මර්වින් ද හඩ්ඩෙක් වූ වගයි

දැන් අපි විහිළු වැඩසටහන් බලන්නෙ නැහැ. ඒ වෙනුවට ප්‍රවෘත්ති බලනව. නැත්නම් දේශපාලන සංවාද බලනව. මෙහෙම කිව්වෙ අපේ මිත්‍රයෙක්.

කුසලානෙට ආසන 5ක් දැනටමත් ලැබිල තියෙන නිසාත් විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී ඇති නිසාත් මර්වින් අංකල්ට පාර්ලිමේන්තුවට යන්නට බැරිවෙනු ඇතැයි ඔහුට චන්දය දුන් එක් ලක්ෂ පනස් දහසක් ජනතාව කම්පා වී උන්හ.

පඩික්කමට ආසන නොලැබෙනු ඇතැයි තමන් කීවා මිසක කුසලානයට ආසන නොලැබෙනු ඇතැයි තමන් නොකී බව කී මර්වින් තමන් කුසලානය දැක ඇත්තේ පඩික්කමක් ලෙස බව තේරුම් ගියේ පස්සේ යයි කියා තිබිණි.

එක්ලක්ෂ පනස් දහසක් චන්ද දායකයින් මනාප දී තිබුනේ පඩික්කමක් හා කුසලානයක් අතර වෙනස අදුනා ගැනීමට අමාරු පුංචි පහේ කෙනෙකුට ය. චන්දය දුන් අයගේ නම්බුව වත් රකින්නට මර්වින් කල්පනා නොකළේ උන්ට කොහොමටත් නම්බුවක් නැතැයි දැන සිටි නිසා විය යුතු ය.

මීට සමාන කතාවක් හඩ්ඩා ද කියා ඇණ ගත්තේ ය. ඒ සරත් ෆොන්සේකා සමග රනිල්ද ජනාධිපති වරණයට ඉදිරිපත්වන බවත් එසේ නොවුනහොත් දණ ගාගෙන ගොස් ගුවන්විදුලි පරිශ්‍රයෙන් සමුගන්නා බවත් කීමෙන් ය.

එහෙම කී ඔහු වගේ වගක් නැතිව ගුවන් විදුලියේ තවදුරටත් රැදෙමින් වැඩසටහන් සුපුරුදු ලෙසම මෙහෙයවයි. හඩ්ඩාට සවන් දුන් ප්‍රෙක්ෂකයෝ තමන් ගොනාට ඇන්දූ හඩ්ඩාට තවමත් කන් අයාගෙන සවන් දී සිටිති. ඒ රැවටෙන්නට තිබෙන අපමණ ආසාව නිසා ය.

මැතිවරණ කොමසාරිස් වැනි බාරදූර තනතුරකටවත් විහිළු නොසපයා සිටීමට නොහැකි තරමට මේ රට සිනහ සාගරයක් වෙමින් තිබේ. මේවාට සිනාසෙන්නේ අපට මේවායින් සංවේගයක් කෝපයක් ඇති නොකරන නිසා නම් නොවේ.

‍අවට සිදුවන දෙය දෙස කෝපයෙන් බැලීමෙන් සංවේගයක් ඇතිකරගැනීමෙන් අයහපතක් මිස යහපතක් නොවේ. ඒ නිසාම සංවේගය සගවා ගෙන සිනාසෙන්නට අප පුරුදු විය යුතු ය. අඩු වශයෙන් අවුරුදු හයක් මේ වත පුරුදු කළ යුතුව තිබේ.

සතුටින් ජීවිත ගත කරන අසංවේදී ජනතාව අතරට වැද මේ කෝලම් ගැන කිපෙන්නේ නැතිව අපිත් ඇති තරම් සිනාසෙමු.

ඒ සදහා ධෛර්යයත් ශක්තියත් ඔබට ලැබේවායි අපි පතමු.