කුඞ්ඩන්ට ගිය දේශපාලනය





ටිරන් කුමාර බංගගමආරච්චි 


කලක් පැවති දෙමටගොඩ නිහඬතාව නොබෝදා බිඳ වැටුණි. ඒ ඔක්තෝබර් අටවැනිදා රාත‍්‍රියේදීය. ආයුධ සන්නද්ධ පාතාල කල්ලි එළිපිට ආයුධ ගෙන පාරට බැසීමත් සමගය. දැන් දෙමටගොඩ පැරණි සෙයියාවම පවතියි. වසර කිහිපයකට පෙර දෙමටගොඩ පාතාල රජ දහනකි. හෙරොයින් ජාවාරමේ තෝතැන්නකි. කෙටි නිහඬතාව කියාපෑවේ දෙමටගොඩ හොඳ වී පාතාලය, හෙරොයින් අතුරුදන් වී ඇති බව නොව නරක එළියට නොආ බවය. එහෙත් ඒ නිහඬ බව අහෝසිය. අටවැනිදා ? හෙරොයින් මුල් කරගෙන දෙපිරිසක් ගැටුණු අතර නිහඬ බව පාසාරු කරගෙන තුවක්කු පත්තු විය. එක් අයෙක් මරු දුටුවේය. ගැටුණු කල්ලි දෙක වූයේ කුඩු රුවන් හා ඕල්කට් කල්ලියයි. දෙමටගොඩ කමල් හා මැගසින් පාරේ ඕල්කට් පාතාල ලොව කෙරුමන් ලෙස සිටි අයය. ඔවුහු පොලිස් විශේෂ කාර්ය බලකාය අතින් මරු වැළඳ ගත්හ. මරන්න ඕනෑ කල මරා දමන ආණ්ඩුවේ කැලෑ නීතිය විසින් ඕල්කට් හා කමල් ඉවත් කෙරෙනුයේ කුඩු නැති කිරීමට නොව එ තැන තව අයෙකුට දීමටයැ’යි උපකල්පනය කළ නොහැකිද?


නොබෝදා ගැටුණු කල්ලියක ප‍්‍රධානියා කුඩු රුවන්ය. කුඩු චමින්ද රුවන්ගේ සහෝදරයාය. මොවුන්ගේ නමට වාසගම සේ කුඩු යන්න බද්ධය. කුඩු රුවන්, කුඩු චමින්ද යනුවෙන් ඔවුන් අමතනුයේ මෙරට පොලිසිය ය. එසේ නම් පොලිසිය මොවුන් කරන ව්‍යාපාරය හොඳාකාරවම දනියිි. රුවන් චමින්ද යන අයගේ වාසගම ‘කුඩු’ නම් මේ අය නිදැල්ලේ සිටියේ කෙසේද? කුඩු ග‍්‍රෑම් දෙක තුනක් ළඟ තබා ගත් අය අල්ලා හිරගෙවල් පුරවන පොලිසිය කුඩු රුවන්ලා, චමින්දලා අතහැර දමනුයේ කෙසේද?



නොබෝදා සිද්ධිය වූ සැණින් මොවුන්ගේ පැටිකිරි වමාරන පොලිසිය මොවුන් දුටු තැන අල්ලන්නැ’යි වරෙන්තු නිකුත් කරති. එහෙත් එතෙක් මොවුහු සිටියෝ නිදැල්ලේය. කුඩු ව්‍යාපාරය රිසි සේ කරමින්ය. පොලිසියට එවිට මේ රුවන් සහ චමින්දය. පත්තු වූ කල කුඩු රුවන් සහ කුඩු චමින්දය. මොවුන් නාමධාරීන් වී යෙහෙන් වැජඹෙනුයේ දේශපාලනයේ ආශිර්වාදයෙනි. කුඩු චමින්ද නම කරළියට ආවේ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයත් සමගය. එකී ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවකු වන්නේ කුඩු චමින්දය. එසේ නම් ඕනෑම පොඩි ළමයකුට වැටහෙන ඇත්ත නම් කුඩු චමින්ද දුමින්ද සිල්වාගේ මිනිහෙක් බවය. එසේ නම් කුඩු චමින්ද කුඩු බව දුමින්ද නොදන්නේද? මහා පරිමාණ කුඞ්ඩන්් සමග මේ දේශපාලන සම්බන්ධය රස රහසක් නොකියන්නේද?



මෙරට කුඩු ව්‍යාප්තිය දිනෙන් දින වැඩිවනුයේ දේශපාලනය සහ පොලිසියේ රැකවරණය නිසාය. අපේ රටේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධව කටයුතු කරන දේශපාලනඥයන් පාර්ලි මේන්තුවේ පවා සිටින බව වත්මන් අගමැතිවරයා නොබෝදා ප‍්‍රකාශ කළ මුත් ඒ කවුදැ’යි නොකියුවේය. නොබෝදා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ට මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ දැනුවත් කිරීමට වැඩසටහනක් සංවිධානය කොට තිබුණද ඊට සහභාගිව ඇත්තේ 225ක් වන මන්ත‍්‍රීවරුන්ගෙන් 13ක් තරම් සුළුම සුළු පිරිසක් පමණය. කුඩු අහවර කිරීමේ පාර්ලිමේන්තු උනන්දුව එයින්ම පැහැදිලිය.



බොදු බල සේනා සංවිධානයේ නායක හිමිවරුන් දැඩිව ප‍්‍රකාශ කළේ මෙරටට කුඩු ගෙන්වන දේශපාලන චරිත තුන හතරක් සිටින බවත් ඔවුන් අනිවාර්යයෙන්ම රටට හෙළිදරව් කරන බවත්ය. ඒ සඳහා මුල්ම මෙහෙයුම පටන්ගත්තේ කොළොන්නාවෙනි. කොළොන් නාවේ කුඩු දේශපාලකයා තමන් දන්නා බව පැවසූ ඒ හිමිවරු අදටත් ඒ කවුදැ’යි නොකියති.



කුඩු චමින්ද, දුමින්ද සිල්වා ළඟ කරන රාජකාරිය භාරතගේ සිද්ධියෙන් තවදුරටත් තහවුරු විය. කුඩු රුවන් සිටිනුයේ කරාටේ ධම්මික පෙර ලැගුම් ගත් දේශපාලකයා ළඟ බවත් නොරහසකි.



එසේ නම් රටට බණ දෙසමින් මේ දේශපාලන මහත්වරුන් කරන සෙල්ලම පැහැදිලිය. කෙළින් නොකිව්වාට කුඩු රුවන්ලා කුඩු චමින්දලා තරමට කුඩු දේශපාලකයන් කිහිපදෙනාම ප‍්‍රසිද්ධය. ඔවුන්ද කුඩු රුවන්ලා සේ ම නිදැල්ලේය. ඊට වඩා සුරක්ෂිතය.



නූරීවත්තේ අතකොටාලා ගැන පැල් බැඳගෙන ලියූ කිසිවෙක් තොටළඟ වතුවල ගැහැනු මේ කුඞ්ඩන් අතින් නිතර දෙවේලේ දූෂණය වන බව නොලියති. කෙසේ වෙතත් එදින සිද්ධියෙන් මියගිය සජිත් ද ඕල්කට් කල්ලියේ හිතවතකු බව පැවසේ. මැගසින් පාර, සිංහ දූපත, සර්පන්ටයින් මහල් නිවාස ඇති පැතිවල රාත‍්‍රිය සජිත්ගේ බව පැවසේ. වනාතමුල්ලේ බිම්සර, බ්ලූමැන්ඞ්ල් සංඛ, වනාතමුල්ලේ චුට්ටන් සජිත්ගේ සෙසු බට්ටන් බව පොලිසිය දනියි. ඕල්කට් මළ පසු ඕල්කට්ගේ කුඩු ජාවාරම අතට ගත්තේ ඕල්කට්ගේ මාමා බවත් ඔහු සිටිනුයේ ඉතාලියේ බවත් ඉතාලියේ සිට එය අධීක්ෂණය කළ බවත් මාධ්‍යවලට කියනුයේ පොලිසියම බව සහතිකය. ඉතාලියෙන් එන කුඩු මෙරට ව්‍යාප්ත කරනුයේ ධම්මි නමැති ඔහුගේ සහෝදරිය බවත් පොලිසිය දන්නාමුත් ඔවුන් කුදලාගෙන එන්නේ නැත.



සජිත්ට වෙඩි තබා පලා ගියේ කුඩු රුවන්ලා බව පොලිසිය ටක්කෙටම දැනගන්නේ පොලිසිය යනවිටත් සජිත් මියගොස් නොසිටි නිසාය. මියයන්නට පෙර සියලූ විස්තර සජිත් හෙළි කළ බව පොලිසිය පවසයි. පොලිසිය පත්තරවලට ලබාදෙන්නේ ඒ රස කතාය.



පෙර නොවූ විරූ ලෙස ලංකාවේ හෙරොයින් ගැන කතාබහට ලක්වන්නේ මෑතකදීය. රාජපක්ෂ ආණ්ඩුවේ මතට තිත සංකල්පය අකුරටම ක‍්‍රියාත්මක වන්නේ මෙකලය. ආසියාවේ එකවරකදී ඇල්ලූ විශාලතම කුඩු තොගය පසුගියදා ඇල්ලූවේ ශ‍්‍රී ලංකාවෙනි. ලක්ෂ පණහක හෙරොයින් පාන් පිටි බවට පත්වූයේද ලංකාවේදීය. පොලිසියේ මැජික් බලයෙනි. දේශපාලකයන් කිහිපදෙනෙකු මෙන්ම මෙරට කුඩු ව්‍යාප්තියට පොලිසියද විශාල දායකත්වයක් සපයන බව නොරහසකි. ඊට අදාළ ඕනෑතරම් හේතු කාරණා පෙන්වා දියහැකිමුත් ඒ කිසිවක් වැදගත් නොවනුයේ කුඩු නැවැත්වීම ඉහළ යාන්ත‍්‍රණයෙන්ම වැළකී ඇති නිසාය. ඉදිරියේ කොළඹ මහා පරිමාණ කැසිනෝහල් බිහිවීමත් සමග කුඩු යන්න සිගරැුට් තරම් සාමාන්‍ය වනු නියතය. කුඩු පාතාලය යනු මෙරට සාමාන්‍ය අත්දැකීමක් වන තරමට ව්‍යාප්තව ඇති අතර ඒ හරහා අනාගත චිකාගෝවක් නිර්මාණය කරන බව සහතිකය.



කුඩු රුවන්ලා, කුඩු චමින්දලා හෙට දවසේ පාතාලයෙන් හෝ පොලිසියෙන් වෙඩි කා නසිනු ඇත. එවිට සැමට තාවකාලික සතුටක් ලබමින් පාතාල ගැන, කුඩු ගැන මාගල් ලිවිය හැකිය. එහෙත් විසඳුම් නැත. ඒ වෙනුවට කුඩු වාසගම සහිත තව නම් කරළියට එනු ඇත. මේවා නවතාලන්නට නම් කුඩු ගෙන්වන දේශපාලකයන් මට්ටු කළ යුතුමුත් එය කිසිසේත් සිදු නොවේ. ඔවුහු මේ ආණ්ඩු මාරු වූ කල අලූතින් පිහිටවන ආණ්ඩුවට පනිති. නැතහොත් තව දේශපාලකයකු මෙය පටන් ගැනීමට ඉඩ ඇත. ලංකාවේ මහා පරිමාණ කෝටිපතියන් වී ඇති බොහෝ අයගේ ව්‍යාපාරය කුඩුය. එහෙත් අත්අඩංගුවට ගැනෙනුයේ සාමාන්‍ය කුඞ්ඩන්ය. ඒ පොලිසියට අල්ලා ගතහැකි පිරිසය. කසිප්පු නීතිගත කරන්නැ’යි කී කල කෑමොර දෙන භික්ෂූන් වහන්සේලාට කුඩු ගැන ලොකු හඬක් නැඟිය නොහැකිය. බොදුබල සේනා අනිවාර්යයෙන් හෙළිකරනවායැ’යි කී කුඩු දේශපාලකයන් සිව්දෙනා කවදා හෝ හෙළි කරන තෙක් බලා සිටිනු හැර වෙන කළ හැකි විකල්පයක් නැත. මේ සියල්ල කරනුයේ දේශපාලකයන් නම්, ඔවුන් නියෝජනය කරනුයේ ආණ්ඩුව නම් ඒ ගැන කවර කතාද?