හදිස්සියේ මම යන්නේ දුර ගමනා - ළමිස්සියේ නුඹ සිටිනා ගම කොතැනා


ප්‍රතිචාර[0]
බූන්දි| බ්‍රහස්පතින්දා, නොවැම්බර් 3, 2011| 17:46:36
.....ලාම්පු චන්දය නමින් කුප්‍රකට වූ ඊනියා ජනමත විචාරණය පවත්වන ලද්දේ 1983 දී පැවැත්විය යුතු වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය නොපැවැත්වීමට ය. එය සාධාරණ ව පැවැත්වූ චන්ද විමසීමක් නොව, අමු ම අමු චන්ද කොල්ලයක් බවට නිදසුන් රැසක් ඒ චන්ද විමසීම සම්බන්ධයෙන් චන්ද කොමසාරිස්වරයා නිකුත් කළ නිල වාර්තා පොතෙහි අඩංගු විය. චන්ද කොමසාරිස් වාර්තාව එ සේ නිකුත් ව තිබිය දීත් ජනාධිපති ජේ. ආර්. තුමා බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය සමග සාකච්ඡාවක දී කීවේ ශ්‍රී ලංකාවේ චන්දදායක බහුතරය ලාම්පුව ලකුණ හමුවේ කතිරය ගැසීමෙන් චන්දය කල් දැමීමට කැමැත්ත පළ කළ බවකි; චන්දය කල් දැමුවේ තමා නොව චන්දදායක ජනතාව බවකි.

මහ ජනතාව චන්දය කල් දමපු බවක්
ජනපති කී ය බීබීසියෙන් ලොවට
වැඩි කරලා දැල්ල ඉහළට ලාම්පුවේ
මා සොයනවා පිච්චිය යුතු මුකය මෙ සේ

කීවේ ඕක කටකින් වෙන්නට බැරි ය
කළ දේ චන්ද කොමසාරිස් ලියා තිබේ
මට මේ ලාම්පුවෙ දැල්ලෙන් පුච්චන්න
කෝ ඔය මහ බොරුව ලෝකෙට පැඩපු තැන

-1988 පෙබරවාරි 09

******

ජනපති ජේ ආර් නාකිය, බැරිය වැඩ
පවසා තිබේ සිරිමා වැඩ ගැන දන්න
ජේ. ආරුත් කී ය දෙ දෙනාගේ වෙනස
මේවා දේසපාලන කොමළ ය, එ නමුත්

අවිස්සාවේල්ලෙදී සිරිමා කීව
වයස් කතාවෙන් සිහි විය ජනකවියක්
"හදිස්සියේ මම යන්නේ දුර ගමනා
ළමිස්සියේ නුඹ සිටිනා ගම කොතැනා"

-1979 අප්‍රේල් 11

අග දෙ පේලිය බොහෝ ගැමියන් දන්නා ජන කවියකිනි. ජේ. ආර්. ට තම මර්දනකාරී කෲර දේශපාලනය කිරීමට වයස බාධාවක් වුණේ නැත. රටේ ප්‍රශ්න විසඳන්නට බැරි වුනේ නාකිකම නිසා නො වේ. ඔහුගේ ඊනියා දේශපාලනයේ වරදින් ය. ඒ නිසා විවේචනය කළ යුත්තේ ඔහුගේ වයස නොව දේශපාලනය ය යනු රංචාගොඩ ළමයාගේ අදහස ය.

සිරිමා තුමිය ජේ ආර් ගේ තුමාගේ නාකිකම ගැන කියන විය එතුමියගේ වයස ද හැට තුන වෙමින් තිබිණි. "ළමිස්සියේ නුඹ සිටිනා ගම කො තැනා" යන ජනකවි පදය රංචාගොඩ ළමයාට සිහි වුණේ ඒ නිසා ය. සිරිමා තුමියගේ ප්‍රකාශයෙන් සතියකට පසු අනුර බණ්ඩාරනයක තුමාගේ ප්‍රකාශයක් ගැන ය මේ;

හැට පැන සිටින නාකින් හට බණින පුතේ
කොහොම ද බලාපන් උඹෙ තිරිහන් අම්මා
මෝරනවා පැඟිරි, ඊයෙට හැට තුන ය
මගෙනුත් උපන්දින සුභ පැතුමක් මෙන්න

හඳෙන් හාල් ලංකාවට ලැබෙන තුරු
වෙඩි කා මැරුණු සිසුවා නැඟිටිනා තුරූ
මාන්නය අහංකාරය තිබෙන තුරු
මගෙ ආයුසත් අරගෙන ජීවත් වෙත් වා!

1979 අප්‍රේල් 18

********

ටයර් සෑ යුගයට අධිපති වූ ආර්. ප්‍රේමදාස තුමා තරමට ම නැතත්, බයිසිකල් චේන් යුගයෙන් ටයර් සෑ යුගයට මඟ පෑදූ ජේ. ආර්. ජයවර්ධන තුමා ද තම සවුත්තු දේශපාලන ප්‍රතිරූපය විසිතුරු කර ගැනීමට කළ එක් දෙයක් වූයේ, තමා වර්ණනය වන ලෙසට අතීත කතන්දර කීම ය. සමහර විට, වැඩිහිටි බහුශ්‍රැතයන් ද තමාට ගාවා ගනිමිනි.

ජුනියස් රිචඩ් ජයවර්දන උතුමා
ගත්තේ දේසපාලනයට අඬගහලා
මහකවි පියදාස සිරිසේන ලු එ කල
හිතලා බැලුවෙමි මේ ගැන ටිකක් දුර

බිළිඳුන් මෝඩයන් අඟනන් හා කවියන්
කරනා වැරදි සැලකිය යුතු නැති හන්දා
මේ වරදටත් මහ කිවිඳුට සමාව ය
අයියෝ සිරිසේන! අයියෝ සිරිසේන!

1979 මැයි 25

-(රංචාගොඩ ළමයා සහ ඇත්ත [1995] කෘතියෙන්) 
වෙනත් සබැඳි |

 Sirilal Kodikara | සිරිලාල් කොඩිකාර
[SEO Tags] Ranchagoda Lamaya saha Eththa, J.R. Jayawardena, R. Premadasa, Sirima Rathwaththe Bandaranayake, Anura Bandaranayake , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics