සුදු කොඩිය මත ඇතිරූ උපන්දින කෙක් ගෙඩිය

| නිලන්ත ඉලංගමුව

සියලු සතුන්ට වඩා මිනිසා උසස්වීම ඔහු සතු භාග්‍යයයි. නමුත් නිතිය සහ සාධාරණත්වයෙන් වෙන් කරනු ලැබුව හොත් ඔහු වඩාත්ම නරක සත්වයා වේ - සොක්‍රටීස්

ජනාධිපති මහින්ද රාජපක්ෂට වැඩියෙන්ම වාසි සිදු කරන ලැබුවේත්, වැඩියෙන්ම හතුරුකම් කිරීම හෙවත් ඔහු විසින් නිර්මාණය කර ගත් අසහාය බලය සොලවනු ලැබුවේත් එකම පුගලයෙකු විසිනි. ඒ ජනරාල් සරත් ෆොන්සේකා මහතාය.ඔහුට ලබා දුන් ආරක්ෂක අංශ මාණ්ඩලික ප්‍රධානි නමැති කඳ බඩ පමණක් වඩා ගත හැකි ඔලුව මළ කඩ කළ හැකි තනතුර විසින් තල්ලු කරුණු ලැබුවේ රාජපක්ෂවරුන්ගේ පරම හතුරෙකු වෙතය. රාජපක්ෂ විසින් විවිධ උත්සාහයන් ගනු ලැබූවද ජනරාල් ෆොන්සේකා මෙල්ල වූයේ නැත. නමුත් දෛවයේ සරදමකට හෝ වසානාවකට මෙන් මේ වන විට ඔහුත් වැලිකඩ බන්ධනාගාරයේ සිර ගත කොට ඇති දහසක් අතරින් තවත් එක කම්බි ගණන් කරන්නෙකි. කෙසේ වෙතත් සිර ගත කොට සිටින සරත් ෆොන්සේකා සහ ඔහුගේ තත්පර 10 දේශපාලනය ලංකාවට ඔහු සාමාන්‍ය පුදගලයෙකු ලෙස හිඳිමින් සිදු කරනවාට වඩා යම් අභියෝගයක් ලබා දී තිබේ. ලංකාවේ විපක්ෂ දේශපාලනයක් යැයි ඉතුරු වී ඇත්නම් ඇත්තේ එය පමණි.

සුදු කොඩි නඩුව වූ කලී ලංකාවේ බලය සහ ශක්තිය අතර ඇති සම්මුතිය මඟින් යුක්තිය පසිඳලීමේ හැකියාවට ඇති ඉඩ අබියෝගයකට ලක් කරනු ලැබූ සමාජ සංසිද්ධියක් ලෙස හඳුනා ගත හැකිය. කුමන තත්වයක් යටතේ වුවද රාජපක්ෂට අවාසි සහගත දේශපාලන තීන්දුවක් අදාළ නඩු තීන්දුවෙන් බලා පොරොත්තු විය නොහැකිය, යන සමාජය පුරා පවතින අදහස ප්‍රතික්ෂේප කළ නොහැකිය. එය නිශ්චිතයකි. රාජපක්ෂට ලංකාවේ නිතීය තමාට අවශ්‍ය ආකාරයෙන් හැසිරවීමට ඇති ඉඩ සහ බලය මෙන්ම ඊට දේශීය වශයෙන් එල්ල වන අභියෝග වලට මුහුණ දීමේ නිශ්චිත වැඩපිළිවෙලක් තිබේ.
මුලදී සඳහන් වූ තොරතුරු අනුව ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව පැවරුණු සුදු කොඩි නඩුවේ තීන්දුව ප්‍රකාශ වීමට තවත් පැය කිහිපයක් ඇත. ආරංචි මාර්ග වලට අනුව නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම තවත් දින කිහිපයකට කල් දමනු ඇත. හෙටට යෙදී ඇති ජනාධිපතිවරයාගේ උපන් දිනය ඊට හේතුව ලෙස සඳහන් වේ. එසේම ඇතැම් වාර්තා වලට අනුව ජනරාල් වරයාට එරෙහිව අධිකරණය විසින් බරපතල නඩු තීන්දුවක් ලබා දී ජනාධිපති සමාවක් යටතේ ඔහුට සමාව දිය හැකි බවට පුවත් නිර්මාණය කිරීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ. රාජපක්ෂට අවශ්‍ය වී ඇත්තේ ජනරාල් ෆොන්සේකා කෙසේ හෝ තමන් ඉදිරියේ දණ ගසනු දැකීමටය. නමුත් ජනරාල් වරයා හුදෙකලාව හෝ තමන්ගේ පණ තියෙන තෙක් රාජපක්ෂ වරුන් ඉදිරියේ දණ ගැසීමට සූදානම් නැත. සැබවින්ම සුදු කොඩි නඩුවට නිතීයේ රාමුව ඉක්මවා ගිය වටිනාකමක් ලැබී තිබෙන්නේද මේ නිසාය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා මාලදිවයිනේදී රූපවාහිනී සේවා රැසකට සම්මුඛ සාකච්චා ලබා දෙනු ලැබීය. ඉන් එක්තරා ඉනදියනු නාලිකාවක් සමඟ සඳහන් කළ කරුණු අවධානයට ලක් කිරීම රාජපක්ෂ තුළ සිටින කෛරාටක චරිතය පිළිබිඹු කරන්නක් සේම පොදු ගැටලූ මග හරිමින් ඉතාම හාස්‍ය ජනක ලෙස පිළිතුරු සැපයීම ඇසීමට පවා අතිශය සංවේගයට හේතු වේ. රටේ රාජ්‍ය නායකයා මානව අයිතිවාසිකම් මෙන්ම පවුල් වාදය සඳහා හේතු දැක්වීම හාස්‍ය ජනක වන්නා සේම මහාබයානකද වේ. රාජපක්ෂට අනුව ඉහළ සිට පහලට කිසිඳු තරාතිරමක් නොබලා මානව අයිතීන් වලට හානී කළ අයට තමන් දඬුවම් ලබා දීමට කටයුතු කරන බව සඳහන් වේ. එසේම ගාන්ධි පවුල ගැන, කෙනඩි පවුල ගැන, බුෂ් පවුල ගැන සේම නොදන්නා කම ප්‍රදර්ශනය කළ ඔබාමා පවුල ගැනද රාජපක්ෂ කතා කරනු ලැබුවේ තමන් විසින් වසර ගණනාවක් තිස්සේ සිදුකරමින් පවතින පවුල් වාදය සාධාරණීකරණය කිරීම සඳහාය. තමන්ගේ තක්කඩිකම වසා ගැනීම සඳහා පිටත දෑ ගෙන හැර පෑම සහ එමඟින් ඒවා වසා ගැනීම ලංකාවේ පොදු සම්ප්‍රදාය වේ. එය පවුල් වාදය සාධාරණීකරණය කිරීමට පමණක් නොව ඇමෙරිකාව විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම මෙවලමක් ලෙස තබාගෙන රාජපක්ෂටද එසේ කළ හැකිය යන න්‍යාය සෑම විටම භාවිතයට ගත් ආකාරයද දක්නට ලැබේ. මහත් කාලකන්නි ලෙස එය විසින්; සිදුවන ප්‍රසිද්ධ අපරාධ සාධාරනීකරණයකට ලක් කොට ඇති අතර එය මර්ධනයේ මෙවලමක් ලෙසද රාජපක්ෂ විසින් භාවිත කරමින් සිටින්නේය. සුදු කොඩි නඩුවේ තීන්දුවද මෙහිම ප්‍රකාශනයක් මිස එමඟින් ඉන්ද්‍රජාලිකයක් සමාජය ඉදිරියේ ප්‍රදූර්භූත වන්නේ නැත. මෙය සැබවින්ම සමාන වන්නේ හිටපු නීතිපතිවරයා කිසිඳු සාක්ෂියක් නොපෙන්වා තම වාචාලකම ප්‍රදර්ශනය කරමින් ජීනිවාහීදී ප්‍රගීත් එකනලිගොඩ පිළිබඳව දැක් වූ කරුණු දැක්වීමටය. එලෙස සඳහන් කරනු ලැබුවේ මර්වින් සිල්වා නොවේ, රටේ නීතිපති ලෙස කටයුතු කළ මොහාන් පීරිස්ය.

කෙසේ වෙතත්, සුදු කොඩි නඩුව වූ කලී ලංකාවේ බලය සහ ශක්තිය අතර ඇති සම්මුතිය මඟින් යුක්තිය පසිඳලීමේ හැකියාවට ඇති ඉඩ අබියෝගයකට ලක් කරනු ලැබූ සමාජ සංසිද්ධියක් ලෙස හඳුනා ගත හැකිය. කුමන තත්වයක් යටතේ වුවද රාජපක්ෂට අවාසි සහගත දේශපාලන තීන්දුවක් අදාළ නඩු තීන්දුවෙන් බලා පොරොත්තු විය නොහැකිය, යන සමාජය පුරා පවතින අදහස ප්‍රතික්ෂේප කළ නොහැකිය. එය නිශ්චිතයකි. රාජපක්ෂට ලංකාවේ නිතීය තමාට අවශ්‍ය ආකාරයෙන් හැසිරවීමට ඇති ඉඩ සහ බලය මෙන්ම ඊට දේශීය වශයෙන් එල්ල වන අභියෝග වලට මුහුණ දීමේ නිශ්චිත වැඩපිළිවෙලක් තිබේ. එය පසුගිය කාලය පුරාම ඔහු විසින් ප්‍රගුණ කළ කටයුත්තකි. එසේම දේශපාලනික වශයෙන් රටේ පොදු ප්‍රශ්න විසඳීම වෙනුවට රාජපක්ෂ හැකි උපරිමයෙන් තමන් සහ තම පවුල ශක්තිමත් කිරීමත් එය තම ශක්තිය වැඩි කර ගැනීමේ එකම උපාය මාර්ගය ලෙසත් භාවිත කොට තිබේ. රාජපක්ෂට මින් එහා ගිය විශ්වාසයක් නැත. එකී විශ්වාසයෙන් ඔහු තල්ලු කරනු ලැබ ඇත්තේ මර්ධනය වෙතය. පාලනය, මර්ධනය බවට පත් වූ සමාජයක පවතින්නේ පණ රැක ගැනීම සඳහා අනුගත වීම් සහ මානසික අසහනය පමණි. ඒ තුළ විවිධ මට්ටමේ මානසික අසහනය මඟ හරවා ගැනීම සඳහා සංවිධානය වන බෙදීම් දැක ගත හැකි වනු ඇත. එකී බෙදීම් තුළ විප්ලවීය අදහස් රාශියක් මතු වුවද ඒවා එකකට එකක් පරස්පර හෙයින් එක සම්මුතියකට පැමිණීම සිදු වන්නේ නැත. එය සම්මුති ගත වන්නේ දීර්ඝ කාලයක් ගතවීමෙන් පසු ඇති වන ආර්ථික කඩා වැටීමක් පාදක කොට ගනිමින් මිස දේශපාලන දර්ශනයක් ඔස්සේ නොවේ. මේ නිසා අපගේ විමුක්තිය රඳා පවතින්නේ පිටත බලවේගය විසින් මර්ධනය සඳහා සකස් කර දෙනු ලැබූ රාමුවට අනුගත වෙමින් එම රාමුව තුළ සිට කරන සටන මතද එකී රාමුවෙන් පිට පැන සිදු කරනු ලබන විපල්වීය වෙනසක් තුළින්ද යන්න ලංකාව හමුවේ පවතින මුලික අභියෝගය වේ.

ලංකාවේ සමාජ පසුබිම නිවැරදි සමාජීය වෙනසක් සඳහා වන වැඩ පිළිවෙලේ තවමත් සිටින්නේ ළදරු අවදියේය. වසර තිහකට අධික කාලයක් තිස්සේ සමස්ත සමාජය සිර ගත කර තිබු රාමුව වන යුද්ධය නිම වී ගත වී ඇත්තේ වසර දෙකකට මදක් වැඩි කාලයක් පමණි. ඒ නිසා රාජපක්ෂ තව දුරටත් තම ක්‍රමය තුළ ශක්තිය උරගා බලන්නෙක් බවට පත් වී තිබේ. කෙසේ වෙතත් භාරත ලක්ෂමන් ඝාතනයත් සමඟ ඉතිහාසයේ ප්‍රථම වතාවට නිතීයේ අධිපත්‍යට ඇති අවධානය සාමන්‍ය ජනතාව වෙතට සැලකිය යුතු මට්ටමකින් යොමු වී තිබීම යම් තාක් දුරකට ඒ සඳහා වන වැඩ පිළිවෙලේ හැරවුම් ලක්ෂයක් වේ. මෙය තව දුරටත් පුළුල් වන්නේ රාජපක්ෂ විසින්ම සිදු කර ගන්නා අත්වැරදීම් වලින් මිස දුර්වල විපක්ෂයකට හෝ මර්ධනයට ලක් වූ සමාජ ප්‍රභවයකට ඊට දායක විය හැකි ඉඩ ඇත්තේ අතිශය දුෂ්කර මාර්ගයක් ඔස්සේය. මේ නිසා සුදු කොඩිය මත ඇතිරුණු උපන්දින කේක් ගෙඩිය විකීම සඳහා රාජපක්ෂ මෙවරත් වාසනාවන්තය. නමුත් එය විසින් ඇති කරන සමාජ අසහනය තවදුරටත් පුළුල් කරනු ඇත. මේ නිසා රාජපක්ෂ තව දුරටත් මර්දනය මෙවලම කරගත් දුෂ්ඨත්වයකට තල්ලු වනු ඇත. නමුත් අමතක නොකළ යුත්තේ නිදහස නමැති රබර් බෝලය වතුර තුළ කෙතරම් වෑයමක් දමා රඳවාගෙන සිටියද පීඩනය හේතුව කරගනිමින් එය කුමන හෝ අවස්ථාවක මතුපිටට පැමිණෙන බවයි. එය සිදුවන කාලය සහ ස්වභාවය පමණක් වෙනස් වනු ඇත.