මරා සිරා ජුන්ටාවේ කුමන්ත‍්‍රණයෙන් රට මෙන්ම ශ්‍රීලනිපය ද බිඳවැටුණු හැටි


 - සුමල් අමරසිංහ -





බලපෙරේතකම හා සිර දඬුවම





ඔක්තෝබර් 26 වන දින සිදු කළ දේශපාලන කුමන්ත‍්‍රණයට ලබා දිය හැකි සරලම විග‍්‍රහය වන්නේ මිනිසුන් දෙදෙනෙකුගේ බලපෙරේතකම සහ ඉන් එක් අයෙකු සිරදඬුවමට වූ බිය නිසා සිදු කළ ලැජ්ජා සහගත දේශපාලන කුමන්ත‍්‍රණයක් ලෙසයි. 2015 ජනවාරි 08 මෙරට හැට දෙලක්ෂයකටත් අධික මහජනතාව විසින් පරාජය කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා පමණක් නොවේ. එදා ඔහු විසින් හඳුන්වා දුන් ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතිය ද විනාශ කිරීමට එම ජනතාව ක්‍රියා කළහ.






ඒ සඳහා රටට ආදරය කරන ආගමික නායකයන්, රාජ්‍ය නිළධාරීන්, සිවිල් සංවිධාන, ව්‍යාපාරීකයින්, කලාකරුවන්, විද්වතුන්, විශ්විද්‍යාල ආචාර්යවරුන් මෙන්ම විවිධ මතවාද අනුව බෙදී වෙන්ව ගිය දේශපාලන පක්ෂ එක මිටකට එකතු වූහ.ඒ, ඒ වන විට බලයේ සිටි ඒකාධිපති නායකයා වෙනුවට තවත් ඒකාධිපතියකු බිහිකර ගැනීමට නොව එතෙක් පැවති අශිෂ්ට දේශපාලන සංස්කෘතිය වෙනස් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය මේ භූමියේ ප‍්‍රතිෂ්ඨාපනය කිරීමටයි.






මෛත්‍රීපාල සිරිසේන යනු ඒ යුග කාර්යය සඳහා තොරාගත් නියෝජිතයා විනා එහි නිර්මාතෘවරයා නොවේ. ඔහු පොදු අපේෂක භූමිකාවට ප‍්‍රවිෂ්ට වන විට අදාළ ප‍්‍රතිපත්ති, සංවිධාන කටයුතු සියල්ලක්ම පාහේ අවසන් කොට තිබුණි. පොදු අපේක්ෂක භූමිකාවට ඔහු තෝරා ගැනීමට හේතු වූ කරුණු අතර ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් අන්තවාදී මතවාදයක් නොදැරීම, රාජපක්ෂ රජයේ ප‍්‍රබල චරිතයක් වුව ද ඒ කාලය වන විට වංචා දූෂණ, මිනීමැරුම්, ඥාති සංග‍්‍රහ පිළිබඳ ප‍්‍රසිද්ධ චෝදනා දැකිය නොහැකි වීම ද හේතු විය. ඔහු සිය බලය අත්පත් කර ගත් මොහොත දක්වා තම සැබෑ චරිතය සමාජයෙන් වසන් කර තබා ගැනීමට තරම් සූක්ෂ්ම විය. මෛත්‍රීපාල සිරිසේන චරිතය තුළ සැඟවී සිටින ”සුදු නයා” මතුවන්නේ ජනාධිපතිධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුවය.






බල තණ්හාවෙන් ඔද වැඩුණු ඔහු බලයට පැමිණ ඉතා කෙටි කලක් ඇතුළත ඔහුගේ බල ලෝභීත්වය ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කළේ ය. සිරිසේනගේ මෙම බල ලෝභිකම තේරුම්ගත් මහින්ද 2015 පෙබරවාරි වන විට ම ඔහු රවටා බලය ඩැහැ ගැනීමේ කුමන්ත‍්‍රණය ආරම්භ කළේය. සිරිසේනගේ බලපෙරේතකම මේ කුමන්ත‍්‍රණයට ප‍්‍රණ වායුව ලබා දුන් අතර මහින්ද තුළ වූ හිරේ ලැගීමට තිබූ බිය මේ කුමන්ත‍්‍රණය ඉදිරියට තල්ලු කිරීමට උත්තේජ සැපයිණි. කුමන්ත‍්‍රණය ක්‍රියාත්මක කරන වහලුන් වූයේ මෛත්‍රී සමග සිටින බව පවසමින් මහින්දගේ සුවච කීකරු කුක්කන් ලෙස ක්‍රියා කළ ලාන් පෙරේරා, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් වසන්ත පෙර්රා, එස්.බී දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන ඇතුළු තවත් කිහිප දෙනෙක් විසිනි. මොවුන් කුමන්ත‍්‍රණයට අවශ්‍ය මූලික වැඩකටයුතු ඒ වනවිට මෛත්‍රීට හිතවත්ව සිටි මහින්ද අමරවීර ලවා සිදු කරගත් අතර කුමන්ත‍්‍රණයට විරුද්ධ වීම නිසා දුමින්ද දිසානායක පක්ෂ මහා ලේකම් ධුරයෙන් පවා ඉවත් කළේය. චන්ද්‍රිකා ප‍්‍රමුඛ පක්ෂයේ ප‍්‍රබලයින් 14 දෙනෙකු දේශපාලන මණ්ඩලයෙන් ඉවත් කළේය. ඒ කුමන්ත‍්‍රණයේ කුඨප‍්‍රාප්තියයි.









ඔක්තෝබර් 26 පාවාදීම පුදුමයක් නොවේ





බලයට පත්වූ දා සිට ඔහුගේ හැසිරීම සියුම් ව අධ්‍යයනය කළහොත් ඔහු ඔක්තෝබර් 26 වන දින සිදු කළ පාවාදීම පිළිබඳ විශ්මයක් ඇති නොවනු ඇත.









  1. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී මහජනතාව ඉදිරියේ ප‍්‍රසිද්ධියේ පොරොන්දු වූ නිර්පාක්ෂික ව රාජ්‍ය බලය මෙහෙයවීමේ ක‍්‍රමවේදය අමතක කර දමා ජයග‍්‍රහණය ලබා දින තුනක් ඉක්ම යාමට පෙර මහින්ද සමග රහසේ සාකච්ඡුා කර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගත්තා සේ ම, මහින්ද වෙනුවෙන් සියලු දර දිය අදින ලද අබේකෝන් නැමැත්තා ජනාධිපති ලේකම් ධුරයට පත්කර ගත්තේ ද මහින්දවාදීන් ලෙස කටයුතු කළ ශිරාල්, මෛත්‍රී ගූණරත්න සහ රතන හිමි තම උපදේශකයන් කර ගන්නේ කුමන්ත‍්‍රණය ආරම්භ කරමිනි.




02. සිරා තමන්ට දිවි හිමියෙන් උපකාර කළ සෝභිත හිමි, චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 2015 ජනාධිපතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුණු සියලූ දෙනා කිසි හිරිකිතයක් නැතුව බලයට පත්ව කෙටි කලක් ඇතුළත අමතක කර දමනවා පමණක් නොව, ඩිලාන් පෙරේරා වැනි තම හෙංචයියන් ලවා ඔවුන්ට අපහාස කරවීමට ද අමතක නොකළේය. සෝභිත හිමිට වස කුප්පි ලබා දිය යුතු බවටත්, චන්ද්‍රිකාට ප‍්‍රසිද්ධියේ බැණ වදින්නේත් සමාජය තුළ ඔවුන්ගේ ප‍්‍රතිරූප විනාශ කිරීමේ අරමුණෙනි.






03. අනතුරුව ඔහු උත්සාහ කරන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීමටයි. එහෙත් මෙරට ප‍්‍රගතිශීලී කොටස් ඒකරාශී ව එම කුමන්ත‍්‍රණය පරාජය කළ ද සිරිසේනගේ කඩාකප්පල් කිරීම් හමුවේ ජනාධිපති ධුරයේ ඒකාධිපති බලතල අපේක්ෂා කළ මට්ටමෙන් අඩු කිරීමට අවකාශ නොලැබුණි.






04. ජයග‍්‍රහණයෙන් මාස හතක් යන්නටත් පෙර මහ මැතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ ඇතුළු දූෂිතයන් ගණනාවකට නාම යෝජනා ලබා දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැන්නවුන් දේශපාලනික වශයෙන් අනාථ කර ඔවුන්ගේ දේශපාලන ජිවිතය විනාශකර දැමීමට උත්සාහ කළ ද, ඔවුන් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත් වී ජයග‍්‍රහණය කිරීම නිසා එම අරමුණ ද ඉටුකර ගැනීමට නොහැකි විය.






05. රාජපක්ෂලා සමග ඇතිකර ගත් එකඟතා අනුව මහින්ද රාජපක්ෂ රජයේ ප‍්‍රබල ලෙස දූෂණ ක්‍රියාවලියේ යෙදුණු කිසිවකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වූ අතර ඔවුන්ව පක්ෂයේ නිලතලවල තවදුරටත් තබා ගනිමින් ඔවුන්ගේ වංචා දූෂණ යට ගැසීමේ අරමුණින් මහ බැංකු බැඳුම්කර චෝදනාව අගමැතිවරයා පිට පැටවීය. චතුරිකා දුව සහ බෑනා මෙන්ම දහම් පුතු ද සිදු කරන ක්‍රියාවන් මාධ්‍ය මර්දනය හරහා යටගසා සියලු චෝදනා එක්සත් ජාතික පක්ෂය පිට පැටවූයේ ඔවුන් කෙරෙහි ජනතා අප‍්‍රසාදයක් ඇති කරවීමටය.






06. මහින්ද සමග ඇතිකර ගත් එකඟතාවල ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්දගේ එරෙහිව කටයුතු කළ පක්ෂයේ ප‍්‍රබලයින් සියලූ දෙනා මහා මැතිවරණයෙන් පරාජය කරවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළ ද මහින්ද අමරවීර, දුමින්ද දිසානායකගේ ශක්තිමත් ඡන්ද පදනම නිසා ඔවුන්ගේ ජයග‍්‍රණය පමනක් වැළක්වීමට නොහැකි විය.






07. ඒ සියල්ල කළේ දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පැවති බල තණ්හාව නිසාය. ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවට රවටමින් තමන්ට සහ තම පවුලේ සාමාජිකයන්ට එරෙහිව විමර්ශණය වෙමින් පැවති පරීක්ෂණ සිරිසේන හරහා යට ගසා ගැනීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළ අතර අනෙක් පසින් පක්ෂය තුළ සිරිසේනගේ බලය දියාරු කිරීමට ද සැලසුම් ක්‍රියාත්මක කළේය. මෝඩ සිරිසේන මේ කිසිවක් පිළිබඳ අවබෝධයක් නොමැතිව දෙවන වරටත් ජනාධිපති වීමේ සිහිනය දකිමින් සිටියේය.






08. ජනාධිපති සිහිනය වෙනුවෙන් කිසිවකුට ලබා නොදෙන තරමේ ආරක්ෂාවක් ගෝඨාට ලබාදෙන්නේද මෛත්‍රීපාලයි. ගෝඨාට එරෙහිව විශාල මුදල් සොරකම් 02කට සහ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, අහිංසක දරුවන් එකොළොස් දෙනෙකු ඝාතනය ඇතුළු ඔහුට එරෙහිව විමර්ශනය වෙමින් පැවති මිනීමැරුම් පරීක්ෂණ සහ මූල්‍ය වංචා පිළිබඳ නඩු සියල්ල කඩාකප්පල් කරනු ලැබුවේ සිරිසේනගේ ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීමට රාජපක්ෂ පවුලේ ආශිර්වාදය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. බැසිල්ගේ හොරකම් සම්බන්ධ නඩු 09යි, නාමල්ගේ නඩු 04යි, යෝෂිතගේ නඩු 02සහ ශිරන්ති ඇතුළු රාජපක්ෂ පවුලට සම්බන්ධ සියලූ නඩුවල පරීක්ෂණ කටයුතු අවසන් කර තිබුණ ද ඒ කිසිවකට අවශ්‍ය පියවර ගැනීමට මොහු ඉඩ ලබා නොදුන්නේ ඒ හේතුවෙනි.






09. යහපාලන රජය යටතේ ඇති කළ පොලිස් විශේෂ මූල්‍ය අපරාධ ඒකකය මගින් සිදු කළ විමර්ශන සාර්ථක වන විට ඒ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණවදිමින් ඒ සියලූ පරීක්ෂණ අඩපණ කිරීමට කටයුතු කළා පමණක් නොව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කළ ඩිල්රුක්ෂි ඩයස් මහත්මියට විවිධ බධා එල්ල කරන විට ඒ කිසිවකට අවනත නොවී ස්වාධීනව පරීක්ෂණ කටයුතු සිදු කළ විට අවසානයේ ඇයට පරුෂ වදනින් බැන වැදී ධූරයෙන් ඉවත් කරන්නේ ද මෛත්‍රීපාල විසිනි.










10. මහින්දානන්දගේ, ඩිලාන්ගේ, සුසිල් ප්‍රේමජයන්ත්ගේ, අනුර යාපාගේ ඇතුළු රාජපක්ෂ රජයේ ආශිර්වාදයෙන් සිදුකළ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් සිදුවන සියළු පරීක්ෂණ නැවැත්වීය.






11. මෛත්‍රීපාල සමග නිසි පරිදි සාකච්ඡා කර පොදු කැමැත්ත මත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ආර්ථිකය සම්බන්ධ බොහෝ අත්‍යවශ්‍ය යෝජනා තම පක්ෂයේ ඇමතිවරුන් ලවා කඩාකප්පල් කරන්නේ ද ආණ්ඩුව පිළිබඳ ජනතා අප‍්‍රසාදයක් ඇති කරවීමටය. එහෙත් ඒ අප‍්‍රසාදය ආණ්ඩුවේ නායකයා ලෙස තමාට ද හිමිවන බව මොහුට නොවැටහුණි.






12. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුව ප‍්‍රබල ලෙස විවේචනය කරන්නේ ද, පසුගිය වසර තුන හමාර පුරා ප‍්‍රකාශ කළ ආණ්ඩුවේ තීන්දු තීරණ පිළිබඳ උදෑසන පුවත්පත් මගින් තමා දැනගත් බවට සිදු කරන ප‍්‍රකාශ ද සිදුකරන්නේ ඒ වෙනුවෙනි. එහිදී ඔහුගේ අපේක්ෂාව එක්සත් ජාතික පක්ෂයට ඒ සියලු වැරදි පටවා තමාට අනුකම්පාවක් දිනා ගැනීම වුවත් ජනතා අප‍්‍රසාදය ඔහු කෙරෙහි ද යොමු විය. පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය ඊට ලබා දිය හැකි කදිම නිදසුනයි.






13. චන්ද්‍රිකා ලංකාවේ නොසිටි අවස්ථාවක් බලා 2018 ජූනි 02 වන දා මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ප‍්‍රධාන ලේකම් ඇතුලු නිළධාරී මණ්ඩලය වෙනස් කර චන්ද්‍රිකා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඉවත් කරන්නේද මේ අශුද්ධ සන්ධානයට ඔවුන් විරුද්ධ වන බවට පැවති බිය නිසා ය.






15. සිරිසේනගේ කුමන්ත‍්‍රණය එතැනින් ද අවසන් වූයේ නැත. මහින්ද සහ සිරිසේන එකතු වී තමන්ට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය ගොඩනගා ගැනීම වෙනුවෙන් සියලු වැරදි රනිල් මත පටවා සජිත්, කරු වැන්නවුන් යොදාගෙන ඒ අරමුණ ඉටු කර ගැනීම අපේක්ෂාව විය. ඒ වෙනුවෙන් සියලු වැරදි රනිල් ඇතුළු ඔහු වට සිටින පිරිසට පටවා කරු සහ සජිත් තම අරමුණ වෙනුවෙන් යෙදවීම අපේක්ෂාව විය.






16. මේ සියල්ල සිදුකරමින් ඔවුන්ගේ අපේක්ෂාව වුණේ 2019 වසරේ අවසානයේ රාජ්‍ය බලය පැහැරගෙන ඊට පසු එම රාජ්‍ය බලයත් සමග මහා මැතිවරණයකට සහ ජනාධිපතිවරණයකට ගොස් බලය අල්ලා ගැනීමයි. එහිදී මෛත්‍රීට ජනාධිපති ධුරය ද මහින්දට අගමැති ධුරය ද ලබා ගැනීම අපේක්ෂාව විය.






17. එහෙත් රජය විසින් ක්‍රියාත්මක කළ ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරලිය” වැනි වැඩසටහන් ජනතාව අතර ඉතා සීඝ‍්‍රයෙන් ජනප්‍රිය වීම හරහා මොවුන්ට විශාල තැතිගැන්මක් ඇති විය. සිරිසේනගේ සියලූ බාධක හමුවේ වුව ද විශේෂ අධිකරණ පිහිටුවා රාජපක්ෂ රජයේ වංචා දූෂණ සෙවීම වේගවත් වෙමින් පැවතුණි. මේ සියල්ල සිදුවන විට තවදුරටත් බලා හිඳීමෙන් බලය ලබා ගැනීම කෙසේ වෙතත් තමන් කළ මිනීමැරුම්, වංචා දූෂණවලට දඬුවම් විඳීමට සිදුවන බව අවබෝධකර ගත් හොර නඩය සිරිසේන ලවා නීති විරෝධී සහ සදාචාර විරෝධී ලෙස බලය ලබා ගැනීමේ කුමන්ත‍්‍රණය ආරම්භ කළහ.






18. එහෙත් මේ බලලෝභීන් දෙදෙනාගේ සියලු අරමුණු අසාර්ථක කරමින් රනිල් මේ දේශපාලන කුමන්ත‍්‍රණයට එරෙහිව නැගී සිටියේය. සියලු එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම මධ්‍යස්ථ මතධාරීන් ද මේ ව්‍යවස්ථා උල්ලංඝනයට එරෙහිව පෙළ ගැසුණහ. මහින්දට සහ සිරිසේනට එරෙහිව ප‍්‍රබල ජන රැල්ලක් ඇතිවිය. චතුරිකා දුව තම කෘතියේ පවසන පරිදි මෛත්‍රී තාත්තා ඔහුගේ සීයා සමග අමනාප වී 15 දෙනෙකුගෙන් යුත් පවුලක් පෝෂණය වූ වී බිස්ස ගිනි තැබුවේ යම් සේ ද තම පෞද්ගලික ලාභ ආශාවක් වෙනුවෙන් අද රටටම ගිනි තබා තමා ද ගින්නෙන් දැවෙමින් සිටී.










හෙට එතරම් කළුවර නැත






ඔවුන් ජනතාවගෙන් තම වංචා දූෂණ සඟවා ගැනීමට උත්සාහ කළ ද අද වන විට ඒ සියල්ල හෙළි වී හමාරය. මහින්දගේ හොරකම් පමණක් නොව මෛත්‍රීපාලගේ වංචා දූෂණ හෙළි වෙමින් පවතී. ඊට හොඳම නිදසුන ඔහුගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා කෝටි පහක අල්ලසක් ලබා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ අත්අඩංගුවට පත්වීම දැක්විය හැකිය. එහිදී ජනාධිපති බෑනා සහ පුතා ද සිටි බවට ද ප‍්‍රසිද්ධ විය.






එහෙයින් හෙට එච්චර කළුවර නැත. නීතිය , සාධාරණත්වය රජයමින් සිටී. එහෙයින් මේ මහජනතාව වඩාත් අවදියෙන් සිටිය යුතු කාලයයි. එවිට මේ ජුන්ටාව පරදවා නීතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේ දෙරණ මත ප‍්‍රතිෂ්ඨාපණය කිරීමට හැකිවනු ඇත. මෛත්‍රීපාලගේ නූගත්කම, හීනමානය, බලලෝභීත්වය සහ අදූරදර්ශීභාවය නිසා පක්ෂයත්, රටත් විනාශ මුඛයට ඇද දමා තිබේ. වසර 2500ක් පුරා ඈතට දිවෙන උතුම් ඉතිහාසයකට හිමිකම් කියන අප මාතෘ භූමියේ පහළ වූ රටට වැඩිපුරම ද්‍රෝහීකම් කළ නායකයින් දෙදෙනා බවට සිරිසේන සහ මහින්ද පත්ව සිටී.