කොත්මලේ සහ මාලේ දිවයින අතර සබැඳියාවක්‌ තිබේ ද?


ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ 


වර්තමානයේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට අයත් වන කොත්මලේ ක්‍රි. පූ. 1 සියවසේ දී සිදු වූ දුටුගැමුණු කුමරාගේ හා සම්බන්ධිත තොරතුරක්‌ හේතුවෙන් ඓතිහාසික වශයෙන් ප්‍රචලිතය. දුටුගැමුණු කුමාරයා තරුණ කාලයේදී මාගම සිට පලාවිත් අවුරුදු කීපයක්‌ තිස්‌සේ අප්‍රසිද්ධව කොත්මලේ කල දවස ගෙවූ පුවත ජනශ්‍රැතියේ ද සාහිත්‍යය මූලාශ්‍රවලද පුරාවිද්‍යාමය මූලාශ්‍රවලද සඳහන් වේ. මහාවංශයේ ප්‍රකාශ වන්නේ කාවන්තිස්‌ස රජතුමා උරණ වූ අවස්‌ථාවේ කුමාරයා පියරජ හට කිපී පළාගොස්‌ කඳුරටට හෙවත් මලය ප්‍රදේශයට පැමිණි බව ය. "මලය" යනු කන්ද යන අර්ථය දෙන වචනයකි.

පාලි ග්‍රන්ථවල කොත්මලේ සඳහන් වනුයේ "කොට්‌ඨ මලේ" යනුවෙනි. වංසත්ථප්පකාසිනියේ "කොට්‌ඨ නාමකං මලයේ" යෑයි පැවසේ. සීහල වත්ථුවේ මලය වාසී චුල්ල සුමනාවගේ කථාවෙහි ද මලය ගැන කියෑවෙද්දී එහි කාවන්තිස්‌ස රජුගේ කථාවෙහි මලය රට ගැනත් මලය මහාදේව තෙරුන් ගැනත් ප්‍රකාශ වේ. ඒ හැරුණු විට එහි මාලෙයH දේව තෙරුන්ගේ කථාව නමින් වූ පුවතක්‌ ද වෙයි. මේ මලය යනු පූජාවලිය, ථූපවංශය, බෝධිවංශය, සද්ධර්මාලංකාරය ආදී" වූ පැරැණි සිංහල පොත්වල සඳහන් කොත්මලේට බව පැහැදිලිය. ධාතුවංශයෙහි කොත්මලේ ගැන සඳහන් වනුයේ මලය රට යනුවෙන් වීම ඊට තවත් සාධකයකි.

සීහල වත්ථුවෙහි කාවන්තිස්‌ස රජුගේ කථාවේ දැක්‌වෙන්නේ රජු සහ විහාරමහා දේවිය පූර්ව ආත්මයක දී මලය රට කඳුකර අඹුසැමි යුවළක්‌ ව උපත ලබා සිටි පුවතකි. ධාතුවංශයෙහි මෙකී පූර්ව ආත්ම කතාව මීට වඩා බෙහෙවින් වෙනස්‌ ස්‌වරූපයකින් දැක්‌වෙන අතර එහි කියෑවෙනුයේ මේ කාවන්තිස්‌ස රජුතෙම මලය රට එක්‌තරා දනව්වක චන්ඩාල ග්‍රාමයෙක්‌හි චණ්‌ඩාලයකහුගේ ගෙයි උපාසිකාවකගේ කුස පිළිසිඳ.. ආදී වශයෙනි. මේ පුවත සද්ධර්මාලංකාරයේ පැවසෙද්දී තවදුරටත් වෙනස්‌ වී ලංකාද්වීපයෙහි ගල්වල් රට බරුපුල නම් ලෙන සමීපයෙහි වැදිගමෙක ප්‍රධාන වැද්දාට පුත්‍රව උපණ" යෑයි සඳහන් වේ.

දුටුගැමුණු කුමාරයා පිය රජු හට බියෙන් පලා යැම පිළිබඳ සිද්ධිය ථූපවංශයෙහි සඳහන් වන්නේ ගැමුණු කුමාරයෝ පියාණන්ට කිපී නොකියාම මායාරට කොත්මලේ ගිලීමලයට පලා ගොස්‌ හිඳින්නාහ යනුවෙනි. ඊට පසු කලෙක ලියෑවුණු සද්ධර්මාලංකාරයේ එපවත් අසා ගැමුණු කුමාරයෝ පිය රඡ්ජුරුවන්ට කිපී නොකියාම මායාරට කොත්මලයට පලාගොස්‌ අප්‍රසිද්ධ ව විසූහ යෑයි මේ තොරතුර පැවසේ. මේ දෙතැන්හිම මේ විස්‌තරය මහාවංශ ආශ්‍රයෙන් ගත් බව පැහැදිලිටය. එහෙත් මේ දෙතැනම සඳහන් වන විශේෂිත කරුණක්‌ නම්, එවක කොත්මලේ මායාරටට අයත් වූ බවයි. ථූපවංශයේ එන තවත් පැහැදිලි කිරීමක්‌ නම් කොත්මලේ ගිලීමලය නම් ගමට කුමාරයා පැමිණි වගයි. ජනශ්‍රැතියේ පැවසෙන පරිදි දුටුගැමුණු කුමරා විසූ ගම කොත්මලේ කොටගේපිටියයි.

කොත්මලේට නුදුරු "කඩදොර" නම් ස්‌ථානය පුරාණයේ කොත්මලේට ප්‍රවේශ වීමේ දොරටුව වූ බැව් ජනශ්‍රැතියේ පැවසේ. මේ ස්‌ථානයේ ගලින් කළ දොරටුවක්‌ වූ බවත් දුටුගැමුණු කුමරු මේ කපොල්ල පැන කොත්මලේට ඇතුළු වූ අවස්‌ථාවේ මෙකී ස්‌ථානයේ තිබූ නුග ගසේ තම කඩුව සඟවා ගිය බවත් ජනශ්‍රැතියේ තවදුරටත් කියෑවේ. දුටුගැමුණු කුමාරයා කොත්මලේ සිටි වග සහ කොත්මලේ පුසුල් පිටිය ද ආශ්‍රය කොට ඇති වග සනාථ කෙරෙන සෙල්ලිපියක්‌ පුසුල් පිටිය රාජමහා විහාරයේ දකින්නට ලැබේ. විහාරයේ බෝධීන් වහන්සේට නුදුරුව පිහිටි කුඩා ගල් පර්වතයක කොටා ඇති සෙල්ලිපියේ 16 සහ 17 යන පේළිවල ..... විහාරයට බස්‌නාතින්දු වූ ගැමුණු නරෝත්තමයා වැඩසිටිය ශෛල මස්‌තකයෙහි දාගැබ..." යනුවෙන් සඳහන් වනු දකින්නට පිළිවන. භාෂා විලාසය අනුව මෙය එතරම් පැරැණි සෙල්ලිපියක්‌ නොවන වග පැහැදිලි වුවත් ඓතිහාසික වැදගත්කමකින් යුක්‌තය. මේ කාරණය කිසියම් පැරැණි ලේඛනයකින් නැතහොත් ජනශ්‍රැතියෙන් පැවති පසුව මෙහි සටහන් කොට තැබුවා විය යුතුය. දුටුගැමුණු කුමරු කොත්මලේ කල්ගත කළ බවට ජනශ්‍රැතියේ එන තොරතුරු බොහෝය. ඒවායින් සමහරක්‌ ජන කවි වශයෙන් ද ප්‍රබන්ධ වී ජන ව්‍යවහාරයේ පවතිනු අසන්නට ලැබේ.

කොත්මලේ කොටගේපිටියේ පිහිටපු ඌරුපැලැල්ලේ ගමගෙදර,

සත්තට කුමරිඳු සැඟවී සිටියා පැලැල්ලදෙණියේ මහ ගෙදර, රහසට කුමරිඳු ඔටුණු පැලැන්දා ලක තුළ රජකම අත්නොහැරා අත්හැර යන දා ගැමුණු කුමරු සොඳ කොත්මලෙ රට ගැන කිව් පවරා"

කුමාරයා කොත්මලේ වාසය කළ කාලය අවුරුදු දොළහක්‌ වූ බවත් ඒ වකවානුවෙහි ගොවිතැනේ නිරත වූ බවත්" ආ දා සිට අවුරුදු දොළහක්‌ රජ ගොවිතැන් වැඩ ගැන නිපුණ වුණා.... යනුවෙන් වූ කවියෙන් ප්‍රකාශ වේ. තවද කුමාරයා ඌරුපලල්ලේ ගම්මහේගේ බාල දියණිය වූ රන් මැණිකා බිරිඳ කොටගෙන ජීවත් වූ බවත් ජනප්‍රවාද කවිවලින් අනාවරණය වේ.

"ඌරුපැලල්ලේ ගමගේ එතැනට වී වැඩි වී සිත සතුටු වුණා

පාර දිගේ එන වී රැළ දැකලා ගම්මහෙ එම දින පුදුම වුණා

කාර බඳින්නට රන්මැණිකා දුව ගම්මහගෙ සිත සතුටු වුණා

මේවර වී නොගොසින් නැවතුණු තැන වී හැතපෙන හෙළ නම සැදුණා

දුටුගැමුණු කුමරු මාගම් බලා යද්දී රන් මැණිකා ද කැඳවා ගෙන ගිය බවත් ඇතැම් ජනකවිවලින් ප්‍රකාශ වේ.

හෙළදිව කිරුළ මව්යාගෙන් මෙදින ලැබ

රජ කරනට රන් මැණිකෝ නගිනු නුඹ

ආලයෙන් හිටපු නුඹ සරි සැම දාට

රන් මැණිකෝ වරෙන් දැන් මාගම් යන්ට

එහෙත් මෙයින් පසු රන්මැණිකා පිළිබඳ තොරතුරු දුලබය. දුටුගැමුණු රජු අභිසේක ලද පසුව ඇය රජවාසල විසූ බවට තොරතුරක්‌ දකින්නට නැත.

සද්ධර්මාලංකාර තොරතුරෙහි දැක්‌වෙන පරිදි දුටුගැමුණු කුමාරයා මාගම සිට කොත්මලයට පලා යද්දී ඔහු දහසය හැවිරිදි වියේ සිට ඇත්තේය. ජනකවියේ සඳහන් කොත්මලේ සිටි අවුරුදු දොළහේ කාලය නිවැරදි නම් කුමාරයා රුහුණු මාගම රජකමට පත් වූයේ වයස අවුරුදු විසිඅටේ දී පමණ යෑයි ගණනය කළ යුතු වේ. කෙසේ හෝ සැලකිය යුතු කාලයක්‌ කුමාරයා හා එක්‌ව විසූ රන්මැණිකා ඔහුට දාව දරුවන් ලද බවක්‌ අනාවරණය නොවුණ ද දරුවන් නොලද බවක්‌ තහවුරු වන්නේ ද නැත. කොස්‌ගමකන්ද සෙල්ලිපිය පිළිබඳ මෙහිදී අවධානය යොමු වන්නේ එහි සඳහන්ව ඇත්තේ රන් මැණිකා පිළිබඳව යෑයි ඇතැම් ඉතිහාසඥයන් අනුමත කරන බැවිනි. එකී පද්‍යමය සෙල්ලිපිය මෙසේය.

"මහරජහ ගමිණි - අබයහ දෙවන පියශ

රමණි බරිය මිලක තිශ- විහරෙ කරිතෙ කතිය"

මේ සෙල් ලිපිය ක්‍රි. පූ. පළමු සියවසට අයත්වන බව මෙන් පිළිගැනේ. ගමිණි අභය නමින් කියෑවෙනුයේ දුටුගැමුණු රජතුමා බවත් පැවසේ. රජුගේ භාර්යාවක මිලන්ඛතිස්‌ස විහාරය කරවූ බවත් පැවසේ. මෙහි කියෑවෙන "රමණ" යන්න රන් මැණිකේ (රන්+මිණි= රන්+මණි = රමණි) වන්නට පිළිවන. ක්‌ෂත්‍රීය වංශික නොවන කාන්තාවන් රජ කෙනකුන් හා විසුවත් එවැන්නියන්ට මහේෂිකා බිසව, දේවිය රැජැන වැනි ගෞරව නාම ලද නොහැකි බවත් ඔවුන් අඩු (බරිය) කලත්‍ර වැනි නම්වලින් හැඳින්වෙන බවත් පහත දැක්‌වෙන රුවන් මල් නිඝණ්‌ඩු ගීයෙන් සනාථ වේ.

"බිසෙව් ලද කැත් කත් - මෙහෙසුන් හෝ බිසව් වේ

රදු රැජැන කැත්කත් - නවතා අඹුදු කලතුරු"

මිලකතිශ විහාරය කරවූ තැනැත්තිය මේ අනුව සාමාන්‍ය පවුලක කාන්තාවක්‌ බවත් ඒ අනුව ඇය රන් මැණිකා විය හැකි බවත් සිතන්නට බැරිකමක්‌ නැත. මේ කාරණය සත්‍ය වුවත් නොවූවත් රන්මැණිකාගේ කිසි යම් පරපුරක්‌ පැවතෙන්නට ඇති බව සහ කොත්මලේ ඔවුන්ට තෝතැන්නක්‌ වූ බව සිතන්නට පිළිවන.

මෙහි දී මාල දිවයින් දෙස කිසියම් අවධානයක්‌ යොමු කිරීමට කරුණු යෙදේ. මාලේ වැසියන් පැරැණි සිංහල භාෂාවට සමාන භාෂාවක්‌ ව්‍යවහාර කරන පිsරිසකි. ඔවුන්ගේ ඉතිහාස කතාව ගැන මහාචාර්ය ඡේ. බී. දිසානායක මහතා "දිවෙහි රාඡ්ඡේ" පොතෙහි සටහන් කර ඇත්තේ මෙලෙසිනි. අපට හමුවුණු මාල දිවයින් පඬිවරයකුගෙන් අපට දැන ගන්නට ලැබුණේ මේ රටේ මුල් පදිංචිකරුවන් සමහරකු සිංහල රටෙන් පැමිණි බවකි. බොහොම ඉස්‌සර කාලේ "කොයිමාලා කලෝ" කියල කුමාරයෙක්‌ සිංහල රඡ්ජුරුවන්ගේ දූ කුමාරිකාවකුත් සරණ පාවාගෙන නැව් දෙකකින් මුහුදේ ගමන් කරමින් සිටියා. මේ නැව් දෙක හුළඟට ගහගෙන ඇවිල්ලා උතුරුකරේ තිබුණු මාලොස්‌ මඩුලු දූපතකට සේන්දු වුණා. කොයිමාලා කුමාරයා මේ දූපතට ගොඩ බැස්‌සාම එහෙ හිටපු මිනිස්‌සු කුමාරයා පිළිගත්තා. මේ කුමාරයා සිංහල රටෙන් ආපු බව දැනගෙන මේ රටේ රජකම බාරගන්න කියලා එයාට ආරාධනා කළා. කුමාරයාත් ඒ ආරාධනය පිළිගත්තා. පස්‌සෙ කාලෙක රඡ්ජුරුවොයි දේවීන්වහන්සෙයි මාලොස්‌ මඬුලු අතොලුවේ ඉඳලා "මාලේ" දූපතට ආවා. මේ ජනප්‍රවාදයෙන් හෙළිවන විදිහට මාල දිවයිනේ රාජවංශය ආරම්භ වන්නේ සිංහල බෞද්ධ රජෙකුගෙනි."

මාලේ දිවයින්වල "දිවෙහි බස" සිංහලට කෙතරම් සමීප ද යත් ඔවුන් පැන් (වතුර) වලට "පැන්" ද මාංශ (මස්‌) වලට "මස්‌" ද හිරුට "ඉරු" ද හඳට "හඳු" ද වැස්‌සට "වාරේ" (පැරැණි සිංහල වචනයකි) ද ආදි වශයෙන් ව්‍යවහාර කරනු අසන්නට හැකිය. මාලේ වැසියන් පවසන කොයිමාල හෙවත් කොයිමාලේ කුමාරයා යනු "කොත්මලේ කුමාරයා" වන්නට බැරිකමක්‌ නැත. දිවෙහි බසෙහි බත් යන්න බයි" යනුවෙන් ද අත් යන්න "අයි" යනුවෙන්ද ව්‍යවහාර වන පරිදි කොත් යන්න "කොයි" යනුවෙන් ව්‍යවහාර වී ඇතැයි හේතු යුක්‌තය. ශබ්ද විද්‍යාවට අනුරූපීය. කුමාරයා රජ බවට පත්ව අගනුවර කොට ගත් දූපත ද "මාලේ" නම් වී ඇත. පසු ව දිවයින් සමූහය ම හෙවත් මුළු රටම මාලේ හෙවත් මාල දිවයින් වී ඇත. මෙය කොත්මලේ කුමාරයාගේ "මලේ" යන්නෙන් සකස්‌ වී යෑයි සිතන්නට බැරිකමක්‌ නැත. කොත්මලේට "මලය" හෙවත් මලේ යනුවෙන් පමණක්‌ නොව සීහළවත්ථුවෙහි "මාලෙය" යනුවෙන් සඳහන් වන ආකාරය ද "මාලේ" සහ "මාල" යන්න හා ගැළපේ.

මේ අනුව මාල දිවයින් වාසීන්ගේ පුරාවෘත්තය පරිදි එරට නිර්මාතෘවරයා වූ කොයිමාල කුමාරයා යනු කොත්මලේ කුමාරයා වේ නම් ඒ කුමරුන් දුටුගැමුණු රජු සහ රන්මැණිකාගෙන් පැවත ආ පරපුරෙහි දුටුගැමුණු රාජ රුධිරය දැරූ කුමාරයකු වන්නට ඇතැයි නිගමනය කිරීම බෙහෙවින් සාධාරණය.

Tell a Friend