ජවිපෙ පැරද වූයේ ජවිපෙ විසින්මය..!

නන්දන ගුණතිලක

ජනතා විමුක්‌ති පෙරමුණ ගැන නැවත වතාවක්‌ ලියන්නට සිදුවී තිබේ. මා ජනතා විමුක්‌ති පෙරමුණ දෙසට නැඹුරුවන්නට පටන් ගත්තේ 1983 කලු ජූලියෙන් පසුවය. ඒ එදා ජාතිආලවන්ත එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ගේ මෙහෙයවීම මත මැරයන් විසින් නිරායුධ දකුණේ දෙමළ ජනයා අමු අමුවේ ඝාතනය කිරීමට එරෙහිව ජවිපෙ සුවිශේෂ මැදිහත්වීමක්‌ කළ බව සියෑසින්ම දුටු විටය. සැබැවින්ම එදා ජවිපෙ නායකයන්ගේ සිට ගම්වල පාක්‍ෂිකයන් දක්‌වා වූ සාමාජිකත්වයෙන් බහුතරය හැකි සෑම තැනකදීම දෙමළ සහෝදර සහෝදරියන් මැරයන්ගෙන් ගලවා ගැනීමටත් හොර රහසේ ආරක්‍ෂා කිරීමටත්, සංවිධානාත්මකවත්, පෞද්ගලිකවත් අති මානුෂික මෙහෙවරක්‌ ඉටු කළහ. ඉඳින් ජවිපෙ දෙසට නැඹුරු වන්නට මේ කරුණම නොසෑහේද?

කෙසේ වෙතත් සමාජවාදී සාහිත්‍යයෙනුත්, සමාජවාදී ශාස්‌ත්‍රීය ග්‍රන්ථයන්ගෙනුත් පෞද්ගලිකවම දැනුම උකහා ගනිමින් සිටි මේ වකවානුවේ පෙරකී කාරණය නිසා ජවිපෙ පිළිබඳ නැඹුරුවක්‌ ඇති වෙමින් තිබීම නිසාම ජවිපෙ තිබූ අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී ස්‌වභාවයද තවදුරටත් දැනෙන්නට වී තිබිණි. මෙම දැනුවත් ක්‍රියාවලියේ කූඨ ප්‍රාප්තිය ලෙස මා මගේ කැමැත්තෙන්ම (එවකට රාජ්‍ය විරෝධී තහනම් ව්‍යාපාරයක්‌ වූ මර්දනයට ලක්‌වෙමින් තිබූ) ජවිපෙ සොයා ගියෙමි. ඒ 1984 වසරේ අග භාගයේදීය. ජවිපෙහි සුප්‍රකට මූලික සාකච්ඡාවට සහභාගි වූයෙමි. සාකච්ඡාව කළේ උපාලි ජයවීර සහෝදරයාය. පසුව පිළිවෙළින් සුප්‍රකට පන්ති 5 සාකච්ඡාවන්ට සහභාගි වූයෙමි. ඒ අතර වාරයේ “දෙමළ ඊළාම් අරගලයට නිර්දන පන්තියේ විසඳුම” මැයෙන් වූ රෝහණ විඡේවීර සහෝදරයාගේ කෘතිය ඇතුළු අනෙකුත් රහසිගතව පරිහරණය වූ කෘතීන් සියල්ල කියවීමි. පසුව ඉතා කෙටි කලකදී ජවිපෙහි ඉතා ප්‍රකට ප්‍රාදේශීය දේශපාලන අධ්‍යාපන කඳවුරටද ජාතික දේශපාලන අධ්‍යාපන කඳවුරටද සහභාගි වූයෙමි.

ජවිපෙ තම සාමාජිකයනට මූලික වශයෙන් දේශපාලන අධ්‍යාපනය ලබා දෙන්නේ මා පෙර කී පිළිවෙළටය. මීට අමතරව විවිධ අධ්‍යාපනික වැඩමුළු කව සාකච්ඡා, දේශපාලන සාකච්ඡා ආදී බොහෝ මාර්ගවලින් සාමාජිකයාගේ දේශපාලන දැනුම අවබෝධය ඉහළ මට්‌ටමක තබා ගැනීමට කටයුතු කරයි. මේ අතර වඩා උනන්දුව ඇති අය අතර ස්‌වයං අධ්‍යාපනය සඳහාද විවිධ ග්‍රන්ථයන් නිර්දේශ කරයි.

මා මෙතෙක්‌ සඳහන් කළේ ජවිපෙට රහසිගතව, භූගතව වැඩකරන්නට සිදුව තිබුණ කාලයේ හා විවෘතව එළි පහළියේ කටයුතු කරන්නට හැකිවූ කාලයේ යන කාලයන් දෙකෙහිදීම අඩු වැඩි වශයෙන් කරනා ලද අධ්‍යාපන ක්‍රියාකාරකම්ය.

මේ සියලු අධ්‍යාපන ක්‍රියාකාරකම් හරහා ජවිපෙ ඉගැන්වූයේ “සමාජවාදය බිහි කළ හැක්‌කේත් එය කොමියුනිස්‌ට්‌ යුගය දක්‌වා ගෙන යා හැක්‌කේත්” කෙසේද කියාය. පෙර වාක්‍යය මා සඳහන් කළේ ජවිපෙ අධ්‍යාපනයේ මුඛ්‍ය පදනම ඉතා සරල ලෙස වාක්‍යයකට කැටි කොටය. මේ පදනම සඳහා සේවය කරන තවත් බොහෝ දේ සාමාන්‍යයෙන් ජවිපෙ තම සාමාජිකයාට උගන්වයි. උගෙනගන්නට කියා දෙයි.

ඉදින් මෙසේ සමාජවාදයත් කොමියුනිස්‌ට්‌ තත්ත්වයත් තහවුරු කර ගැනීම සඳහා ජවිපෙ තෝරාගත් අරගල විදිහ වන්නේ සුප්‍රකට “පන්ති සටනය”. මෙකී පන්ති සටන ජය ගැනීම සඳහා තත්කාලීනව පැවැති ජාතික හා ජාත්‍යන්තර සමාජ, ආර්ථික, දේශපාලන වර්ධනයන් තුළ ජවිපෙ තෝරාගත් උපාය මාර්ගය වූයේ “අධිරාජ්‍ය විරෝධී අරගලය හරහා සමාජවාදය”ට යන්නයි.

“මේ අධිරාජ්‍ය විරෝධී අරගලය හරහා සමාජවාදයට” යන්න පක්‍ෂය තුළ මූලික වශයෙන් තහවුරු කෙරෙන්නේ 1978 හිරගෙවල් වලින් එළියට පැමිණ නැවත ප්‍රතිසංවිධානය වීමෙන් පසුවය. මුල් අවධියේ තරම් “බර” ක්‍රියා මාර්ග නොතේරුවද මේ සඳහා වඩා ප්‍රබල ක්‍රියා මාර්ගවලට යැමට බල කෙරුණ වාස්‌තවික තත්ත්වයන් විශේෂයෙන් පක්‍ෂ තහනමට පසුව පැණ නැඟිණි.

ඒ නිසා මා වසර 22 ක කාලයක්‌ මගේ දේශපාලන පක්‍ෂය කරගත් එමෙන්ම එයින් වසර 19 ක කාලයක්‌ පූර්ණකාලීනයකු ලෙස වැඩ කළ ජනතා විමුක්‌ති පෙරමුණ, එම සම්පූර්ණ කාලය තුළ තම අරගලයේ පදනම ලෙස යොදා ගත්තේ “අධිරාජ්‍ය විරෝධී අරගලය හරහා සමාජවාදයට යන්නයි.”

1989 අප සිය කැමැත්තෙන් අත්පත් කරගත් විනාශයෙන් පසුව ජවිපෙ නැවත ගොඩනැඟීමට කටයුතු කළ (89 අග ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌ ලේකම් වූ) මා ඇතුළු කිහිප දෙනාද තවදුරටත් ජවිපෙ හි උපාය මාර්ගය ලෙස පිළිගත්තේ “අධිරාජ්‍ය විරෝධී අරගලය හරහා සමාජවාදයට යන්නයි.”

1994 න් පසු නැවත ජවිපෙ බලහත්කාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට කඩා වැදීමෙන් පසුවද එය පිළිගත්තේ අධිරාජ්‍ය විරෝධී අරගලය හරහා සමාජවාදයට යන්නයි.

එහෙත් පැවැති වාස්‌තවික තත්ත්වයනට (සමාජ ආර්ථික හා දේශපාලන තත්ත්වයනට) අනුකූලව තවදුරටත් තම උපාය මාර්ගයේම පිsහිටා කටයුතු කළ යුතුව තිබූ ජවිපෙ 2005 ජනාධිපතිවරණයට පෙර ගන්නා ලද “බාග” තීරණයක්‌ හරහා එම උපාය මාර්ගික උවමනාවන්ගෙන් ඉවත්වන්නට විය.

ජවිපෙ මා මෙතෙක්‌ පුන පුනා කියූ උපාය මාර්ගය සාක්‍ෂාත් කර ගැනීම සඳහා, (විශේෂයෙන් 1983 පක්‍ෂ තහනමෙන් පසුව) තෝරන ලද්දේත්, ක්‍රියාත්මක කරන ලද්දේත්, එයම අරමුණු කොටගත් කෙටි කාලීන දේශපාලන ක්‍රියා මාර්ග හෙවත් දේශපාලන උපක්‍රමයන්ය.

ඉන්දියානු ආක්‍රමණිකයාට එරෙහිවත්, දෙමළ ඊළාම් සටනට එරෙහිවත් ජවිපෙ දිවි පරදුවට තබා සටන් කළේත් දිවි දුන්නේත් එම නිසාය.

බලය බෙදීම, ෆෙඩරල්වාදය වෙනුවෙන් පෙනී සිටි නමුත්, දුර්වලව සිටි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ නායකත්වය තිබියදී ශ්‍රීලනිපය සමග පරිවාස ආණ්‌ඩු ගිවිසුම් ගැසුවේත් ඒ නිසාය. ඒ මොහොතේ උග්‍ර බෙදුම්වාදී, උග්‍ර ෆෙඩරල්වාදී, උග්‍ර බටහිර ගැති එක්‌සත් ජාතික පක්‌ෂ පාලනයක්‌ වැළැක්‌වීම සඳහා ජවිපෙ දුර්වලව සිටි “ෆෙඩරල්වාදී චන්ද්‍රිකා” සමග ගිවිසුමකට යැමට නොපසුබට විය. එසේ කළේ ඒ මොහොතේ “රනිල් වික්‍රමසිංහ බලයට ඒම යනු රට දෙකට බෙදීම පාර කැපීම” වන බව වෙන කාටත් වඩා හොඳින් ජවිපෙ කල් තබා තේරුම් ගත් නිසාය.

එමගින් රනිල් බලයට ඒම කෙටි කාලයකට හෝ නතර කරගත හැකි වූ අතර ඒ කාලය තුළදී ජවිපෙහි පරිණත බව හා “නායකත්ව සුදුසුකම” පිළිබඳව ජනතාව තුළ ගැඹුරු සටහනක්‌ තබා ගැනීමට ජවිපෙ සමත් විය. එහෙත් අවසානයේ ශ්‍රීලනිපය තුළ සිදුවූ පාවාදීම නිසා පරිවාස “සභාග ආණ්‌ඩුව” බිඳ වැටුණු බව රහසක්‌ නොවේ.

ඉන්පසුව රනිල් වික්‍රමසිංහ ආණ්‌ඩු කාලය තුළ රට බෙදීමට ගන්නා ලද තීරණාත්මක ක්‍රියාමාර්ග පරාජය කිරීමට කටයුතු කළේද අන් කවරකුවත් නොව ජවිපෙ යයි. රට පුරා කුඩා ජන රැළි දහස්‌ ගණනක්‌ද, කොළඹ හා රට පුරා විසුරුණු උද්ඝෝෂණද, කොළඹ සිට ගාල්ලට හා නුවර සිට ගාල්ලට පා ගමන්ද, ප්‍රාදේශීය සභා නගර සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව තුළ විරෝධතාද ආදී වශයෙන් වූ ක්‍රියාමාර්ග හරහා එජාප රජයේ බෙදුම්වාදී ක්‍රියා මාර්ගවලට එරෙහිව රට මෙහෙය වූයේද ජවිපෙය. අවසානයේ චන්ද්‍රිකා කුමාරණතුංගද ප්‍රසිද්ධියේ පිළිගත් පරිදි රනිල් ආණ්‌ඩුවේ අමාත්‍යාංශ පවරාගෙන, ආණ්‌ඩුව විසුරුවා හැරීමට චන්ද්‍රිකාට බලපෑම් කළේද, ඒ මොහොත වන විට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය තුළ වූ ජවිපෙ යයි. එම “එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයද” ජවිපෙහි මා පෙර කියූ සුප්‍රකට උපාය මාර්ගයට අනුකූලව ජවිපෙ විසින්ම තෝරන ලද කෙටි කාලීන දේශපාලන ක්‍රියා මාර්ගයක්‌ හෙවත් දේශපාලන උපක්‍රමයකි. එනම් අධිරාජ්‍ය විරෝධී අරගලය ජය ගැනීම සඳහා හැකි උපරිම අධිරාජ්‍ය විරෝධී (එම මොහොතේ) බලවේග ඒකරාශි කරගැනීම සඳහා උපක්‍රමිකව ගොඩනගාගත් “එක්‌සත් පෙරමුණකි”. ලෝකය පුරා අධිරාජ්‍ය විරෝධී අරගලවලදී මෙවැනි එක්‌සත් පෙරමුණු ගොඩනැගීමට අධිරාජ්‍ය විරෝධීහු කටයුතු කර තිබිණ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එතරම් පුළුල් අධිරාජ්‍ය විරෝධී ක්‍රියාමාර්ගවලට අනාගතයේදී යා හැකිද නැද්ද යන්න පසුව තීරණය වන කාර්යයක්‌ බව දැන දැනම එම එක්‌සත් පෙරමුණ ගොඩනැගීමට ජ.වි.පෙ. කටයුතු කළේ, පුරෝගාමී වූයේ, අධිරාජ්‍ය වාදයේ දේශීය නියෝජිතයන්වූ දෙමළ ඊළාම් කොටි සංවිධානයත්, එ.ජා.ප.යත් එකට තබා පැරදවීමට, අවම තරමින් එවැනි එක්‌සත් පෙරමුණක්‌ හෝ අවශ්‍ය වන බව ජ.වි.පෙ. ඉතා නිවැරදිව තේරූ නිසාය.

චන්ද්‍රිකා කුමාරතුංගගේ පෙඩරල් උවමනාව එක්‌සත් පෙරමුණු ආණ්‌ඩුව තුළ නැවත හිස එසවීය. ජ.වි.පෙ, එල්.ටී.ටී.ඊ.යට එරෙහිව සටන් විරාම ගිවිසුම ප්‍රතික්‍ෂේප කරමින් යුද්ධය යෝජනා කරනවිට චන්ද්‍රිකා කළේ කුප්‍රකට “සුනාමි සහන මණ්‌ඩලය” කොටින්ට පූජා කිරීමට කැස කැවීමය. එවිට ජ.වි.පෙ. ආණ්‌ඩුවෙන් ඉවත්ව නමුත් ආණ්‌ඩුව වැටීමට ඉඩ නොදෙමින් සුනාමි සහන මණ්‌ඩලය අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ හරහා පරාජය කිරීමට ඉතා නිවැරදිව කටයුතු කළේය. එසේ කළේද, මා, පෙර පුන පුනා සඳහන් කළ ජ.වි.පෙ. හි අධිරාජ්‍ය විරෝධී අරගලය හරහා සමාජවාදයට යන උපායමාර්ගයට අනුකූල උපක්‍රමික ක්‍රියාමාර්ගයක්‌ ලෙසය.

ජ.වි.පෙ. තුළ ප්‍රශ්නය පැන නැගුනේ මින් පසුවය. 2005 ජනාධිපතිවරණය සඳහා අපේ උපායමාර්ගයට අනුකූල කොන්දේසි වලට එකඟවන්නේනම් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා කරවීමටත්, ආණ්‌ඩුවට ඇතුළුවී කොටි පැරදවීමටත් කටයුතු කළ යුතු බව මා ඇතුළු දේශපාලන මණ්‌ඩල සාමාජිකයන් බහුතරයකගේ මතය විය. එසේ කොන්දේසිවලට එකඟවන මහින්ද රාජපක්‍ෂ මහතා ජ.වි.පෙ. මන්ත්‍රී 39 ක ජවයත් සමඟ කොටි පැරදවීමට, සටන් කිරීමට යොමුකරගත හැකිවන බව / යොමුකරගත යුතු වන බව අපේ උපක්‍රමික තේරීම විය.

ජ.වි.පෙ. උපායමාර්ගය අනුව සමාජවාදය කරා යන ගමනට උග්‍රතම, ප්‍රබලතම බාධකය වූයේ අධිරාජ්‍යවාදීන්ගේ සුවච කීකරු නියෝජිත කොටි ත්‍රස්‌තවාදයයි. එම නිසා එම ගමනේ දී ලැබෙන අවස්‌ථා පළමුවත්, දෙවනුවත්, තෙවනුවත්, පාවිච්චි කරගත යුතුව තිබුණෙ කොටි පැරදවීමේ සටනටය.

එහෙත් ජ.වි.පෙ. තුළ ඒ වනවිට නිර්මාණය වී තිබූ “රෝ” කණ්‌ඩායම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ බලය කුමන්ත්‍රණකාරීව අත්පත්කර ගෙන තිබිණි. ජ.වි.පෙ. විසින් ජනාධිපතිවරයෙකු නිර්මාණය කිරීමත්, නව එක්‌සත් පෙරමුණු ආණ්‌ඩුවක්‌ බිහිකිරීමත්, කොටි පැරදවීමත් යන කාරණා “රෝ” කණ්‌ඩායමේ අරමුණුවලට පටහැනි විය. ඒ අනුව ඔවුන් “රෝ” කණ්‌ඩායම එකඟවූයේ කොන්දේසිවලට එකඟවන්නේනම් පමණක්‌ මහින්ද රාජපක්‍ෂට උදව් කළ යුතු බවට සහ එසේ නැතිනම් ජ.වි.පෙ. න් අපේක්‍ෂකයකු දැමිය යුතු බවට පමණි. එමෙන්ම කුමන තත්ත්වයක්‌ යටතේ වුවත් ආණ්‌ඩුවට නෙයා යුතු බව ඔවුන්ගේ දැඩි අදහස විය. “රෝ” කණ්‌ඩායමේ නායකයන්ගේ අදහස්‌ වූයේ ජ.වි.පෙ. අනිවාර්යයෙන්ම අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ යුතු බවය.

“රෝ” කණ්‌ඩායමේ අරමුණ වූයේ අධිරාජ්‍ය විරෝධී, කොටි විරෝධී, අපේක්‍ෂකයකු ජයග්‍රහණය කරවීම වැළැක්‌වීමය. නමුත් ජ.වි.පෙ. කොන්දේසිවලට මහින්ද රාජපක්‍ෂ මහතා එකඟවීම නිසා කුමන්ත්‍රණයේ එක්‌ අරමුණක්‌ බිඳවැටිණි. (පසුව නිර්මාණය වූ තත්ත්වයන් මත ජ.වි.පෙ. සහය නැතිවම මහින්ද රාජපක්‍ෂ මහතා කොටි පැරදවීමට දේශපාලන නායකත්වය දුන් නිසා “රෝ” කණ්‌ඩායමේ විරුද්ධවීම කෙතරම් කුමන්ත්‍රණකාරී එකක්‌ වූයේ දැයි දැන් තහවුරු වී අවසන්ය).

ජ.වි.පෙ. උපායමාර්ගික උවමනාව අනුව මහින්ද රාජපක්‍ෂ දිනවා ආණ්‌ඩුවට ඇතුළුවී කොටි පැරදවීමේ සටනට නායකත්වය දීමේ අපේ අරමුණෙන් ඉටුකරගත හැකිවූයේ හරියටම බාගයකි. මෙහි පෙර මා ජ.වි.පෙ. ගත්තේ බාග තීරණයක්‌ යෑයි සඳහන් කළේ ඒ නිසාය.

මේ බාග තීරණය ගත් අය, වාද කළේ ජ.වි.පෙ. සභාග හා එක්‌සත් පෙරමුණු හරහා සංශෝධනවාදයට හා ප්‍රතිසංස්‌කරණ වාදයට ඇදවැටෙමින් ඇති බවටය. දිනෙන් දින පක්‍ෂයේ විප්ලවවාදී ජීවගුණය පිරිහෙමින් ඇති බවටය. මහින්ද දිනවා මහින්දගේ ආණ්‌ඩුවට ඇතුළුවීමෙන් මේ පිරිහීම තවදුර වැඩිවන බවය. මහින්ද දුර්වල ධනපති පාලකයකු බවට පත්වී ධනපතික්‍රමයේ දුබලකම් හරහා නිර්මාණයවන නරක සියලු දේ ජ.වි.පෙ. මත කඩා වැටී ජ.වි.පෙ. ද විනාශවී යා හැකි බවය. සියල්ලටම වඩා මහින්දට කොටි පැරදවීමට පුළුවන්කමක්‌ ඇති බවය. මහින්දට යම්හෙයකින් එම උවමනාව තිබුණත් අපේ හමුදාවේ දුබලකම් ඇති නිසා, කොටි පැරදවීමට එයට නොහැකි බවය. කුමන දර්ශනවාදයක්‌ තුළ සිට විග්‍රහ කළද, අද වනවිට ජ.වි.පෙ. හි අද බලය හොබවන “රෝ” කණ්‌ඩායම, එදා ගත් කුමන්ත්‍රණකාරී තීන්දු හා ක්‍රියාමාර්ග සියල්ල, මහින්ද රාජපක්‍ෂ රජයේ කොටි පැරදවීමේ මෙහෙයුම හරහා පරාජය වී ඇති බව පිළිගත යුතුව ඇත. වෙනත් ප්‍රශ්න ඇත. විසඳා ගතයුතුය.

එදා 2005 අගෝස්‌තුවේදී ගත් කුමන්ත්‍රණකාරී තීන්දු හරහා අද ජ.වි.පෙ.ය පරාජයේ අගාධයට ඇදදමා තිබේ. “රෝ” කණ්‌ඩායමේ “හාම්පුතුන්ට” අවශ්‍යවූයේ, තමන්ගේ ජාත්‍යන්තර උවමනාවන්ට විරුද්ධ නොවන තමන්ගේ මැදිහත්වීම්වලට බාධා නොකරන හීලෑ ජ.වි.පෙ.යකි. ඒවාට බොරුවට විරුද්ධවන ජ.වි.පෙයකි. දැන් එම ජ.වි.පෙය නිර්මාණය කරගෙන තිබේ.

මොහොතේ ඓතිහාසික උවමනාව, ඓතිහාසික වගකීම, නිවැරදිව හඳුනාගත් දැනුවත් ජනතාව ජ.වි.පෙ. මෑත ඉතිහාසයේ (2005 න් පසුව) ආ ගමන වැරදි යෑයි නැවත නැවතත් ඔප්පුකර පෙන්වා දී තිබේ. පැරදී ඇත්තේ තමන් නොවන බවත් පැරදී ඇත්තේ ජනතාව බවත් කියමින් “රෝ” නායකයෝ විහිළු සපයති. දඩබ්බර, හිතුවක්‌කාරී. අත්තනෝමතික ධනපති පාලකයන් මෙල්ලකර දණ ගැස්‌වූ හා එමෙන්ම රටට හිතකර ක්‍රියාමාර්ග වලට ආණ්‌ඩු මෙහෙයවූ ජ.වි.පෙ.ට ආසන 39 ක්‌ දී ජනතාව බලාපොරොත්තු වූයේ, ආණ්‌ඩුව තුළ දියුණු ලෙස වැඩකරමින්, කොටි පරදවමින්, ජ.වි.පෙ. ක්‍රමානුකූලව උපක්‍රමශීලීව රටේ පාලන බලය ලබාගැනීමය යන්නය. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවට ඇතුළුවූයේ නම්, නිසැකවම මේ ආණ්‌ඩුවේ බාගයක්‌ වන්නට තිබුණේත්, කැබිනට්‌ මණ්‌ඩලයේ බාගයක්‌ වන්නට තිබුණේත් ජ.විපෙ.ය.

කොටි බාධකය ඉවත්කරගත් පසුව එසේ අර්ධ බලය අත්පත් කරගනිමින් උපක්‍රමශීලීව තම උපායමාර්ගික උවමනාව සාත්සාත් කරගැනීම සඳහා මෙතෙක්‌ ලොව අත්හදා බලා නැති අලුත් පාරක්‌ කපාගන්නට උත්සාහ දැරිය හැකිව තිබිණි. අවසානයේ නිර්ධන පංති ජනතා බලය අපතේ හැරිණි. අවසන, ජනතාව පැරැද්දවූයේ, ජ.වි.පෙ. හි මේ “රෝ” නායකත්වය මිස, ජනතාව විසින් නොවන බව අවධාරණයෙන් කිව යුතුව ඇත.

Tell a Friend