පසුගිය වසරේදී සම්භාවනාවට පාත්‍ර වූ ලාංකේය සිනමාපට




– උදිත ලක්මාල් කහඳවආරච්චි -


ගෙවීගිය ජනවාරි 21 වෙනිදා කතානාද ශ්‍රී ලාංකේය සිනමාව සිය 72 වෙනි විය සම්පූර්ණ කළේය. එලෙසින් දශක හතක් ඉක්මවූ ඉතිහාසයකට හිමිකම් කීවද, තවමත් මෙරට සිනමාපට උදෙසා ජාත්‍යන්තර වෙළඳ පොළක් ගොඩනැගී නොමැති බව නොරහසකි. එවන් තත්වයක් තුළ මේ දක්වා ශ්‍රී ලාංකේය සිනමාවට ජාත්‍යන්තර ප්‍රජාව තුල යම් අවධානයට ලක්වූයේද, ඒ ජාත්‍යන්තර උළෙල නියෝජනයන් හරහා සහ එකී අවස්ථාවන්හිදී ජයග්‍රහණයන් කරන්නාවූ සම්මානයන් හරහාය.

ඒ අයුරින් ගෙවීගිය 2018 වසරේද දේශීය සිනමාපට 26ක් අවස්ථාවන් 53කදී ජාත්‍යන්තර උළෙලයන් නියෝජනය කිරීමට සමත්විය. එහෙත් ආසන්න පෙර වර්ෂයන්ට සාපේක්ෂව 2018 වසරේදී දේශීය සිනමාපට ලැබුවාවූ ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාව අඩු අගයක් ගැනීම කැපීපෙනුණි. ඒ අතුරින්ද විදෙස් රටවල පැවති උළෙලයන්හිදී ශ්‍රි ලංකාව ලද සම්මාන-සහතික සංඛ්‍යාව 04ක් වැනි කුඩා අගයක් ගැනීම විශේෂත්වයකි. මේ එලෙසින් 2018 වසරේදී ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට මෙරට හා විදෙස් රටවල පැවති ජාත්‍යන්තර උළෙලයන්හිදී ලද සම්මානයන් පිළිබඳ සමාලෝචනයකි.

(01). හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ ජූරි සම්මානය- පුත්තු සහ පියවරු- 02 වෙනි ඉන්දියානු ජගත් සිනමා උළෙල (හයිද්‍රාබාද් – ඉන්දියාව) – මාර්තු, 2018

2018 වසර වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලද පළමු ශ්‍රී ලාංකීය සිනමාපටය බවට පත්වීමේ හිමිකම ලද්දේ සුමති සිවමෝහන් අධ්‍යක්ෂණය කල ‘පුත්තු සහ පියවරු’ (Sons and Fathers) සිනමාපටයි.


ඒ 2018 වර්ෂයේ මාර්තු මස ඉන්දියාවේ හයිද්‍රාබාද්හී පැවති 02 වෙනි ඉන්දියානු ජගත් සිනමා උළෙලේදී (2nd Indian World Film Festival) ඇගයීමට පාත්‍රවීම හේතුවෙනි. එහිදී ‘පුත්තු සහ පියවරු’ ඇතුළුව සිනමාපට 16 ක් දීර්ඝ වෘත්තාන්ත සිනමාපට (Long Feature Films) අංශය යටතේ තරඟ වැදුනු අතර , ඒ අතුරින් උළෙලේ හොඳම වෘත්තාන්ත සිනමාපටය ලෙස (Best Film- Feature) ඉන්දියානු සිනමා අධ්‍යක්ෂක ලෝකේෂ් කුමාර්ගේ ‘My Son is Gay’ නම් වූ සිනමාපටය සම්මානයට පාත්‍ර වූ අතර , හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ ජූරි සම්මානය (Jury Award for Best Film- Feature) ‘පුත්තු සහ පියවරු’ සිනමාපටයට හිමිවිය. මෙම සම්මානය, ‘පුත්තු සහ පියවරු’ සිනමාපටය මෙන්ම සුමති සිවමෝහන් සිය සිනමා නිර්මාණයන් උදෙසාද ලද පළමු අන්තර්ජාතික සම්මානය විය.

2017 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කල ඉන්දියානු ජගත් සිනමා උළෙලේ දෙවැනි අදියර ක්‍රියාත්මක වූ 2018 වර්ෂය සඳහා සිනමාපට, මියුසික් වීඩියෝ හා වෙළඳ දැන්වීම් නිර්මාණ 110 ක් නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබූ අතර, ඒ අතුරින් ජුරීයේ ඇගයිම් ලද නිර්මාණයන් වෙත සම්මාන සහ සහතික 74 ක් පිරිනැමුනි.


(02). හොඳම අධ්‍යක්‍ෂක – ප්‍රසන්න ජයකොඩි- විසි අට- 08 වෙනි සාර්ක් සිනමා උළෙල (කොළඹ -ශ්‍රි ලංකාව) – මැයි, 2018



(03). හොඳම නළුවා- මහේන්ද්‍ර පෙරේරා- විසිඅට- 08 වෙනි සාර්ක් සිනමා උළෙල (කොළඹ -ශ්‍රි ලංකාව) – මැයි, 2018

(04). හොඳම ශබ්ද සැලසුම්කරණය- සසික රුවන් මාරසිංහ- බහුචිතවාදියා- 08 වෙනි සාර්ක් සිනමා උළෙල (කොළඹ -ශ්‍රි ලංකාව) – මැයි, 2018

(05). විශේෂ ජූරි සම්මානය- බහුචිතවාදියා- 08 වෙනි සාර්ක් සිනමා උළෙල (කොළඹ -ශ්‍රි ලංකාව) – මැයි, 2018

දකුණු ආසියානු කලාපීය රාජ්‍යයන් 08හී සිනමාපට උදෙසා පමණක් සීමාවූ සාර්ක් සිනමා උළෙල (SAARC Film Festival), 08 වෙනි වරටත් 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වූ අතර, එහිදී රටවල් 06 ක් නියෝජනය කරමින් සිනමාපට 12ක් දීර්ඝ වෘත්තාන්ත තරඟ අංශය නියෝජනය කලේය. එකී සිනමාපට 12 උදෙසා සම්මාන 11ක් විවෘතව පැවති අතර, එහිදී බංගලාදේශයේ නියෝජනය කල ‘හල්දා’ සිනමාපටය උළෙලේ ‘හොඳම සිනමාපටය’ ඇතුලුව සම්මාන හතරකින් පිදුම් ලැබීය. එසේම ශ්‍රි ලංකාව නියෝජනය කල ප්‍රසන්න ජයකොඩිගේ ‘28’ සහ මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා’ (The Undecided) යන සිනමාපට සම්මාන දෙක බැගින් පිදුම් ලැබීය. මෙහිදී ‘බහුචිතවාදියා’ සිනමාපටය අන්තර්ජාතික සම්මානයන්ගෙන් පිදුම් ලද පළමු අවස්ථාව මෙය වූ අතර , එසේම දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයන්හී රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා සහ ශබ්ද සැලසුම්කරණය වෙනුවෙන් සසික රුවන් මාරසිංහද අන්තර්ජාතික සම්මානයන්ගෙන් පිදුම් ලද පළමු අවස්ථාව මෙය විය.
අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය සම්මාන ලබමින්



සාර්ක් සිනමා උළෙල ඇරඹි 2011 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 16 ක් (එක් අදියරකට 02 බැගින්) සාර්ක් සිනමා උළෙලේ තරඟකාරි අංශය නියෝජනය කල අතර, ඒ අතුරින් සිනමාපට දෙකක් හැර අනෙකුත් සෑම නිර්මාණයක්ම උළෙලේදී සම්මානයට පාත්‍රව තිබීම විශේෂත්වයකි. ඒ අනුව ආරම්භයේ සිට මේ දක්වා සාර්ක් සිනමා උළෙලේදී මෙරට දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ලබා ඇති මුළු සම්මාන ගණන 22 ක් වන අතර, ඒ නිසාවෙන් එදා මෙදා තුර ශ්‍රි ලංකාව වැඩිම අන්තර්ජාතික සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලද අන්තර්ජාතික සිනමා උළෙල එය වේ.


(06). විශිෂ්ටතම සිනමාපටය- භවතරණ – 01 වෙනි ආසියානු සංචාරක-ප්‍රවර්ධන සිනමා හා ටීවී කලා සතිය – (ටයිචූ- චීනය) – ජූනි/ජූලි, 2018

සංචාරක සහ සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ මූලික පරමාර්ථය පෙරදැරිකොට ගෙන චීනයේ ටයිචූ නගරය ආශ්‍රිතව පළමු වරට ඇරැඹි ආසියානු සංචාරක- ප්‍රවර්ධන සිනමා හා ටීවී කලා සතිය (Asia Tourism-Induced Film & TV Arts Week) නම් උළෙල සඳහා චීනයද ඇතුලුව ආසියානු රටවල් 25 කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින් වෘත්තාන්ත සිනමාපට, වාර්තා සිනමාපට, කෙටි සිනමාපට, මයික්‍රෝ සිනමාපට, වෙබ් සිනමාපට හා රූපවාහිනී නිර්මාණ 1200කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් ලෙසින් ඉදිරිපත්වී තිබුනු අතර , එයින් නිර්මාණ 513 ක් (375-චීන, 138- විදෙස්) පළමු වටය සඳහා සුදුසුකම් ලැබීය. එහිදී අවසන් ජූරි තීරණයන්ට අනුව පෙරකී නිර්මාණ අතුරින් නිර්මාණ නිර්මාණ 101 ක් සම්මාන ප්‍රභේදයන් ද්විත්වයකට (Good/ Excellent) යටත්ව සම්මාන ඛාණ්ඩ 13ක් යටතේ සම්මානයට පාත්‍රවිය.


මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කල දේවින්ද කෝන්ගහගේගේ ‘භවතරණ’(Crossing Sansara), පිලිපීනය නියෝජනය කල ‘Amazing Journey of the Letters’, ආර්මේනියාව නියෝජනය කල ‘The Last Inhabitant’ සහ ලාඕසය නියෝජනය කල ‘Swan Lifts Turtle’ යන සිනමාපට හතරම අන්තර්ජාතික සංචාරක ඛාණ්ඩය යටතේ වූ විශිෂ්ටතම සිනමාපටය (Excellent Film – International Tourisam Category) නම් වූ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්විය. මෙය ‘භවතරණ’ සිනමාපටය ලද දෙවැනි අන්තර්ජාතික සම්මානය වූ අතර , මීට පෙර 2015 වසරේ ඉන්දියාවේ පැවති 04 වෙනි දිල්ලි අන්තර්ජාතික සම්මාන උළෙලේදීද එය සම්මානයට පාත්‍රවිය.

භවතරණ වෙනුවෙන් ශානි කරුණාරත්න සම්මාන ලබමින්



(07). විශේෂ ජූරි සඳහන- අමාවක- 02 වෙනි සෙවෑ දො වෝගා අන්තර්ජාතික සිනමා උළෙල- (සෙවෑ දො වෝගා- පෘතුගාලය) – සැප්තැම්බර්, 2018

2017 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කල සෙවෑ දො වෝගා අන්තජාතික සිනමා උළෙලට (Sever do Vouga International Film Festival) අදාලව 2018 වර්ෂයේ පැවති දෙවැනි අදියරේ තරඟකාරි අංශයන් නියෝජනය කිරීමට රටවල් 21 ක් නියෝජනය කරමින් වෘත්තාන්ත, වාර්තා, සජීවීකරණ හා කෙටි සිනමාපට 32 ක් සුදුසුකම් ලබා තිබූ අතර, මෙහිදී විජිත ගුණරත්නගේ ‘අමාවක’ (Invisible Moon) සිනමාපටය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට තරඟ අංශය (Long Feature Fiction Competition) යටතේ තරඟ වැදුනි. එහිදී උළෙලේ හොඳම දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙස ’Forum Intimate’ නම් වූ බ්‍රසීල සිනමාපටය සම්මානයට පාත්‍ර වූ අතර , ‘අමාවක’ සිනමාපටය උදෙසා ජූරියේ විශේෂ සඳහනක් (Special Mention- Long Feature Fiction) හිමිවිය. මෙම ජයග්‍රහණය, ‘අමාවක’ සිනමාපටය මෙන්ම විජිත ගුණරත්න සිය සිනමා නිර්මාණයන් උදෙසාද ලද පළමු අන්තර්ජාතික ජයග්‍රහණය විය.


(08). රුසියානු සිනමා විචාරක සංසදයේ තිළිණය- මෝටර් බයිසිකල්- 14 වෙනි කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙල (කසාන් – රුසියාව) – සැප්තැම්බර්, 2018

ශ්‍රී ලංකාව ගෙවීගිය වසර උදෙසා වූ සිය අවසන් ජාත්‍යන්තර සම්මාන ජයග්‍රහණය සනිටුහන් කිරීමට, 2018 වසරේ සැප්තැම්බර් මස රුසියාවේ පැවති 14 වෙනි කසාන් අන්තර්ජාතික සිනමා උළෙලේදී (Kazan International Muslim Film Festival) සමත්විය. ඒ ශමීර නාඔටුන්නගේ ‘මෝටර් බයිසිකල්’ (Motor Bicycle) සිනමාපටය එම උළෙලේදී රුසියානු සිනමා විචාරක සංසදය නම් වූ ස්වාධීන ජූරිය විසින් පිරිනැමූ රුසියානු සිනමා විචාරක සංසදයේ තිළිණයෙන් (Prize of the Russian Guild of Film Critics) පිදුම් ලැබීම හරහාය. ‘මෝටර් බයිසිකල්’ ලද පෙරකී සම්මානය එම සිනමාපටය ලද දෙවැනි අන්තර්ජාතික සම්මානය වූ අතර , මීට පෙර 2015 වර්ෂයේ ශ්‍රි ලංකාවේ පැවති 05 වෙනි සාර්ක් සිනමා උළෙලේදීද එය සම්මානයට පාත්‍රවිය.

සර්ගේ අනෂ්කින් මෝටර් බයිසිකල් වෙනුවෙන් සම්මානය ලබාගනිමින්


2005 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කල කසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ 14 වෙනි අදියර ක්‍රියාත්මක වූ 2018 වර්ෂය සඳහා රටවල් 56 ක් නියෝජනය කරමින් වෘත්තාන්ත, වාර්තා, සජීවීකරණ හා කෙටි සිනමාපට 967ක් අයදුම්පත් ලෙසින් ඉදිරිපත්වී තිබුනු අතර , එයින් නිර්මාණ 65 ක් පමණක් තරඟකාරි අංශයන් නියෝජනය කිරීම උදෙසා සුදුසුකම් ලැබීය. ඒ අතුරින්ද ‘මෝටර් බයිසිකල්’ ඇතුලුව සිනමාපට 10ක් උළෙලේ ප්‍රධානතම තරඟකාරි අංශය වූ ‘Full-length feature Competition’ අංශය නියෝජනය කළේය.