‘‘ඥාණකීර්ති හිමියනි - බුදුන් දුටුවාද ?‘‘



බුදුරුව සහිත සාරියක් ඇගලාගෙන සිටිනවා යැයි චෝදනා කරමින් ඊයේ (29) දිනයේදී ත්‍රිකුණාමලය පොලීසිය විසින් දමිළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව හා එම අවස්ථාවේදී ත්‍රිකුණාමලය ඥාණකීර්ති හිමි, එම කාන්තාවට අතිශය පහත් අන්දමින් බැණ වැදෙන අන්දම සහිත වීඩියෝවක් ද සමාජ ජාල තුළ හුවමාරු වෙමින් පවතින බව ‘ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය මීට පෙර වාර්තා කළේය.


එම වීඩියෝවේ දක්වන පරිදි  නොදැන කළ වරදට සමාවන ලෙස ඥාණකීර්ති හිමි  ඉදිරියේ දණින් වැටෙන කාන්තාවට අදාළ භික්ෂුව පවසන්නේ,


‘මේ තමුසේ දැන් කතාකරනවා වැඩියි හරිද ?. කටවහගෙන හිටපං. දැන් ඕක ඇඳගෙනැත් ඇවිල්ලා. ගෑණියෙක් නිසා නිකං ඉන්නවා. පිරිමියෙක් වුණානම් තෝ පොළොවේ ගහනවා අල්ලලා. දැනගනිං.

ඉන්දියාවෙන් බැරිනං තූත්තුකඩියෙන් ඇඳන් පලයං. මේක මේ ලංකාවේ අඳින්න බෑ.

ඉන්දියාවේ බැරිනං ඕන අහක ඇඳන් පලයං. උඹට ගෑණියෙක් නිසා නිකං ඉන්නවා. පිරිමියෙක් වුණා නම් මං තෝ පොළොවේ ගහනවා අල්ලලා.

රිමාන්ඩ් කරන්න ඕන. දාන්න ඕන උසාවි.

ඇයි ? මේ ගෑණි ලංකාවේ නෙමෙයිද ? තූත්තුකුඩියෙද ?.

සමාව ගන්න දෙයක් නෑ. හරිද ?. තමුසෙලා හොඳට මතක තියාගන්නවා එක එකාට ඕන විදියට එක එක දේවල් කරන්න බැහැ. මේක සිංහල බෞද්ධ රටක්. හරිද ?. මේ ගෑණි මේක ඇඳගෙන යනකොට අපිට තමුසෙලා කියන්නේ ඇස් දෙක වහගෙන ඉන්න කියලද ?. ඈ. හරිද ?. තමුසෙලාට මේක ඇඳගෙන යන්න පුළුවන් හැමතැනම. අපිට පුළුවන්ද තමුසෙලාගේ ඒවා ඇඳගෙන යන්න. ඈ.‘ යන්නයි.


මෙහි සත්‍ය අසත්‍යතාවය ත්‍රිකුණාමලය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, චන්දන අතුකෝරළගෙන් විමසූ විට ඔහු පැවසුවේ කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදුනොවූ බවත් අදාළ කාන්තාව පොලීසියට රැගෙන ගොස් ඇයට වෙනත් ඇඳුමක් අන්දවා පිටත් කර හැරි බවත්ය.




බුදුන් දුටුවාද ?

භික්ෂුව නීතිය අතට ගෙන ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් කාන්තාවකට බැණ වදින්නේ ඇය බුදුන්ගේ රුව දැක්වෙන සාරියක් ඇඳ සිටිනවා යැයි චෝදනා කරමිනි. ඔබ බුදුන් දැක ජීවමානව දැක තිබෙනවාද ? යන ප්‍රශ්නය විමසුවහොත් ‘නැත‘ යන්න ඊට ලබාදෙන නිසැක  පිළිතුර වනු ඇත.


බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ 05 ක්‌ පමණ ඉක්‌ම යනතුරු බුද්ධ ප්‍රතිමා නිර්මාණයක්‌ සිදුනොවූ අතර ඊට හේතුවූවේ භාරතීය කලා ශිල්පීන්ගේ අපොහොසත්කම නිසා හෝ ත්‍රිපිටකාගත තහනමක්‌ නොව බුදුන් සුවිශේෂීය යන අදහසයි.

පිළිම වල ඉන්න බුදුන්

ක්‍රි.ව. පළමු සියවස තුල කුෂාන වශීක කණිෂ්ක රජුගේ පාලන සමයේදී මහායාන බුදු දහම ග්‍රීක ආභාෂය ලබමින් පෝෂණය වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස විවිධ වූ සම්ප්‍රදායන් යටතේ පිළිම නෙලීමේ කලාව විකාශනය විය. 

සම්ප්‍රදාය අනුව ගත්කල, ගාන්ධාර සම්ප්‍රදාය, මථුරා සම්ප්‍රදාය, අමරාවතී සම්ප්‍රදාය, ගුප්ත සම්ප්‍රදාය, මහනුවර සම්ප්‍රදාය අනුව පිළිම කලාව වර්ග කළ හැක. 

ග්‍රීක හා ගන්ධාරයේ ආභාෂයන් මුසුව ගාන්ධාර සම්ප්‍රධායික පිළිම නිර්මාණය විය. එකල ග්‍රීක දෙවියන් වූ ඇපලෝ දෙවියන්ගේ දේව ප්‍රතිමා වල හැඩ රුව යොදා ගනිමින්, බුදු රජාණන් වහන්සේගේ කරුණාව, දයාව වැනි අධ්‍යාත්මික ගුණයන් පිළිබිඹු වන සේ බුදු පිළිම නිර්මාණය විය. මෙම සම්ප්‍රදායේ පිලිමයන්ගේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ වන්නේ, 

පටු නළලකින් යුක්ත වීම, උෂ්ණිෂයකින් යුක්ත වීම, සිහින් තොල්පෙති, ශරීරයට ලංව දෑත පිහිටීම, අඩවන් වූ දෙනෙත් පිහිටීම, ඇගට ඇලෙන සේ චීවරය නිර්මාණය කිරීම, හිස කෙස් අක්බමරු මෙන් කැරලි ගැසී තිබීම, පිරුණු දෙකම්මුල්, ධර්ම චක්‍ර හා විතර්ක මුද්‍රාව තිබීම ආදියයි. 

පෙෂාවෝර් නගරයේ,ඇෆ්ගනිස්ථානයේ බෙග්ර්ම්, ලාහෝර්ක කටුගේ , කරච්චියේ කටුගේ යන ස්ථානයන්ගේ ඇති බුදුපිළිම මීට නිදසුන් වේ. 



මථුරා සම්ප්‍රදාය

මෙම සම්ප්‍රදායේ නිර්මාණ සදහා පාදක වී ඇත්තේ ඉන්දියාවේ සිටි යක්‍ෂ හා නාග ගෝත්‍රිකයින්ගේ රුපයයි. ගාන්ධාර සම්ප්‍රධාය ආරම්භ වූ කාල වකවානුව තුල මෙයත් ආරම්භ  වී ඇත. එකල යක්‍ෂ හා නාග පිළිම ඉදිකෙරෙමින් තිබු යුගය නිසා බුදු පිළිම නිර්මානයත් ඒ සමග සිදු වී ඇත. එනමුත් මෙම බුදු පිළිම ඉතාමත් භක්තියෙන් නිර්මාණය කර ඇත. බුද්ධ ප්‍රතිමා ශක්තිමත් සෘජු ශරීරයකින් යුක්ත වනසේ නිර්මාණය කර ඇත.
මෙම සම්ප්‍රදායේ පිලිමයන්ගේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ වන්නේ උෂ්ණිෂයකින් යුක්ත වීම, දෙනෙත්, පුළුල් වීම, හිස කෙස් කැරලි ගැසී ඇති ආකාරය, උතුංග දේහදාරී වීම හා ශාක්‍ය ලීලාව, දෙතොල් පළලින් යුක්ත වීම, චීවරය විනි විද පෙනෙන අයුරින් නිර්මාණය කිරීම, අත් සිරුරින් ඈත්ව පිහිටීම ආදියයි. 

අනුරාධපුරයේ සමාධි බුදු පිළිමය එවැන්නකි. 

අමරාවතී සම්ප්‍රදාය

මෙම සම්ප්‍රදායේ නිර්මාණයට ඉවහල් වී ඇත්තේ ගාන්ධර්ව සහ මථුරා සම්ප්‍රදායන්ගේ එකතුවකි. ඉහත කි සම්ප්‍රදායන් ගේ අඩු පාඩු සකසා ගනිමින් අන්ද්‍රා අධිරාජ්‍යාගේ අනුග්‍රහය යටතේ නිර්මාණය වූ මෙහි සිත් ඇදගන්නා සුළු බව, චීවරයේ  පිහිටි රැලි නොගැඹුරුය, ස්වාභාවිකත්වයට මුල් තැනක් දීම, ඉතාමත් ප්‍රසන්න බවකින් යුතු වීම  විශේෂ ලක්ෂණ විය. 

අවුකන, රැස්වෙහෙර, මාළිගාවිල, පබළු විහාරය පොළොන්නරුව ආදිය එහි ආභාසය ලබාගත් නිර්මාණය.

ගුප්ත සම්ප්‍රදාය (ගුප්ත යුගය)

ප්‍රතිමා සම්ප්‍රදායන් 3ක් අවසන් වන විට ගුප්ත යුගය ආරම්භ වී තිබුණි. ඉන් පසුව පිළිම ඉදිකරන ලදේ ගුප්ත සම්ප්‍රදාය අනුවය. ගාන්ධාර, මථුරා, අමරාවතී යන සම්ප්‍රදායන්ගේ සංකලනයක් ලෙස බිහිවූ මෙය ඉන්දියාවේ මෙම කලා සම්ප්‍රදායන්ගේ ඉහලම අවධිය වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පෙන්නුම් කරමින් පිටතින් ඉතාමත් ප්‍රසන්න අයුරින් නිමවා ඇති මේ සම්ප්‍රදාය අනුගමනය කළ පිළිම අතර ඉන්දියාවේ සාරානාත් බුදු පිළිමය ඉන්දියාව, පන්කුලිය බුද්ධ ප්‍රතිමාව විශේෂය. 


ඉතින් ඔබ බුදුන් දුටුවේ කාගේ ඇසින්ද ?. බුදුන් වදාළේ ''යෝ ධම්මං පස්‌සති සෝමං පස්‌සති' ''යමෙක්‌ ධර්මය දකියි ද හෙතෙම මා දකියි.'' - ‘‘කිංතේ ඉමිනා පූතිකායෙන දිට්‌ඨෙන? '' - 'මෙම පිළිකුල් සහගත සිරුර දැකීමෙන් ඇති ඵලය කිම ?‘‘ යන්න බව සිහියේ තබාගන්න. 



සබැඳි පුවත්


සාරිය දුටු භික්ෂුව කුපිත වේ - පොලීසියෙන් උත්තර නෑ