ජෙයපාලන් වෙනුවෙන් දකුණේ සහෘදයෝ හඩ අවදි කරති

lankanewsweb


jayapalan appealශම්මුගම් පිල්ලේ ජයපාලන් හෙවත් සැවොම දන්නා ලෙස සම්මාන ලාබී දෙමළ කිවිවර 69 හැවිරිදි වීඅයිඑස්​ ජෙයපාලන්   22 වැනිදා කොළම ආණ්ඩුවේ නියෝග මත සංචාරක වීසා මත පැමිණ අදාළ නොවන දේවල් කර ඇති බවට චෝදනා කරමින්  අත්අඩංගුවට ලැබීය. 2006 වසරේදී ජෙයපාලන්ගේ මව මියගිය අතර සිය මවගේ අවසන් මොහෙතටද ජෙයපාලන්ට සහභාගී වීමට ​නොහැකි වූ අතර පසුගිය 22 වැනිදා ඔහු මාන්කුලමට නුදුරු වට්ටක්කාඩු ප්‍රදේශයට ගියේ සිය මවගේ සොහන දැක බලා ගැනීමට සහ සිය පැරණි නිවස දකබලා ගැනීමේ අටියෙනි.  
නමුත් කොළඹ රජයේ පොලීසිය ඒ මොහොතද ඔහුට අහිමිකරන් සංචාරක වීසා මත පැමිණ අදාළ නොවන දේ කරනබවට ඊනියා-තාක්ෂණික තර්ක ඉදිරිපත්කරමින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව වව්නියාවටත් අනතුරුව කොළඹට ඊයේ රාත්‍රියවන වන විට ඔහු බන්ධනාගර ගත කරන ලදී. මේ වනවිට ජෙයපාලන් කලුබෝවිල රෝහල වෙත රෝහල් ගත කර ඇති බව කොළඹ සිට ලැබෙන වාර්තා සදහන් කරයි.
සහෝදරයෙකු, මිත්‍රයෙකු, සම්මානීය කවියෙකු වනවී අයිඑස්​ ජෙයපාලන් අත්අඩංගුවට ගැනීම ගැන අප ඔහුගේ සහෘදයන්ගේ/ හිතවතුන්ගේ අදහස් විමසුවෙමු.
නිලාර් එන්. කාසිම් (අතීත හිතවතෙකි. ජෙයපාලන්ගේ චරිතාපදානයද බොහෝ කවිද සිංහල භාෂාවට නැගීය.)
  " ඇත්තටම ජෙයපාලන්ගෙ මේ සිදුවීම සම්බන්ධව මං මේ මොහොතෙ දැනුවත් නැහැ. අනෙක් අතට රාජ්‍ය සේවකයෙක් වීම නිසාම මට මේ ගැන කතා කරන්න වෙන්නෙ යම් සීමාවක ඉඳලයි. සාමාන්‍යයෙන් යම් නිර්මාණකරුවෙක් වෙත සහ කලාව වෙත එල්ල වෙන වාරණයට විරුද්ධයි කියන මතයේ මං ඉන්නවා. විශේෂයෙන් ජෙයපාලන් කියන කවියා ගැන මා තුළ ගෞරවයක් සහ ඔහුගේ භාෂාව,යෙදීම් සිංහල සමාජය පිළිබඳව පුළුල් තැනක තියෙනවා... මෙම සිදුවීම තවමත් නොදන්නා නිසා මට ඒ ගැන සංයුක්තව කතා කරන්න බැහැ. "

සීතා රංජනී - [ජනමාධ්‍යවේදිනී/ සමාජක්‍රියාකාරිනී]
මුලින්ම ජෙයාපලන්ව අත්අඩංගුවට ගැනීම මම හෙළාදකිනවා. මෙහිදී මතුවන ප්‍රධානම කාරණාව තමයි ජෙයපාලන් කියනන්නේ මොන වීසා එකකින් ආවත් එයා මේ රටේ පුද්ගලයෙක්. මොකද එයාට රට දාලා යන්න වුනේ එයාගේ උවමනාවට නෙ​ාවෙයි. උදාවූ තත්ත්වයන් නිසා. එම නිසා මොන වීසා එකකින් ආවත් ඔහුට තමන්ගේ ගම්බිම් වෙත යන්න. තමන්ගේ නෑදෑ හිතවතුන් හමුවෙන්න. සමාජ වැඩවලට දායක වෙන්න අයිතියක් තිබෙනවා.
අනෙක් කාරණාව මේ ආණ්ඩුව දේවල් මර්ධනය කරමින් සැගවීමට උත්සහ කරනවා. අපි දැක්කා විවිධ පුද්ගලයන්, ජනමාධ්‍යවේදීන් , රාජත්‍රාන්ත්‍රිකයන් මේ ලෙසම බන්ධනයට ලක්කරනවා. නමුත් මේ සැගවීමට උත්සහ කිරීම තුළ වෙන්නේ වැඩි වැඩියෙන් ලෝකය වෙත හෙළිදරව් වීම.

මධුරංග වික්‍රමරත්න [ කිවිවර]
" මේ සිදුවීමෙන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියලා පේනවා. 71 දකුණෙ සමාජෙ ගැන සංවේදීව හිටිය ජෙයපාලන් අවසානයේ සමාජය තුළ විමුක්ති කවියෙක් බවට පෙළඹෙනවා.
මේක පුනර්වර්ධනයක්. මෙහිදී අපි මෙයට විරුද්ධ විය යුතුයි ,කළ හැකි සියලුම දේ කළ යුතුයි. "

කල්පනා ඇම්​ෙබ්‍රාස් [ සමාජ ක්‍රියාකාරනී/ සාහිත්‍යවේදිනී]
අදහස කෙටියෙන් කිව්වොත් ඒක මහ දරුණු මර්ධනයක් වගේම අපරාධයක්. ඔහු(ජෙයපාලන්) සංචාරක වීසා එකකින් ආවත් එන්නෙ තමන්ගෙ රටට. මේ අපිට වගේම ඔහුටත් අයිති රට. අනෙක ඔහු කවියෙක්. සමාජ ක්‍රියාකාරිකයෙක්. කවියෙක් තමන්ගෙ උපන් බිමට ආවා කියල අත්අඩංගුවට ගන්න තරම් ෆැසිස්ට්කරණය වුණ යාන්ත්‍රණයක තමයි අපි ඉන්නෙ. මේක වෙන්නෙ චෝගම් අවසාන වුන හැටියෙම. ඒක ඇතුලෙම තියෙන්නෙ තර්ජනය සහ බිය. මේ රෙජීමය කවියන්ට විතරක් නෙවෙයි දරුවන්ට, හෙවණැලිවලට , සොහොන් කොත්වලට පවා බයයි.
"ආයෙ කවදාක හෝ මගේ මව් බිමේ එක් වෙරළතක මගේ දෙපයින්ම මං නැඟෙන‘යුරු ඔබ දකින දවසකදි මට යළිත් අරගන්න අද දවස මම ඔබට තෑගි දෙමි"
මේ අත්අඩංගුවට අරං තියෙන්නෙ එහෙම කියපු මනුස්යෙක්ව.
ඔහුව නිදහස් කළ යුතුයි- කොන්දේසි විරහිතව!
සුභාෂ් ජයවර්ධන [  කතෘ - ද ඉන්ඩිපෙන්ඩන්ට්.lk]

ජෙයපාලන් අත් අඩංගුවට ගැනීමේ පුවත් සැලවීමත් එක්ක මාව කම්පනයට පත් කළා. ඇත්තටම එදින දහවල් මම අපේ දමිළ මාධ්‍ය සගයකු සමඟ ජෙයපාලන් ගැන කතා කරමින් සිටියා. සමහර විට ඒ නිසා මට ඒ සිදුවීම වැඩියෙන් දැනුනා වෙන්නත් පුලුවන්. හවස් වෙද්දි මේ ප්‍රවෘත්තිය දැන්න ගත්තා. ඒක දැන ගත්තෙත් ඉන්දීය කලාකරුවෙකු අත් අඩංගුවට ගේන තිබෙනවා කියලා. මාධ්‍ය වල සඳහන් උනේ එහෙම. අපේ අද ඉන්න මාධ්‍යවේදින් ජෙය පාලන් කියන්නේ කවුද කියන එක නොදන්න කමද නැත්නම් ඔහුව නොතකා හැරීමද කියන එක මට එවෙලේ ඇතිවෙච්ච ගැටලුවක්.ඒත් තවමත් ඒ නිවැරදි කරල හෝ ජෙයපාලන් ගැන සටහනක් හෝ මේ මාධ්‍ය වල සඳහන් කර නෑ. පොලිස් වාර්තාව විතරයි තාම තියෙන්නේ.
එවගේම මේ වෙන කොට දැනන දේ තමයි. අපේ කලාකරුවන්ය කියන අය මේ ගැන වචනයක්වත් කතා නොකර සිටීම.. සමහර විට තවම ඒ ගැන දන්නේ නැතුවත් වෙන්න පුලුවන්. එහෙමත් නැති නම් මෙවර අයවැයෙන් කලාකරුවන්ට ගෙවල හදල දෙනවා කිව්ව නිසා වෙන්නත් පුලුවන්.
තමන්ගේ බඩ ගැන විතරක් සංවේදී වෙන එකාට අනෙකාගේ බඩ තියා එහෙම එකෙක් ඉන්නවද කියලවත් දැනගන්න ඕන කමක් නැති 'දේශප්‍රේමී මිනිස්සු' ඉන්න රටේ දෙමළ කවියෙක් ගැන කවර කතාද ? ඒ තබා මේ රටේ වාමාංශිකයි කියන විප්ලවාදීයි කියන පක්ෂත් මේ ප්‍රශ්නවලදී කරබාගෙන සිටීම ගැන නම් තියෙන්නේ කලකිරීමක්.