මාර්ටින් හෛඩගර්: 20 වෙනි ශතවර්ෂයේ විශිෂ්ටතම දාර්ශනිකයා

ඩබ්ලිව්. ඩබ්ලිව්. බණ්‌ඩාර,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.


මාර්ටින් හෛඩගර් 20 වෙනි ශතවර්ෂයේ ජීවත් වූ විශිෂ්ටතම දාර්ශනිකයා වුවත් ඔහුට නාසිවාදයේ හංවඩුවෙන් ගැලවීමට නොහැකි විය. නාසිවාදයෙන් මනුෂ්‍යයින් මිලියන ගණනක්‌ මෙලොවින් තුරන් කළේය. නමුත් හෛඩගර්ගේ "මනුෂ්‍යය සත්තාව" (Human Being) පිළිබඳව ඉදිරිපත් කළ විප්ලවීය අදහස්‌ 20 වෙනි ශතවර්ෂයේ දී මනුෂ්‍යය ආත්මීයත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වඩාත් රැඩිකල් දැක්‌මක්‌ විය. බ්‍රෙන්ටානෝගෙන් ඇරඹි ප්‍රපංචාදයේ අනුප්‍රාප්තිකයා වූයේ එඩ්මන්ඩ් හුසල් ය. හුසල්ගේ කවයේ සිටි විශ්ෂ්ටතම ගෝලයා වූයේ හෛඩගර් ය. හෛඩගර් මුළුමහත් බටහිර දර්ශනයේ ම පදනම ප්‍රශ්න කළේය. වසර දෙදහසක්‌ පමණ බටහිර දර්ශනය පිළිගත්නා තර්ක බුද්ධිය, තර්ක ශාස්‌ත්‍රය, සත්‍යය යනාදී සංකල්පයන්ට හෛඩර්ගෙන් පසුව පැවැත්මක්‌ නැති විය. හෛඩගර්ගේ දර්ශනයේ පදනම වූයේ "සත්තාව" යි. දර්ශනයේ දී "සත්තාව" පිළිබඳව කතා කරන්නා වූ වාදය "සත්භවවාදය" (ontology) වන අතර, එය හෛඩගර්ගේ ක්‍ෂේත්‍රය වීය. නාසිවාදය පමණක්‌ ම නොව පශ්චාත්-නූතනවාදයට හා පශ්චාත්-ව්‍යqහවාදයට හෛඩර්ගෙන් වූ සේවය නොතකා හැරිය නොහැක. ලියෝතාද්, ඩෙරීඩා, ෆුකෝ සහ ඩෙලූසේ වැනි පශ්චාත්-නූතනවාදී දාර්ශනිකයන් දර්ශනය සම්බන්ධයෙන් වඩාත් රැඩිකල් මත දැරූහ. මොවුන් යෝජනා කරන්නේ ප්‍රති-සාරවාදී, ප්‍රති-දර්ශනවාදී, ප්‍රති-පදනම්වාදී හා විසංයෝජනවාදී දැක්‌මකි. මෙවන් විප්ලවකාරී දර්ශනයක්‌ සම්බන්ධයෙන් මුල පිරුවේ හෛඩගර් ය. හෛඩගර් අතින් බටහිර චින්තන ධාරාව කනපිට හැරවුණේය. හෛඩගර් ගේ Being and Time කෘතිය 1927 දී එළියට පැමිණි අතර එය දාර්ශනික ලෝකය කැළඹවීමට පත් කළ කෘතියකි. හබමාස්‌ට අනුව හේගල්ගේ Phenomenology of  Spirit කෘතියෙන් පසුව බටහිර දර්ශනයට එක්‌ වූ විශ්ෂ්ටතම කෘතිය එය යි.

 හෛඩගර්ගේ ප්‍රධාන සංකල්පයක්‌ වූ Design යන්නෙහි ඉංග්‍රීසි අරුත වුණේ "Being there" යන්න යි. මෙය මනුෂ්‍යය සත්තාව සම්බන්ධයෙන් නව ආකාරයේ සිතීමක්‌ විය. මීට පෙර මනුෂ්‍යය සත්තාව, ආත්මීයත්වය සම්බන්ධයෙන් බටහිර දර්ශනය තුළ ආස්‌ථානයන් තුනක්‌ පැවතුණි.

1. ඩේකාට්‌ස්‌ගේ ආත්මය. (Cogito)

2. කාන්ට්‌ගේ සංවිජානනයේ අනුභූති-උත්තර ආත්මය. (Transcendental Subject of apperception)

3. හුසල්ගේ අනුභූති-උත්තර අහංභාවය. (Transcendental
ego)

හෛඩගර් මනුෂ්‍යත්වය (huminity) හා දේවල් (things) අතර වෙනසක්‌ දැක්‌කේ ය. තමන්ගේ සත්තාව සහ සත්තාව-ගැන-ම (Being-it-self)) ප්‍රශ්න නැගිය හැක්‌කේ මනුෂ්‍යයිනට පමණි. සාම්ප්‍රදායික දර්ශනයට හෛඩගර් එල්ල කළ විවේචනය වූයේ එයින් මනුෂ්‍යයත්වය පිළිබඳව සිතන්නේත් දේවල් ගැන සිතන ආකාරයට ම වන බව යි.

දේවල්වල සත්තාව මෙන් නොව මනුෂ්‍යත්වයේ සත්තාවෙහි ඇති විශේෂත්වය වන්නේ තමන්ගේ සත්තාව සම්බන්ධයෙන් ඇති සවිඥණිකත්වය යි. මේ සවිඥණිකත්වය නිසා ම එයට "වියහැකියාවන්" (possibilities) අභිමුඛ වෙයි. මේ නිසා මනුෂ්‍යයා හැම විට ම තීන්දු ගනී. මිනිසා තමන්ගේ සත්තාව ගැන පමණක්‌ නොව සත්තාව-ගැන-මත් දැනුවත් ය. ඔහු තමන් ලෝකයට විසි කර ඇති බව දනී. මේ නිසා මිනිසා ආසන්න අත්දැකීමක්‌ ලෙස සාංකාව, බිය, සුරැකුම හා මරණය ගැන සැලකිලිමත් වෙයි.

ඩේකාට්‌ස්‌ට අනුව මනුෂ්‍යත්වය වූ කලී මනස හා ශරීරයේ එකතුවකි. සාරාර්ථයන් දෙකක එකතුවකි. මේ ද්වෛතය හෛඩගර් විසින් බැහැර කරයි. ඔහු මනුෂ්‍යත්වය කොටස්‌ කරන්නේ නැත. ඒ සඳහා හෛඩගර් හඳුන්වා දෙන නව වචනය Dasein ය. ඒ අනුව මේ වචනයෙන් කියෑවෙන්නේ මනුෂ්‍යය සත්තාව, දේවල්වල සත්තාවෙන් වෙනස්‌ වන බව යි.

හෛඩගර් Dasein වලින් අදහස්‌ කළේ හුසල්ගේ අභ්‍යන්තරික සතාව ගොඩනංවන්නා වූ බාහිර සත්තාවක්‌, වාස්‌තවික සන්තාවක්‌ පිළිබඳව ය. ඩෙකාට්‌ගේ Cogito, හුසල්ගේ Trancendental ego වූ කලී අභ්‍යන්තර සත්තාව ය. ඒවා ගොඩනගන්නා වූ බාහිර සන්තාව වන්නේ Dasein ය. හුසල් වැනි දාර්ශනිකයින්ගේ ව්‍යාපෘතීන් හෛඩගර් විසින් විසංයෝජනය කරනු ලබයි. බාහිර සත්තාව ප්‍රධාන වන බවත් හෛඩගර් ප්‍රකාශ කරයි. හෛඩගර් ගේ දර්ශනය තුළින් නව්‍ය-කාන්ටියානු හා හුසලියානු විඥනයන් බැහැර කරනු ලබයි. ඔහු ප්‍රති-ආත්මවාදී, ප්‍රති-මානවවාදී අදහසක්‌ තහවුරු කළ අතර සත්භවවාදය (ontology) ලෙස තහවුරු කළේ මනුෂ්‍යය සත්තාව (Dasein) යි. මනුෂ්‍යයින් ලෝකය සමග අභිමුඛ වන්නේ කෙසේ ද? යන්න හෛඩගර් විමර්ශනය කරයි. මේ අයුරින් හෛඩගර්ගේ දර්ශනය "සත්තාව පිළිබඳ දර්ශනයක්‌" (Philosophy of Being) විය. මානවීයත්වය (Being Human) වැදගත් ගැටලුව වශයෙන් හෛඩගර් හඳුනා ගත්තේ ය.

පූර්ව-සොක්‍රටීක දාර්ශනිකයන් විමර්ශනය කළ සත්භවවාදය (ontology) පිළිබඳ සංවාදය නැවතත් දර්ශනයට රැගෙන එන්නට හෛඩගර් උත්සාහ කළේය. ඔහු ඇරිස්‌ටෝටලියානු දර්ශනය හා පාරභෞතිකවාදය සත්භාවවාදී ආකාරයකින් නැවතත් ඉස්‌මතු කළේය. හෛඩගර් ප්‍රපංච විද්‍යාඥයෙක්‌ ද විය. හුසල් විසින් ආරම්භ කළ "දේවල්වල-එහි-ම-ස්‌වරූපයට" ආපසු යාම (back to-thing-it-self) යන්නට හුසල් මෙන් ම හෛඩගර් ද ප්‍රධාන තැනක්‌ ලබා දෙයි. Being and Time ලිවීමට පෙර වසර දහයක්‌ පමණ හෛඩගර් හුසල් සමග වැඩ කර තිබේ. හුසල්ට පෙරත් ප්‍රපංච විද්‍යාව තිබූ බව හෙඩගර් දුටුවේය. විශේෂයෙන් ම ග්‍රීක දර්ශනයේ ප්‍රපංච විද්‍යාව තිබූ බව හෛඩගර් අවධාරණය කළේය. හෛඩගර් හුසල්ට වෙනස්‌ව Being සහ Dasein අතර සබඳතාවක්‌ දුටුවේය.

හෛඩගර්ගේ Being and Time කෘතියේ දී ප්‍රපංච විද්‍යාත්මක සත්භවවාදයක්‌ (phenomenology calontology) දක්‌නට ලැබේ. හෛඩගර්ගේ මේ ව්‍යාපෘතිය "දේවල් හෙලිදරව් කිරීමක්‌" (discover of things) විය. හෛඩගර්ගේ ව්‍යාපෘතිය ඔහු ම හඳුන්වා ගත්තේ "දේවල්වල- එහි- ම-ස්‌වරූපයට" ආපසු යාමක්‌ ලෙස යි. මෙහිදී හෛඩගර් ග්‍රීක දර්ශනය හැර අනෙක්‌ දර්ශනයන් මුළුමනින් ම කනපිට හරවයි. ඔහු මුළුමහත් දර්ශන ඉතිහාසය ම විනාශ කරයි. කාන්ටියානු සහ කාටීසියානු අන්තර්ගතයන් හලා දමා සැබෑ සංදෘෂ්ටිකවාදී ග්‍රීක්‌ අර්ථය අධ්‍යයනය කරන්නට හෛඩගර් පෙළඹුණි. ඔහුට අනුව සාම්ප්‍රදායික පාරභෞතිකවාදයන්ගෙන් සත්තාව පිළිබඳ ප්‍රශ්නය වැරදිවට තේරුම් ගැනීමට හේතුවක්‌ වන්නේ මිනිස්‌ සත්තාව ද දේවල් වල සත්තාවක්‌ වශයෙන් තේරුම් ගැනීමට යාමයි. ඒ වෙනුවට හෛඩගර් සත්භවවාදී ලෙසින් Dasein යන සංකල්පය ඉස්‌මතු කරයි. නමුත් සාම්ප්‍රදායික පාරභෞතිකවාදයෙන් කළේ "දේවල්" ගැන කතා කිරීම ය. මේ ව්‍යාපෘතියේ අවසන් ප්‍රතිඵලයක්‌ ලෙසින් හෛඩගර්ට ප්‍රපංචවේදීමය අර්ථකථනවේදය කරා යැමට හැකියාවක්‌ ලැබේ.

Dasein යන්නේ අර්ථය වූයේ "Being There" යන්න යි. මනුෂ්‍යය සත්තාව "හුදකලා ආත්මයක්‌" නොවේ. මනුෂ්‍යයා හා දැනටමත් ලෝකයේ කොටසක්‌ වශයෙන් Being and Time කෘතියේ දී හඳුන්වන අතර, එම කෘතියේ මූලික අදහස වූයේ "Being is Time" යන්නයි. Being යන්නෙන් අතීත, වර්තමාන හා අනාගත කාලත්‍රය ම අර්ථවත් විය. ඩේකාට්‌ගේ Being (මම සිතමි, එම නිසා මම පවතිමි) තුළ ඇත්තේ වර්තමානයේ නියෝජනයක්‌ පමණි. හෛඩගර්ගේ Being (Being Human) තුළ ඊට වඩා උසස්‌ අර්ථයක්‌ ලැබේ. මානවීයත්වය යනු කුමක්‌ ද? නමුත් මනුෂ්‍යයා කව්ද? (What
is human being?) යන්න ද්විතියික ගැටලුවකි. මේ අර්ථයෙන් හෛඩගර්ගේ සත්භවවාදියෙක්‌ වෙයි. හෛඩගර්ගේ සත්භවවාදයට අතීතය හා අනාගතයත් ඇතුළත් ය. ඔහු වර්තමානයේ අධිභෞතික විද්‍යාව විවේචනය කරයි. බටහිර දර්ශනය ගොඩනැංවී ඇත්තේ පාරභෞතිකවාදයන් මත යි. නමුත් මනුෂ්‍යයන්ගේ සත්තාව ඊටත් වඩා දෙයක්‌ (ontology) අර්ථවත් විය යුතු බවත් හෛඩගර් කියයි.

මෙයින් කියෑවෙන්නේ මනුෂ්‍යයන්ගේ පැවැත්ම යනු උපත හා මරණය අතර දිග හැරුණු තාවකාලික එකක්‌ය යන්න යි. සත්තාව කාලය වන අතර කාලය පරිමිත වූ එකකි. මරණයෙන් සත්තාව අවසන් වෙයි. මේ නිසා අව්‍යාජව මනුෂ්‍යය සත්තාව අධ්‍යයනය කරන්නේ නම් මනුෂ්‍යය සත්තාවේ සිතිජය වශයෙන් "මරණය" ගත යුතුය. පැවැත්ම පිළිබඳ සාකච්ඡා කිරීමට හෛඩගර් සංදෘෂ්ටිකවාදී විග්‍රහයක්‌ භාවිත කරයි. "මනුෂ්‍යය පැවැත්ම (Being) යනු කුමක්‌ ද?" එය විග්‍රහ කිරීමට කාලය අවශ්‍ය වේ. අප අතීතයේ ජීවීන් වෙයි. අප වර්තමානය හරහා විවිධ වියහැකියාවන් ඉල්ලා සිටිමු. මනුෂ්‍යය සත්තාව ,උය්එ, වලින් නොව ,උයද, වලින් අර්ථකථනය කරන්නට අවශ්‍ය බවක්‌ ඉන් කියෑවේ.

Dasein යන්නෙන්,

Da- The

Sein- Being, Be

මෙයි ඇත්තේ මනුෂ්‍යය සත්තාව, පැවැත්ම පිළිබඳ අර්ථයකි. මනුෂ්‍යත්වය යන්න ලෝකයේ එදිනෙදා පැවැත්ම තුළ තේරුම් ගත යුත්තක්‌ වේ. මනුෂ්‍යයාගේ පැවැත්ම "What" යන්න තුළ වටහා ගත නොහැක. කවර ආකාරයේ මනුෂ්‍යය සත්තාවක්‌ පවතී ද? යන්න අර්ථකථනය කරගත යුතුය. මේ නිසා හෛඩගර් "Man" යන්න ප්‍රතික්‍ෂේප කොට "Desein" යන්න ඊට ආදේශ කරයි. "Desein" යන්න තුළ "there is, there
are" යන අර්ථ පවතී. නමුත් ඉන් අදහස්‌ වන්නේ සමස්‌තයක්‌ ලෙස "Thereness" යන්නයි. Dasein යන්නෙහි සාම්ප්‍රදායික අර්ථය ගන්නට උත්සාහ කරන්නේ නම් ඒ තුළ "Thereness බවක්‌ අඩංගු වන බව අවබෝධ කර ගත යුතුය. "Da" යන්නෙන් ස්‌ථානයක්‌, තත්ත්වයක්‌ අදහස්‌ වෙයි (එනම් here,
there යන්න යි) Sein යන්නෙන් be, being යන අර්ථය ගත් විට "being of man" යන අර්ථය මතු වෙයි. මේ අනුව "Dasein" යන්නෙන් "being-here" "being-there" යන්න ගම්‍ය වෙයි. මේ ආකාරයට "Dasein" යන්නෙන් සත්භවා වාදී (ontological) අදහසක්‌ ඉදිරිපත් වෙයි. හෛඩගර් පැවැත්මට (existance) වඩා සත්තාව පිළිබඳව අවධානය යොමු කරයි. හෛඩගර් පැවැත්ම යන්නෙන් අදහස්‌ කළේ being-in-theworld,
being with, being in යනාදී අර්ථයක්‌ ය.

ආශ්‍රිත ග්‍රන්ථ

1) Hirschberger Johannes. A Short History of Western
Philosophy, Lutterworth Press, Guildford and London,
1976.
2) King Magda, Heidegger's Philosophy, Basil Blackwell,
Oxford, 1964.

Tell a Friend