''අපි රටට ගැළපෙන විදියට සංහිඳියාව ආදේශ කළ යුතුයි'' - අගමැති



මෙතෙක් පැමිණි ගමන් මග දෙස බැලූ විට සංහිදියා වැඩපිළිවෙළ සාර්ථක වී තිබෙන බවත්, පාස්කු ප්‍රහාරයෙන් පසුව ලේ වැගිරීම් සිදුනොවුණේ මේ වැඩපිළිවෙලේ සාර්ථක භාවය නිසා බවත් ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ, සාමය හා සංහිදියාව පිළිබඳ ප්‍රජා නායකයන් දැනුම්වත් කිරීමේ අවසන් අදියරෙහි උත්සවයට සහභාගී වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ, පසුගියදා (25) ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ සාමය හා සංහිදියාව පිළිබඳ ප්‍රජා නායකයන් දැනුම්වත් කිරීමේ අවසන් අදියරෙහි උත්සවයට එක්වමෙින් පැවසුවේය. 

සත්‍ය හෙළි වී නැතැයි හෝ සත්‍ය සෙවීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම නිසා හමුදාවන්ට හානි වන බවට ඇතැම් කණ්ඩායම් තර්ක කළ ද ඒවාහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, අද කළ යුත්තේ එම පුහු තර්කවලින් බැහැරව මෙතෙක් පැමිණි ගමන් මග දෙස විමසිල්ලෙන් බැලීම බවත් අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය. 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ, 

''රටේ ජනතාව සංක්‍රාන්තික යුක්තිය ගැන කතා කිරීම ගැන ස්තුතියි''

''සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ නියාමකයින්ගේ යෝජනා ඇතුළත් වාර්තාවක් මෙහිදී මා වෙත ලබාදීමට කටයුතු කළා. මෙම කටයුත්තේ දී ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා ඇතුලූ ජාතික සාම මණ්ඩලය විශාල උනන්දුවකින් කටයුතු කර තිබෙනවා. 

රටේ ජනතාව කතා කරන්න බය වූ අවස්ථාවේ දී සංක්‍රාන්තික යුක්තිය පිළිබඳව ඔබ කතා කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. 

රටේ සාමය, සංහිදියාව පිළිබඳව සාමාන්‍ය ජනතාව කතා බහ කිරීමට බියක් දක්වන අවස්ථාවේ දී ඔබ ඒ පිළිබඳව හඬ නැගුවා. සාමය, සංහිදියාව ඇති කිරීමට කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාව වැනි ප්‍රජාතාන්ත්‍රික රටක ඊට පහර ගැසීමට කණ්ඩායමක් ඉදිරිපත් වීම සාමාන්‍ය සිරිතක්. නමුත් ඒ වෙනුවෙන් නිසි පිළිතුරු ලබාදීමට අප කටයුතු කළා. 

'අපි රටට ගැළපෙන විදියට සංහිඳියාව ආදේශ කළ යුතුයි'' 

කාම්බෝජියාව වැනි රටවල ක්‍රමය මෙරටට නොගැලපෙන නිසා අපේ රටට ගැලපෙන විදියට සංහිදියාව ආදේශ කළ යුතුයි. සංහිදියාව ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව දකුණු අප්‍රිකාව වැනි රටවලින් අපට අත්දැකීම් ලබාගන්න පුලූවන්. 


ලෝකයේ අනෙක් රටවලට වඩා ජාතීන් කිහිපයක් සම්බන්ධ වූ දීර්ඝ කාලීන ගැටලූවක් අපට තිබෙනවා. එක් එක් ජාතීන්ට ගැලපෙන පරිදි විශ්වාසය ඇති කිරීමේ ක්‍රියාදාමයකට යා යුතුයි. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම, ප්‍රහාරයන්ගෙන් හානි වූ සිංහල - දෙමළ - මුස්ලිම් සියලූ දෙනාට වන්දි ලබාදීම, ඉඩම් ලබා දීම, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම, පාර්ලිමේන්තුවේ දී එම කටයුතු ශක්තිමත් කිරීම, කාරක සභා ඇති කිරීම, අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක කිරීම ආදිය මගින් මෙම පසුබිම ඇති වී තිබෙනවා. 

එම කටයුතු ඉදිරියට ගෙන යාම පිළිබඳව ගැටලූ තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම, සත්‍ය සෙවීමේ කොමිසමක් ඇති කිරීම, ඒවාහි කාර්යභාරය හඳුනා ගැනීම වැනි ගැටළු ගණනාවක් දැනට පවතිනවා. දැන් කළ යුතුව තිබෙන්නේ ඒවාට විසඳුම් ලබාදීමයි. 

මෙතෙක් පැමිණි සංහිඳියා වැඩපිළිවෙල සාර්ථකයි..

මෙතෙක් පැමිණ ඇති ගමන් මග දෙස බැලූ විට මේ සංහිදියා වැඩපිළිවෙළ සාර්ථක වී තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව ලේ වැගිරීම් සිදුනොවුණේ මේ වැඩපිළිවෙලේ සාර්ථක භාවය නිසයි. 

සත්‍ය හෙළි වී නැතැයි හෝ සත්‍ය සෙවීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම නිසා අපේ හමුදාවන්ට හානි වන බවට ඇතැම් කණ්ඩායම් තර්ක ගෙන ඒමට පුලූවන්. තර්කවලින් බැහැර වී හොදින් බලන්න... මෙතෙක් ලොව ජය ගැනීමට අන්තවාදීන්ට හැකියාවක් ලැබී නැහැ. අන්තවාදීන් විවිධ චෝදනා එල්ල කළා. නමුත් එම සියලූ චෝදනාවලට පිළිතුරු දෙමින් අප ඉදිරියට ගොස් තිබෙනවා. 

අප්‍රේල් 22 වැනිදා ලේ වැගිරීමක් සිදු නොවීම රටේ ජයග්‍රහණයක්. මේවායෙන් පමණක් අපට සෑහීමකට පත්වෙන්න බැහැ. ඉතිරි ගැටලූ සාකච්ඡා කරමින් අප ඉදිරියට ගමන් කළ යුතුව තිබෙනවා. 

ද්‍රවිඩ ජනතාවට යුද්ධයෙන් වුණු හානිය වගේම අනෙකුත් ගැටලූ ඇති වී තිබෙනවා. මේ රට දෙකඩ වෙයි කියා සිංහල ජනතාවට බයක් ඇති වී තිබෙනවා. ත්‍රස්තවාදීන්, උතුරේ ජීවත් වූ මුස්ලිම් ජනතාව එම ප්‍රදේශවලින් පන්නා දැමීමෙන් එම ජනතාවට ගැටලූ ඇති වුණා. එම ගැටලූවල අවසන් ප්‍රතිඵලය ලෙස මේ රටේ ආර්ථික හා සමාජයීය දියුණුවක් ඇති වුණේ නැහැ. 

බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධයකින් දැන් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයකට පැමිණ තිබෙනවා. අප්‍රේල් 21 හා 22 අපට සාර්ථකව මුහුණ දීමට හැකි වුණා. නැවත සංහිදියාව හා අන්තවාදය අතර ගැටුමක් තිබෙනවා. ඉදිරියට ගමන් කිරීමට නම් සංහිදියාවෙන් ආරම්භ කර, සංහිදියාවෙන් අවසන් කළ යුතුයි. පාස්කු ප්‍රහාරය ඇති වූ අවස්ථාවේ සෑම ආගමකම නායකතුමන්ලා ඉදිරියට පැමිණීම ලේ ගැලීම් නතර වීමට හේතුවක් වුණා. 

රටේ ජනතාව තුළ විවිධ ගැටලූ තිබෙනවා. දැන් මුස්ලිම් ප්‍රජාව කෙරෙහි විශ්වාසය තැබිය හැකිදැයි ඇතැම් සිංහල පුද්ගලයින් ප්‍රශ්න කරනවා. ඒ වගේම, ඉතා සුළු පිරිසක් සිදු කළ ප්‍රහාරයකට සමස්ත මුස්ලිම් සමාජයම මුහුණදිය යුතු දැයි මුස්ලිම් ජනතාව ප්‍රශ්න කරනවා. පරීක්‍ෂණ කටයුතුවල දී අපට වැඩියෙන්ම තොරතුරු ලබා දුන්නේ මුස්ලිම් සමාජය වීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. 

අපේ ආණ්ඩුව කිසිම ජන කොට්ඨාසයක් ආරක්ෂා නොකරන බව ඇතැමුන් කියනවා 

ඇත්ත වශයෙන්ම මඩකලපුවේ බෝම්බ ප්‍රහාරයේ සිට සිදු වූ සියලූ බෝම්බ ප්‍රහාරයන් වෙනුවෙන් මුස්ලිම් ජනතාව සිය කණගාටුව ප්‍රකාශ කළා. එය ඉතා වැදගත් ක්‍රියාවක් බව කිව යුතුයි. 

එදා තිබුණු භාෂාවේ අයිතිය, වර්ගවාදයේ අයිතිය වෙනුවට දැන් වෙනත් ප්‍රශ්න ඇති වී තිබෙනවා. නමුත් විසඳුමට තිබෙන්නේ එක් මාර්ගයක් පමණයි. ඒ මාර්ගය සොයා ගත යුතුයි. ඒ සෑම ප්‍රශ්නයකටම අප මුහුණ දී සිටිනවා. 

අපේ ආණ්ඩුව කිසිම ජන කොට්ඨාශයක් ආරක්‍ෂා කරන්නේ නැතැයි ඇතැමුන් පවසනවා. නමුත් මේ චෝදනා එල්ල කරන පුද්ගලයන් සිදු කරන්නේ අන්තවාදය වැපිරීමයි. මෙම සිදුවීම හරහා වාසි ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි. සාමාන්‍ය සිංහල ජනතාවට මුස්ලිම් ජනතාවට මෙම සිදුවීම් වටහා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ක්‍රිස්තියානි ජනතාව ද බෝම්බ ප්‍රහාරයට ගොදුරු වීම සම්බන්ධයෙන් අප සිදු කළ යුත්තේ කුමක්දැයි ඔවුන් ද කල්පනා කරනවා. 

පළමුව රටේ ආරක්‍ෂාව ඇති කළ යුතුයි. ඉන් බැහැර වීමට හැකියාවක් නැහැ. එකම වේලාවක, ස්ථාන හයක ප්‍රහාර එල්ල කරන කණ්ඩායමක් රට තුළ සිටින බව කවුරුවත් සිතුවේ නැහැ. එල්.ටී.ටී.ඊ. සංවිධානයටවත් එසේ කිරීමට නොහැකි වුණා. මෙම කල්ලියට සම්බන්ධ සියලූ දෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

වෙනත් සම්බන්ධකම් පිළිබදව ප්‍රශ්න කරගෙන යාමක් තිබෙනවා. පරීක්ෂණවලට තොරතුරු ලබාදී සහාය ලබාදුන් මුස්ලිම් ජනතාව මතක් කරන්න අවශ්‍යයි. මද්‍රසා පාසල් අධ්‍යාපන නීතියක් ගෙන එන ලෙස මුස්ලිම් ජනතාව මා හමුවී ඉල්ලීමක් කළා. එම නීති අපි ගෙන එනවා.  දැනටමත් විදේශ  විශේෂඥයින් පැමිණ තිබෙනවා. මේ වගේ අභ්‍යන්තරය තුලින්ම ඇතිවන ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් වෙනවා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගත්තා 

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් දැන් අඩංගුවේ පසුවෙනවා. ඒවාට සම්බන්ධයක් නැති පුද්ගලයින් පිළිබඳව සොයා බළා නිදහස්  කළ හැකි පුද්ගලයින් නිදහස් කරන්නත්, අපරාධ නීතියක් උල්ලංඝනය කරලා තියෙනවා නම් නීතිය අනුව නඩු ගොනු කරන්නත් නීතිපතිට උපදෙස් ලබාදී තිබෙනවා. 

මිනුවන්ගොඩ කලබල ඇති කළ පුද්ගලයින් අත්අඩංගුවට ගත්තේ නැත්තේ දැයි කියා ඇතමුන් ප්‍රශ්න කරනවා. තිබෙන සාක්ෂි අනුව නීතිමය පියවර ගනිමින් තිබෙනවා. නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීමටත් ආරක්ෂාව තහවුරු කිරීමටත් අපට හැකිවුණා.

ඇමෙරිකාවේත්, එංගලන්තයේත්, ඕස්ටේ්‍රලියාවේත් උපදෙස් ලබාගෙන තිබෙනවා. ඔවුන්ගේ දියුණු තාක්ෂණික සහයත් මෙරට පොලිසියට ලැබුණා. අයි.එස්.අයි.එස් නැතිකරන්න කියලා කියන කණ්ඩායම් අද ප්‍රශ්න කරනවා ඇයි ඇමෙරිකානු නිලධාරීන් එන්නේ කියලා. ඔවුන් ඇවිත් පරීක්ෂණයට අදාල තාක්ෂණික සහාය ලබා නොදුන්න නම් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකි වෙන්නේ නැහැ.

අපි ඒ ආකාරයට කටයුතු නොකලානම් බැනුම් අහන්න වෙන්නේ  ආණ්ඩුවට පමණක් නොව ප්‍රහාරය දින දවල් 12 සිට මාස දෙකක් ගතවෙන්න පෙර කඩිනමින් පරීක්ෂණ කටයුතු සිදුකල ආරක්ෂක අංශවලටත් බැනුම් අහන්න සිදු වෙනවා. ඉතා කෙටි කලක් තුල ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් විදේශකයින් පවා පුදුම වෙන බව ඔවුන් මා සමග පැවසුවා.  

පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ හානි වලට වන්දි ගෙවීම ආරම්භ කර තිබෙනවා. මිය ගිය සෑම පුද්ගලයෙකුගේම පවුලකට රුපියල් ලක්ෂ 10 ක්ද, තුවාල ලැබු පුද්ගලයින්ට රුපියල් ලක්ෂ 5ක උපරිමයට යටත්ව මූලික ගෙවීම් සිදුකළා. මිලියන රුපියල් 250ක් පමණ මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා. ඒ පළවෙනි පියවර වශයෙන් පමණයි.

සිදුවූ හානිය ගැන හොයන්න හානිපූරණ කාර්යාලයට භාරකළා 

සිදුවූ හානි ආණ්ඩුව තීරණය කරන්නේ නැතිව ඒ වගකීම ස්වාධීනව සිදුකර ගැනීමට හානි පූර්ණ කාර්යාලයට භාර දී තිබෙනවා. රජයේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව විදේශ ප්‍රතිකාර අවශ්‍ය තුවාලකරුවන් සිටී නම් ඒ සඳහා සියලූ වියදම් දැරීමට කටයුතු කරනවා. එම අරමුදලට රජයේ මුදල් මෙන්ම  විනාශයට  පත් දේවස්ථානවල නියෝජිතයින් විසින් මුදල් යොදවන බවත් පැවසිය යුතුයි. ඒ හරහා මුදල් වශයෙන් ලබා ගත හැකි ආධාර ලබා ගැනීමට හැකියාව තිබෙනවා. 

මේක ආරම්භයක් පමණයි. ඉතිරි කටයුතු ද සංහිදියාවෙන් කළ යුතුයි. ආගමික නායකයින්  දැනටමත් මේ පිළිබඳව කතා කරනවා. දැනට සර්ව ආගමික සමුළුවක් පවත්වා තිබෙනවා. ඊළඟ පියවර ලෙස සියලූ ආගමික නියෝජිතයන්ගෙන් සමන්විත මණ්ඩලයක් ඇතිකිරීමට ආගමික නායකයින්ගෙන් උපදෙස් ලබාදෙනවා නම් ඊට අදාල නීති ගෙන ඒමට කටයුතු කරනවා.

අද විශේෂයෙන් අපි මේ කාරණා ගැන සිතා බලා ක්‍රියා කළ යුතුයි.  එදා ප්‍රශ්න විසදාගෙන ඉදිරියට යනකොට අද අලූත් ප්‍රශ්නයක් ඇතිවුණා. ඒ සියලූ ගැටළුවලට මුහුණදෙන්න අපට ශක්තිය තිබෙනවා. අප සියලූ දෙනා එකතු වෙලා සාර්ථක විසදුමක් මෙරටට ලබා දුන්නා.'' යන්නයි.