| ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
සමාජය තුළ ස්‌ත්‍රියට සමාජ ඇගයුම පිළිබඳ සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් විමසීමේදී අදාළ සමාජ නිර්ණායක සෘනාත්මක ස්‌වරූපයක් ගන්නා බව පැහැදිලිව දක්‌නට ලැබේ. මේ අනුව යමක පවතින අයහපත් බව ප්‍රකාශ කිරීමේ ස්‌වරූපයක් ලෙස ස්‌ත්‍රීත්වය භාවිත කරනු ලබන ආකාරය එහිදී පැහැදිලිව කැපී පෙනේ. ශක්‌තිමත් බව පුරුෂත්වය තුළ නිරූපණය කිරීමට කිසි විටෙක නොපැකිළෙන සමාජය නිරතුරුව ස්‌ත්‍රිය දෙස හෙලනුයේ අවඥා සහගත දැක්‌මකි. ස්‌ත්‍රිය දුර්වලත්වය, නොහැකි බව, අසමත් බව ආදී ලක්‍ෂණවලින් යුතුව භාවිත කරනු දැකිය හැකිය. පවුලක වැඩි කාර්යභාරයක් කරනුයේ මවයි.නැතහොත් ස්‌ත්‍රියයි. සිය ස්‌වාමියා, දූ දරුවන්, දෙමවුපියන්, ඥාතී හිතමිතුරන් ආදී සියලු දෙනා විෂයෙහි යුතුකම් වගකීම් නිසි පරිදි ඉටු කිරීමේ වගකීම පැවරෙනුයේ බිරිඳ හෙවත් ස්‌ත්‍රියටය. එබඳු අවස්‌ථාවකදී හැම විටකදීම සාර්ථකත්වය පමණක් ස්‌ත්‍රිය වෙතින් අපේක්‍ෂා කරන පුරුෂ මූලික සමාජය ස්‌ත්‍රී භූමිකා පිළිබඳ නිසි අගය කිරීමක් සිදු නොකරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඇතැම් විට පවුලක සැමියාට ද වඩා ආදායම උපයීම පිණිස වෙහෙස වී කටයුතු කරනුයේ බිරිඳ විය හැකිය. එබඳු අවස්‌ථාවලදී ඇගේ වෘත්තීය පසුබිම පිරිමියාට ද වඩා දැඩි වගකීම් සහිත ස්‌වරූපයක් ගනී. නමුදු ඒ සියලු කටයුතු ඉටුකර ගනිමින්ම දූ දරුවන්ගේ කටයුතු ද කිසිදු අඩුපාඩුවක් නොමැතිව නොපිරිහෙළා ඉටුකිරීමේ වගකීම ඇය කරට ගන්නේ අල්ප මාත්‍ර හෝ මැසිවිල්ලක් නොමැතිවය. ගැල්බර අදින රිය සක විලස නොපිරිහෙලා පවුලේ වගකීම් කාර්යභාරය ඉටු කරන ස්‌ත්‍රියකට ඒ පිළිබඳ අගය කිරීමක් වත් පිරිමියාගෙන් නොලැබේ. ඒ වෙනුවට ඇයට හිමි වනුයේ අතපසු වන කාර්යයන් වෙනුවෙන් ලැබෙන නින්දා අපහාස පමණි. ස්‌ත්‍රියකට වඩා අඩු වගකීමක් දැරුවද සමාජ ආකල්පය වී ඇත්තේ වඩා ශක්‌තිමත් පිරිමියා යන සාවද්‍ය මතයයි. එය පුරුෂ කේන්ද්‍රික සමාජය විසින් සමාජගත කිරීමට වෑයම් කරන්නක් මිස සැබෑවක් නොවන බව වටහා ගත යුතුය.
ගෑනු ගති, ගෑනියෙක් වගේ ආදී ව්‍යවහාර සමාජයේ ව්‍යාප්තව පවතිනුයේ යමකු තුළ විද්‍යමාන චර්යාවක් හෙළා දැකීමට අවශ්‍ය වූ අවස්‌ථාවලදී ය. එහිදී එබඳු ව්‍යවහාර භාවිත වනුයේ සමාජ සම්මත අපේක්‍ෂිත උසස් මට්‌ටමට නොසැසඳෙන කිසිදු සදාචාර වගකීමක් නොමැති චර්යා හැඳින්වීම සඳහා බව පැහැදිලිව දැකගත හැකිය. සැබැවින් ම ගැහැනුකම මේ තරම් පහත හෙළා කතා කළ හැකිද යන කරුණ මෙහිදී ඉස්‌මතු වේ. මන්ද හැම විටකදීම ස්‌ත්‍රිය පුරුෂයා තරමට වැදගත් පුද්ගලයකු නොවන්නේ ද යන ද්විතීය කරුණ ද ඒ සමඟම උද්ගත වන බවයි. මෙහිදී වර්ගභේදවාදී ගෝත්‍රිකවාදී ආචීර්ණ කල්පිත අන්ධ බමුණු මතවාදවලට මූලිකත්වය හිමිව තිබීම කිසිසේත් සාධාරණ යෑයි අනුමත කළ නොහැකිය. ලිංගික නිර්ණය කෙසේ වුවද, මූලිකත්වය හිමිවිය යුත්තේ මනුෂ්‍යත්වයටය. ඒ අනුව ස්‌ත්‍රී පුරුෂ භාවය කුමක් වුවද සමාජයේදී ඇයට හිමිවිය යුතු ගෞරවනීය සමාජ තත්ත්වය තුට්‌ටු දෙකට දමා සැලකීම නොසුදුසු බව තවමත් මෙරට වෙසෙන පිරිමි සමාජයට නොහැකි වී තිබීම අවාසනාවකි. දරුවකු කුඩා කාලයේදී පටන් පවුල් තුළින් ලබන ආකල්ප වැඩිහිටියකු වූ පසුව ද ප්‍රබලව බලපවත්වන බව නොරහසකි. දරුවන් කුඩා කාලයේදී පටන් පවුල සංස්‌ථාව තුළදී බහුලව අසන්න දකින්න ලැබෙනුයේ පිරිමියාට වඩා ස්‌ත්‍රිය පහළ බව අඟවන දේවල් ය. එබැවින් එබඳු අය වැඩිහිටියන් වූ පසුවද එබඳු ආකල්ප ඔවුන් තුළ දක්‌නට ලැබේ. ඇතැම් විට පවුලේ ගැහැනු දරුවන්ට වඩා සිය මවගේ ආදරය පිරිමි දරුවන් වෙත යොමු වී තිබෙනු දකින දරුවන් වැඩිහිටියන් වූ පසුවද සිතනුයේ එය සමාජය තුළදී තිබිය යුතු සත්‍ය තත්ත්වය බවයි. මෙසේ වැරදි ආකල්ප පුහුණුව නිසා නිතරම පිsරිමියා ඉහළ යන ගර්වයෙන් පසුවීමට හා ස්‌ත්‍රිය පහත්ය යන හීනමානයෙන් පසුවීමට දරුවන් යොමු වේ. දරුවන්ගේ මෙබඳු වැරදි ආකල්ප නිවැරැදි කළ යුතු ය.
පුද්ගලයෙක් තවත් අයකුගෙන් උසස්a හෝ පහත් වනුයේ නිලය, ජාතිය, කුලය, පෙළපත, ස්‌ත්‍රී පුරුෂ භාවය, සමාජ පසුබිම හෝ වත්පොහොසත්කම අනුව නොවේ. තමාගේ සාරධර්ම හා සදාචාර ලක්‍ෂණ අනුවය. ස්‌ත්‍රියක වූ පමණින් දෙවන පෙළ මනුෂ්‍යයකු නොවේ. නමුදු මෙලොව සෑම හොඳ දෙයක්‌ම පුරුෂයාටය. මේ නිසා පළමු පෙළේ පුරුෂයා වැජඹේ. ස්‌ත්‍රියට නිතරම හිමි වනුයේ මානව සමාජයේ දෙවන පෙළ සාමාජික බවයි. නමුදු මේ තත්ත්වය, දක්‍ෂතාව, කුසලතාව, අනුව රැස්‌කර ගත් පුණ්‍ය ශක්‌තිය අනුවය. මේ නිසා මෙලොව ස්‌ත්‍රියක ලෙස උපත ලබන ස්‌ත්‍රිය පිරිමියකුට දෙවැනි නොවේ. ඇගේ මිනිස් ආත්මභාවය ලබනුයේ ද පුන්‍ය ශක්‌තිය අනුවය. ලිංග නිර්ණය ජීව විද්‍යාව අනුව සකස්‌වන කරුණක් මිස යමකුගේ පුණ්‍ය හෝ පාප ශක්‌තිය මත තීරණය වන දෙයක් නොවන බව වටහා ගත යුතුය. මේ අනුව ස්‌ත්‍රියක හෝ පුරුෂයකු යන බාහිර ජීව විද්‍යාත්මක සාධක නොසලකා, ක්‍රියා පූර්වගම වූ ෙච්තනාවට බුදු දහමේ මූලික ස්‌ථානය පිරිනැමේ. ඒ අනුව ඕනෑම අවස්‌ථාවක සිය සදාචාර මට්‌ටම උසස් හෝ පහළ දක්‌වා යොමුකර ගැනීමේ පූර්ණ බලය ලිංගික හැඩතල නොසලකා එම පුද්ගලයාටම බුදු දහම විසින් හිමිකර දී තිබේ. මේ පුද්ගල ස්‌වඡන්දතාව නමැති අතිශය මානුෂික පසුබිම මානව සමාජය වෙත උරුම කොට ලබා දීමකි. වෙනත් කිසිදු සමකාලීන ආගමික සංස්‌ථාවක් විසින් ස්‌වච්ඡන්දතාවට මෙතරම් ගරුකර නොතිබිණි. ස්‌වච්ඡන්දතාව නිසා ගරු කරන ලද පුද්ගල ස්‌වාධීන චින්තනය වෙනත් සමයන්හි පරාධීන කොට තිබුණේ සියල්ල මිනිස් කැමැත්තට පරිබාහිරව කිසියම් සැලැස්‌මකට හෝ ආකෘතියකට පැවරීම මගිනි. එය විමුක්‌තියට හෝ නිදහස ලැබීමට ක්‍රමය සේ සැලකිය නොහැක. බුදු දහම ශ්‍රේෂ්ඨ වනුයේ විමුක්‌තියට මඟ කිsසිදු දෙවියකුට හෝ බ්‍රහ්මයකුට නොපවරා හුදෙක් සිය ආත්ම දමනය මගින් ම පමණක් ම විමුක්‌තිය ලැබිය හැකි බව මිනිසුන්ට පෙන්වා දෙනු ලබන බැවිනි. ඒ තුළ වෙනත් කිසිදු අයෙකුගේ පිහිටට ගැති නොවී ස්‌වච්ඡන්දතාව කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමට මිනිසුන්ට හැකි වන්නේය.
අප හැම විටම ප්‍රවේශම් විය යුතු වන්නේ යුක්‌ති සහගත සමාජ ප්‍රතිමාන පුරක්‍ෂිත කිරීමට හා අයුක්‌ති සහගත සමාජ සම්මත හා ප්‍රඥප්තිවලට අනුකූල නොවී සිටීමටය. මේවා සමාජ සම්මත වුවත් සදාචාරයට පටහැනි දේ අයුක්‌ති සහගත සමාජ ආකල්ප ලෙස දැක්‌විය හැකිය. ලොව සියලු දෙනාගේම මානුෂික අයිතිවාසිකම් ගරු කරනවා සේම එකී මානුෂික අයිතිවාසිකම් අහිමි වන පරිදි එක් පුද්ගල කොටසකගේ වුව කායික හා මානසික හිංසනයට පත් කිරීම නොකළ මනා දෙයකි. එබැවින් ස්‌ත්‍රිය සමාජයේ දෙවන පෙළ පුරවැසියන් කිරීම කෙතරම් සදාචාරාත්මක කරුණක් දැයි වටහා ගැනීම මෙය කියවන ඔබට බාරය. ලිංගික හැඩතල සාධකයක් ලෙස පමණක්a ගෙන ඒ අනුව කිසියම් ජන වර්ගයක් හෝ කොට්‌ඨාසයක් කොන්කර තැබීම අයුක්‌ති සහගත සමාජ ප්‍රතිමානයක් සේ පෙන්වා දිය හැකිය. කිසියම් ජන සමාජයක් සතු සංස්‌කෘතික මට්‌ටම උසස් හෝ පහත් බව මැනබලා ගන්නා මිණුම් දඬුවක් ලෙස ද සහනශීලී බව සැලකිය හැක. බුදුරදුන් වඡ්ජීන්හට දේශනා කළ සප්ත අපරිහානි ධර්ම අතර සඳහන් ස්‌ත්‍රියකගේ සමාජ වටිනාකම පිළිගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ සමාජ විද්‍යාත්මක සිද්ධාන්තය මෙකලට ද එක ලෙසම වලංගු අකාලික දහමකි.
ස්‌ත්‍රියගේ දැන උගත්කම, ගතිගුණ සමාජ මට්‌ටම ආදි අගයන්වලට වඩා සිරුරේ පැහැය, ලාබාල බව හැඩය කෙරෙහි වඩා දැඩි ආකර්ශනයක් ඇති බව සති අන්ත පුවත්පත්වල පළවන මංගල යෝජනා මැනවින් පිරික්‌සූ කළ පැහැදිලි වන සත්‍යයකි. මෙහි අහිතකර පැතිකඩ රාශියක් තිබේ. ස්‌ත්‍රියක් කොපමණ දැන උගත්කම්වලින් ඉහළට පැමිණිය ද තවමත් සමාජය ඇගෙන් බලාපොරොත්තු වනුයේ සාම්ප්‍රදායික වටිනාකම් අතළොස්‌ස පමණක් වීම මෙහි විද්‍යමාන කරුණකි. එම වටිනාකම් පවා හුදෙක් බාහිර ශාරීරික හැඩතල වලට පමණක් සීමාවීම අවාසනාවන්ත තත්ත්වයකි. කෙතරම් දැන උගත්කම්වලින් ඉහළට ගිය ද පිරිමි තවමත් ස්‌ත්‍රියකගෙන් අපේක්‍ෂා කරනුයේ දිගු වරලසක් හිමිව තිබීම, පැහැපත් බව, ළාබාල බව, ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම් ආදී ගේ දොර වැඩ කටයුතු දැන ගැනීම වැනි පුරුෂ කේන්ද්‍රික සමාජ ක්‍රමය විසින් අත්‍යවශ්‍ය යෑයි සලකන ලද සාධක කිහිපයක් පමණි. මේ අනුව ස්‌ත්‍රියකගේ බුද්ධිය, උගත්කම, දක්‍ෂතාව වැනි පුද්ගල පෞරුෂ හා සමාජ සාධක නොසලකා හැර තිබේ. කොපමණ වෑයම් කළ ද තවමත් මෙලොව ක්‍රියාත්මක වනුයේ පුරුෂ කේJද්‍රි ස්‌වරූපයකින් බව වටහා ගැනීමට මෙය ඉතා හොඳ සාධකයකි. එසේම ස්‌ත්‍රියකට මෙලොව යම්කිසි වෘත්තීය අවස්‌ථාවකදී වෘත්තීය හා අධ්‍යාපන සුදුසුකම්වලට වඩා කායික ආකර්ෂණය පිළිබඳ පුරුෂ මූලික සමාජය වඩාත් දැඩිව සැලකිලිමත් වන බව ද නොරහසකි. එය පසු කාලයකදී එබඳු සේවා ස්‌ථානයකදී පුරුෂාධිපත්‍යය හමුවේ ස්‌ත්‍රිය දඩමීමා කර ගැනීමට පවා අනියම් ලෙස බලපානු ලබන බව සැලකිය හැකිය. සේවා උසස්‌වීම්, වැඩි වැටුප්, නිවාඩු, හොඳ සේවා ස්‌ථාන, රාජකාරි සහන ආදී දේ පිණිස පුරුෂ කේන්ද්‍රික සමාජ ක්‍රමය ස්‌ත්‍රියකගෙන් බලාපොරොත්තු වනුයේ හුදෙක් දිවි හිමියෙන් රැක ගත් පිරිසිදු බව ද ආත්ම ගෞරවය ද විය හැකිය.
ස්‌ත්‍රියක පුරුෂයකු වේවා මෙලොව ජීවත්වන සෑම දෙනකුටම ඇත්තේ සමාන මනුෂ්‍ය ජීවිතයකි. මිනිස් ජීවිතය විවිධාකාරය. ඒ නිසා වරෙක ලාභ ද විටෙක පාඩු ද විවිධ නින්දා අපහාස ද විඳ දරා ගැනීමට බොහෝ විට සිදු වීම ස්‌වභාවයයි. මේ ස්‌වභාවය අටලෝ දහමයි. ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව ජීවිතයේ විවිධ අවස්‌ථාවලදී සිදුවන උස් පහත්වීම් සෑම දෙනාටම විඳීමට සිදු වේ. එය ලෝක ස්‌වභාවයයි. එසේ සිදුවීම්වලදී උපේක්‍ෂකව, මධ්‍යස්‌ථ සිතින් ඒ හැම දුක්‌ගිනි ඉසිලීමට තරම් සවිමත් සිතක් කෙනකු තුළ නිරායාසයෙන් ඇති නොවේ. එබඳු අවස්‌ථාවලදී ගත හැඩි දැඩි ශක්‌තිමත් යෑයි පවසන පිරිමින්ට වඩා ගත සවිබල දුබල යෑයි සලකන ස්‌ත්‍රීන් ශක්‌තිමත් ව එවැනි දුක් කරදර විඳ දරා ගැනීමට දක්‌වන සමත්කම විස්‌මය දනවන සුළුය. ගැහැනියකගේ සිත පිරිමි සිතකට වඩා ධෛර්යමත් ය. මිනිස් සිතකට එබඳු තත්ත්වයකට මනාව ඔරොත්තු දිය හැකි වනුයේ දුකට හුරු පුරුදුකර හැඩ ගස්‌වා ගැනීම තුළිනි. ස්‌ත්‍රීන් උපන්දා සිට විඳින අනේක විධ දුක් ගැහැට නිසා ස්‌ත්‍රීන්ට එබඳු හැකියාවක් නිරායාසයෙන් ම ලැබී තිබේ. දරුවකු මේ ලෝකයට බිහි කිරීමේදී සෑම ස්‌ත්‍රියක් ම දරන වේදනාව සුළුපටු නැත. එබඳු ප්‍රසව වේදනාවක් කවදාවත් නොඉසිලූ පිරිමියකුට දරු දුක කුමක් දැයි මවක් පමණ පහසුවෙන් වටහා ගත නොහැක්‌කේ ද එබැවිනි. කායික වේදනාව මෙන්ම මානසික වේදනාව දැරීම අතින් ස්‌ත්‍රීන් පවා පුරුෂයන්ට වඩා ඉදිරියෙන් පසුවේ.
ස්‌ත්‍රියක ජීව විද්‍යාත්මක නිර්මාණයවී ඇත්තේ තවත් ජීවීන් බිහි කිරීමට හා පෝෂණය කිරීමට අවශ්‍ය කරන ආදරය සෙනෙහස දයාව බඳු සදාචාර ගුණ ශාරීරික හා මානසික පසුබිම තුළ ඇතිවන පරිද්දෙනි. ස්‌ත්‍රිය හැම විටකදීම අනුන් කෙරෙහි අතිශය සංවේදී වනුයේ එබැවිනි. ආදරය, සෙනෙහස වැනි මානුෂික හැඟීම් ඉදිරියේදී ස්‌ත්‍රියක බොහෝ විට අවංකය. සත්‍ය ගරුකය. සෘජුය. මාතෘත්වය ගෙදර බුදුන් අම්මා වැනි උතුම් බවකට නංවා ඇත්තේ එබඳු බොහෝ මානව වටිනාකම් සමස්‌ත ස්‌ත්‍රීත්වය තුළ ගැබ්ව ඇති බැවිනි. ප්‍රජාපති ගෝතමී මහ රහත් භික්‍ෂුණින් වහන්සේට පසු ගමන් ගොස් සම්මා සම්බුදු හිමියන් පෙන්වා වදාළේ ද මාතෘත්වයේ ගැබ්වන මෙකී උදාරතර ගුණයි.
Post a Comment