දේශපාලන මංඥං!

| සුනන්ද දේශප්‍රිය

රවුප් හකීම් ආන්ඩුවේ අධිකරණ ඇමැති ය. රාජපක්ෂ පාලනය අද වර්ධනය වී තිබෙන භයංකාර තත්වයේ හරය සහ ස්වරූපය යන දෙකම ලබා දීම පිණිස දිවා රූ නොබලා දර දිය ඇදි උත්තමයෙකි. අලුත්ගම මුස්ලිම් විරෝධි ප්‍රහාරයෙන් පසු ඔහුගේ ඇස් ඇරැනු බවක් පෙනුනි.

ප්‍රහාරයෙන් සතියකට පසු එනම් ජූනි 22 දා ඔහු පුවත්පතකට කියා තිබුනේ ආන්ඩුවේ රහස් ඔත්තු සේවා අද යුද්ධ කාලයේදීට වඩා පස් ගුණයකින් විශාල බවය. ඔහු ඒ බව කීවේ වෙන කාරනයකට නොව අලුත්ගම, බේරුවල සහ දර්ගා ටවුන් හි බහුතරය වන මුස්ලිම් ජනයාට බොදු බල සේනාව විසින් උසිගන්වන ලද ජාතිආල පිරිස් විසින් මුදා හළ ප්‍රචන්ඩත්වය ගැන කතා කිරීමට ය. අමාත්‍ය රවුප් හකීම් ඇසූ ප්‍රශ්ණය වූයේ මෙච්චර රහස් ඔත්තු සේවයක් තිබියදීත් එම ප්‍රහාරය කල් ඇතිව දැන ගන්නට නොලැබුනේ නැත්දැයි යනු ය. එසේ නැතිව යුද්ධ කාලයේ දීට වඩා පස් ගුණයක් විශාල ඔත්තු සේවාවක් පවත්වා ගෙන යන්නේ ඇයි දැයි ඇසීමට නොවේ.

ඇත්තෙම්ම යුද්ධ සමයේ දීට වඩා පස් ගුණයක් විශාල රහස් ඔත්තු සේවාවක් අද ශ්‍රී ලංකාවේ තිබෙනවා නම් ඒ අහවල් එකකටදැයි ඇසූ දේශපාලනඥයෙක් ගැනද දැන ගන්නට නැත.

එම පුවත් පත් සාකච්ජාවේ දී ම අධිකරණ ඇමැති තවත් බය හිතෙන කතාවක් කීවේ ය. එනම් ආන්ඩුවේ දේශපාලන උවමනාවන්ට අනුව අලුත්ගම දී වෙඩි තබා මරා දමන ලද මුස්ලිම්වරුන් මිය ගියේ පිහි ඇනුම් වලින් යැයි ව්‍යාජ පශ්චාත් මරණ පරීක්ෂන වාර්තාවක් දී ඇති බව යි.

කොතැනක වෙඩි තබා මරා දැමුවත් මිනිස්සු මිනිස්සුම ය. වන්නි‍යේ කැලෑවකදී පසුගිය අප්‍රේල් 10 දින වෙඩි තබා මරා දමන ලද එල්ටිටීඊ සැකකරුවන්ගේ යැයි කියන ලද මළ සිරරු පිළිබද පිළිබඳ මරණ පරීක්ෂන පවත්වන ලද්දේ සහමුලින්ම නීතියට පටහැනිව ය. ඔවුන්ගේ මළ සිරුරු ඥාතීන්ට බාර දුන්නේ ද නැත. එවිට අධිකරණ ඇමැතිවරයා කටක් හැර වචනයක් කීවේ නැත.

ඇත්ත වශයෙන් ම නම් ව්‍යාජ මරණ පරීක්ෂන සෙල්ලම වැඩි පුරම ක්‍රියාත්මක වී ඇත්තේ පොලීසිය විසින් වෙඩි තබා මරා දමන ලද විවිධාකාර සැකකරුවන්ගේ මරණ සම්බන්ධයෙනි. අලුත්ගම දී වෙඩි තබා මරා දමන ලද මුස්ලිම් වැසියන්ට සාධාරණය ඉටු නොවීම එම අනීතික භාවිතයේ ම කොටසකි.

ව්‍යාජ මරණ පරීක්ෂන වාර්තා සහ ප්‍රචන්ඩ ක්‍රියාවන්හි සාක්ෂි විනාශ කිරීම ගැන පිළිබඳව පාර්ලිමේන්තුවෙහි දී හාරා අවුස්සා ඇසූ විට අමාත්‍ය රවුප් හකීම් උත්තර දෙන්නට බයෙන් වාගේ අරවා මේවා කීවේ ය. ඇමැතිවරයකු බය ගන්වා හීලෑ කර ගැනීම රාජපක්ෂ මැර තන්ත්‍රයේ පුංචි දැති රෝදයක් පමණ ය.

අලුත්ගම දී මුදා හරින ලද මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් අවශ්‍ය යැයි රවුප් හකීම් කී බව වාර්තා කළේ ඒඑෆ්පී නම් අන්තර් ජාතික මාධ්‍ය සේවාව ය. 'අපට ලංකාවේ පොලීසිය ගැන විශ්වාශයක් නැතැ'යි ද ඔහු කියා තිබුණි.

එසේ නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ යුද්ධ කාලීන මානව හිමිකම් පිලිබඳ පරීක්ෂනයක් දියත් කිරීමට විරුද්ධව රවුප් හකීම්ගේ මුස්ලිම් කොන්ග්‍රස ය මුස්ලිම්වරු පාරට කැදෙව්වේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන බවට ඇමැති රවුප් හකීම් එම ප්‍රකාශය කළ ජූනි 18දා ම ජනාධිපති රාජපක්ෂ අලුත්ගම ප්‍රචන්ඩ ක්‍රියා ගැන සාධාරණ පරීක්ෂනයක් පවත්වන බවට පොරොන්දු වී යැයි ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කළේ ය.

ඒ පරීක්ෂණය කඩදාසි කැබැල්ලක් බවටවත් පත් වූ‍යේ නැත. වර්ගවාදී කෝළාහළය ගැන නිසි පරීක්ෂණයක් පැවැත්වෙනු වෙනුවට සිදුව ඇත්තේ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත් අඩංඟුවට ගත් බොදු බල සේනා හිතවාදීන් නිදහස් කිරීමට විරුද්ධ වූ නියෝජ්‍ය පොලිස්පති වී. ඉන්ද්‍රන්ගෙන් එළව එළවා පළිගැනීම ය. තමාට මරණ තර්ජන පවා එල්ල වන බව නි.පොලිස්පති ඉන්ද්‍රන් කියනවිට ආන්ඩුවේ ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියන්නේ මරණ තර්ජන ඇත්නම් ඒවායින් ගැලවෙන අන්දම ඉන්ද්‍රන් දන්නා බව ය.

අන්තිමේ දී මාක්ස් සහ එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශණයේ දී කී ලෙස 'මිනිසාට තමා ගැනම තේරුම් ගැනීමට අවස්ථාව' පැමිණ තිබුණි. රවුප් හකීම් නායකත්වය දෙන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය අගොස්තු 22දා ප්‍රකාශයක් කරමින් කීවේ 18 වන සංසෝධනයට ජන්දය දීම තම පක්ෂය කළ වරදක් බවයි. ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් කළ එම සංසෝධනය ජනාධිපති රාජපක්ෂ ව්‍යවස්ථානුකූල ඒකාධිපතියකු බවට පත් කළ බව අපි දනිමු.

නමුත් එය එසේ වන බව සිය ප්‍රජාව අලුත්ගමදී වර්ගවාදී ප්‍රහාරයකට මුහුණ දෙන තුරු මුස්ලිම් කොන්ග්‍රසය දැන සිට නැත.!

දැන් අනෙක් පැත්ත ය. එනම් බෞද්ධ භික්ෂුන්ගේ පක්ෂයක් ලෙස කළ එළි බැස අවසානයේ දී දැන් අමාත්‍ය චම්පික රණවක මහතාගේ පක්ෂය බවට ප්‍රසිද්ධියේම පත්ව ඇති ජාතික හෙළ උරුමය යි.

විධායක ජනාධිපති ධුරයේ බලතල තීරණාත්මක තුලන සහ සංවරණයන්ට යටත් කළ 17 වන සංසෝධනයට විරුද්ධ පළමු වෙඩි මුරය තිබ්බේ ඔවුන් ය. 17වන සංසෝධනයේ යාන්ත්‍රණය වූ ව්‍යවස්ථා සභාව කොට උඩ යවන ලද්දේ ජාතික හෙළ උරුමය විසිනි. සුළුතර පක්ෂ විසින් නම් කරන ලද නියෝජිතයා වූ ආචාර්‍ය ජයදේව උයන්ගොඩ 71 කැරුල්ල සම්බන්ධයෙන් සිර ගතව සිටීම නිසා ව්‍යවස්ථා සභාවට අයෝග්‍ය බවට හෙළ උරැමය පෙත්සමක් ඉදිරිපත් කළේ ය. ව්‍යවස්ථා සභාව පත් නොකර සිටීමට ජනාධිපති රාජපක්ෂයට අවශ්‍ය වූ තුරුම්පුව එය බවට පත් විය. 17 වන සංසෝධනය අහෝසි කිරීම දක්වා එම අර්බූදය ගමන් කළේ ය. ස්වාධින කොමිසන් සභා නැති භංගස්ථාන විය.

පසුගිය 03 දා ඉංග්‍රිසි පුවත්පතක් හා කතා බහකට එක් වූ හෙළ උරුමයේ නායක චම්පික රණවක කියා තිබුණේ ශ්‍රී ලංකාව යහ මඟට ගැනීමට නම් අත්‍යන්තයෙන්ම ස්වාධීන වූ කොමිසන් සභා තුනක් අවශ්‍ය බවයි. ඒවා නම් මැතිවරණ කොමිසම, අධිකරණ සේවා කොමිසම සහ දූෂන සහ චංචා පිළිබඳ කොමිසම යි.

පුදුමයි, ඒත් ඇත්ත ය.

අමාත්‍ය රණවක කියන්නේ ශ්‍රී ලංකාවට ද ඉන්දියාවෙහි මෙන් ස්වාධීන සහ ප්‍රබල මැතිවරණ කොමිසමක් අවශ්‍ය බව ය. එපමණක් නොවේ. අධිකරණ පත්විම් නිසි පරිදි කරනු පිණිස ස්වාධින අධිකරණ කොමිසමක් අවශ්‍ය බවත් අගවිනිසුරු පත් කළ යුත්තේ සම්පූර්ණයෙන්ම සුදුසුකම් මත පමණක් බව ද ඔහු කියයි. ( ඇඟිල්ල දික් වන්නේ කොතැනටදැයි තේරුම් ගැනීම දුෂ්කර නැත.) දූෂන සහ වංචා පිළිබඳ වත්මන් කොමිසම ඛේදයක් යැයි පවසන ඔහු කියන්නේ රටෙහි පාලනය සම්බන්ධයෙන් මහජන විශ්වාශය ඇතිකිරීමට නම් ආයතන ස්වාධීන කිරීමේ මෙම පියවර වහාම ගත යුතු බව ය‍.

17 වන සංසෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමට පෙරමුණ ගත් ජාතික හෙළ උරැමය දැන් මෝහන නින්දෙන් ඇහැරී ඇතුවා වත් ද?

මේ හදිසි අවදිවීම් හි හේතුව දන්නා කෙනෙක් ඇත් ද?