ජනතා අධිකරණය: මහින්ද රාජපක්ෂ (ජිනීවා) නඩුව

ජනතා අධිකරණය වූ කලී ලංකා ගාඩියන් විසින් හඳුන්වා දෙන නව තීරු ලිපියයි.අප කතෘ මණ්ඩල සාමාජිකා නීතිඥ හර්ෂි සී. පෙරේරා විසින් ලංකාවේ අධිකරණ විසින් ලබා දුන් තීන්දු මෙහිදී සාරාංශ ගත කරනු ලබයි. එහි පළමුවන තීරු ලිපිය අවධානය යොමු කොට ඇත්තේ මහින්ද රාජපකෂට එරෙහි කුඩා හෙට්ටි සහ තවත් අය නමැති නඩුවයි.


මේ මහින්ද රාජපක්ෂ එරෙහිව කුඩාහෙට්ටි සහ තවත් අය නඩුවයි. මෙය මුලික අයිතිවාසිකම් නඩුවකි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 (1) සහ 14 (1)(අ) වගන්ති එනම් භාෂණයේ නිදහස සහ අත්අඩංගුවට ගැනීම සාකච්ඡා වේ. අදාළ නඩුව පිලිබඳ සටහන ශ්‍රී ලංකා නීති වාර්තා 1992 Vol 2, 223 හි සඳහන්ව ඇත.

පෙත්සම්කරු එනම් මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළ අතර එයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බණ්ඩාරනායක මහතා සහ දිරරත්න මහතා එකඟ විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලිව් ගුණසේකර මහතාද වග උත්තරකරු වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් උපවංශ යාපා මහතාද පෙනී සිටින ලදී.

එවකට පෙත්සම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු විපක්ෂය නියෝජනය කළේය. මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වඩාත් ක්‍රියාකාරී ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විය. මුලික හා මානව හිමිකම් පිළිබද පාර්ලිමේන්තු කමිටුවේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය.

1990 සැප්තැම්බර් 11 ඔහු කටුනායක ගුවන් තොටුපලට ගියේ ජිනීවා බලා යන ගුවන් යානයකට ගොඩවිමටය. ඒ බලයෙන් හා ස්වේච්ඡාවෙන් සිදුකරන අතුරුදහන් කිරීම් පිළිබද වූ කණ්ඩායමේ 31 වන සැසිවාරයට සහභාගි වීමටයි. එය සැප්තැම්බර් 10 සිට 14 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත විය. ගුවන්තොටුපලේදී සහකාර පොලිස් අධිකරිවරයකු වූ පළමු වගඋත්තරකරු ඔහුගේ ගමන් මලු පරික්ෂා කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර සිටියේය. ඔහු ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයෙන් කියවුනේ පෙත්සම්කරු තහනම් ලියකියවිලි ගෙන යන බවට ලැබුණු තොරතුරක් මත මෙසේ පරික්ශා කිරීමට අවශ්‍ය වූ බවයි. තවද ඒවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව දක්වන ලදී. පෙත්සම්කරු සිය ගමන්මලු පරික්ෂා කිරීමට විරුද්ධ විය. ඔහු තමාට නීතිඥවරයකු සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය බව කියා සිටියේය. ඉන් අනතුරුව ඔහු විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට දුරකතනයෙන් කතා කළේය. එයින් අනතුරුව ඔහු සිය ගමන්මලු පළමු වගඋත්තරකරු දෙසට විසි කළේය. වග උත්තරකරුට ඒවා පරික්ශා කරන ලෙසද පැවසුවේය.

වගඋත්තරකරුගේ දිවුරුම් ප්‍රකාශයේ මෙසේ සදහන් වේ. ඔහු ඉදිරිපිටදී ඔහුගේ ලෙදර් බැගය පරික්ෂා  කළෙමි . බැග් එකේ උඩින් සහල් සුවල්පයක්, පරිප්පු, මිරිස්, කරවල සහ සැමන් ටින් කිහිපයක් විය. එයට යටින් ඇඳුම් විය. ඊට යටින් ලිපි ගොනු මිටි 11ක් විය. පෙත්සම්කරු ඔහුට කියා ඇත්තේ  ඒවාට අතුරුදහන් වූ අයගේ ඡායාරුප, ලේඛණ සහ මියගිය පුද්ගලයින්ගේ සිරුරු වල ඡායාරුප  අන්තර්ගත බවයි.

පසුව පෙත්සම්කරු ජිනීවා බලා ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදුව නැති බව තීරණය කරන ලදී. තවද ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එන 12, 13 (1), 13 (2) සහ 14 (1) (අ) වගන්තින් වල දැක්වෙන අයිතිවාසිකම් පෙත්සම්කරු සම්බන්ධයෙන් උල්ලංඝනය නොවූ බවද තීරණය කෙරිණි.

[හර්ෂි සි. පෙරේරා]

සම්පූර්ණ නඩු තීන්දුව පහත පළවේ