සමේ රෝගය - එච්.අයි.වී වෙලා, දියණියන් 6 දෙනෙකු කොන්කරලා




''එච්.අයි.වී සමග ජීවත්වෙන පුද්ගලයින්ට වෙනස්කිරීම් හා කොන්කිරීම් වලට ලක්වෙන්න සිද්ධවෙලා තියෙන්නේ පළවෙනි කාරණයම නොදැනුවත්භාවය. පාසල් ළමයෙකුට සිද්ධවුණු අසාධාරණයත් එක්ක අධ්‍යාපන ඇමතිතුමා කිව්ව ‘දරුවව අම්මාගෙන් ඈත් කරන්න ඕන‘ කියන දේට බලපෑවෙත් නොදැනුවත්භාවය.

එච්.අයි.වී කියන්නේ මොකක්ද ?, ඒඩ්ස් කියන්නේ මොකක්ද ?  මෙවැනි දේවල් ප්‍රකාශ කරන්නේ මේ දෙක අතර තියෙන පරතරය සම්බන්ධයෙන් හරි හැටි අවබෝධයක් නැතිකම නිසයි. කොන්කිරීම / වෙනස්කොට සැලකීමට හේතුවී තිබෙන්නේ නොදැනුවත්භාවයයි.

මේ නොදැනුවත්භාවය නිසා තමයි මිනිස්සු බයවෙන්නේ. ඒක නිසා තමයි කුලියාපිටිය සිද්ධියේදී ළමයව ඉස්කෝලෙට ගන්න එපා කියලා ගමේ අය කිව්වේ.

නොදැනුවත්භාවය නිසා භය ඇතිවුණා, ඊට පස්සේ කොන්කිරීමට ලක්කරනවා. ඊට පස්සේ ආයේ ඒ ළමයට ඉස්කෝලෙට යන්න බැරි වෙනවා. වෙනස්කොට සලකනවා. එවැනි ප්‍රකාශ කරන්න හා එච්.අයි.වී සමග ජීවත්වෙන අයට සමාජයේ වෙනස්කොට සැලකුම් ලැබීමට බලපාන්නේ ඔන්න ඕකයි. ගොඩක් වෙලාවට තමන්ගේ ගෙදර, රැකියාව, දේපළ පවා අහිමි වෙන්න පුළුවන්.''. 

ඒ HIV LGBTQ ප්‍රජාව හා HIV සමග දිවිගෙවන පිරිස් වලට අත්දකින්නට සිදුව ඇති කොන්කිරීම් පිළිබඳ Positive Hopes Alliance හිව්‍යාපෘති සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන පාලිත බණ්ඩාර මීට වසරකට පෙර දැක්වූ අදහසකි.

එච්.අයි.වී ඇති බවට තහවුරු කරගෙන නැති චර්ම රෝගයකින් පෙළෙන තම සොහොයුරිය නිසා මව මෙන්ම පිය සෙනෙහස ද අහිමිව ජීවත්වන දියණියන් හය දෙනෙකුගේ අධ්‍යාපනයට මෙන්ම සමාජ ජීවිතයට ද එල්ල වී ඇති බලපෑම ගැන තැබූ සටහනකි. ....................................


- කාංචන කුමාර ආරියදාසගේ සටහනකි - 


ජීවිත හයක කතාවක්

එච් අයි වී ආසාදිත සහ ඒඩ්ස් නැමැති සමාජ රෝගය වැළඳී ඇති බව චෝදනා කරමින් මව පියා නොමැතිව ජීවත්වන එකම පවුලේ දියණියන් හයදෙනෙකු ප්‍රදේශයෙන් පාසලෙන් කොන් කර දමා තිබෙන බවත් දියණියන් හය දෙනාට සමාජයෙන් සාධාරණය ඉටු කර දෙන්නැයි හඬා වැටෙමින් එම දියණියෝ ඉල්ලා සිටින්නී ය.

ගලේවෙල අලුත්ගම නිරන්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම දියණියන් හයදෙනා සමාජ අසාධාරණයකට ලක්ව සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරමින් සිටියදී දඹුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු විසින් මෙම දියණියන් හයදෙනා පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම විශේෂත්වයකි.

පාසල් වියේ පසුවන දියණියන් තිදෙනෙකු මෙම පවුලේ සිටින අතර තිදෙනාම විද්‍යාලයෙන් ගුරුවරුන් විසින් ඉවත් කොට තිබෙන බව ඔවුන් හඬා වැටෙමින් පැවසුවාය.

ළිඳකින් වතුර ටිකක් ලබාගැනීමට වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ගැනීමට ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් යෑමට සහ කිසිදු සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි තත්ත්වයටම කොන් කර දමා තිබෙන මෙම දියණියන් හයදෙනා දැඩි මානසික පීඩනයකින් ජීවත් වන බවත් දියණියෝ කියන්නීය.

ගලේවෙල, අලුත්ගම, නීරංගමුව 

මෙම දියණියන් සොයා ගලේවෙල අලුත්ගම නීරංගමුව පිහිටි ඔවුන්ගේ නිවස සොයා අප ගියෙමු.

මෙම දියණියන් හය දෙනා සහ එක් දියණියකගේ කුඩා දරුවෙකු සමඟ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ කුඩා කාමරයක තනිව ජීවත් වේ.

මෙම දියණියන් ගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී ළිඳකට වැටීමෙන් මියගොස් තිබේ. මව විදේශගත වී දරුවන් පෝෂණය කිරීමේ කටයුත්ත සිදුකරන බව දියණියෝ පවසන්නීය.

මෙම පවුලේ දෙවැනි දියණිය වන ශලනි පියතිස්ස මීට වසර කිහිපයකට ඉහත දී පවුල ජීවත් කිරීම සඳහා විදේශ රටක සේවය සඳහා ගොස් තිබෙන බවත් පසුව ඇය මීට මාස නවයකට ඉහත දී නැවත මෙරටට පැමිණ ඇත්තේ ඇයගේ සිරුරේ සමේ රෝගයක් ඇති වීම නිසාවෙන් බව කියයි.

එම රෝගයට ප්‍රතිකාර කිරීම සිදු කරමින් සිටියදී ඔවුන්ගේ මව දරුවන් ජීවත් කිරීම සඳහා ගෘහ සේවය සඳහා විදේශගතවී තිබේ.


දියණියන් තිදෙනෙකු නීරංගමුව පාසලෙන් ඉවත් කරලා 

පාසල් වියේ පසුවන දිනිති මදුෂිකා වයස අවුරුදු දාහතරකි. දිලිනි කෞෂල්‍යා වයස අවුරුදු 13. කිත්මි හිමායා වයස අවුරුදු අටකි. මෙම තිදෙනාම ගලේවෙල අලුත්ගම නිරංගමුව වීද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියාය.මේ තිදෙනාම මේ වනවිට පාසලෙන් ඉවත්කොට ඉගැනීමක් නොමැතිව නිවසට වී සිටි .

ශලනි පේමතිලක 24 හැවරදි දෙවැනි දියණිය සමේ ඇති වූ රෝගයට ප්‍රතිකාර ගැනීම නිසා ගම පුරා පැතිර ගොස් ඇත්තේ ඇයට එච්අයිවී ආසාදිත වී ඒඩ්ස් තත්ත්වයට පත් ව අනෙකුත් සහෝදරියන් සියලු දෙනාටම එය බෝවී තිබෙන බවය. මාස කිහිපයක් මේ කටකතාව නිසා ඔවුන් දැඩි අසීරුතාවකට පත් වෙමින් සිටින බව මෙම පිරිස කියති.

වැඩිමහල් දීයණිය චිත්‍රා කුමාරි 27 හැවිරිදිය ඇය විවාහවී එක දරුවෙකුද සිටින්නීය. මෙම කටකතාව පැතිර යෑමත් සමග ඇයගේ සැමියාද දරුවාද දමා හැර ගිය බව ඇය හැඬූ කඳුළින් පැවසුවාය.

එච්.අයි.වී ගැන නොදන්නා සමාජයේ කොන් කිරීම් 

මේ වනවිට සමේ රෝගී තත්වය සඳහා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සුවකරගැනීමට හැකි සාමාන්‍ය රෝගී තත්ත්වයක් බව වෛද්‍යවරුන් පවසති. එහෙත් සමාජයෙන් මෙම දියණියන්ට ලබාදී ඇති බරපතළ දඬුවම බවට පත්ව ඇත්තේ දියණියන් තිදෙනෙකු පාසලෙන් ඉවත් කිරීමයි. අධ්‍යාපනයක් නොමැති ව නිවසේ රැඳවීමය, එමෙන්ම ප්‍රදේශයේ වෙළඳසැලකින් භාණ්ඩයක් ලබා නොදීම ය. ළිඳකින් වතුර ලබාගැනීමට නොදීමය. කිසිදු අයකු ඔවුන් සමග කතා නොකර සිටීමය අඩුම තරමේ වාහනයක වත් මෙම පිරිස ගොඩවීමට ඉඩ නොදීම ය මෙම තත්ත්වය ඉවසා ගැනීමට නොහැකිව දෙවැනි දියණි දිවි හානිකර ගැනීමට උත්සාහ කොට තිබිණි. වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය මත ඇය ජීවත් වීමට වාසනාව උදා කරගෙන තිබිණි.

මෙම දියණියන් හයදෙනා සහ කුඩා දරුවෙකු තවදුරටත් මෙම සමාජ අසාධාරණයට ලක්වීම නිසා කුඩා නිවස තුළ එකට මියැදීමට කතිකා කර ගත් බව ඔවුන් හඬා වැටෙමින් කියති .මෙතරම් දියුණු සමාජයක කටකතාවක් හේතුවෙන් මුළු පවුලක් අසරණව සිටීම පිළිබඳව සමාජයේ අවධානය යොමුකර සාධාරණය ඉෂ්ට කර දෙන්නැයි මෙම දියණියෝ හඬා වැටෙමින් ඉල්ලා සිටින්නීය.

'ඒ අයට ඒඩ්ස් තියෙනවා කියලා කිව්වේ නෑ' - විදුහල්පතිවරයා 

මෙම දරුවන් පාසලෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිරන්ගමුව ප්‍රාථමික විදුහලේ විදුහල්පති ජනක කිත්සිරිගෙන් විමසීමේදී පැවසුවේ, 

"ඒ දරුවන් තුන් දෙනාගේ අක්කා කෙනෙක් රට ඉදල ඇවිල්ල තියෙනව එයාට යම්කිසි රෝගී තත්වයක් තියෙනවා කියලා අපිට ආරංචි වුණා ඒ වගේම ඒක අනිත් ලමයිට පැතිර යයි කියන අවදානම හින්දා මම එයාලට කිව්වා ප්‍රතිකාර ලබාගෙන පසුව විද්‍යාලයට එන්නේ කියලා හැබැයි මම ඒ අයට ඒඩ්ස් තියෙනවා කියලා කිව්වේ නෑ මොකද මම එහෙම දැනුම් දුන්නේ පි ච්ච අයි මහත්තයාටත් කියලා" යන්නයි. 



ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි හෙට්ටිආරච්චි

"මම මේ සිද්දිය දන්නේ නැහැ. විදුහල්පතිවරයා මට කිසිම දැනුම්දීමක් කරලා නැහැ. ඒ දරුවන් පාසලෙන් ඉවත් කරනවානම් මාව දැනුවත් කරන්න තිබුණා. මම අදම ඒ පාසලට ගිහිල්ලා මේ ගැන සොයා බලනවා. මොකද මම මේ ගැන මාධ්‍යයෙන් අහනකොට තමයි දැනගත්තේ. මම වහාම සොයා බලනවා."