපතිවරයා බවට පත් කිරීම රටේ ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව. කොහොම වුණත්, මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන මට්ටමට ගිය කෙනෙකු ගැන මේ වගේ දෙයක් ස්ථිරසාර විදිහට කියන්නෙ කොහොමද කියන කාරණය ඔහුගේ නීතීඥවරුන් මතු කළා. ඒ වගේම ගෝඨාබයට අකෘතඥ වන අය ඔවුන්ගේ සිංහල ලෙයට කෘතඥවීම අඩු බව පවා කියන මට්ටමට ඔවුන් ගියා. මේ සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

A. අපි මතක් කර ගන්න ඕනෙ, 1994 අවුරුද්දෙ කවුද රට දාල ගියෙ කියන කාරණය. දුෂ්කරම කාලවලදී පවා අපි මේ රටේ හිටියා. අපි අපේ බදු ගෙව්වා. අවශ්‍ය වුණාම යුද්ධය විවේචනය කළා. යුධ ක්‍රියාවලියට බාධා කරන්න අවශ්‍ය නොවුණු වෙලාවට අපි නිහඬව හිටියා. ඔහුට රට ගැන මේ ලැදිකම තිබුණ නම් මට තේරෙන්නෙ නෑ ඔහු රට දාල ගියෙ ඇයි කියලා. ඔහු විශ්‍රාම ගියෙ නෑ. නමුත් කලින් විශ්‍රාම ගැනීමට නිදහසට කරුණු ඉදිරිපත් කළා. මේකම අපිට ඔහුගෙ දේශප්‍රේමීකම ගැන විනිශ්චය කරන්න ප්‍රමාණවත්. ජනරාල් සරත් ෆොන්සේකා මේ ගැන විශාල වශයෙන් කතා කර තිබෙනවා. යුද්ධ කාලයෙදි මේ රට වෙනුවෙන් පුද්ගලිකව කැපවීම් කළ අය ඕනෑ තරම් මේ රටේ සිටිනවා. බදු ගෙවන්නන් පවා මේ යුගයේදී විශාල භූමිකාවක් කළා. යුධ පෙරමුණේ නොහිටියත් විවිධ මිනිසුන් විවිධ කැපකිරීම් කළා, රට දාල ගිය අය හැරුණාම. රට දාල ගියා විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් ඕනෑම රටකට එරෙහිව ආයුධ අතට ගන්නා බව පවසමින් ඔහු තවත් කෙනෙකුට පක්ෂපාතී වන බවට ප්‍රතිඥාත් දුන්නා. වෙන රටක් ආරක්ෂා කරන්න මම කිසිම ප්‍රතිඥාවක් කාටවත් දීල නැහැ. මට තියෙන්නෙ එක විදේශ ගමන් බලපත්‍රයයි. මම ශ්‍රී ලාංකිකයෙක් විදිහට මාව හඳුන්වා දීම ගැන ආඩම්බර වන කෙනෙක්. මේ රටේ තමන්ට දේශප්‍රේමීන් යැයි කියාගන්නා අය මේ කරුණු සැලකිල්ලට ගත යුතුයි. මේ රටේ මිනිස්සුන්ගෙ ඡන්දය ඉල්ලා සිටින්නට කලින් මේ කාරණා තමයි පැහැදිලි කර ගත යුතුව තිබෙන්නෙ. මගෙ එකම බලාපොරොත්තුව, සියයට 90කට වඩා සාක්ෂරතාවය තිබෙන ජනතාව මේ ගැටළු අවබෝධ කර ගනීවි කියන එකයි. 

අපි මේ බව අපේ පෙත්සමේදී පුළුල් අදහසකින් යුතුව කියනවා. අපිට ඉස්මතු කරන්න අවශ්‍ය කාරණය තමයි, පුරවැසියෙකු නොවන අයෙක් පත්වීමේ තිබෙන භයානක කම. මේක නරක පූර්වාදර්ශයක්. ඒක නීතියට අවඥාවෙන් සැලකීමක් විතරක් නෙවෙයි, ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද විය හැකියි. 

Q. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල ඔබට එරෙහි විවේචන ගණනාවක් තිබෙනවා. ඔබ ඔබේ ආරක්ෂාව ගැන සිත් කරදර කරගන්නවාද?

A. ඔව්. අදහස් දැක්වීම්වලින් බහුතරය එන්නේ තර්ජනත් සමගයි. පැහැදිලිවම අපේ ජීවිතවලට තර්ජනයක් තිබෙනවා. එහෙම තමයි ඔවුන් ක්‍රියාත්මක වෙන්නෙ. කියන්න කණගාටුයි සමහර මාධ්‍ය පවා ස්වාධීනත්වයකින් තොරව මේ මතවලම සිටින බව. මාධ්‍යවේදීන් මාධ්‍ය කුවේරයන්ට වඩා ගෞරවනීය අය. නමුත් මාධ්‍යවේදීන් පවා දැන් පාවිච්චි වෙමින් තිබෙනවා. සමහරු මෙය කරන්නේ තමන්ගේ රස්සාව රැක ගන්න. 

අපි සොල්දාදුවන්ව කාණු සුද්ද කරන්න සහ උද්‍යාන පිරිසිදු කරවන්න පාවිච්චි කර නැහැ. සොල්දාදුවාට අවමන් වන විදිහට හැසිරිලා නැහැ. වැඩ කරන පන්තිය විදිහට අපි අපේ බදු නිසියාකාරයෙන් ගෙවලා සොල්දාදුවන්ව නඩත්තු කර තිබෙනවා. 

Q. අතුරු තහනම් නියෝග ලැබුණොත්, ඔහු පුරවැසිභාවය නොමැති කෙනෙක් බවට පත්වෙනවා වගේම එය ඔබේ ගිණුමට බැර වෙනවා. මේ ගැන ඔබට දැනෙන්නේ කොහොමද?

A. තීරණය කුමක් වේද කියා අපි දන්නේ නැහැ. ඒක මොකක් වුණත්, අපි ඒක පිළිගන්නවා. අපි අධිකරණයේ ස්වාධීනත්වය විශ්වාස කරනවා. ඇමරිකානු පුරවැසිභාවය ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බවක් අපි දන්නේ නැහැ. ඔහුට පුරවැසිභාවය අහිමි වුණොත් එය මගේ ගිණුමට බැර වෙයි කියා මම හිතන්නේ නැහැ. ඒක එහෙම වුණොත් වෙන්නෙ ඔහුගේම ක්‍රියාවන් නිසයි. නීතියට අවඥා කරන්න කලින් ඔහුට මේ ගැන හිතන්න තිබුණා.  

****

2019 ඔක්තෝබර් 6 දා මනේෂ්කා බෝහම් සහ අනුරන්ගි සිං විසින් The Sunday Observer පුවත්පතට ගාමිණී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර සමග කළ සම්මුඛ සාකච්ඡාවන් ඇසුරින් ලියන ලද Talking Point: Petitioners Gamini Viyangoda and Chandragupta Thenuwara හි සිංහල පරිවර්තනය. 

පසු සටහන - ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය තේනුවර විසින් ගොනු කළ රිට් ආඥා පෙත්සම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප වීමත් සමග ඔවුන් මේ වන විට යුක්තිය පතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුව තිබේ.  

(ලංකා නිවුස් වෙබ් ඇසුරිනි)