සාමාන්‍යපෙළ කියන්නේ සමස්ථ ලංකා තරඟයක් නෙවේ


කොළඹ ජාතික රොහලේ විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය

mahesh-rajasooriyaපසුගිය දෙසැම්බර් මස පැවැති අ‍පොස (සා.පෙ.) විභාග ප්‍රතිඵල ඉකුත් තුන් වනදා නිකුත් විය.ඒ ප්‍රතිඵල සම්බන්ධයෙන් හටගත් උණුසුම තවමත් මැකී ගොස් නැත. මෙහිදී එක් එක් දරුවන්ගේ ප්‍රතිඵල ගැන ජන අවධානය ඉහළම මට්ටමකට පත්ව ඇති  අතර විෂයන් නවයටම ‘ඒ ’ සාමාර්ථ හිමිකරගත් ‘ඒ නවයේ’ දරුවන් පිළිබඳව සමාජයේ විශේෂ අවධානයක් යොමු වී තිබේ. නොඑසේ නම් ඒ නවය යනු අ‍පොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතරින් විශිෂ්ටත්වයේසංකේතයක් යන ආකල්පය සමාජ ගත වී තිබේ. ඒ අතර මෙම ප්‍රතිඵල නිකුත්වීමත් සමගම සැම දෙනාගේම සුවිශේෂ අවධානය ලංකාවෙන්ම ඉහළම ලකුණු ලබාගත් දරු දැරියන් වෙත යොමුවනු දැකිය හැකි විය. ඉහළම ලකුණු ලබාගත් දරු දැරියන් නව දෙනා ප්‍රතිඵල නිකුත් වූ දිනයේම ජනාධිපති මන්දිරයට කැඳවා ජනාධිපති තුමා විසින් ද තම සුබ පැතුම් පිරිනමන ආකාරය මාධ්‍යයන් මගින් විසුරුවා හරින ලදී. මෙය සාමාන්‍ය පෙළ වැනි විභාගයක් සඳහා මෙරට දී ලැබුණු සුවිශේෂතම අගැයුමක් ලෙස ද නම් කළ හැක. ඒ සමගම එක්තරා මූල්‍ය ආයතනයක් ද එම දරුවන් ඇගයුමට ලක් කරමින් මුදල් ආධාර හා ත්‍යාගයන් පිරිනමන ආකාරයක් ද දක්නට ලැබිණ. මෙවන් සුවිශේෂ වරප්‍රාසද මෑතක පටන් පහේ ශිෂ්‍යත්වයෙන්, අ‍පොස සාමාන්‍ය පෙළෙන් හා උසස් පෙළෙන් අති විශිෂ්ටයන් වූ දරුවන්ට හිමි වන බව රහසක් නොවේ.

මෙහිදී විශේෂයෙන් අද අප කතා කරන අ‍පොස සා.පෙ විභාගයෙන් ඒ9 ක් ගැනීම ඉදිරි උසස් අධ්‍යාපනය නිසැකවම සර්ථක වන, ජීවිතයම ජයගන්නා ගමන් මගේ ආරම්භය සනිටුහන් කිරීමක් ලෙස සිතන්නෝ බොහෝය. එහෙත් මනෝ විද්‍යාත්මකව මේ සම්බන්ධයෙන් කීමට ඇත්තේ මෙම ආකල්පය හුදෙක් මිනිස් මනැස් තුළ ඇතිවන සංකේතයක් (symbol) බවය
.
වෛද්‍යවරයකු, ඉංජිනේරුවෙකු වෙන්න ඒ9ක් ඕනම ද ?

සමාජයේ ඉහළම වෘත්තීය වරප්‍රසාද වශයෙන් අපේ රටේ අදටත් පිළිගත් වෘත්තීන් ලෙස සැලකෙන වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ වැනි වෘත්තීන්ට පිවිසීමට අවශ්‍ය උසස් අධ්‍යාපනය ලැබිමට සාමාන්‍ය පෙළට ඒ9ක් අත්‍යවශ්‍යම බවට විශ්වාසයක් තිබේ. එහෙත්, එය වැරදි වැටහීමකි. මෙය මිථ්‍යා තර්කයක් (fallacy) ලෙස ද සැලකිය හැක. එවැනි වෘත්තීන්ට පිවිසි බහුතරය ඒ9ක් ලබාගත් අය විය හැකිය. නමුදු වෛද්‍ය, ඉංජිනේරු වෘත්තීන් සඳහා උසස් අධ්‍යාපනය හැදෑරීමට ඒ9ක් තිබිය යුතුමය යන්න මිථ්‍යා තර්කයකි.   මක්නිසාද සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ9ක සාමාර්ථයක් නොගත් බොහෝ දෙනකු ද අද සියලු වෘත්තීය ක්‍ෂේත්‍රයන් හි ප්‍රමුඛයන් වී හිඳින බැවිනි. සාමාන්‍ය පෙළ විභාගයේ ඒ9ක් යනු හුදු සංකේතයක් බව තහවුරු කෙරෙන තවත් සාධක බොහොමයකි. ඒ9ක සාමාර්ථයක්මක ලැබිමට අවම ලකුණු 74ක් තිබිය යුතු යැයි සිතමු. ඒ අනුව ඒ9ක්ම ගත්තද එක් දරුවෙකු එම විභාගයෙන් ගත් සමස්ත ලකුණු 666ක් පමණක් විය හැකිය. (74*9 ⋆ 666) ඒ අතර තවත් දරුවකු ලබාගන්නේ ‘ඒ සාමාර්ථ 1ක් සහ බී සාමාර්ථයක් සඳහා උපරිමය වන ලකුණු 73 බැගින් විෂයන් අටකටද, ඒ සාමාර්ථය සඳහා 98ක් වැනි ඉහළම අගයක් ලබා ගනිමින් විය හැකිය. (73*8+98⋆672) මෙහිදී මුළු ලකුණු ප්‍රමාණය පිළිබඳව සිතන්නට අපට ඉඩ නොදේ. ඒ ඒ9  යන සංකේතය නිසාය. ඒ9ක් ගත්ත ද මුළු ලකුණු ප්‍රමාණය 666ක් පමණක් වූ දරුවා පැසසුම් ලබයි. එහෙත් මුළු ලකුණු 672ක් හිමිකර ගත්ත ද ලැබුණු සාමාර්ථය ඒක් සහ බී 8ක් වූ නිසා තවත් දරුවකුට ඒ පැසසුම හිමි නොවේ. මෙම විභාගයේ ජයග්‍රහණය මනින්නේ ලකුණු මට්ටමිනි. එහෙත් ඒ සාමාර්ථය නම් ‘සංකේතය’ අනවශ්‍ය ලෙස ඉස්මතු වීම නිසා විභාගයෙන් දරුවා ලද සැබෑ ජය යටපත් වන අයුරු බලන්න.

ඒ9 සහ ෂාරුක් ඛාන්

අ‍පොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ9 හුදෙක් ‘සංකේතයක්’ පමණක් බව තහවුරු කිරීමට මම ජනප්‍රිය සංකේතයක් ඔබ වෙත ඉදිරිපත් කරමි.

ෂාරුක්  ඛාන් යනු ඉන්දියාවේ පමණක් නොව ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල ජනප්‍රිය නළුවෙකි. 
ඔහුට ඇති ඉල්ලුම ද අදටත් ඉතා ඉහළය. ඒ නිසාම තත්පර කිහිපයක වෙළඳ දැන්වීමකට ඔහුගේ රුව යොදා ගැනීම පිණිස රුපියල් කෝටි ගණනක් ගෙවීමට පවා වෙළෙඳ සමාගම් පසුබට නොවේ.

ෂාරුක් ඛාන් යන ප්‍රතිරූපය ඉස්මතු වන්නේ ඔහුගේ රූපය ද මුල්කර ගනිමිනි. ඊට එතරම් ඉහළ අගයක් පැවතුණ ද ඔහුගේ මුහුණේ කොටස් වන ඇස්, කන්, නාසය, මුව ආදී ඉන්ද්‍රියයන් වෙන් වෙන්ව ගත් කල ඒවාට ඇති අගය සාමාන්‍ය මිනිසෙකුගේ එම ඉන්ද්‍රියයන්ට ඇති අගයට වඩා වැඩි වෙනසක් නැත.  ඒ9ක් යන පුහු සංකේතය තුළ පවතින වටිනාකම ද එබඳුම බව දැන් ඔබට වැටහෙනු ඇත.

ඒ9 මිම්ම තුළ ඇල්බට් අයින්ස්ටයින් වැනි ප්‍රාඥයන්ට හිමිවන තැන කුමක්ද ?

ලෝකයේ ගමන් මඟ වෙනස් කිරීමට සමත් මහා ප්‍රාඥයන් සේ සැලකෙන ඇල්බර්ට් අයිස්ටයින් වැනි සුවිශේෂ පුද්ගලයන්ට ද මෙවන් ආකාරයක විභාගයකට පෙනී සිටීමෙන් ඒ9ක් ලද නොහැකි බව ඔවුන්ගේ ප්‍රඥාවේ ස්වභාවය අනුව පැහැදිලිය. ඊට හේතුව ලෝකය වෙනස් කළ එවන් අසම සම බුද්ධිමතුන්ගේ මොළයේ එක් කොටසක පමණක් අධි ක්‍රියාකාරීත්වයක් තිබූ බව මනාව පැහැදිලි වන බැවිනි. ඒ අනුව යම් යම් විශේෂිත අංශ කෙරෙහි මොළයේ සුවිශේෂ දක්ෂතා ගැබ්ව ඇති දරුවන් ද අප සමාජයේ හිඳින බව අප හොඳින් වටහා ගත යුතුය. එබඳු දරුවකු විෂයන් දෙකක් සඳහා ලකුණු අනූනවයක් ගෙන තවත් විෂය දෙක තුනක් සඳහා ලකුණු දහයක් පහළොවක් ගැනීමට වුව බැරි නැත. එමෙන්ම මොළයේ වර්ධනය දරුවා ගෙන් දරුවාට වෙනස් ලෙස බලපාන බව ද නොරහසකි. සාමාන්‍ය පෙළේදී අති දක්ෂයන් නොවූවද පසුව පිබිදෙන විශේෂ දක්ෂතා හේතුවෙන් උපාධි, පශ්චාත් උපාධි පවා හිමිකරගත් අය ලොව කොතෙකුත් සිටිති. එමෙන්ම ජීවිතයේදී තරුණ වියේදී තමන් එතෙක් අධ්‍යයනය කළ විෂයන් මුලුමනින්ම අතහැර වෙනත් 
විෂයන් ගෙන් සුවිශේෂ දක්ෂතා පළ කරන්නුවන් ද කොතෙකුත් වෙති. මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආනන්ද කුමාරස්වාමි ආදී සුවිශේෂ ශ්‍රී ලාංකිකයන් පවා ඊට හොඳම නිදසුන්ය.

ඒ9 සඳහා දරුවන් කුළුගැන්විය යුතුද ?

සාමාන්‍ය පෙළට සූදානම් වන දරුවන්ට ඒ9 පසුපස ලුහුබැඳ යාමේ කුළුගැන්වීමක ගුරුවර මව්පිය වැඩිහිටියන් ඇතුළු තවත් අය යෙදී සිටිති. බුද්ධි මට්ටමින් උසස් දරුවන්ට ඒ9 ඉලක්කය පහසු කාර්යයකි. තවත් පිරිසකට අන් අයගේ බලකිරීම මත ගොඩනැගෙන අවශ්‍යතාවය හේතුවෙන් ඉතා දැඩි පරිශ්‍රමයක් දරමින් ඒ9 ඉලක්කය ජයගත හැකිය. ඒ අතර පෙර කී ආකාරයේ සුවිශේෂී දක්ෂතාවයන්ගෙන් ඉදිරියෙන්ම සිටියද ඒ9ට ළඟාවිය නොහැකි දරු පිරිසක් ද අප අතර සිටිති. තමන් හැකියාවක් පළ කරන විෂයෙන් සියයට සියයක් නොව සියයට පන්සියයක් ලකුණු ලබා ගත දැනුම් සම්භාරයක් ද ඇතැම්  දරුවන්ගේ මොළයේ ගොනුවී තිබිය හැක. අධ්‍යාපන විෂය ධාරාව සමග ඔවුන්ගේ මොළයේ ඇති නොගැලපීමේ වරදින් එවන් අති දක්ෂයන් අදක්ෂයන් සේ හංවඩු ගැසීම කොතරම් සාධාරණද ?

වරද ඇත්තේ අධ්‍යාපන ක්‍රමයේද?

උසස් අධ්‍යාපනය අද ලෝකයේ නවීකරණය වී තිබුණ ද අපට තවමත් උරුම වී ඇත්තේ එදා බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් පැරණි අධ්‍යාපන ක්‍රමවේදයයි. අති නවීන අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ සිතන විට සාමාන්‍ය පෙළ උසස් අන්දමින් සමත් වුවද උසස් පෙළ කළ යුතුම කියා නියමයක් නැත. 

සාමාන්‍ය පෙළට පසු උසස් පෙළ දක්වා නොගොස් වෙනත් මංපෙත් ඔස්සේ උපාධි, පශ්චාත් උපාධි දක්වා හැදෑරීමට ඇති මාර්ග බොහෝය. ලංකාව තුළ ද එවැනි මාර්ග නැතිවාම නොවේ. එහෙත් අපේ ජනසමාජය තුළ තවමත් පවතින ගතානුගතික ආකල්පවලට අනුව සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ නොලියා වෙනත් මාර්ගවලින් ඉදිරියට යාම පිළිබඳව සුබවාදී පිළිගැනීමක් නැත.

එමෙන්ම අප රටේ පවතින නිදහස් අධ්‍යාපනයේ එවන් අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමාණවත් ඉඩක් සලසා දී ඇති බවක් ද නොපෙනේ.

සාමාන්‍ය පෙළ විභාගය සමස්ත ලංකා තරගයක් නොවේ.

අ‍පොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම ඔස්සේ ඒ9 සාමාර්ථයේ සිට සමස්ත ලංකා මට්ටමින් ජය ලැබිම පිණිස වන උනන්දුවක් මෝදු වූයේ මෑත භාගයේය. නමුත් මෙය සමස්ත ලංකා මට්ටමේ තරග විභාගයක් නොවේ. මීට දශක දෙක තුනකට පෙර පැවැතියේ උසස් පෙළට වරම් ලැබිමේ අවශ්‍යතාව පමණකි. අප සාමාන්‍ය පෙළ සමත්වූ සමයේ මෙවන් කලබැගෑනියක් තිබුණේම නැත. නමුත් අද වන විට විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයා වීමේ කිසිසේත් අවශ්‍ය නැති තරගයක් මෝදු වෙමින් ද පවතී. 

මෙම තත්ත්වය තුළ දරුවන් අත් විඳින මානසික පීඩනය ඉමහත්ය. ඒ හේතුවෙන් ජාතික මානසික සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම ප්‍රබලය.

එක්සත් ජාතින්ගේ ළමා ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු දහඅටට අඩු සියල්ලෝම දරුවන් වශයෙන් අර්ථ ගන්වනු ලැබේ. 

එමෙන්ම කායික සහ මානසිකව දරාගත නොහැකි බරක් පීඩනයක් ඔවුන් වෙත එල්ල කිරීම බරපතළ වරදකි. මේ තුළින් ළමා මනැසට හානි සිදුකිරීමට නීති හා සාදාචාර ධර්ම සේම එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය  පවා උල්ලංඝණය කිරීමක් ලෙස යමකුට තර්ක කළ හැකිය.

දිනුම් කණුවක් නැති තරගයක්

මේ සියලු කරුණුවලින් පෙනී යන්නේ මෙය දිනුම් කණුවක් නොමැති ධාවන තරගයක් බවය. මෙහිදී ඊට මුහුණ දෙන දරුවාට මෙන්ම සම්බන්ධ වූ තවත් පාර්ශ්වයන්ට ද මෙම පීඩනය පවතී. ඒ අනුව දරුවාටත් අන් අයටත් විභාගය හේතුවෙන් සිදුවන මානසික අලාභය සුළු කොට තැකිය හැකි නොවේ. 

මෙම තත්ත්වය නිසා දරුවන් තුළ කාංසාව, විශාදය, මානසික කළබලකාරී ස්වභාවයන් (Panic attack) වැනි මානසික අර්බුද තත්ත්වයන් හට ගැනීමට පවා ඉවහල් විය  හැකිය. මෙම මානසික පසුබිම නිරන්තරව පැවැතීමෙන් නොයෙක් වේදනා කැක්කුම් ආකාරගත් දේහී ප්‍රකාශනයන් (Somatoform disorder) ලෙස ඉස්මතු වීමටද හැකිය. මේ සියලු දේ සමග ජාතික මානසික සෞඛ්‍යයට සිදුවන හානිය සුළු කොට තැකිය නොහැකිය. අපේ රටේ අවභාවිතයට ලක්වන වෙනත් දේ ආකාරයට අධ්‍යාපනය ද අව භාවිතා වීම තවත් පැත්තකින් විශාල අභාග්‍යයකි.

විශේෂයෙන් වර්තමාන අධිපරිභෝජන වාදය මුල් කරගත් ව්‍යාපාරික තරගයේදී ව්‍යාපාරික ආයතන දරුවන් සම්බන්ධ යම් යම් මැදිහත් වීම්වලට යොමු වීමට පෙර ඒවා ඒ දරුවන්ට සේම සමස්ත ජාතියේ ළමා සංහතිය වෙත කෙතරම් සාධනීය අයුරින් බලපාන්නේ ද යන්න පිළිබඳ මීට වඩා බුද්ධිමත්ව සිතා බැලිය යුතු බවද විශේෂයෙන් අවධාරණය කරමි.

සාකච්ඡා කළා උත්පලා සුභාෂිණී ජයසේකර Lakbima