වෛද්‍ය රුවන් එම් ජයතුංග
උතුරේ යුද ගැටුම් නිසා මානසික කම්පනයන්ට ලක්වූ සොල්දාදුවන් පිලිබදව මා විසින් තොරතුරු වාර්තා ලියා තිබේ. එසේම විශේෂඥ මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සහ මා විසින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ පරියේෂණ කොට ඇත. යුද ගැටුම් නිසා උතුරේ මානසික කම්පනයන්ට ලක්වූ මිනිසුන් ගැන නොලියන්නේ මන්දැයි ඇතැමෙකු අපගෙන් අසති. එයට හේතු කීපයක් තිබේ. අපගේ නියැදියන්ගෙන් බහුතරය අයත් වුයේ දකුණටය. අපට උතුරේ ජනතාවගේ මානසික ප්‍රතිකාර කටයුතු වලට සහභාගි වීමට අවස්ථාවක් මේ දක්වා ලැබී නැත.
වෛද්‍යවරුන් වන අප මිනිසුන් අත් විඳින මානසික පීඩනයන් දකින්නේ දේශපාලනමය හෝ ජාතිවාදීමය කෝණයකින් නොවේ යුද කම්පනයේ දුර්විපාක වලට සිංහල හෝ දමිළය කියා වෙනසක් නැත සෑම මිනිසෙකුටම යුද ආතිතියයේ පීඩාකාරී ව්‍යසනය බල පැවැත්වේග ලංකාවේ ගතවූ 30 වසර පුරා පැවැති යුද්ධයෙන් සිංහල දමිල හා මුස්ලිම් ප්‍රජාව පීඩාවට ලක්වුහග මා විසින් ලියන ලද සංග්‍රාමයෙන් පසු - සරසවි ප්‍රකාශකයෝ සහ Combat Stress - ගොඩගේ ප්‍රකාශකයෝ කෘති මගින් ඊලාම් යුද්දය නිසා දකුණේ සොල්දාදුවා අත්විදි කායික මානසික පීඩනය හෙළි කරනු ලැබීය එසේ හෙළි කිරීමට එක හේතුවක් වුයේ ඇතැම් දමිල උගතුන් විසින් ලංකාවේ පැවැති යුද ගැටුම නිසා පීඩාවට පත් වුයේ උතුරේ ජනතාව පමණක් බවත් දකුණේ සොල්දාදුවන් එකී පීඩනය මුදාහැරිය පාර්ශවය බවටත් වාර්ගික අගතියෙන් යුතුව ලියනලද ලිපි හා පොතපත නිසාවෙනි
උතුරේ ගැටුම්වලට මැදිවූ මිනිසුන්ගේ මානසික සෞක්‍ය ගැන ඉතා සවිස්තරව යාපනය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් විසින් ලියා තිබේ මට මුලින්ම මහාචාර්ය සෝමසුන්දරම් හඳුනාගැනීමට ලැබුනේ 2002 වසරේ සායනික මනෝ විද්‍යයාඥ් පද්මල් ද සිල්වා මහතා විසින් සංවීධානය කල සාමුහික වියසනයන් පිලිබඳ වැඩමුළුවකදීය ඉන්පසුව 2003 වසරේදී මා ශ්‍රී ලංකා යුද හමුදාවේ 56 බල මුලස්ථානයේ දේශනයකට ගිය අවස්ථාවේදී යාපනය මහ රෝහලේදී එතුමා හමුවීමට කතිකා කරගෙන තිබුනද මගේ ප්‍රමාදය නිසා මහාචාර්ය දයා සෝමසුන්දරම් හමු වීමට නොහැකි විය නමුත් වරින් වර වීද්‍යත් තැපැල් මගින් අප අදහස් හුවමාරු කරගන්නෙමු
මහාචාර්ය දයා සෝමසුන්දරම්ගේ ඇතැම් අදහස් වලට මට එකඟ විය නොහැක ඔහුගේ පොත පත ගැන විවේචන පවා මම ලියා ඇත්තෙමි මීට වසර කීපයකට පෙර මා විසින් ලියන ලද ප්‍රභාකරන් සාදකය පිළිබඳව මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් කෘතියේ මහාචාර්ය දයා සෝමසුන්දරම්ගේ Scared Minds කෘතියේ ඇතැම් අදහස් මගේ තදබල විවේචනයට ලක්විය. එහෙත් එම විවේචන ගැන මා පිළිබඳව ඔහු තුල අගතියක් නැත මම යෝර්ක් විශ්වවිද්‍යාලයට පැමිණි විගසම ඔහු තම පැරණි සගයෙකු වූ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ විසේසඥ මනෝවෛද්‍ය අරුන් රවීන්ද්‍රන් අමතා මට කල හැකි උපකාරයක් වෙතොත් එය නොවහලා ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටියේය නමුත් කැනඩාවේ වෙසෙන තවත් සිංහල විසේසඥ මනෝවෛද්‍යවරයෙක් යටත් පිරිසෙන් උපකාරයක් නොව මගේ දුරකථන පණිවිඩයකට පවා දැක්වුයේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි මෙවැනි හේතු නිසා ජාතිවාදය කොතරම් පුහුද යන්න යලි යලිත් සනාථ වේ
යාපනය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් විසින් රචිත උතුරේ ගැටුම්වලට මැදිවූ මිනිසුන්ගේ ජීවිතය ඔවුන්ගේ වචනයෙන්ම විස්තර කෙරෙන Vanni Narratives 30 වසරක යුද ගැටුමේ පීඩනය මිනිසුන්ට දැනුනු ආකාරය ගැන පැවසෙන විස්තර ප්‍රකාශනයකි
ඔහු මිනිසුන් විසින් අත්දුටු සාමුහික වියසනය ගැන මෙසේ ලියයි
මහාචාර්ය දයා සෝමසුන්දරම් - වන්නියේ දෝංකාරය
අනුවාදය - නදී කදුරුවාන
අපේ මුල් පදිංචිය යාපනයේ අලවෙඩ්ඩි ප්‍රදේශයයි. මාගේ පියා චුන්නාකම්හි තැපැල් ස්ථානාධිපතිවරයා විය. 1948දී ඔහු අනුරාධපුරයට මාරු කරන ලදි. අපි අනුරාධපුර නව නගරයේ තැපැල් නිල නිවාසවල පදිංචි වූයෙමු. මාත්, මගේ නංගිලා හතරදෙනා සහ මල්ලීත් ඉපැදුණේ අනුරාධපුරයේය. මාගේ අම්මා හොඳ ව්‍යවසායිකාවක් වූවාය. ඇගේ හොඳ කළමනාකරණය නිසා අපට ජීවිතයේ අන්දේවලට විය පැහැදම් කරනා අතරේම ඉඩමක් මිලදී ගන්නටත් එළදෙනුන් හිමිකර ගැනීමට සහ කුඹුරු අස්වද්දන්නටත් හැකියාව ලැබිණ. ඒ කාලයේ අපට අක්කර 20ක ඉඩම්, දෙනුන් 200කගෙන් සමන්විත හරක් පට්ටියක්, පොල් ගස් 100ක් පමණ හිමිවී තිබුණු අවස්ථා විය. ඒවායේ වැඩ කළෝ සිංහල මිනිස්සුය. 130 දෙනකු පමණ එසේ වැඩ කරන්නට ඇත. ඊට අමතරව අපේ ඉඩකඩම්වල සිංහල පවුල් 10ක් පමණ ජීවත් වූවෝය.
අපේ ඉඩම් තිබුණේ කලාවැව ඉවුර අසබඩ බැවින් ජල හිඟයක් තිබුණේම නැති තරම්ය. ඒ වගේම ඒ ඉඩම් අවුරුද්දට තුන් වතාවක්ම අස්වැද්දවීමටද අපට හැකියාව ලැබිණ. අපි ශාන්ත ජෝසප් පල්ලිය පිටුපස නිවසක් තැනූයෙමු. මම කන්‍යාරාමයේ සිංහල බසින් ඉගෙන ගත්තෙමි. දිගින් දිගටම සිංහලෙන් කතා කිරීම නිසා අපට අපේ දෙමළ බස අමතකව ගියේය. අපේ අසල්වැසියෝ වූවෝද සිංහල, මුස්ලිම් හා බර්ගර් මිනිස්සුය. ඔවුහු ඉතා යහපත් පුද්ගලයෝ වූහ. අපට ප්‍රශ්නයක්ද තිබුණේ නැත. අපි සියල්ලෝම භේදයක් නැතිව දුක සතුට ඛෙදාහදා ගත්තෙමු. ඔවුහු අපට නොසෑහෙන්න උදව් කළෝය. ගව පට්ටිය තිබූ බැවින් අපේ අම්මා එළකිරි වෙළෙඳාම් කළ අතර, එනිසා ඇයට "කිරි අම්මා"ලෙස නමක්ද පටබැඳී තිබුණි.
1986 කෝලාහලය අපට එතරම් බලපෑවේ නැත. එහෙත් 1977 කලබල අපට අමතක කළ නොහැකිය. එතෙක් අපෙන් කා බී ඇඳි පැළඳි මිනිස්සුම කඩු කිනිසි අමෝරාගෙන අප මරන්නට ආවෝය. එහෙත් කාරුණික වූ කිහිපදෙනකු විසින් අපි බේරාගන්නා ලද්දෙමු. අපි දින දෙකක්ම කිසිවක් නොමැතිව තිසාවැව වාරිමාර්ග පද්ධති ඇළක අසබඩ කැලෑවේ සැඟව සිටියෙමු. පසුව පොලිස් ආරක්ෂාව මධ්‍යයේ යාපනයට යවනා ලද්දෙමු. ඇඳිවත පමණක් සහිත අපි දොරේඅප්පා ක්‍රීඩාංගණයට ලොරියකින් ගෙනැවිත් දමනු ලැබූවෙමු.
අප වැනි තව බොහෝදෙනා එහි වූහ. අපි පරානිතුරෙයිහි කතෝලික පියතුමන්ලාගේ මිෂනාරි මැදුරෙහි සිටියෙමු. මගේ අම්මා යාපනයට කැමති වූයේ නැත. "අපි 1977 දීම කිලිනොච්චියෙන් ඉඩමක් ගෙන එහි පදිංචි වීමු.
එහෙත් 1977දී පටන් ගත් සරණාගත ජීවිතය අදටද අවසන් වී නොමැත. අපට සිංහලයන් සමග ජීවත්වීමට නොහැකි නිසා මෙම ප්‍රදේශවලට පැමිණියද, මේ ප්‍රදේශයද එලෙසම විය. අපට අයිතිව තිබූ ඉඩකඩම් දේපළ සියල්ලම වටාපිටාවේ විසූ මිනිසුන් විසින් අත්පත් කරගෙන තිබුණි. සිංහල කතා කළ සෑමවිටම මාගේ මව ශෝකයට පත්වූවාය. "උන් කාපු තැන පාවලා දුන්නායැ'යි ඇය බොහෝ අවස්ථාවලදී කීවාය. අප කිලිනොච්චියේ විසූ අතර ඇය ආපසු අනුරාධපුරයට යෑම තරයේම ප්‍රතික්ෂේප කළාය. "කහ රෙදි කෑල්ලකට තැල්ල බැඳපු මිනිහෙක්. අපට උන්ව විශ්වාස කරනවට වඩා හොඳයි අපේ ඉඩම්වල ජීවත් වෙන එක. ඒක ඉතා කෙටි කාලයක් විතරයි." ඇය නිරන්තරයෙන් පැවසූ අතර, ඒ අඩූ කඳුළෙන්ම මිය ගියාය.'අපිට එහේ ඉන්න බැරි නිසා මෙහෙ ඉඩම්වලට ආවා. ඒත් 1985 න් පස්සෙ ඒකත් අපායක් වුණායැ'යි ඇය පැවසූයේ අපට කවදා නම් සැනසිල්ලේ සිටිය හැකි දවස් උදාවේදෝ යන්න සුසුමක් හෙළමිනි.
මාගේ සහෝදරිය නැවත අනුරාධපුරයට ගියද මම මාගේ දරුවන් සමග කිලිනොච්චියේම ජීවත් වූයෙමි. පාසල් නිවාඩු සමයේ මාගේ දරුවෝ අනුරාධපුර පිහිටි මාගේ සොහොයුරියගේ ගෙදර නිවාඩුව ගත කරන්නට ගියෝය. මාගේ දෙවැනි දියණියට වයස අවුරුදු 08ක් පමණ විය. 1985 මාර්තු පාසල් නිවාඩුව ගතකිරීමට ඇය මාගේ සොහොයුරියගේ ගෙදර ගොස් සිටියෝය. එක් දවසක් එල්ටීටීඊය සිංහල මිනිසුන් සමූහයකට වෙඩි තැබුවේය. ඔවුන්ට වෙඩි වැදුණු පසු ඔවුන් නිකම් සිටීද? ඔවුහු දෙමළ වැසියන් ලූහුබඳින්නට වූහ. අපි කෙසේ හෝ හමුදා කඳවුරුවලට ගොස් පිහිට පැතුවෙමු. එහිදී වියරු වැටුණු හමුදා භටයකු වෙඩි තැබීමට පටන් ගත් අතර බොහෝ දෙමළ වැසියෝ මරණයටද, තුවාලවලටද ලක්වූහ. ඒ අවස්ථාවේදී මාගේ අහිංසක දියණියද මරණයට පත්වූවාය. මට අඩුම තරමේ ඇයගේ දේහයවත් දකින්නට නොලැබිණි. ඇය එහිදීම වළලා තිබුණි. එදා සිටම මම ඇය ගැන සිතමින් හඬමි.
1990දී මගේ තුන්වැනි පුතා එල්ටීටීඊ ව්‍යාපාරයට සම්බන්ධ වූවේය. එදා සිට මාගේ සිතේ ඉතිරිව තිබූ සැනසිල්ලේ අවසන් අංශු මාත්‍රයද නැතිව ගියේය. මම උදේ දවල් ඔහුට කිසිදු අනතුරක් වෙන්නට එපායැ'යි දෙවියන්ගෙන් ඉල්ලා සිටයෙමි.
මට කිසිදු අනුකම්පාවක් හිමි නොවූ අතර 2000දී ඔහුද දෙවියන් විසින් උදුරා ගන්නා ලදි.
2001දී මාගේ සොහොයුරාගේ පුතා වව්නියාවට ගියේය. වෙන කාටදෝ සවිකළ ක්ලේමෝ බෝම්බයකට අසුවී ඔහුද මිය ගියේය. අපි දිගින් දිගටම අවතැන් වීමු. සාමය උදාවූ විට අපි නැවත අපගේ ස්ථාන කරා ආවෙමු. අප භූමිය සමග ජීවත් වන්නට මෙලෙස අප්‍රමාණ දුෂ්කරතා සහ වධහිංසාවලට මුහුණ දෙන්නට විය.
2002දී සාම ගිවිසුමෙන් පසු අප අපගේ ගෙවල් අලූත්වැඩියා කරගත්තේ සාමයෙන් සතුටින් ජීවත්වීමේ අරමුණ ඇතිව වුවද 2008 යුද්ධය ආරම්භවීමත් සමග ඒ සියල්ල යළිත් නැතිවිය. කාලතුවක්කු අපට නිදහසේ ඉන්නට ඉඩ දුන්නේ නැත. කෆීර් යානාවල හඬ ඇසුණු වහාම අපි බංකරවලට දිව්වෙමු. හමුදාව මන්නාරමින් පැමිණ ආකාරායාන්වලට ළඟා වන විට අපේ ජීවිත යහපත් අතට හැරෙමින් තිබුණි. තවදුරටත් කෆීර් සහ ෂෙල් වෙඩි ප්‍රහාරවලට මුහුණදීමට අපට ශක්තියක් නොතිබූ අතර අපි ගෙවල්වල දොර ජනේල් සියල්ල ගලවාගෙන විශ්වමඩුවලට ගියෙමු. අපට අඩුම තරමේ එහි මාස දෙකක්වත් සැනසිල්ලේ සිටීමට නොහැකි විය. අපි අපේ බඩු බොහොමයක්ම එහි අතහැර වල්ලිපුනාම්වලට ගියද සිංහල මිනිසුන් අපිට එහි සති දෙකක්වත් ඉන්නට ඉඩ දුන්නේ නැත. හොයාගන්නට හැකි අඩුම කුඩුම එකතු කොට තරුණයෝ මඩු හැදුවෝය. ඉන්පසු අපි ඉරාතෙයිපල්ලෙයිවලට ගෙන යන ලදිමු. අවසානයේ මුල්ලිවෛයිකාල්වලට එනතුරුම අප එලෙස කිහිප තැනකටම විටින් විට යන ලදි.
ඒ අතර මගේ අත මල්ටිබැරල් ප්‍රහාරයකට තුවාල විය. මාගේ දරුවන් මාව රතුකුරුස නැවක ත්‍රිකුණාමලයට එව්වේය. මගේ දරුවන් මුල්ලිවෛයිකාල් සිට හමුදා සිටින වාඩ්ඩුවාන් ප්‍රදේශයට ගමන් කිරීමේදී නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දී තිබිණ.
ඔවුහු මැණික්ෆාම්හි මාස 04ක් විසූ අතර එහිදී නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට විය. දෙවියන් අපගේ ජීවිත අල්පේච්ඡ කර තිබුණි. නමුත් බොහෝ මිනිසුන් මිය ගොස්ය. දුක් මහන්සියෙන් හම්බ කරගත් දේපළ ද සුළඟත් සමග ගසාගෙන ගොස්ය.
ගිය මාසයේ අපි කිලිනොච්චියට ගියෙමු. සෑම දෙයක්ම බිමට සමතලා වී ගොස්ය අපේ තැන යන්න හඳුනාගත හැකි කිසිවක් එහි නොතිබිණි. සෑම දෙයක්ම වල්බිහිවී තිබූ අතර නටබුන් සේ දිස්විය. එහි ජීවත්වීම සිතට කලකිරීමක් විය. සෑම තැනම සිටියේ හමුදාවෙන් පමණි. එල්ටීටීඊ සාමාජිකයන්ගේ කනත්තද බිමට සමතලා කොට තිබුණි. මගේ පුතාගේ සොහොන් කොත තිබූ තැන මට සොයාගත නොහැකි විය. මම සෑම මසකම එක් දවසක් මෙම සොහොන් කොත ළඟට ගොස් හඬා වැළපුණෙමි. එහෙත් දැන් මහා විරු දිනයක් ආවේද යන්නවත් නොදනිමි. අපි කිලිනොච්චියේ සිටිනා කාලයේදී, මාගේ පුතාගේ යහළුවෝ පැමිණ මට 'අම්මායැ'යි නිරන්තරයෙන් කතා කළේය. නමුත් දැන් මට කවුද ඉන්නේ?
අපි ගෙවල් හැදීමට ආධාර ඉල්ලා තැන් 15කටත් වඩා ගියෙමු. කාගෙන්ද ඉල්ලිය යුත්තේ? 1977 සිටන් දෙමළ වැසියන්ට සිදුවූ දේ පිළිබඳව බැලු විට දැඩි කලකිරීමක් ඇතිවේ. හරියට තමන්ගේ කොටස ලැඛෙන තුරු බලාවුන් ගිරවාගේ කතාව මෙන් අපේ කතාවද අවසන් වී ඇත. කොපමණ මිනිසුන් තම දිවි පුදන්නට ඇත්ද? කකුල් අතපය, ගෙවල් දොරවල්, දේපළ විනාශ වන්නට ඇත්ද? හරියට රටක් නැති මිනිසුන් වාගේ එහෙ මෙහේ දුවන්නට ඇත්ද? නිදහස ලබාගැනීමට මුහුණ දුන් කරදර සියල්ල නැවතත් යටත් වූ ජීවිතයක්ම රැගෙන ආවේය. දෙවියන්ද අන්ධ වී ඇත. පෙර මෙන් මම රොසරිය කියවන්නේද නැත. පල්ලියට යාමට හිතක් ද නැත. මට හැෙඟන්නේ තරහව සහ වේදනාව පමණි. වෙනදා අපි නත්තලත් ඉන්පසු අලූත් අවුරුද්දත් ඉතා ඉහළින් සැමරුවෙමු. මෙවර එය නිකම්ම උදාවිය. කේ්ක්ද රසකැවිලිද හැදුවේ නැත. හැදුවත් ඛෙදා දෙන්නට කෙනෙක්ද නැත. කිලිනොච්චියේදී නම් අපේ අසල්වාසීහුත් ගමේ මිනිස්සුත් එනු ඇත. දරුවන්ගේ පෙරැත්ත නිසා මම ඉරිදා පමණක් පල්ලියට යමි. කාට හෝ අප කර ඇති වරද කුමක්ද? අප වෙනම රටක් ඉල්ලා මිනිසුන් දහස් ගණන් දිවි පිදුවද අවසානයේ එය කෙළවර වූයේ ඇඳිවතද නැතුවය. (අඩුම තරමේ අමුඩය හෝ යට කලිසමද නැතිවිය.) මෙම අවසානය දකිනවාට වඩා සැනසීමක් අපට ෂෙල් වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ නම් අත්වනු ඇත. ප්‍රභාකරන් නික්ම ගොස් ඇත්තේ අපට අපගේ ගෙදර බැලීමටත් හමුදාවෙන් අවසර ගතයුතු පරිසරයක් නිර්මාණය කරය.
මට ගිනි ගන්නවා මෙන් දැනේ. නින්දක් නොමැත. අප මුහුණ දුන් සියලූ දුෂ්කරතා චිත්‍රපටයක මෙන් විටින් විට දිස්වේ. නින්ද නොමැතිව ඒ මේ අතර පෙරළෙමි.
අප ජීවත් වූ යාපන නගරය ලන්දේසි බලකොටුවේ සිට කි.මී. 9කට නුදුරින් පිහිටා තිබුණි. බලකොටුව තුළ හමුදාව විසින් ෂෙල් වෙඩි පුපුරුවා හැරීම සාමාන්‍ය දෙයක් විය. අවශ්‍ය වූ විට අපි කෑම පිස අසළ වූ දොන් බොස්කෝ විදුහලට ඇතුළුව සැඟවුණෙමු. ෂෙල් වෙඩි පාසලෙහි කොන්කී්‍රට් සිදුරු නොකරාවිය යන විශ්වාසයෙන් අපි රාති්‍රය එහි ගතකොට උදෑසන නිවෙස්වලට පැමිණියෙමු. අසාමාන්‍ය ෂෙල් වෙඩි වරුසාවක් හෝ ගුවන් බෝම්බ ප්‍රහාර එල්ල වූයේ නම් පමණක් අප රතු කුරුස සංවිධාන කාර්යාලයට දිවගියෙමු. ඔවුහු එවිට දොරවල් වසාගත්තෝය. එවැනි අවස්ථාවකදී අපට කළ හැකිවූයේ ඔවුන්ගේ තාප්ප ගැටිවලට මුවාවී සිට සියල්ල හමාර වූ පසු යළි නිවෙස් කරා පැමිණීම පමණෙකි. වැඩිමහල්ලන්ගෙන් අපට ලැබී තිබුණු අවවාදය වූයේ ෂෙල් වෙඩිල්ලක් මුදා හැරීමේ ශබ්දය ඇසුණු පසු 32 දක්වා ගණන් කොට මුණින් අතට බිම දිගාවන ලෙසය.
කාලය 1988-1990 ට පෙරය. සියල්ල අපට කී්‍රඩාවක් මෙන් විය. මේ කාලසීමාවේදී ඉන්දියානු හමුදා මාමලාගේ මිලේච්ඡ කි්‍රයාවන්ට මුහුණ දීමටද අපට සිදු විය. හන්දියේ මළසිරුරු වැතිරී තිබීම සුලබ විය. අපි අපගේ දෙමව්පියන්ට නොදැනෙන්නට රහසින් ගොස් එම සිරුරු බලා පැමිණියෙමු. එක් දවසක් මගේ අයියාට බඩේ කැක්කුමක් හැදිණි. ගෙදර ඛෙහෙත් නොතිබුණු අතර, කුස්සිය තිබුණේ ද නිවසින් පිට ය. ගෙදර තිබූ ලන්තෑරුමේ ද තෙල් තිබුණේ නැත. මම පහනක් දල්වාගෙන අයියාත් සමග කුස්සියට ගියෙමි. කුස්සියට ගියේ සුදුළුෑණු ගෙඩියක් කෑමටය. අප නිවසෙන් එළියට බසිනවාත් සමගම වැට පිටුපස සැඟවී සිටි ඉන්දියානු හමුදාව අප නිවසට පැන්නේය. කැඩිච්ච දෙමළෙන් ඔවුහු අපට කෑ ගසන්නට වූහ.
ඇයි එළිය පත්තු කළේ? දන්නේ නැද්ද උඹලට රෑට එළි පත්තුකරන්න බැරි බව.
වැඩිමහල් වූ පසු අපට අපගේ නිවසේ එළියක් දැල්වීමට හෝ අයිතියක් නොමැති බව දැන මම පුදුමයට පත්වීමි. ඉන් පසුව කාලයක් යනතුරුම බයෙන් රාති්‍රයට අපි එළියට නොපැමිණි අතරම ඝන අන්ධකාරයේම රාති්‍රය පහන් කළෙමු.
ජීවිතයේ පළමු ප්‍රධානතම ඛේදවාචකය ඇරඹුණේ 1995 ඔක්තෝබර් මාසයේ ඒ වලිකාමාම් අතහැර යන ලෙස කරන ලද නිවේදනයත් සමගය. මාගේ යහළුවන් කීවේ අප අද ගොස් හෙට නැවත ගෙදර පැමිණෙන බවය. ඇඳගෙන සිටි ඇඳුම් පිටින්ම අතට ගත් බෑග් දෙකක් සමග රාති්‍රයේ දී කඩාගෙන වැටෙතැ'යි රාවයක් පැතිර තිබූ නාවට්කුලි පාලමට පයින්ම ගියෙමු. කලබලය නිසාම මාගේ කරවටක් තරම් වූ මඩ ගොහොරෙන් අප එතෙර වුණු අතර මාගේ එක් බෑගයක් ද එහිදී නැති විය. අප දින දෙකකින් චාවාකච්චේරියට ළඟාවීමු. 'වන්නියේ පස අප ප්‍රාණවත් කරනවා' යන්න ප්‍රකාශ කෙරෙන අතර සමහර බලවේග (නම සඳහන් නොකළද, එල්ටීටීඊය) අප දසදහස් ගණනින් මුහුද හරහා වන්නිය කරා ඇදෙන ජනයා වෙත එක් කරලුයේය. අපට මේ ගමනේ දී බලපෑ දැඩි සංවේදී කරුණු දෙකක් විය. එක් කාරණාවක් වූයේ නාවික හමුදාව විසින් අප ග්‍රහණයට ලක් කරගනි යන්නය. (කිලාලි කළපුව හරහා ගමන් ගත් බොහෝ පිරිස් නාවික හමුදා මුර සංචාර විසින් ග්‍රහණයට ලක් කරගෙන තිබුණි.) අනෙක් කාරණාව වූයේ අප නැවත යාපනයට පැමිණෙනුයේ කවදාද යන්න ගැන තිබූ ආසාවය. යාපනයට තිබූ ආසාව දිනෙන් දින දවල් හීනයකට පෙරළුණු අතර එය වසර ගණනාවක්ම එලෙසම හීනයක්ව පැවතුණි.
ඉන් පසුව අපි නැවත වරක් 1996 දී අවතැන් වීමු. 1998 දී මට මගේ දෙමව්පියන් දෙදෙනාම අහිමි විය. මාගේ සහෝදරයා ද ඉන් අනතුරුව බෝම්බ ප්‍රහාරයට ලක්ව මිය ගියේය. මට මැලේරියාවද කිහිප සැරයක් වැළඳිණි. (එවකට මැලේරියාවට ගොදුරු වී පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මිය ගිය බව සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර තිබුණි. නමුත් එය පසුව මර්දනය කැරුණි.) මට මාගේ නින්ද අහිමි වූ අතර නිදාගැනීම සඳහා පිරිටන් ගැනීමට පුරුදුවන්නට සිදුවිය. මා ඉගෙනගත් යාපනය පාසලෙහි මා ශිෂ්‍ය නායකයා බවට පත් කැරුණි. කිලිනොච්චියේදී පාසල් නොගියද මම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටියමි. විභාගයේ ප්‍රතිඵල ඒ මට වසරක පමණක් කාලයක් ගත විය. පවුලේ තිබුණු අපහසුතා නිසා මම මාස 03ක් පමණ පාසල් යෑමෙන් පසු අධ්‍යාපනය අතහැර දැමුවෙමි. නමුදු ගුරුවරයකුගේ තිබූ උනන්දුව මත මම නිවසේ දී අධ්‍යාපන කටයුතුවල නිරතව අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සමත් වීමි. ඉන්පසුව කිලිනොච්චියේ නැවත පදිංචි කිරීම් ඇරැඹිණි. අප ක්‍රමානුකූලව වන්නි භූමියෙහිම කොටසක් බවට පත්වුණි. යාපනය කෙරෙහි අප තුළ වූ හැඟීම් ක්‍රමයෙන් මැකී ගියේය.
නිදහස ලබා ගැනීම අපගේ ආශාව විය. එය අවි ආයුධ මගින්ම නොවූවද අපගේ භූමිය අප විසින් පාලනය කළ යුතුය යන හැඟීම විය. අතීතයේ දී අපගේ ජනවාර්ගික නායකයන් බොහෝ ඓතිහාසික වැරදි කර ඇති බැවින් අපට පොදු මිනිසුන්ගේ පාලනයක් අවශ්‍ය විය. අප කැමැති වුවද අකමැති වුවද අරගලය පිළිගන්නා ලෙස අපට බලපෑම් කෙරුණි. මෙහිදී අප බොහෝ බලාපොරොත්තු ඉටු නොවූවද අඩුම තරමේ කවදා හෝ දවසක නිදහස ද ඉන්පසුව අරුණෝදයද උදාවනු ඇතැ'යි අපි බලාපොරොත්තු වූයෙමු. මෙය බොහෝ දෙනකුගේ ද ආශාව විය. බොහෝ දෙනකුට මේ අරමුණට ළඟාවීමට ගොස් බොහෝ දේ නැති විය. වසර 30ක් නිකරුණේ අපතේ යෑම ගැන අපි අද පසුතැවෙමු. යුද්ධය නිසා මුහුණ පෑ දුක් කම්කටොලූවලට වඩා අපට අපගේ ගෙවුණු කාලය ගැන ඇති සංවේගය ඉතා දැඩිය.
හතරවැනි ඊලාම් යුද්ධය විස්තර කළ නොහැකි තරම් වූ බොහෝ දුක් පීඩාවන් මිනිසුන්ගේ ජීවිතවල ඇති කළේය. 2006 වර්ෂයේ දී යාපනයට යෑමට තිබූ මඟ සහ සාම සාකච්ඡා සඳහා තිළිණය ද වූ ඒ9 අධිවේගී මාර්ගය වසා දැමුණි. ඉන්පසු බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගැනීමේ කි්‍රයාවලිය ඇරඹුණි. 'සෑම නිවසකින්ම එක් අයෙකු ජාතිය ආරක්ෂා කර ගැනීම සඳහා නොපමාව ඉදිරියට එනු' යන කැඳවීම ඇරඹිණි. දින ගණනක් පසු විය. මළ ගිය අය වෙනුවෙන් නගන අඳෝනාවන්ගේ ශබ්දය ඇසෙන්නට පටන් ගැනුණි.
එම අඳෝනාවන් යුද්ධයට බලෙන් බඳවාගත්තවුන්ගේ සහ එම පවුල්වල නෑදෑයන්ගේ විය. අපි මේ පිළිබඳව ඇසීමට ගිය විට ඒ යුද්ධයට බලෙන් බඳවා ගැනීම නිසා බව දැනගත්තෙමු. අඳෝනාවන්ට හේතුව මම පසුව දැනගතිමි. එලෙස යුද්ධයට බලෙන් බඳවාගත්තවුන් කවදාවත් ආපසු පැමිණ නැත. මෙය කැමැත්තෙන් සිදු වූවක් නොවේ. සමහර දෙමව්පියන් තම දරුවන් කැමැත්තෙන් යුද්ධයට බැඳවූයේ ය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමහරු අන් අය නිසා බැඳුණෝය. ඔවුන් බලාපොරොත්තු වූයේ කෙලෙස හෝ වෙනසක් ඇති වේය යන්නය. ඉන් පසුව අවතැන්වීම් පිළිකාවක් මෙන් පැතිරෙන්නට විය.
'අපිට අපේ ළමයිනුත් දීලා දැන් ගෙවලූත් දාලා යන්න වෙලා' මිනිසුන් කියන්නට පටන් ගැනිණි.
කිලිනොච්චියේදී අවතැන්වීම් පටන් ගැනුණේ 2008 ඔක්තෝබරයේදීය. එයට හේතුව වූයේ මල්ලාවිවලට එල්ල වුණු ෂෙල් වෙඩි ප්‍රහාර සහ ගුවනින් එල්ල වුණු ප්‍රහාරයන්ය. ගුවන් යානා විසින් එක් තැනකට බෝම්බ අතහැරි අතර ඉන් හානියට යටපත් වූ දෑ වෙනත් තැනක විය. ගුවන් යානා අතර මිග්-29 යානා රාක්ෂසයකු බඳු විය. තවමත් මට මිග් යානාවන්ගේ ශබ්දය ඇසෙනවා මෙන්ය. පළමු අවතැන්වීම විශ්වමඩුවලටය. නිවෙස්වල බිත්ති හැරෙන්නට අන් සියල්ලම ඉවත් කෙරුණි. සමහරු සිමෙන්ති නොදැමූ ගඩොල් පවා ගලවාගෙන රැගෙන ගියෝය. මෙලෙස වූයේ මින් පෙර අවතැන් වූ අවස්ථාවේ ලද කර්කශ අත්දැකීම් නිසාවෙනි. (ආපසු පැමිණෙන විට රැගෙන යා හැකි හැම දෙයක්ම කොල්ලකා තිබුණි.) අපි නිවෙස්වල වූ සියලූ බඩුමූට්ටු ලොකු බර වාහන දෙකකට පැටවූයෙමු. යාමට පෙර රැගෙන යා හැකි සියලූම භාණ්ඩ ක්‍රමානුකූලවම පරෙස්සම්ව අසුරන ලදි. එළවළුවල වටිනාකම ශ්‍රමයේ වටිනාකම මෙන් තුන් ගුණයක් විය.
එය අපේ කථාව විය. කෙසේ හෝ අපට පුළුවන් සෑම දේම අපි රැගෙන යමු. අප නැවත සෑම දෙයක් ම සමග පරෙස්සමෙන් පැමිණෙමු යන්න අවතැන් වූවන්ගේ විශ්වාසය විය. මන්නාරම් දිස්ති්‍රක්කයේ සිට පොදුවේ ගත් කල එය 16 වතාවක් විය. බඩු පටවාගෙන ගිය බර වාහනය අවසානයේ දෙපය බවට පත් විය. (ක්‍රමයෙන් ට්‍රැක්ටරය, අත්ට්‍රැක්ටරය, යතුරු පැදිය සහ බයිසිකලයට ගමන මාරු විය.) ගෙදරින් ගෙනා බඩු භාණ්ඩ අවසානයේ අතේ ගෙන යා හැකි එක් බෑගයක් හෝ දෙකක් බවට පත්විය. ජල මාර්ග හරහා හමුදා පාලන ප්‍රදේශවලට ළඟාවීමට උත්සාහ දැරීම ඉතා පීඩාකාරී විය. සමහරුන්ට අන්තිමේදී තම හැඳුනුම්පත පවා නැති වුණි. අපට මේ වන විට පළමු අවතැන්වීම සුළු දෙයක් සේ පෙනෙන්නට විය. හමුදාව ඉතා ඉක්මනින් පැමිණෙතැ'යි යන විශ්වාසයෙන් මිනිසුන් ප්‍රකාශ කළේ,' හමුදාවෙන් පරන්තන් වෙනකම් එයි. ඊට පස්සේ ඔවුන් මේවට වගකියන්න ඕන මිනිස්සු එළවලා දාවි. (එල්ටීටීඊය යන වචනය පාවිච්චි නොකරන ලදි.) ඊට පස්සේ අපිට ආපසු එන්න පුළුවන් නේද?' යන්නය. 8 වැනි අවතැන්වීමෙන් පසුවද විශ්වාසය ගැබ්වූ මෙම වචන මිනිසුන්ගේ මුවින් ගිලිහුණි.
ඉන්පසු ඔවුහු විශ්වමඩු ආරක්ෂක කලාපයක් ලෙස නම් කළෝය. සහනාධාර ලැබුණේ කොටස් දෙකකටය. නමුදු මෙම තත්ත්වය දින 28ක් වත් නොපැවතිණ. විශ්වමඩුවලට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනුණි. අවුරුදු 30ක් පැවැති යුද්ධයේ භයානකම අස්වැන්න ලැඛෙන්නට වූයේ මේ දිනවලය. මේ සමගම ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර නිසා තත්ත්වය තවත් භයංකර විය. ස්වභාව ධර්මය ද මිනිසුන් සමග සෙල්ලම් කළේය. මිනිසුන් තමන් සමග රැගෙන විත් තිබුණු කු=කුල්ලූ කූඩු පිටින්ම ගංවතුරට ගහගෙන ගියේය. මිනිසුන්ට තනා දී තිබූ තාවකාලික නිවාසද ගංවතුරට ගහගෙන යන ලදි. අප තනා තිබූ මඩුවලට වතුර කාන්දු වෙන්නට පටන් ගැනුණි. අපි මෙම අමාරුකම්වලට දුෂ්කරතාවට ක්‍රමයෙන් පුරුදු වුණෙමු.
මෙවැනි පීඩනයක පසුවන අපට නව බලාපොරොත්තු රැගෙන ආ මිහිරි ප්‍රවෘත්තියක් කණ වැකුණි. එනම් ලෝකය පුරා පැතිර පවතින දෙමළ ඩයස්පෝරාවේ අවිහිංසක විරෝධතාවත් අසල්වැසි රටේ දේශපාලන රඟදැක්වීමත් මෙම අවස්ථාවේ මැදිහත් වී අපට උපකාර කරනු ඇතැ'යි යන්නය. ඒ කතාව ඒ වේලාවේ කාන්තාරයක දිය පිපාසයෙන් පෙළෙද්දී යමෙකු බොන්නට දිය දෝතක් නොව තැඹිලි ගෙඩියක් ගෙනවුත් දුන්නාක් වැනි විය. අපි එතරම්ම ඒ ගැන දැඩි විශ්වාසයෙන් පසු වුණෙමු.
මිනිසුන් බොහෝ දෙනකුගේ දැඩි අපේක්ෂාව වූයේ වන්නියේ මිනිසුන්හට ඉන්දියාවෙන් යම් කිසි උපකාරයක් කරනු ඇත යන්නයි. අඩුම තරමේ ෂෙල් වෙඩි ප්‍රහාරවලට හෝ නැවතීමේ තිත තබනු ඇත යන්නයි. මෙයට හේතුව වූයේ 2008 වසරේ දී තමිල්නාඩුවේ දී දිග හැරුණු දෙමළ කතාන්දරයයි. අපට මෙය පෙනුණේ එහි ලොකු වෙනසක් සිදු කළ රංගනයක් ලෙසය. ඉන්පසුව අපගේ සිහිනය වූයේ ඉන්දියාව විසින් අපව ගලවා ගැනීමට බෝට්ටු එවනු ඇත යන්නය. එම භයංකාර යුද්ධය මැද්දේ වුවද ඉන්දියානු නැවක් ආහාර හා ඇඳුම් රැගෙන පැමිණෙනවා යන ප්‍රවෘත්තිය මිනිසුන් අතර පැතිරෙන්නට විය. අවසානයේදී අප මාස දෙකකුත් දින දෙකක් සහනාධාර පාර්සලය ලබා ගැනීම සඳහා පෝලිමේ හිටගෙන සිටියෙමු.
එම ලැබුණු සහනාධාර මල්ල භුක්ති විඳීමට පෙරම ඊළඟ අවතැන්වීමද සිදු විය. අපට බොහෝ දේ අතහැර දමා යන්නට සිදුවිය. එක් දෙයක් පැහැදිලිවම පෙනිණි. එනම් අවසානයේදී හෝ ඉන්දියාව විසින් මැදිහත්ව මිනිසුන්ව බේරාගනු ඇතැ'යි යන දැඩි විශ්වාසයෙන් යුතුව මිනිසුන් මෙම දුෂ්කරතාවන්ට මුහුණදුන් බවය. ඉන්දියානු සහනාධාර මලූවල අලවා තිබුණු 'ඉන්දියානු මිනිසුන්ගෙනි' යන ස්ටිකරය මිනිසුන් තාවකාලිකව ජීවත් වූ කූඩාරමෙහි අලවා තිඛෙනු දැකිය හැකි විය.
ඊළඟ අවතැන්වීම සිද්ධ වූයේ මුලතිව් හි වල්ලිපුනාම් ප්‍රදේශයටය. එහි සතියක් හෝ ආරක්ෂිතව දිවි ගෙවන්නට නොහැකි විය. බොහෝ ෂෙල් වෙඩි පිපිරුවේ ළඟ ළඟමය. මිනිසුන් විසින් රැගෙන ආ කුකුල්ලූ බලාගත නොහැකි නිසාම උයාගෙන කන්නට විය. එහෙත් එල්ල වූ ප්‍රහාර නිසා උයාගත් ආහාර හෝ නොතකා දිවි රැකගෙන පලා යන්නට ඔවුන්ට සිදු විය. විශාල පිපිරීම් හඬින් පොළොව දෙදරා ගියේය. එකා මත එකා දෙවියනේ කියමින් පොළොව මත ඇදවැටෙන්නට විය. එම මල්ටිබැරල් ප්‍රහාරයේ දී බොහෝ දෙනෙක් මියගියෝය. (ෂෙල් වෙඩි 24-56 එකවරම වෙඩි මුරයක මෙන් පත්තුකෙරුණි.) මා නුදුරින්ම කටින් ලේ වැගිරෙන දරුවකු තුරුල් කරගත් තරුණ කාන්තාවක් වූවාය. ඒ දර්ශනය විස්තර කරන්නට මට තේරෙන්නේ නැත. ඇය ගහකට වාරු වී සිටියාය. මම ඒ අසළට ගිය විට එහි ඇය ජීවත්වන බව වැටහුණි. අසල්වැසියකුගේද උදව් උපකාර ඇතිව මම ඇය මගේ යතුරුපැදියෙන් ළඟම වූ රෝහලකට ගෙන ගියෙමි.
අප ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබූ තේම්පුරම් කරා යෑමට සැරසෙද්දී ළමයකු කෑ ගැසීය. 'අයියා. අර බලන්න, කාගෙද කකුලක් තියෙනවා.' මම ඒ දෙස ආපසු හැරී හෝ නොබැලූවෙමි. වැඩිහිටියකුද නංවාගත් මාගේ සයිකලය තවත් වේගයෙන් මා තල්ලූ කරන්නට විය. යාමට දිසාවක් සොයාගත නොහැකිව මිනිස්සු කලබලයෙන් ඒ මේ අත දුවන්නට වූහ. පසු දින මා අවදි වන විට වෙනදාටත් වඩා වේගයෙන් මගේ හදවත ගැහෙන්නට විය. ෂෙල් ප්‍රහාර හෙලීම අඩු වී තිබුණු හෙයින් මම පෙර ස්ථානයට පැමිණ වටපිට වූ අයගෙන් ළමයා ගැන විමසුවෙමි. ඔවුන් ප්‍රකාශ කළේ දරුවා රෝහලට ගෙන යන අතර තුරේම මිය ගිය බවයි. ඔහු ප්‍රහාරයෙන් පසුව පැයකට වඩා ජීවත් වී නොමැත. මම ඒ ළමයා නොමැරෙන ලෙස දෙවියන්ගෙන්ද ඇයැද සිටියෙමි. ළමයා මිය යෑමේ පුවත මා තුළ බිය ඇති කළේය. මා බොහෝ දෙනා අස්වසා ඇති වුවද මට අස්වැසිල්ලක් නොමැති විය.
තේවිපුරම් හි දරුණු කලබල පටන් ගැනුණි. දෙපිලම එකිනෙකාට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළේ තරගයකදී මෙන්ය. එක් පිලක් ෂෙල් වෙඩි ප්‍රහාර 10ක් පත්තු කරන්නේ නම් අනිත් පිල ජය ලබාගැනීමට මෙන් ඊට එරෙහිව ෂෙල් වෙඩි ප්‍රහාර 100ක් පත්තු කළේය. ෂෙල් වෙඩි වරුසා වහින්නට විය. මින් සමහර ෂෙල් වෙඩි සාමාන්‍ය මිනිසුන්ගේ මතට වැටීමටද පැකිළුණේ නැත. මෙම අදියරේදී බොහෝ මිනිස්සු ඉරුදුමාඩු හා සුතාන්තිරාපුරම් හි සිට හමුදා පාලන ප්‍රදේශවලට ගමන් කළෝය. ඉතාම අපහසුවෙන් බොහෝ කරදර මැද්දේ ඔවුන් 'එන්න' යැයි අපට අඬ ගැසුවෝය. නමුත් ෂෙල් වෙඩි ප්‍රහාර හෙළීම නැවතුණේ නැත. 'යන්න එපා. ඉඳපල්ලා' කියමින් ඔවුහු ද (එල්ටීටීඊය) ෂෙල් වෙඩි ප්‍රහාර නොනවත්වා එල්ල කළෝය.
අපට ද යෑමට අවශ්‍ය වූයේ නැත. 'අපේ මිනිස්සු, අපේ ජීවිත, අපේ ජීවිකාව, අපි දන්නවා අපි මේතාක් කල් විඳවු වේදනා, මුහුණ දීපු අමාරුකම්, අපි මේ තාක් දුර ආ ගමන. නමුත් දැන් කවුද අපිව බේරා ගන්නේ? අපිව හදලා තියෙන්නේ යකඩෙන්ද?'
ෂෙල් වෙඩි වරුසා අප වෙත පතිත වුණි. දෙමව්පියෝ තම දරුවන් සමග අතරමං වූහ. බොහෝ කරදර බාධක එන්න එන්නම වැඩි විය. වතුර දණිස් ළඟට ආ විට දෙමව්පියෝ දරුවන් ඇකයේ හොවා ගත්තෝය. වතුර ඛෙල්ල ළඟටම ආ විට දරුවන් ඔළුව උඩ තියා ගත්තෝය. නමුත් වතුර ඔළුවට ද උඩින් ගිය විට අම්මාවරු අමාරුවෙන් රැගෙන ආ දරුවන් අතහැර දමා තමන්ගේ දිවි ගළවා ගන්නට පීනන්නට වෙර දැරුවෝය. මිනිස්සු තම දිවි බේරා ගැනීමට දිව්වෝය. එකෙකු තුවාල වූයේ නම් ඔහු අතහැර දමා අනෙක්හු දිව්වෝය. තම තුවාල වූ දරුවන් අතහැර පලා ගිය දෙමව්පියෝද වූහ. මම මෙය මාගේ දෑසින්ම මුලායි මවුතුමී දේවස්ථානයේදී දුටිමි. නැවැත ආරක්ෂිත කලාපයද අනතුරු දායක ස්ථානයක් බවට පත් විය. මට මේ අවස්ථාවේදී මාතානන් රෝහලට ගොස් වැඩිමහල් පුද්ගලයකු රතුකුරුස බෝට්ටුවකින් යැවීමට සිදු වුණි. මේ හේතුවෙන් මට සතියක් රෝහලේ නවතින්නට සිදු විය. (මේ වන විට මාතානාන් හි සිට වාඩුවාගල් දක්වා ආරක්ෂිත කලාපයක් ලෙස නම් කොට තිබුණි.) මම රෝහලේ සිටි කාලයේදී මම 'අපාය' යැයි සිතූ දෙය සැබැවින්ම මෙය විය හැකි යැයි සිතුණි. දෑත් නැති දෙපා නැති ඇෙඟහි කොටස් කැඩී ගිය, පිළිස්සුණු මළ සිරුරු විය. සමහර සිරුරුවල දෙඇස් නැති විය. මෙම මනුෂ්‍ය වේදනාව යමෙකුට විග්‍රහ කිරීමට හෝ සිතාගැනීමටවත් නොහැකි තරම් විය. තුවාලකරුවෝ පිටින් පිට නොනවත්වාම රෝහලට රැගෙන ආවෝය. මෙහිදී රෝහලට රැගෙන එන අතර තුරේදීම මිය ගිය සහ පණ අදින මිනිසුන් ප්‍රතිකාර ඇතිව හෝ නැතිවම රෝහලේ නම ලියාපදිංචි කළෝය. තුවාල වී රෝහලට ගෙන ඒමටත් පෙරම මිය ගිය අය කවුරුන් භාර ගනී ද? සමහරු පවුල් පිටින්ම මිය ගියෝය. සමහර සිරුරු පාර අයිනේ වැතිරී තිබුණේය.
මම පොකුරු බෝම්බ පිළිබඳව පළමුවරට ඉගෙනගත්තේ මාතානාන් හිදීය. යමෙකුට ෂෙල් වෙඩිල්ලක් පත්තු කිරීමට සූදානම් වන හඬ ඇසුණද එහි පිපිරීමක් සිදුවන්නේ නැත. එය පුස් වෙඩිල්ලක්යැ'යි සිතුන්නට හැකිය. නමුත් ක්ෂණික 'ජුරු ජුරු' යන හඬින් මුළු පළාතම විශාල හ~කින් කැළඹී යයි. එකෙකු දෙන්නකු නොව බොහෝ දෙනෙක්ම බිම වැටෙති. එක් දිනකට ෂෙල් වෙඩි ප්‍රහාර අතර විවේකයක් නැති අතර ෂෙල් වෙඩිල්ලක පමාව කෙටි විවේකයක් සුළු මොහොතකට ලබා දුන්නේය. බොහෝ දෙනෙක් බංකර හෑරුවෝය. තවත් පිරිසක් විවෘත බිංගෙවල්වලට ජීවත් වූවෝය. සමහරු විවෘත වූ අහස පමණක් විශ්වාස කර එය තමන්ට සෙවණක් කර ගත්තෝය. අවසන් මාස හතරින් වැඩි කාලයක්ම අපගේ ජීවිත ගෙවුණේ බංකර තුළය.
මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කාරණය වන්නේ නොනවත්වාම සිදු වූ අවතැන්වීම්ය. මිනිසුන් දිගින් දිගටම තැනින් තැනට ගියෝය. මිනිස්සු රැගෙන ගිය අත්‍යවශ්‍ය දේවල් අතර බංකර සෙවිලි කිරීමට ගස් ද රැගෙන ගියෝය. අවසන් වරට ආරක්ෂිත කලාපය ලෙස නම් කෙරුණු ප්‍රදේශය කරවල වේලීම සඳහා යොදා ගැනුණු හිස් භූමියක් විය. එහි බංකරයක් හැදීමට පොළොව අඩියක් හාරන විටම වතුර පෑදෙන්නට විය. එහි ඉඩකඩ මදි වූ අතර මිනිස්සු එකම තැන තාවකාලිකව කූඩාරම් තනාගන්නට වූහ. යමෙකු උදයේ දී තම ශරීරකෘත්‍යය කළේ නම් නැවැත ඒ දෙය කිරීමට රෑ කළුවර වැටෙනතුරුම සිටීමට සිදු විය. විශේෂයෙන්ම කාන්තාවෝ මේ හේතුවෙන් බොහෝ පීඩා වින්දෝය. සමහරු මුත්‍රා නොකර මුළු දවස තිස්සේම සිටියේ කළුවර වූ විට මුත්‍රා කිරීමට හැකි වන තෙක්ය. තවත් සමහරු මේ හේතුවෙන්ම නොකා නොබී සිටින්නට පටන් ගත්තෝය. ඉන්පසුව මුල්ලිවායික්කාල්වලට යෑමට පටන් ගත්තේය.
ගංවතුරක් ආ විට දින දෙක තුනකට අවතැන්්වන දකුණේ ජනතාවට මුළු ජීවිත කාලයක් පුරා හෝ ඉන් අඩක් වසා සිටින උතුරේ ජනතාවගේ අවතැන්වීම විෂය නොවෙයි. එහෙත් උතුරට ජීවිතය යනු අවතැන්වීමය. අවතැන්වීම යනු ජීවිතයය.
තරුණයෝ සහ ළමෝ ජීවිතය ගැන වූ සිහිනයන් සමගම මරා දමන ලදහ. බලෙන් හමුදාවට බඳවා ගැනුණු තරුණයන් යුද්ධය සඳහා සියලූම නිවැසියන් දැරූ දායකත්වය වෙනස් කෙරුණි. කැඩුණු පල්ලිවල දොරවල් විවෘත වී තිබුණු අතර එතුළ සෙල්ලම් කරමින් සිටි මාගේ සමීපතම මිතුරකු ඇතුළු තවත් තරුණයන් කිහිපදෙනකු බලෙන්ම යුද්ධයට බඳවා ගැනීම සඳහා රැගෙන යන ලදි. මාගේ මිතුරා අධ්‍යාත්මිකව ඉතාම හික්මුණු පුද්ගලයකු විය. මමද එම අවස්ථාවේ පිහිට පතා පල්ලිය දෙසට පිය නගමින් සිටියෙමි. පල්ලියට සිදුවී ඇති දෙය දුටු විට මගේ දෑසට කඳුළු ආවේය. 'මෙය ඔබගේ දෛවයද? සැනසුම සොයමින් මිනිසුන් පැමිණෙන ස්ථානය මෙයද?' මට සිතුණි. කි්‍රස්තුස් වහන්සේගේ වචනයට අනුව 'මෙය කොළ පැහැති කොළයක දෛවය නම් වියළුණු පසු කෙසේ වේවිද?යැ'යි මිත්‍රයාව සෙවීමට වෙහෙසුණු මට සිතුණි.
ඇයගේ දුක්බර මුහුණ මම දිටිමි. ඇයට කතාකර ගැනීමට නොහැකිය. මේ වන විට පවුලේ එක් සාමාජිකයකු යුද්ධයට බිලි දී ඇති අතර පවුලේ අනිත් සාමාජිකයන්ද බලෙන්ම යුද්ධයට බඳවා ගැනීම නිසා ඇය තනි වී ඇත. මාගේ මිත්‍රයා සති 2කට පමණ පසුව ඔවුන්ගෙන් බේරී පලා ආ බව මට දැනගන්නට ලැබුණි. යුද්ධයට බලෙන් බඳවා ගැනීමෙන් වැලකීමට තරුණයන් ගත් උත්සාහය සහ මුහුණදුන් දුෂ්කරතා වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. තරුණ ගැහැනු ළමුන් සහ පිරිමි ළමුන් පමණක් නොව ළමුන් ද බලෙන් යුද්ධයට බඳවාගැනීමට අන් අය දැරූ උත්සාහයෙන් තමන්ගේ ජීවිත බේරා ගැනීමට වෙර දැරුවේය. සමහරු බිම හාරන ලද වළවල්වල සැඟවී ඔවුන්ගෙන් බේරීමට උත්සාහ දරුවෝය. කැලෑවේ සැඟ වුණෝය. සමහරු ඇද හැලූණු ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන්ම ඒ සැඟවුණු වළවල් තුළම එලෙසම මිය ගියෝය. නමුත් අවතැන්වීම් හේතුවෙන් ඔවුන් නිරතුරුවම එහා මෙහා ගිය බැවින් බොහෝ දෙනකු අතර මගදී ඔවුනට අසුවූහ. සමහරු තම ජීවිත බේරා ගැනීමේ අරමුණින්ම විවාහ වූහ. සමහරු මෙම බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගැනීමට සම්බන්ධ වූයේය. සමහරු තමන්වම නායකයන් ලෙස පත් කර ගත්හ. ඔවුන් තමන් සඳහා නීතිද සකස් කළ අතර මිනිසුන් ඛෙදී යෑමට මෙය හේතුවක් විය. සමහරු තුළ පැවති ආත්මාර්තකාමී බව සහ යුද්ධයට තමන්ව සහ තම පවුල්වල සාමාජිකයන් බඳවා ලු අය මෙම ගැටලූවලට හේතු වූයේය. ඔවුන් අප ඉදිරියේ යක්ෂයා (යුද හමුදාව) ඉන්නවා කියා නතර කළේය. ඉන් අනතුරුව ඔවුන් ඔවුන්ගේම පවුල් යැව්වේය. මිනිසුන් අවසානයේ ඇසුවේ, 'නුඹලා යක්ෂයා පෙන්වන්නේ කාටද?' යනුවෙනි.
මුල්ලිවේයික්කාල් ඉතාම භයානයක ස්ථානයක් බවට පත් විය. අප වට කර තිබූ ප්‍රදේශයද මල්ටි බැරල් (40) ප්‍රහාරවලට ලක් වූයේය. සිදුවූයේ කුමක්දැයි අපි නොදනිමු. වටාපිට වූ තල් ගස් ගිනි ගෙන දැවුණි. නොදැනුවත්වම මා ඇද වැටුණි. ටික වේලාවකට පසු වටපිට බැලූවෙමි. සෑම දෙසින්ම අඳෝනාවන් විය. අල්ලපු මඩුවේ සිටි වැඩිහිටියෙකු ද කෑම කන අතරේම මරණයට පත්ව ඇත. මම ඔහුට කථාකර මොහොතක් ගත වූවා පමණි. ඔහු එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ ඔහු උදෑසනට ආහාර නොගත් බවත් (කෑම හිඟය නිසා) දවාලට පමණක් ආහාර ගන්නා බවත්ය. අනෙක් පස නිවසේ අවුරුදු 14ක පමණ දැරියක් රොටි පුළුස්සමින් සිටිනු මම දුටුවෙමි. ඒ වන විට මධ්‍යහ්න 12 පමණ විය. ෂෙල් වෙඩි ප්‍රහාරය එල්ල වූයේ පස්වරු 1ට පමණය. අසල මඩුවේ සුදු බත් කමින් සිට මහලූ මිනිසාගේ සුදු බත් පත රතු පැහැ වී තිබුණේය. අර දැරිවිය පුච්චමින් තිබූ රොටියක් අපගේ ඉරුණු කූඩාරම් වහල මතට විසිවී තිබුණි. එම දැරිවියගේ යටි බඩින් ශරීරය දෙකඩ වී තිබුණු අතර අවසානයේ දී ඇය බෝට්ටුවක දමා පුල්මුඩයට යැවිණි. මරණය සාමාන්‍ය දෙයක් බවට පත් විය. බංකර තුළම මිය ගිය ඔවුන් එතැනම වැළලී ද ගියේය.
ලෝක ආහාර වැඩ පිළිවෙළ මගින් සහනාධාර ඛෙදා දෙනු ලැබුවේය. අපට ඒ සඳහා පෝලිම්වල සිටගෙන සිටීමට සිදු විය. ඒ අතර ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූයේ නම් අපට දුවන්නට ද සිදු වනු ඇත. සමහර විට මේ දුෂ්කරතා සියල්ල මධ්‍යයේ වුවද වියලි ආහාර ද්‍රව්‍ය ලබාගත් අතර බොහෝ විට සහනාධාර ආහාර මලූ හිඟතාවක් තිබිණි. එහි පිටි, සීනි, පරිප්පු සහ තෙල් විය. අපි පරිප්පුයි බතුයි කෑමට පුරුදු වීමු. අඩුම තරමේ කෑමට එක් කිරීමට සුදු ලුණු ගෙඩියක් හෝ නොවීය. අපට නිරතුරුව පාචනය වැළඳුන අතර දවසට කීප සැරයක්ම වැසිකිළි යෑමට ද සිදු විය. ෂෙල් වෙඩි ප්‍රහාරද කොයි මොහොතේ හෝ එල්ල විය හැක. කෑමවල මිල ගණන් ද අහස් වෙඩිලි සේ ඉහළ ගියේය. පොල් ගෙඩියක් රු. 1000ක් විය. නිවිති රු. 150ක් විය. එක් වරක් නරක් වූ කැරට් සහ වට්ටක්කා නැවක් ආවේය. අමු අඹගෙඩියක් රු. 100යේ සිට 150ක් පමණ විය. සමහර අම්මලා බත් ඉල්ලා ඇඬුවෝය.
මුල්ලිවෙයිකාල්වල සිටි මිනිසුන්ව ද වෙඩි ප්‍රහාරවලට ඉලක්ක වීමට සිදුවිය. බංකරයේ සිට පිටත බැලු විට වෙඩි උණ්ඩවලට සිදුරු වූ ගස් කඳන් අපව පෙනුණි. සමහරු එක් උණ්ඩ වර්ගයක් 'ඩම් ඩම්' ලෙසින් නම් කළේය. එක් වරක් 'ඩම්' යන ශබ්දයක් ඇසෙන විට වයසක ආච්චී කෙනකු අප අසල වාඩි වී සිටියේය. පසුව ඇයගේ කකුල කැඩී ඇති බව ඇයට වැටහුණි. අප පසුව අවබෝධ කර ගත් ආකාරයට මුලදී ඇයගේ කකුල පසාරු කරගෙන උණ්ඩය ගොස් පසුව ශරීරය ඇතුළතදී උණ්ඩය පුපුරා යෑමෙන් ඇයගේ කකුල කැඩුණු බවය. තවත් එක් මිසයිල වර්ගයක් වූයේ 'කාලතුවක්කු'ය. පසුව මේවා එක දිගටම ප්‍රහාර එල්ල කළ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් ද බොහෝ සංඛ්‍යාවක් මිය ගියේය. කාලතුවක්කු ප්‍රහාරයකට යමෙකු ගොදුරු වන තුරුම කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වනවා හෝ එහි පිටවන හඬ මිනිසුන්ට නොදැනුණි.
මින් පසු මුල්ලිවෙයිකාල්වල වෙඩි ප්‍රහාරවලින් කටුකව ගිය තණකොළවලට හෝ නැවත නැඟී සිටිය නොහැකි විය. නොනවතින මිසයිල, රොකට් සහ වෙඩි ප්‍රහාර සමගම නොනවතින බෝම්බ ප්‍රහාර මුහුදෙන්ද එල්ල විය. ගොඩබිමෙන් එල්ල වන ප්‍රහාරවලින් වැලකීමට මුහුද දෙසට මුහුණ ලා බංකර තැනුවද මුහුද දෙසින් ද ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වීමට පටන් ගත්තේය. අප සහනය පතා වෙල්ලමුල්ලිවෙකාල් දෙසට දිවූයෙමු. ඒ සඳහා වූයේ මීටර 500ක් පමණි. මධ්‍යම රාති්‍රයේ දී වළලා තිබූ ආයුධ සමූහයක් ගිනි දළු නංවමින් පුපුරා ගියේය. අප එම රාති්‍රයේ දී එම ගින්දර එළියට බංකරවලින් පිටතට ඒ මට බිය වුණෙමු. අහසේ වූ යානයකින් එම සිද්ධීන් රූපගත කෙරුණු බව අපි දුටිමු. මිනිසුන් බංකරවලින් එළියට ආවේ නම් අඩුම තරමේ ෂෙල් වෙඩි ප්‍රහාර 05ක් වත් එල්ල වනු ඇත. අපි කෙසේ හෝ වෙල්ලමුල්ලිවෙයික්කාල්වලට පැන ගැනීමට සමත් වූයෙමු. අප අතර මගදී හිස් පහත් කර ගනිමින් සැඟව ගිය අතර අප පෙර මුහුණ දුන්නාට වඩා එය බියකර අවස්ථාවක් විය. තුවාලකරුවන් රැගෙන ආ පාසලක් වෙල්ලමුල්ලිවෙයික්කාල්වල පිහිටා තිබුණි. මෙය වන්නියේ රෝහල විය. මේ සියල්ල විස්තර කරණුයේ නම් එය පොතක් තරම් දිග වනු ඇත. කෙසේ නමුදු, කෙටියෙන් පවසන්නේ නම් ඉදිරිපස කොටසෙහි තුවාල වූ බොහෝ දෙනා විය. ඉන් සමහරක් මළ සිරුරු විය. ඒ අතරම කිසිවකුගේ සැලකිල්ලට ලක් නොවූ අසාධ්‍ය තුවාලකරුවෝ වැටී සිටියහ. යමෙකුගේ හිස තුවාල වී තිබුණ ද කිසිවකු හෝ ඒ දෙස හැරීවත් නොබැලූවේය. එහි රජයේ වෛද්‍යවරු දෙදෙනකු හෝ තුන්දෙනකු සිටියෝය. කෙසේ නමුදු පුහුණු දේශීය වෛද්‍යවරු බොහෝමයක් ජීවිත බේරාගනු ලැබූහ.
මෙම රෝහල ප්‍රහාරවලට ලක්වුණි. එහි ඛේදනීයම තත්ත්වය වූයේ ඛෙහෙත් සොයා පැමිණි මිනිසුන්ට එම රෝහල තමන්ගේ සොහොන බවට පත්වීමයි. මිය ගොස් සිිටි පුද්ගලයන්ගේ මළ සිරුරු මතට ද ෂෙල් වෙඩි වැටුණි. මරණින් පසුව වුවද දුක් කම්කටොලූවලට මුහුණදීමට සිදු වන බව පැවසෙන කියමන මෙහිදී සැබෑවක් විය. වෙල්ලමුල්ලිවෙයික්කාල්වලට පැමිණීමට පෙර අපි අපගේ අවසන් දේව මෙහෙය වන්නියේ දී පැවැත්වූවෙමු. ඔළුව පසාරු කරගෙන කොයි මොහොතේ හෝ වෙඩි උණ්ඩ යාහැකි නිසාවෙන් දේව ගැතිතුමා ඇතුළු අප සියල්ල කූඩාරම් තුළ වාඩි වී යාඥා කළෙමු. රතු කුරුස සංවිධානයේ යාත්‍රා පැමිණි අවස්ථාවලට ෂෙල්වෙඩි ප්‍රහාර අඩුවීම නිසා එම වේලාව මිනිසුන්ට හෝ අස්වැසිල්ලක් ගෙනාවේය. නමුදු මෙය විශ්වාස කර එළි පහළියට පැමිණි සමහරු නිකරුනේ මරණයට පත් වූහ. දිනය 2009 මැයි 13 වනදා විය. එය පළමුවන ලෝක යුද්ධය සිහිකිරීමේ දිනයයි. වටාපිටාවේ දරුණු ප්‍රහාර එල්ල වන අතර වාරයේ දී මම බංකරය තුළට වී බයිබලය කියවෙමින් උන්නෙමි. එක්වරම මාගේ මුහුණ මඩවලින් වැසී ගියේය. මම වහාම බංකරයෙන් එළියට පැන දුවන්නට වීමි. ළඟ පහත වූ තවත් බකරයක් මතට මඩ කලත්තමින් ආටිලරි ෂෙල් වෙඩිල්ලක් වැටුණේය. එම බංකරයෙහි ළමුන් 03 දෙනකු සිටියෝය. දෙවියන් වහන්සේට ස්තුතිවෙන්නට එම ළමුන් ආරක්ෂා වී තිබිණි. අපි ඔවුන්ව බංකරයෙන් එළියට ඇද ගත්තෙමු. මම ආපසු හැරී බලන විට ගැහැනු ළමයෙක් බිම වාඩි වී ඔළුව බිමට නමාගෙන සිටියාය. බැලුවිට ඇය මම දන්නා හඳුනන ගැහැනු ළමයෙකි. ඇයට පණ තිබූ අතර ඇයගේ නාසයෙන් සහ කණෙන් ලේ ගලමින් තිබුණි. අපි වහාම ඒ දෙසට දිව ගියෙමු. ඊට මීටර 100ක් පමණ නුදුරින් වූ බංකරයකට අප අනිත් සියලූ දෙනාත් සමගම ගොස් සැඟවුණෙමු. බංකරය අසල සිටි ඇය තමන්ගේ යටි බඩ අතින් අල්ලාගෙන කඳුළු සලමින් අප වෙතට පැමිණියාය. ඇපි හැකි ඉක්මනින් ඇයව රෝහල වෙත රැගෙන ගියෙමු. ඇයව රැගෙන යාමට වාහන තිබුණෙත් නැත. එබැවින් අපි සරමක් ගෙන ලී පොලූ දෙකක් දමා ගිලන් මැස්සක් තනා ඇයව රෝහලට රැගෙන ගියෙමු. ඇයව වහාම සැත්කමකට භාජනය කර නැවත එවා තිබිණි.
සෙනග පිරුණු බංකරය තුළ ඇය අපත් සමග දින 03ක් ජීවත් වූවාය. ඇය වතුර ඉල්ලා කිහිපවර හැඬුවද ඇයගේ යටි බඩෙහි වූ තුවාලය නිසා ඇයට වතුර දීමට හැකියාවක් නොතිබුණේය. ඇය 03වන දින රාති්‍රයේ ඇයගේ දරුවන් දෙදෙනා දෙස බලාගෙන අවසන් හුස්ම හෙළුවාය. ඇයගේ මළ සිරුර බංකරය තුළම තබා දින 03කට පසු එතනම වූ මඩුවක් තුළ ඇයව වළලා දැම්මේය. අප කෑම පිසූ අතර අසල වූ ආයුධ ගබඩාවක් ගිනි ගත්තේ අප කෑම කමින් සිටි වේලාවේය. මෙවැනි සිද්ධීන් බොහෝ විට සිදු විය. මිනිසුන් තමන් අතට අහුවුණ දේත් රැගෙන හිස් ලු ලු අත දුවන්නට වූහ. හැම තැනම එලෙසම විය. මෙම වන්නියේ අවසාන අදියර විය. මොනවා හෝ දෙයක් ගැන විශ්වාසය තබාගෙන සිටි මිනිසුන් අවසානයේ මං මුළා වූහ. මින් බොහොමයක්ම මිනිසුන් පහසුවෙන් ව්‍යවසනයන්ට මුහුණ දිය හැකි තත්ත්වයේ පසු වූ අහිංසකයන් වූහ. අපගේ දැඩි විශ්වාසය අවසානය තෙක්ම දෙවියන් කෙරෙහි තබා තිබුණෙමු. අපි හැමදාම ප්‍රවෘත්ති අවසන් වන තුරුම ඉතා උනන්දුවෙන් අසා සිටියෙමු.
බොහෝ දෙනා අන්තිමට කුමක් සිද්ධවේද යන්න දැන සිටියේ නැත. ඔවුහු ඔහේ නිකම්ම බංකරවලට වී සිටියෝය. මොනවද ඔවුනට සිද්ධ වුණේ?
අප අවසාන දවසේ වඩ්ඩුකාවාල් පාලමෙන් එගොඩ වීමු. ඔවුන් (එල්ටීටීඊය) අවසාන දවසේද අපව හරස් කළේය. අවසන් වැටලීමද මිනිසුන්ට පැන ගැනීමට සිදු විය. වසර 30ක යුද්ධයකට පසුව, සිතියමෙහි, ආර්ථීකයෙහි සහ ලංකා ව්‍යුහයෙහි වෙනස් වූ වෙනස්කම්වලට වඩා විශාල වූ භීතියෙන් ජීවත් වූ මිනිසුන්ගේ තුවාළ සහ කම්පාවන් පුරවනුයේ කවුරුන්ද? අපි, ඉවසිලිවන්තවීමට ඉගෙන ගත්තවුන්, සාමකාමී සහජීවනයක් බලාපොරොත්තුවෙන් සිටිමු.
Post a Comment