නරේන්ද්‍ර මෝදි යුගය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය


| සුනන්ද දේශප්‍රිය

ඉන්දියාව නව දේශපාලන යුගයකට ගමන් කරයි. එහි නියමුවා වර්ණවත් මෙන්ම විවාද සම්පන්න දේශපාලන ජීවිතයක් සහිත  නරේන්ද්‍ර මෝඩිය.  මෝඩි අගමැති ධුරය කරා ඔසවා තබන ලද්දේ ප්‍රධාන වශයෙන් රුළි දෙකක් විසිනි. එකක් ආර්ථික ප්‍රගමනයේ  සහ සමාජ සාධාරණත්වයේ පොරොන්දුවයි. අනෙක ශක්තිමත් ඉන්දියාවක් යන තේමාව යටතේ හින්දු ආගමික ආත්මය පණ ගැන්වීම යි.  තනි පක්ෂයක් යටතේ ස්ථාවර ආන්ඩුවක් පිහිටුවීමට සමත්වීම සහ නරේන්ද්‍ර මෝඩිගේ ශක්තිමත් නායකත්වය යටතේ ඉන්දියාව වඩා බලගතු රාජ්‍යක් බවට පත්වීමට බොහෝ දුරට ම ඉඩ තිබේ.

ලංකාවේ මහින්ද - ඉන්දියාවේ ‍මෝඩි යනු එකම වර්ගයේ දේශපාලනඥයන් බව කීවේ වෙනින් කව්රුවත් නොව බැසිල් රාජපක්ෂ ය.  රාජ්‍ය මාධ්‍ය නොකියා කියා සිටියේ ද මෝඩිගේ ඉන්දියාව රාජපක්ෂගේ ශ්‍රී ලංකාවට ආලවන්ත වනු ඇති බවයි.  බොදු බල සේනාව ද මෝඩි‍ බලයට පත්වීම ශ්‍රී ලංකාවට සුභදායක බව කියා තිබුණි. තවත් ආන්ඩුවේ ප්‍රකාශකයකු කියා සිටියේ තමිල්නාඩුව සමඟ හවුලක් නැති ‍බැවින් මෝඩි ආන්ඩුව සමඟ කටයුතු කිරීම ලෙහෙසි වනු ඇති බවයි.

ඒ කෙසේ වෙතත්  බලයට ඒම පිනිස බී.ජේ.පී.ය සහ මෝඩි විසින් ගොඩ නැගූ පුළුල් දේශපාලන සන්ධනයෙහි තමිල්නාඩු සහකරුවන් වූ‍යේ වත්මන් ශ්‍රි ලංකාන්ඩුවට සහමුලින්ම විරුද්ධ දේශපාලන පක්ෂ තුනකි. එනම් එස්. රාමදොස්  ගේ නායකත්වයෙන් යුතු පාටලී මක්කල් කච්චි පක්ෂය, වී. ගොපාල්සාමි නොහොත් වයිකෝගේ නායකත්වයෙන් යුතු එම්.ඩී.එම්.කේ. පක්ෂය සහ විජයකාන්තගේ නායකත්වයෙන් යුතු ඩී.එම්.ඩී.කේ. පක්ෂය  ය. මෙම පක්ෂ තුන ම තදින් ම එල්ටීටීඊයට සහාය දක්වන ලද අතර වර්ථමානයෙහි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් මහත් උනන්දුවක් දක්වති.  (ආසනයක් දිනා ගෙන ලෝක් සභාවට තේරි පත් වුයේ රාමදොස් පමණි.) එමෙන්ම මෙම පක්ෂ තුනම යුද සමයහි  ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව  යුද අපරාධ සිදු කරන ලදැයි ලංකාන්ඩුවට එරෙහිව උද්ඝෝෂනය කරති.  එපමණක් නොව  මැතිවරණ ජය ලද වහාම මෝඩි කියා සිටියේ තමිල් නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් සමග තමා ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරන බවයි.

දැන් මෝඩි ආන්ඩුවේ විදේශ ඇමැතිවරිය ශ්‍රී ලංකාවට හුරු පුරුදු සුශ්මා ස්වරාජ් ය. ඇය 2012 අප්‍රේල් මාසයෙහි (16-22) ශ්‍රී ලංකාවට පැමිණි නිරීක්ෂන චාරිකාවක යෙදුණූ ඉන්දීය පාර්ලිමේන්තු කන්ඩායමේ ප්‍රධානත්වය දැරීය.  එවකට ඇය ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව වූවා ය. අද මොනවා කීවත් එම නිරීක්ෂන චාරිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාන්ඩුවේ මතය වූයේ  ඇය දේශපාලන බොරුකාරියක බවයි.

එම දූත මෙහෙවර අතරතුර, රුපියල් මිලියන 2000කට  වඩා වැය කර ඉන්දියාව විසින් වැඩි දියුණු කරන ලද වෙරළ බඩ දුම්රිය මාර්ගය ශ්‍රී ලංකා ආන්ඩුවට බාර දෙන ලද්දේ ඇය විසිනි. ඒ වන විටත් පල නොකියා පලා බෙදීමකට මුහුණ දී සිටි ඇය අතින් එම දුම්ර්ය මාර්ගය බාර ගැනීමට ගියේ ප්‍රවාහණ ඇමැතිවරයා පමණ ය. ඊට හේතුව වී තිබුණේ මෙරට ජනවාර්ගික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් අවශ්‍ය යන මතය ඇය විසින් ද දැරීම යි.  එම විවෘත කිරීමේ රුස්වීමෙහි දී ද ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ප්‍රශ්ණය විසදීම සඳහා සැබෑ දේශපාලන විසඳුමක් අත්‍යවශ්‍යයැයි  ඇය අවධාරණය කළා ය.  එමෙන්ම ඇය කියා සිටියේ ඉන්දියාවේ ආන්ඩු පක්ෂයත් විපක්ෂයක් දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් එකම අදහසක සිටින බවයි.

ශ්‍රී ලංකාවේ සිය සංචාරය අවසන් කිරීමෙන් පසු පුවත්පත් අමතමින් ඇය කියා සිටියේ ජනාධිපති රාජපක්ෂ සමඟ 13වන සංසෝධනය අනුව පළාත්වලට බලය බෙදීම සම්බන්ධයෙන්  සම්බන්ධයෙන් තමා සාකච්ජා කළ බව ය.

අප්‍රේල් 23 දින වහාම ඊට පිළිතුරු දුන් රාජපක්ෂ ආන්ඩුව කියා සිටියේ 13 වන ව්‍යවස්ථා සංසෝධනය සම්බන්ධයෙන් කිසිදු සාකච්ජාවක් සුෂ්මා ස්වරාජ් සමඟ ජනාධිපතිවරයා නොකළ බවයි. ( අප්‍රේල් 24 දි අයිලන්ඩ් පුවත්පත) එම පුවත්පත මෙසේ වාර්තා කළේ ය:  '' 13 වන සංසෝධනය ක්‍රියාත්මක කරන බවටත් ඉන් එපිටට යෑමට තමා සූදනම් බවටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහතික වුයේ යැයි ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් විසින් කරන ලදැයි කියන ප්‍රකාශය ශ්‍රී ලංකා ආන්ඩුව ඊයේ තදින් ම ප්‍රතික්ෂේප කළේ ය". තව ද එම පුවත්පත කියා සිටියේ 13 වන ව්‍යවස්ථා සංසෝධනය ඉන්දියාව විසින් ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මත බලයෙන් පටවන ලද්දැකැයි ජනාධිපති රාජපක්ෂ කියා සිටි බව යි.

2012 ජනවාරි මාසයේ දී  ශ්‍රී ලංකාවට පැමිනි ඉන්දීය විදේශ ඇමැතිවරයා වූ එස්.එම්. ක්‍රිෂ්නාට ද මුහුණ දීමට සිදු වූයේ එවැනි ම තත්ත්වයකට ය. තමා ජනාධිපති රාජපක්ෂ සමඟ 13 වන සංසෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කළ බවට ඔහු කළ ප්‍රකාශය බොරුවකැයි ජනාධිපති රාජපක්ෂ කී බව දි අයිලන්ඩ් පුවත්පත  කියා සිටියේ ය‍.

දැන් ඉන්දීය විදේශ ඇමැතිවරිය වන සුෂ්මා ස්වරාජ් එදා ශ්‍රී ලංකාන්ඩුවේ ප්‍රතික්ෂේප කිරිමට පිළිතුරු දුන්නේ මෙසේ ය: " 13 වන සංසෝධනයෙන් එපිටට යෑම ගැන කිව්වේ ජනාධිපති රාජපක්ෂම යි.  13 වන සංසෝධනය පිළිබඳ කාරණය අපත් හැම හමුවක දී ම අවධාරණය කලා. අප ඔවුන්ට මතක් කර දුන්නා ජනාධිපති රාජපක්ෂ ඉන්දීය අගමැතිවරයාටත් (එවකට මන් මෝහන් සිං), ගරු විදේශ ඇමැතිවරයාටත්, එමෙන්ම විපක්ෂ නායිකාව වන මටත් ඒ සම්බන්ධයෙන් දෙන ලද පොරොන්දු. " ( ද හින්දු, 2012 අප්‍රේල් 24 )

කෙටියෙන් කියන්නේ නම් සුෂ්මා ස්වරාජ් කියා සිටියේ ජනාධිපති රාජපක්ෂ බොරු පොරොන්දුකාරයකු බව තමා ඔහුට මතක්කර දුන් බවය. 

දැන් නරේන්ද්‍ර මෝඩිගේ අගමැති උත්සවයට ගිය ජනාධිපති රාජපක්ෂට අසන්නට ලැබී ඇත්තේ ද එදා සුෂ්මා ස්වරාජ් කී කතාවම ය. අගමැති මෝඩි සහ ජනාධිපති රාජපක්ෂ අතර වූ සාකච්ජාව පිළිබඳව ඉන්දියාවේ  හින්දු පුවත්පත (මැයි 27) කියා සිටියේ " ශ්‍රී ලංකාවේ දෙමළ බහුතරයක් ජීවත්වන පළාත්වලට පුළුල් බලතල ලබා දෙන බවට ඔහු විසින් දෙන ලද පොරොන්දු ඉටු කරන ලෙස අගමැති මෝඩි ජනාධිපති රාජපක්ෂට කියා සිටි බවයි". 

එසේ දෙන ලද පොරොන්දු ඉටු කිරීම පිණිස හැකි ඉක්මනින් 13 වන ව්‍යවස්ථා සංසෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නගන ලෙසත් ඉන් එපිටට ගමන් කරන ලෙසත් අගමැති මෝඩි ජනාධිපති රාජපක්ෂට කියා සිටි බව ඉන්දීය ආන්ඩුව (විදේශ ලේකම් සුජාතා සිං) නිල වශයෙන් ම ප්‍රකාශ කළා ය. 

මෙම ප්‍රකාශය මගින් කැරෙන වැදගත් ඇඟවීම නම් වත්මනෙහි උතුරු සහ නැගෙනහිර පළාත් සභාවන්ට ලබා දී ඇතැයි කියන බලතල ප්‍රමාණවත් යැයි අගමැති මෝඩි  නො පිළිගන්නා බවයි. 

මේ වනාහී 13 වන සංසෝධනය ක්‍රියාත්මක කිරීම නොව තමාගේ පිළිවෙත වන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින්  විසඳුමක් සෙවීම බවට ජනාධිපති රාජපක්ෂ විසින් මෑත දී යළි යළි කරන ලද ප්‍රකාශයට පයින් ගැසීමකි. අගමැති  මෝඩි  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන ඇසුවේ නැත. ඔහු කෙලින් ම කීවේ අනම් නැතිව 13 වන සංසෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස යි.

මෙම ස්ථාවරය නව ඉන්දීය ආන්ඩුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රථම ප්‍රතිපත්ති ප්‍රකාශය යි. ඒ බව ප්‍රසිද්ධියේ ම කීමට මෝඩිගේ ආන්ඩුවට සිදු වන්නේ තමිල් නාඩු ප්‍රාන්තයේ දේශපාලන හඬට ඇහුම්කන් දෙන බව ආම්භයේදී ම පෙන්වීමට ය. තමිල් නාඩුවෙහි ආසන 39යෙන් 37ක් දිනූ ජයලලිතා මඟහැර දිල්ලියේ මහ ආන්ඩුව සමඟ ගනු දෙනු කිරීමට ඉඩ ලැබීම සැපක් යැයි කී ශ්‍රී ලංකාන්ඩුවේ කේවට්ටයින්ගේ  මුඛ දැන් පූට්ටු වී ඇතිවාට සැක නැත.

දැන් එළඹෙමින් ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව දෙකින් එකක් තෝරා ගත යුතු අවස්ථාවට යි. එක්කෝ එය වත්මන් තත්වයෙන් එපිටට ගිය දේශපාලන විසඳුමක් ලබා නොදෙන බව ප්‍රසිද්ධියේ කිව යුතු ය. ඒ වනාහී සියළු රාජපක්ෂවරුන්ගේ සිට ආන්ඩුවේ ජාතිවාදී පංගුකාර පක්ෂ අතර අද ඇති පොදු එකඟතාවය යි.  එසේ නැත්තම් ජාතිවාදී පංගුකාරයින්ගෙන්ද මහජාතිවාදයෙන් ද  යුද උන්මාදයෙන් ද ගැලවී සැබෑ දේශපාලන විසඳුමක් මගින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් සෙවීමට උත්සාහ දැරිය යුතු ය‍. 

සමහර විට මෝඩි යුගයෙහි රාජපක්ෂවරුන් විසින් මුහුණ දීමට නියමිත අභියෝගයන්ගෙන් වඩාම තීරණාත්මක වනු ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්ණය වීමට බොහෝ දුරට ම ඉඩ තිබේ. මන්ද යත් මේ වනාහී හුදෙක් නරේන්ද්‍ර මෝඩි යුගය පමණක් නොව ජයලලිතා ජයරාම්ගේ    යුගය වන නිසා ය.  එයට සම්පන්දන්ගේ සහ විග්නේශ්වරන්ගේ දායකත්වය ද එක් වන බව අප කැමැති වුවත් නැතත් පිළිගත යුතු ය.

01.06.14

පසු සටහන

ජනාධිපති රාජපක්ෂ සහ අගමැති මෝඩි අතර වූ නිල සාකච්චාව පිළිබඳ 27 වන දින නිකුත් කරන ලද  ශ්‍රී ලංකාන්ඩුවේ නිල ප්‍රකාශය 13 වන සංසෝධනය සම්බන්ධයෙන් අගමැති මෝඩි විසින් කරන ලද නිර්දේශය සහමුලින්ම අතහැර තිබේ. එමෙන්ම රාජ්‍ය සහ රාජ්‍ය පාලිත පුද්ගලික ජනමාධ්‍ය ද මෙම සඳහන වාර්තා කළේ නැත. අනතුරුව ප්‍රසිද්ධ රුස්වීමක දී අමාත්‍ය නිමල් සිරිපාල කියා සිටියේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසිය යුතු බවත් 13 වන සංසෝධනය සහමුලින්ම ක්‍රියාත්මක කළ නොහැකි බවත් ජනාධිපති රාජපක්ෂගේ අදහස බවය.
මෙමගින් පෙනී යන්නේ දැනටම යළි බොරු පොරොන්දු දීමේ චක්‍රයට අගමැති මෝඩි ද හසු කර ගැනීමට රාජපක්ෂවරුන් උත්සාහ දරන  බව ද?