- අරුණි ශපීරෝ -
ඌරන්ට බෝවෙන අප්‍රිකානු උණක් නිසා චීනයේ මස් සඳහා හදන ඌරන් සංඛ්‍යාවෙන් හරි අඩක් පමණ මේ වෙද්දී මිය යන ලදැයි සැලකේ. චීනයේ රාජ්‍ය මට්ටමෙන් නිකුත් කරන වාර්තා මෙන්ම එහි සාමාන්‍ය ජනතාව රජයට දන්වන තොරතුරු ද සත්‍යය සඟවන හුරුවෙන් පැවතීම හේතුවෙන් මෙම අර්බූදකාරී තත්වයේ බරපතලකම ගැන නිශ්චිතවම කියන්නට හැකියාවක් කිසිවෙකුටත් නැත.
ලෝකයේ වැඩිම ඌරු මස් නිෂ්පාදනයක නියැළෙන්නේ චීනයයි. දෙවැනි තැන ඇමෙරිකාවත් අනතුරුව බ්‍රසීලය, ජර්මනිය, නෙදර්ලන්තය වැනි රටවල් එහි නියැළෙති. චීනය ඌරු මස් පරිභෝජනයේ ඉහළින්ම යෙදෙන රටක් වෙයි. මෙම අප්‍රිකානු උණ වැළඳීමෙන් මරා දමන්නට සිද්ධ වූ ඊරීන් සංඛ්‍යාව නිසා උණ පැතිර යාම අවසන් වූවත් දැඩි ලෙසින් පැටවුන් හිඟයක් පැවතීම එරට වළක්වාගත නොහැකි තත්වයක් බවට පත්ව ඇත.
මෙම ඌරු මස් සහ ඌරු පැටවුන් හිඟය පියවන්නට යන කාලයේ දී ලෝක වෙළඳපොලේ අපූරු වෙනස්කම් දකින්නට ලැබෙනු ඇත.
චීනය හා මිත්‍ර සබඳතා පවත්වන රටවලට තම ඌරු මස් ඔවුනට සපයන්නට ලැබෙනු ඇත. චීන වැසියන්ගේ පරිභෝජනයට යැවෙන ඌරු මස් නිසා වෙනත් රටවල ඌරු මස් මිල ගණන් වෙනස්වීමක් දකින්නට ලැබෙනු ඇත. එසේම අනෙකුත් මස් සහ මාළු මිල ගණන් ද ඉහළ යෑම මෙන්ම ඌරු ආහාර වෙනුවෙන් සපයන ලද ඉරිඟු සහ සෝයා බෝංචි වැනි ධාන්‍ය වර්ග මිල පහළ බැසීමක් දකින්නට හැකිවෙනු ඇත.
බිලියනයකට අධික ජන සංඛ්‍යාවක් සිටින රටක ඔවුන් වැඩියෙන්ම පරිභෝජනයේ යෙදෙන ආහාරයක් හිඟවීම යනු සමහර විට වෙනත් මාංශ සඳහා චීන ජනතාව හැරෙන අවස්ථාවක් බවට ද මෙය පත්විය හැකියි. සුනඛ අනුභවය චීනයේ සිද්ධවන බව රහසක් නොවේ. මේ තත්වය හමුවේ එය වැඩි නොවෙනු ඇතැයි කෙසේ සැක නොකරන්නද?
නිර්බාධ වෙළඳපොල සඳහා වැඩියෙන් ඉඩකඩ ඇති රටවල පෞද්ගලික ව්‍යාපාර මේ තත්වය තුලින් වැඩියෙන් ආදායම් උපයන්නට සමත්වෙනු නිසැකයි. ඒත් රාජ්‍ය මැදිහත්වීම් බහුල රටවල සිටින ලොකු කුඩා නිෂ්පාදකයන්ට මේ අවස්ථාවෙන් ඵලනෙලා ගැනීමට හැකියාව අහිමි වෙයි. ඒ රාජ්‍ය සේවකයා නොහොත් මහජන නියෝජිතයා යැයි කියාගන්නා අයගේ බත්පතට තවත් මාළුවෙක් බෙදාගන්න කාලයක් යන හේතුවෙනි. හිඟයක් ඇත්නම් එය පියවන්නට හනිකට සමත්වීම නිසා පමණක් ලාබ උපයන්නට ඉඩ ලැබෙන වෙළඳපොල නියාමය මෙහි දී ද ක්‍රියාත්මක වීම වළක්වන්නට සමත් වූවෙක් ලොව නැත. සමහර රටවල් දියුණු වෙන්නේ සහ තවත් රටවල් හැමදාම දියුණුවෙමින් කියන තත්වයේ සිටින්නේ ද ඒ නිසයි.
Post a Comment